The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

බොරුව රජයන සමාජයක ඉදිරි පැවැත්ම කෙබඳු විය හැකිද?

Nethmini

Nethmini

November 26, 2026 • 11:51 AM

බොරුව රජයන සමාජයක ඉදිරි පැවැත්ම කෙබඳු විය හැකිද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සත්‍යය සදාචාරයේ මූලික පදනමක් ලෙස පිළිගැනෙන බව අවිවාදිත ය.
  • එහෙත් වර්තමාන සමාජයේ ඇතැම් අවස්ථාවල බොරුව සාර්ථකත්වය කරා යන කෙටි කාලීන උපාය මාර්ගයක් බවට පත්ව තිබේ.
  • බොරුව යනු හුදෙක් සත්‍යයට පටහැනි ප්‍රකාශයක් පමණක් නොවේ.
  • සත්‍යය සඟවා තැබීම, අර්ධ සත්‍යයක් ඉදිරිපත් කිරීම, වැරදි අවබෝධයක් ඇති වන පරිදි තොරතුරු සැකසීම සහ නොමැති සාක්ෂි ඇති බව පෙන්වීම ද බොරුවේ බහුවිධ ස්වරූපයන් ය.
අකුරු ප්‍රමාණය (Font Size):

සත්‍යය සදාචාරයේ මූලික පදනමක් ලෙස පිළිගැනෙන බව අවිවාදිත ය. එහෙත් වර්තමාන සමාජයේ ඇතැම් අවස්ථාවල බොරුව සාර්ථකත්වය කරා යන කෙටි කාලීන උපාය මාර්ගයක් බවට පත්ව තිබේ. ඒ අනුව දේශපාලනය, වෙළෙඳ ප්‍රචාරණය, ව්‍යාපාරික කටයුතු සහ සමාජ මාධ්‍ය තුළ බොරුව විවිධ උපක්‍රම ඔස්සේ සංවිධානාත්මකව භාවිත වන ආකාරය දක්නට ලැබේ.

බොරුව යනු හුදෙක් සත්‍යයට පටහැනි ප්‍රකාශයක් පමණක් නොවේ. සත්‍යය සඟවා තැබීම, අර්ධ සත්‍යයක් ඉදිරිපත් කිරීම, වැරදි අවබෝධයක් ඇති වන පරිදි තොරතුරු සැකසීම සහ නොමැති සාක්ෂි ඇති බව පෙන්වීම ද බොරුවේ බහුවිධ ස්වරූපයන් ය.

විශ්වාසය බිඳ වැටීම සහ සදාචාරමය අගයන්

මිනිස් සමාජය තුළ විශ්වාසය ගොඩනැඟෙන්නේ සත්‍යය මත ය. පුද්ගලයකු තවත් පුද්ගලයකු කෙරෙහි විශ්වාසය තබන්නේ ඔහු පවසන දේ සත්‍යය යැයි පිළිගැනීමෙනි. පවුලක, ව්‍යාපාරයක, රාජ්‍ය ආයතනයක හෝ ජාතියක පැවැත්මට අවශ්‍ය මූලික සමාජ සම්බන්ධතාවක් වන්නේ ද එම විශ්වාසයයි. එය බිඳ වැටීම පවුල්, ප්‍රජා සේම සමාජමය වශයෙන් බරපතළ අගතියක් වෙත ඇදී යන්නකි.

එහෙත්, අද අපට පෙනෙන්නේ සත්‍යය පවසන පුද්ගලයාට වඩා, සත්‍යය තමන්ට වාසිදායක ලෙස හැඩගස්වා ඉදිරිපත් කරන පුද්ගලයා ඇතැම් අවස්ථාවල වැඩි සාර්ථකත්වයක් අත්කර ගන්නා බව ය. එසේ නම් බොරුවට සමාජයෙන් වැඩි අගැයුමක් ලැබෙන්නේ ද?

ලෝකයේ ප්‍රධාන ආගමික හා දාර්ශනික සම්ප්‍රදායන් බොහොමයක් සත්‍යවාදය උසස් සදාචාරාත්මක ගුණයක් ලෙස සලකයි. බුදුදහමේ පංචශීලය තුළ මුසාවාදයෙන් වැළකීම මූලික ශික්ෂාපදයක් ලෙස දැක්වේ. හින්දු සම්ප්‍රදායේ සත්‍යය, ක්‍රිස්තියානි ආගමේ අවංකභාවය සහ ඉස්ලාම් සම්ප්‍රදායේ සත්‍යවාදය ද වැදගත් සදාචාරාත්මක අගයන් ලෙස පිළිගැනේ.

