The Leader News
BREAKING
Top Ad
පුවත්

ගජබා නිලධාරීන් තුන්දෙනෙක් ලුතිනන් වරයකුට ‘බලෙන් කේක් කවා වද දීලා’

Nethmini

Nethmini

November 26, 2026 • 10:54 AM

ගජබා නිලධාරීන් තුන්දෙනෙක් ලුතිනන් වරයකුට ‘බලෙන් කේක් කවා වද දීලා’

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යුද හමුදා කඳවුරක් තුළදී නවක හමුදා නිලධාරියකුට දස වසරකට ඉහත පහර දී වධහිංසා පැමිණවු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් තිදෙනකුට, වින්දිත හමුදා නිලධාරියා වෙත රුපියල් ලක්ෂ හතරක වන්දි මුදලක් ගෙවන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නියාම කර තිබේ.
  • චන්ද්‍රරත්න නිලධාරියාට සිදු වූ වධහිංසා සම්බන්ධයෙන් ඔහුගේ මෑණියන් විසින් 2018 වසරේදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ඉරිදිපත් කර තිබු පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුයි.
  • චන්ද්‍රරත්නට අදාල මුදල ගෙවන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ කර ඇත්තේ ගජබා රෙජිමේන්තුවේ ලුතිනන් ආර්.ඒ.ආර්.ඊ.
  • වින්දිත ලුතිනන් චන්ද්‍රරත්න 2015 සැප්තැම්බර් 21 වැනි දින නිවාඩු අවසන් කර සිය ඒකකයට වාර්තා කළ අවස්ථාවේදී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් විසින් පසුදා උදෑසන තේ පැන් සංග්‍රහය සඳහා කේක් රැගෙන එන ලෙස ඔහුට නියෝග කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

යුද හමුදා කඳවුරක් තුළදී නවක හමුදා නිලධාරියකුට දස වසරකට ඉහත පහර දී වධහිංසා පැමිණවු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් තිදෙනකුට, වින්දිත හමුදා නිලධාරියා වෙත රුපියල් ලක්ෂ හතරක වන්දි  මුදලක් ගෙවන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නියාම කර තිබේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව එම නිර්දේශය ලබා දී ඇත්තේ 2015 වසරේදී අකුරගොඩ යුද්ධ හමුදා ඉදිකිරීම් පරිශ්‍රයේ රාජකාරි කරමින් සිටි 10 වැනි ගජබා රෙජිමේන්තුවේ ලුතිනන් ආර්.ඒ. චන්ද්‍රරත්න නිලධාරියාට සිදු වූ වධහිංසා සම්බන්ධයෙන් ඔහුගේ මෑණියන් විසින් 2018 වසරේදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ඉරිදිපත් කර තිබු පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුයි.

වගඋත්තරකරුවන්ගේ සාමූහික ක්‍රියාකලාපය හරහා, වින්දිත හමුදා නිලදාරියා වෙත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වැනි  වගන්තියෙන් සහතික කර ඇති "වධ හිංසාවලින් සහ කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැලකිලි වලින් හෝ දඬුවම්වලින් නිදහස් වීමේ" මූලික අයිතිවාසිකම උල්ලංඝනය කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව 2026 සැප්තැම්බර් 28 වැනිදා නිගමනය කර ඇත.

ඒ අනුව මුදල් ඇණවුමක් මාර්ගයෙන් ලුතිනන් ආර්.ඒ. චන්ද්‍රරත්නට අදාල මුදල ගෙවන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ කර ඇත්තේ ගජබා රෙජිමේන්තුවේ ලුතිනන් ආර්.ඒ.ආර්.ඊ. දම්රුවන්, කපිතාන් බෝඹුවල හා ලුතිනන් පී.ඩී.එස්. ඩයස් වෙතයි.

මවගේ පැමිණිල්ල සහ කඳවුරේදී සිදු වූ අමානුෂික හිංසනය

වධහිංසාවට ගොදුරුවූ නිලධාරියාගේ මව වන කේ.එම්.පි.ජේ පෙරේරා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවට ඉදිරිපත් කළ පැමිනිල්ල මගින් ඉල්ලා ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබු  අවධියේදී කීර්තිමත් චරිතයකට හිමිකම් කී සිය පුත්‍රයාට යුද හමුදාව තුලදී සිදුවු අගතිය වසන් කරමින් ගජබා රෙජිමේන්තුව ගෙන යන වැඩපිළිවෙළ හමුවේ, මානව හිමිකම් කොමිෂන් සභාවේ මැදිහත්වීමෙන් පුතුට සාධාරණය ඉටු කර දෙන ලෙසත්, ඔහුව ගෞරවනීය ලෙස යුධ හමුදා සේවයෙන් ඉවත් කර ගැනීම හා වන්දි මුදලක් ලබා ගැනීම සහනය වශයෙන් මෙම පැමිණිල්ලෙන් අපේක්ෂා කරන බවයි.