සත්‍යය සදාචාරාත්මක වටිනාකමක් බවට පත්ව ඇත්තේ මිනිස් සමාජයේ විශ්වාසය රැකගැනීමට එය අත්‍යවශ්‍ය වූ නිසා ය. මිනිසුන් එකිනෙකා කෙරෙහි විශ්වාසය තබන්නේ නම් සහ එම විශ්වාසය කඩ නොකරන්නේ නම්, සමාජ සම්බන්ධතා වඩාත් ස්ථාවරව පවත්වාගෙන යා හැකි ය. එහෙත් සදාචාරාත්මකව ප්‍රතික්ෂේප කරන බොරුව, වර්තමාන වෙළෙඳ හා දේශපාලන ලෝකයේ ඇතැම් අවස්ථාවල ලාභය සහ බලය ලබාගැනීමේ උපක්‍රමයක් බවට පත්ව තිබේ.


සත්‍යය හා අසත්‍යය අතර සූක්ෂ්ම උපක්‍රම

බොරුව සෑම විටම “මෙය සත්‍යයකි” යනුවෙන් පවසන සෘජු අසත්‍ය ප්‍රකාශයක් ලෙස පැමිණෙන්නේ නැත. බොහෝ විට එය සත්‍යය හා අසත්‍යය අතර ඇති සීමාව තුළ ක්‍රියාත්මක වේ. එවැනි ක්‍රම කිහිපයක් හඳුනාගත හැකි ය.

1. තෝරාගත් සත්‍යය පමණක් ඉදිරිපත් කිරීම (Cherry-picking)

සම්පූර්ණ තොරතුරු සමූහයකින් තමන්ට වාසිදායක කොටස පමණක් තෝරාගෙන, එය සමස්ත තත්ත්වය නිරූපණය කරන ආකාරයෙන් ඉදිරිපත් කිරීම මෙහිදී සිදුවේ.


උදාහරණයක් ලෙස, කිසියම් දේශපාලනඥයකු “අපි අද වෙන කොට මේ රටේ සැලකිය යුතු කොටසක් ලක්ෂපතියන් කොට හමාරයි” යනුවෙන් කීවා යැයි සිතමු.

එහි සඳහන් කර ඇති කරුණ සංඛ්‍යාත්මකව සත්‍යයක් විය හැකි ය. වත්මන් සමාජයේ දිළිඳු බව තුළ සඟවා ඇති තොරතුරු නිසා සමස්ත අදහස වැරදි ලෙස අවබෝධ වේ. මෙය සත්‍යය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීමක් නොව, සත්‍යයේ කොටසක් භාවිත කරමින් වැරදි චිත්‍රයක් නිර්මාණය කිරීමකි.

2. හැඟීම් හසුරුවා තීරණ ගැනීමට බලපෑම් කිරීම (Emotional Manipulation)

මිනිසාගේ බිය, කෝපය, අනුකම්පාව හෝ ආශාව උද්දීපනය කර තීරණ ගැනීමට බලපෑම් කිරීම ද නොමඟ යැවීමේ උපක්‍රමයකි.

දේශපාලන ප්‍රචාරණයකදී තමන්ට ප්‍රතිවිරුද්ධ පුද්ගලයකු හෝ කණ්ඩායමක් පිළිබඳ බියක් ඇති කරමින්, සාක්ෂිවලට වඩා හැඟීම් මත තීරණ ගැනීමට ජනතාව යොමු කළ හැකි ය. වෙළෙඳ ප්‍රචාරණයකදී ද “මෙය දැන්ම මිලදී නොගත්තොත් ඔබට විශාල පාඩුවක් සිදුවේ” වැනි පණිවිඩ මඟින් හදිසි තීරණ ගැනීමට පෙළඹවිය හැකි ය.

හැඟීම් අවදි කිරීම සෑම විටම වැරදි නොවේ. එහෙත් සත්‍යය සඟවා හෝ වැරදි තොරතුරු මත හැඟීම් උද්දීපනය කරනු ලබන්නේ නම්, එය සදාචාරාත්මක ගැටලුවකි.

3. නැවත නැවත කියා බොරුව හුරුපුරුදු කිරීම (Illusory Truth Effect)

මනෝවිද්‍යාත්මක පර්යේෂණවලින් හඳුනාගෙන ඇති මෙම සංසිද්ධිය අනුව, යම් ප්‍රකාශයක් නැවත නැවත ඇසීමෙන් එය සත්‍යයක් ලෙස පිළිගැනීමේ ප්‍රවණතාව වැඩි විය හැකි ය.