වින්දිත ලුතිනන් චන්ද්‍රරත්න 2015 සැප්තැම්බර් 21 වැනි  දින නිවාඩු අවසන් කර  සිය ඒකකයට වාර්තා කළ අවස්ථාවේදී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් විසින් පසුදා උදෑසන තේ පැන් සංග්‍රහය සඳහා කේක් රැගෙන එන ලෙස ඔහුට නියෝග කර තිබේ.

ඔහු රැගෙන ආ කේක් භෝජනාගාර සේවකයකුට භාර දී තිබුණද, එය නොලැබීම හේතුවෙන් කෝපයට පත් වගඋත්තරකාර නිලධාරීන් ඔහු කාමරයකට කැඳවා කිලෝ දෙක හමාරක පමණ කේක් ප්‍රමාණයක් බලහත්කාරයෙන් ඔහුට කවා ඇත. එම අවස්ථාවේදී ඔහුට අධික ලෙස ජලය පානය කරවමින් කම්මුල් පහරවල් කිහිපයක් ද එල්ල කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

වෛද්‍ය වාර්තා සහ හමුදා අභ්‍යන්තර පරීක්ෂණයේ හෙළිදරව්ව

මෙම හිංසනය දරාගත නොහැකිව කඳවුරෙන් පිටව ගිය වින්දිත නිලධාරියා තදබල හිසරදය හේතුවෙන් සිහිසුන්ව ඇද වැටී නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහලටත්, පසුව කොළඹ ජාතික රෝහලේ ස්නායු හා මානසික වෛද්‍ය ඒකක වෙතත් ඇතුළත් කර තිබේ. මෙම සිදුවීමෙන් ඇති වූ දැඩි මානසික කම්පනය (Adjustment Disorder) හේතුවෙන් ඔහු තවදුරටත් හමුදා සේවයට නුසුදුසු තත්වයකට  පත්ව ඇති බව විශේෂඥ වෛද්‍ය වාර්තා මගින් තහවුරු වී ඇත.

ශ්‍රී ලංකා  මානව හිමිකම් කොමිෂන් සභාවේ දී 2019.06.21 වන දින පැවති විමර්ශනයේ දී, වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් නීති නිලධාරී මේජර් බී.බී.එන්. ප්‍රියදර්ශනී  විසින් කරුණු දක්වමින්, මෙම සිදුවීම සම්බන්ධයෙන් යුද හමුදාව විසින් අභ්‍යන්තර මූලික පරීක්ෂණ උසාවියක් පවත්වා ඇති බවත්, එහිදී ලුතිනන් ආර්.ඒ.ආර්.ඊ. දම්රුවන් යන නිලධාරියා විසින් ලුතිනන් චන්ද්‍රරත්නට පහර දී ඇති බව අනාවරණය වූ බවත්, ඒ අනුව අදාළ නිලධාරියාට එරෙහිව විනයානුකූලව කටයුතු කිරීමටත්, සිද්ධිය වූ ස්ථානයේ සිටි අනෙකුත් නිලධාරීන්ට එරෙහිව ද ක්‍රියාමාර්ග ගැනීමටත් විධානය කර ඇති බවත් සඳහන් කර ඇත.

සිය විමර්ශනය අවසනයේ නිරීක්ෂණ ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව සදහන් කරන්නේ 2019.06.21 වැනි  දින කොමිෂන් සභාව හමුවේ පළමු වගඋත්තර ලුතිනන් ආර්. ඒ.ආර්.ඊ. දම්රුවන් ලබා දුන් ප්‍රකාශය සහ 2017.05.13 දිනැති යුද්ධ හමුදාධිපති නිගමනය අනුව, වින්දිත ලුතිනන් චන්ද්‍රරත්න වෙත සිදු වූ පහරදීම සහ ඊට සම්බන්ධ කරුණු එකිනෙක අනුකූල වන බවයි.
 
"වින්දිත ලුතිනන් චන්ද්‍රරත්න වෙත කම්මුල් පහරවල් තුනක් ගැසූ බවට ලුතිනන් ආර්. ඒ.ආර්.ඊ. දම්රුවන් නිලධාරියා කොමිසම හමුවේ පිළිගෙන ඇති අතර, එකී පහරදීම සහ ඊට පෙර බලහත්කාරයෙන් කේක් කැවීම ඇතුළු හිංසනයන් සිදු වූ බව යුද්ධ හමුදාධිපති නිගමනය මගින් ද තහවුරු කර ඇත. තවද, මෙම හිංසනය දරාගත නොහැකිව වින්දිත නිලධාරියා කඳවුරෙන් බැහැරව යාම සහ එමගින් ඔහු තුළ ඇති වූ තරමක් බරපතල අසනීප තත්ත්වය "සේවයට අදාළ වූවක්" ලෙස යුද්ධ හමුදාධිපතිවරයා නිගමනය කර තිබීම හරහා, වගඋත්තරකරු ඇතුළු පිරිසගේ පහරදීම හා හිංසනකාරී හැසිරීම වින්දිතයාගේ කායික හා මානසික බිඳවැටීමට හේතු වී ඇති බව සනාථ කිරීමක් බව පෙනී යයි."


කොමිසමේ නිරීක්ෂණ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ස්ථාවරය


කොළඹ ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය මහේෂ් රාජසූරියගේ සහ නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කර්නල් එස්.එම්.ඩබ්ලිව්. හේරත්ගේ වෛද්‍ය වාර්තා අනුව, වින්දිත ලුතිනන් ආර්.ඒ. චන්ද්‍රරත්න නිලධාරියා මුහුණ දුන් සිදුවීමෙන් අනතුරුව දැඩි මානසික බිඳවැටීමකට ලක්ව ඇති බවත්, සිදු වූ පහරදීම සහ පීඩනය හේතුවෙන් ඇති වූ විෂාදය, පාලනය කරගත නොහැකි භීතිය මෙන්ම සාමාන්‍ය ජීවිතයේ ක්‍රියාකාරකම් කර ගැනීමට නොහැකි වන පරිදි සිතේ හටගත් කැළඹිලි සහගත ස්වභාවය පදනම් කරගනිමින්, ඔහු Adjustment Disorder නමැති අක්‍රමිකතාවයෙන් පෙළෙන බව විශේෂඥ වෛද්‍යවරුන් සායනිකව සනාථ කර ඇත.

කොළඹ ජාතික රෝහලේ මනෝ වෛද්‍ය ඒකකයෙන් (59 වාට්ටුව) මූලික ප්‍රතිකාර ලැබීමෙන් පසු වැඩිදුර දීර්ඝකාලීන ඖෂධීය හා උපදේශන ප්‍රතිකාර සඳහා යුද්ධ හමුදා රෝහල වෙත යොමු කර තිබීමෙන් එකී හිංසනකාරී සිදුවීම වින්දිතයා තුළ අඛණ්ඩ මානසික ආබාධයක් නිර්මාණය කිරීමට හේතු වී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිරීක්ෂණය වී තිබේ.

මෙම විමර්ශනයේදී අනාවරණය වූ කරුණු අනුව, පැමිණිලිකාර ලුතිනන් ආර්.ඒ. චන්ද්‍රරත්න වෙත වගඋත්තර නිලධාරීන් විසින් එල්ල කර ඇති හිරිහැර හුදෙක් විනය ක්‍රියාමාර්ග ඉක්මවා ගිය, පුද්ගල ගෞරවයට හානි කරන ක්‍රියාවන් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ  නිරීක්ෂණය වේ.

"විශේෂයෙන්ම, කිලෝග්‍රෑම් 2 1/2 ක කේක් ප්‍රමාණයක් බලහත්කාරයෙන් අනුභව කරවීම සහ අධික ලෙස ජලය පානය කරවමින් සිදු කළ හිරිහැර කිරීම්, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන වගන්තිය යටතේ සහතික කර ඇති "වධහිංසා වලින් නිදහස් වීමේ අයිතිය" උල්ලංඝනය කිරීමක් ලෙස නිරීක්ෂණය කළ හැකිය. "

යුද්ධ හමුදාව විසින් පවත්වන ලද අභ්‍යන්තර මූලික පරීක්ෂණයේ (Court of Inquiry) නිගමන සහ විශේෂඥ වෛද්‍ය මණ්ඩල නිර්දේශ මගින් වින්දිත නිලධාරියා මුහුණ දුන් අසනීප තත්ත්වය "සේවයට අදාළ තරමක් බරපතල තත්ත්වයක්" ලෙස හමුදාපතිවරයා විසින් සඳහන් කර ඇති නමුත්, රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 22/93 (iii) යටතේ ආවරණය නොවන අනතුරක් වන බැවින් අදාළ අනතුරු වන්දි මුදල් ගෙවීම ආරක්ෂක අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව යුද්ධ හමුදාව විසින් ශ්‍රී ලංකා මානව හිමිකම්  කොමිෂන් සභාව වෙත දැනුම් දී ඇත.

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 22/93 (සහ එහි සංශෝධන) හි ප්‍රතිපාදන අර්ථ නිරූපණය කිරීමේදී, වින්දිත නිලධාරියා වෙත වන්දි අනුමත නොකිරීමට ආරක්ෂක අමාත්‍යාංශය චක්‍රලේඛයේ 1 වන සහ 2 වන වගන්ති ප්‍රකාරව වන්දි හිමිකම් පැන නගින්නේ රාජකාරිමය කාර්යයක නිරතව සිටියදී සිදුවන "හදිසි අනතුරක්" හෝ සේවා යෝජකයාගේ අනුමත ක්‍රියාකාරකමක් අතරතුර සිදුවන ශාරීරික හානියක් පදනම් කරගෙන වන බැවිනි.

හමුදා කඳවුර තුළ නිලධාරීන් අතර සිදුවූ අනුමත නොවන බලහත්කාරී හිංසනය සහ පහරදීම යනු රාජකාරිමය කාර්යයක ප්‍රතිඵලයක් නොව, දණ්ඩ නීති සංග්‍රහය සහ වධ හිංසාවලට එරෙහි පනත යටතේ වරදක් වන ක්‍රියාවක් වන බැවින්, එය චක්‍රලේඛයේ සඳහන් "රාජකාරිමය අනතුරක්" යන අර්ථ නිරූපණයට ආවරණය නොවන බවට නිගමනය කිරීමේ පදනම නිවැරදි යැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පෙන්වා දෙයි.  ඒ අනුව වින්දිතයා වෙත වගඋත්තරකාර පාර්ශවය වෙතින් කිසිදු වන්දි මුදලක් සඳහා හිමිකමක් ලැබී නොමැති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ  නිරීක්ෂණය වේ.

මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තහවුරු වූ කරුණු

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිගමනය වී ඇත්තේ මෙම පැමිණිල්ලට අදාළව සිදුකරන ලද විමර්ශන වල දී ඉදිරිපත් කරන ලද කරුණු සහ ඉදිරිපත් වූ සාක්ෂි, වෛද්‍ය වාර්තා සහ යුධ හමුදා අභ්‍යන්තර පරීක්ෂණ වාර්තා සහ යුද්ධ හමුදාධිපති නිගමනය අනුව, මෙම සිදුවීමේ දී වගඋත්තරකරුවන්ගේ ක්‍රියාවන් තුළ වධහිංසාවක හෝ කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලක මූලිකාංගයන් සපිරී පවතින බව නිරීක්ෂණය වන බවයි.

වින්දිත නිවාඩු ගොස් පැමිණි අවස්ථාවේ දී රසකැවිලි ගෙන ඒමේ අනුමත නොවන නියෝගය අභිමතයට පටහැනිව ඉටු කිරීමට සැලැස්වීම සහ එම කේක් නොලැබුණි යැයි පවසමින්, වින්දිත ලුතිනන් ආර්.ඒ. චන්ද්‍රරත්න වෙත බලහත්කාරයෙන් කේක් අනුභව කරවීම, අධික ලෙස ජලය පානය කරවීම සහ මුහුණට කම්මුල් පහරවල් එල්ල කරමින් පහරදීම මඟින් ඔහුට මානසික හා ශාරීරික පීඩාවක් ඇති කර තිබීම ද, එම ක්‍රියාවන් කණිෂ්ඨ නිලධාරියා පීඩාවට පත් කිරීමේ සහ දඬුවම් කිරීමේ සෘජු චේතනාවෙන් සිදු කර තිබීම මෙන්ම, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ලෙස තමන් සතු නිල අධිකාරී බලය සහ නිල තත්ත්වය අයුතු ලෙස භාවිතා කරමින් මෙම පහරදීම හා වධහිංසනයන් සිදු කර තිබීම ද යන කරුණු අනාවරණය වන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කරයි.

"ඒ අනුව, යම් ක්‍රියාවක් 'වධ හිංසාවක්' ලෙස අර්ථ දැක්වීම සඳහා සපුරාලිය යුතු මූලිකාංග ත්‍රිත්වය වන තදබල ශාරීරික හා මානසික පීඩාවක් ඇති කිරීම, දඬුවම් කිරීමේ හෝ පීඩාවට පත් කිරීමේ පරමාර්ථය පැවතීම සහ රාජ්‍ය නිලධාරියෙකු හෝ අධිකාරී බලයක් සහිත පුද්ගලයෙකු විසින් එම ක්‍රියාව සිදු කරනු ලැබීම යන සියලුම සාධක මෙම සිදුවීම තුළ සම්පූර්ණ වී ඇති බව පෙනී යයි."

ඒ අනුව, මෙම සිදුවීමේදී වින්දිත ලුතිනන් ආර්. ඒ. චන්ද්‍රරත්නගෙන් බලහත්කාරයෙන් කේක් ඉල්ලා සිටීමත්, එය ලබා නොදුන් පසු ඔහුව කාමරයකට කැඳවා ඔහුගේ කැමැත්තකින් තොරව බලහත්කාරයෙන් කේක් අනුභව කරවීමට කපිතාන් බී. ඒ. බෝම්බුවල සහ ලුතිනන් ඩයස් යන නිලධාරීන් කටයුතු කර ඇති බව පෙන්වා දෙන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කර ඇත්තේ එමගින්, වගඋත්තරකාර ලුතිනන් ආර්.ඒ.ආර්.ඊ. දම්රුවන් වෙත වින්දිතයාට පහරදීම සඳහා අවශ්‍ය පසුබිම සකසා දෙමින් ඊට සෘජුවම අනුබල දී ඇති බව තහවුරු වන බවයි.

"එමඟින්, 01, 02 සහ 03 යන වගඋත්තරකරුවන්ගේ මෙම සාමූහික ක්‍රියාකලාපය හරහා, වින්දිත ලුතිනන් ආර්. ඒ. චන්ද්‍රරත්න වෙත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන වගන්තියෙන් සහතික කර ඇති "වධ හිංසාවලින් සහ කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැලකිලි වලින් හෝ දඬුවම්වලින් නිදහස් වීමේ" මූලික අයිතිවාසිකම උල්ලංඝනය කර ඇති බව නිගමනය කරනු ලැබේ."

කොමිෂන් සභාව ඉදිරිපත් කළ නිර්දේශ පහ

ඒ අනුව ආරක්ෂක අමාත්‍යවරයා, යුද හමුදාපතිවරයා සහ පොලිස්පතිවරයා වෙතද පිටපත් යොමු කරමින් එවකට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු (හිටපු) එල්. ටී. බී. දෙහිදෙණිය ගේ සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්, ජ්‍යෙෂ්ඨ නීතිඥ නිමල් ජී. පුංචිහේවාගේ අත්සනින් යුතුය පහත සදහන් නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

1. වින්දිත ලුතිනන් ආර්. ඒ. චන්ද්‍රරත්නට වධ හිංසා පමුණුවමින් සිදු කළ ශාරීරික හා මානසික හානිය මෙන්ම, ඒ හේතුවෙන් ඔහුගේ යුද්ධ හමුදා වෘත්තීය ජීවිතය අහිමි කිරීම මඟින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වැනි  වගන්තියෙන් තහවුරු කර ඇති 'වධහිංසා වලින් සහ කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැලකිලි වලින් නිදහස් වීමේ' මූලික අයිතිවාසිකම උල්ලංඝනය කිරීම වෙනුවෙන්, පළමු වගඋත්තර ලුතිනන් ආර්.ඒ.ආර්.ඊ. දම්රුවන් විසින් වින්දිත නිලධාරියා වෙත රුපියල් ලක්ෂ දෙකක (රු. 200,000.00) මුදලක් මුදල් ඇණවුමක් මාර්ගයෙන් ගෙවිය යුතුය.

2. තවද, කඳවුරු පරිශ්‍රය තුළදී අදාළ කනිෂ්ඨ නිලධාරියාට බලහත්කාරයෙන් කේක් අනුභව කිරීමට සැලැස්වීමේ සහ ඔහුට පහරදීමේ සිදුවීමට අනුබල දෙමින් කටයුතු කිරීම හරහා, වින්දිත ලුතිනන් ආර්. ඒ. චන්ද්‍රරත්නගේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වැනි වගන්තියෙන් තහවුරු කර ඇති 'වධ හිංසා වලින් සහ කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැලකිලිවලින් නිදහස් වීමේ' මූලික අයිතිවාසිකම උල්ලංඝනය කිරීම වෙනුවෙන්, දෙවන වගඋත්තර කපිතාන් බෝඹුවල විසින් වින්දිතයා වෙත රුපියල් ලක්ෂයක (රු. 100,000.00) මුදලක් මුදල් ඇණවුමක් මාර්ගයෙන් ගෙවිය යුතුය.

3. කඳවුරු පරිශ්‍රය තුළදී කනිෂ්ඨ නිලධාරියෙකුට බලහත්කාරයෙන් කේක් අනුභව කිරීමට සැලැස්වීම සහ ඔහුට පහරදීම සඳහා අනුබල දෙමින් කටයුතු කිරීම හරහා, වින්දිත ලුතිනන් ආර්. ඒ. චන්ද්‍රරත්නගේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන වගන්තියෙන් තහවුරු කර ඇති 'වධ හිංසා වලින් සහ කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැලකිලි වලින් නිදහස් වීමේ' මූලික අයිතිවාසිකම උල්ලංඝනය කිරීම වෙනුවෙන්, තෙවන වගඋත්තර ලුතිනන් පී.ඩී.එස්. ඩයස් විසින් ද වින්දිතයා වෙත රුපියල් ලක්ෂයක (රු. 100,000.00) මුදලක් මුදල් ඇණවුමක් මාර්ගයෙන් ගෙවිය යුතුය.

4. යුද්ධ හමුදාව තුළ කනිෂ්ඨ නිලධාරීන්ට එරෙහිව සිදුවන මෙවැනි හිංසනයන් සහ අමානුෂික හෝ අවමන් සහගත සැලකිලි අනාගතයේදී පුනරාවර්තනය වීම වළක්වා ගැනීම උදෙසා, යුද්ධ හමුදාපතිවරයා විසින් සියලුම රෙජිමේන්තු සහ හමුදා කඳවුරු ආවරණය වන පරිදි මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට පියවර ගත යුතුය.

5. මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂා කර වගඋත්තර නිලධාරීන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන මෙන්ම 1994 අංක 22 දරන වධ හිංසා පනත යටතේ සුදුසු පියවර පොලිස්පතිවරයා ගත යුතුය.

2026.11.19 දිනට පෙර මෙකී නිර්දේශ ක්‍රියාත්මක කර ඒ සම්බන්ධයෙන් වාර්තාවක් කොමිෂන් සභාවට ලැබීමට සලස්වන ලෙස 1996 අංක 21 දරණ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතේ 15 (7) වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව  වගඋත්තරකරුවන් වෙත දැනුම් දී තිබේ.

එසේම එකී නිර්දේශ ක්‍රියාත්මක කර ඉදිරිපත් කිරීමට නියමිත දින සිට සතියක කාලයක් තුළ මෙම නිර්දේශ ක්‍රියාත්මක වීම හෝ නොවීම සම්බන්ධව පැමිණිලිකරු විසින් ද කොමිෂන් සභාවට දැනුම්දිය යුතු වන අතර, එදිනට පෙර අදාළ දැනුම්දීම සිදු නොකරන්නේ නම් පසුව ඉදිරිපත් කරනු ලබන ඉල්ලීම් සම්බන්ධයෙන් සලකා නොබලන බව ද  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව 2026 සැප්තැම්බර් 28 වැනිදා  වැඩි දුරටත් දන්වා තිබේ.

වගඋත්තරකරුවන් විසින් ඉහත නිර්දේශ ක්‍රියාත්මක කර ඒ සම්බන්ධයෙන් අදාල කාල සීමාව තුලදී   ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත වාර්තාවක් ඉදිරිපත් කර තිබේදැයි දැන ගැනීමට අප දැරු උත්සාහය පළ දැරුවේ නැත.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...