ලොව ප්‍රමුඛතම මනෝවිද්‍යා ප්‍රකාශනයක් වන Current Opinion in Psychology සඟරාවේ 2024 වසරේ පළ වූ සමාලෝචනයක් ද නැවත නැවත ඉදිරිපත් කිරීම අසත්‍ය තොරතුරු පිළිබඳ විශ්වාසය වැඩි කළ හැකි බව පෙන්වා දෙයි. එහෙත් මෙයින් අදහස් වන්නේ බොරුවක් සිය වතාවක් ඇසූ පමණින් සෑම පුද්ගලයකුම එය සත්‍යයක් ලෙස පිළිගන්නා බව නොවේ. එය සිදුවිය හැකි මානසික ප්‍රවණතාවකි.

ප්‍රසිද්ධ හා සමාජ මාධ්‍ය තුළ එකම පුවත, එකම චෝදනාව හෝ එකම කටකතාව විවිධ ගිණුම්වලින් නැවත නැවත පළ වීම නිසා එය විශ්වාසදායක තොරතුරක් බවට හැඟීමක් අසන්නා තුළ ඇති විය හැකි ය.

4. අර්ධ සත්‍යය හා වැදගත් කරුණු සඟවා දැක්වීම (Half-truth & Misleading Omission)

යමකු කරන “මම ඒ මුදල් ගත්තේ නැහැ” යන ප්‍රකාශය සත්‍යයක් විය හැකි ය. එහෙත් එම මුදල් වෙනත් පුද්ගලයකු හරහා ලබාගත්තේ නම්, එම ප්‍රකාශය අසා සිටින පුද්ගලයාට වැරදි අදහසක් ඇති විය හැකි ය.

මෙහිදී බොරුව පවතින්නේ වචනවල පමණක් නොව, ඒවා ඉදිරිපත් කරන ආකාරයේ ය. සත්‍යය පවසන බව පෙන්වමින් වැදගත් තොරතුරක් සඟවා තැබීම ද සදාචාරාත්මකව ප්‍රශ්න කළ යුතු ක්‍රියාවකි.

5. ව්‍යාජ විශේෂඥභාවය පෙන්වීම (False Authority)

“විද්‍යාඥයන් පවසනවා”, “වෛද්‍යවරු අනුමත කර තිබෙනවා”, “ජාත්‍යන්තර පර්යේෂණයකින් ඔප්පු වී තිබෙනවා” වැනි ප්‍රකාශ ද අප සමාජයේ ඉදිරිපත් වන අතර ඒවාට අදාළ නිශ්චිත මූලාශ්‍රයක් තිබේදැයි විමසා බැලිය යුතු ය.

විශේෂඥයකුගේ නම, ආයතනයක් හෝ පර්යේෂණයක් සඳහන් කිරීම පමණක් ප්‍රකාශයක් සත්‍යයක් බවට පත් නොකරයි. විශේෂයෙන් සෞඛ්‍යය, ආහාර, ඖෂධ සහ ආයෝජන සම්බන්ධ ප්‍රචාරණවලදී මෙවැනි ව්‍යාජ බලය පෙන්වීම ජනතාවට හානිදායක විය හැකි ය.

6. තොරතුරු “ගංවතුරෙන්” සත්‍යය යටපත් කිරීම (Information Flooding)

සත්‍යය සඟවා තැබීම සඳහා සමහර විට බොරුවක් පමණක් නොව, එකිනෙකට පටහැනි තොරතුරු රැසක් එකවර ඉදිරිපත් කිරීම ද සිදු වේ.

එවිට ජනතාවට නිවැරදි තොරතුර කුමක්දැයි සොයාගැනීම අපහසු වේ. වැරදි ප්‍රකාශයක් නිවැරදි කිරීමට උත්සාහ කරන විට තවත් කටකතා දහයක් පැතිරී තිබිය හැකි ය.

මෙවැනි තත්ත්වයක් තුළ සත්‍යය හඳුනාගැනීමේ වගකීම ජනතාව මත පමණක් පැවරිය නොහැකි ය. තොරතුරු නිර්මාණය කරන මාධ්‍ය, දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන් සහ සමාජ මාධ්‍ය වේදිකා ද වගකීමෙන් ක්‍රියා කළ යුතු ය.

වෙළෙඳ ප්‍රචාරණය සහ පාරිභෝගික සබුද්ධිකතාව

වර්තමාන වෙළෙඳපොළ තුළ බොරුවේ වඩාත් සූක්ෂ්ම ස්වරූපයක් දැකිය හැකි ය. ඒ වෙළෙඳ ප්‍රචාරණයෙනි. මෙහිදී සෑම වෙළෙඳ ප්‍රචාරණයක්ම බොරුවක් යැයි අදහස් නොකෙරේ. භාණ්ඩයක හෝ සේවාවක ගුණාංග පිළිබඳ නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීම සාධාරණ වෙළෙඳ ක්‍රියාවකි. එහෙත් පාරිභෝගිකයා නොමඟ යවන ආකාරයෙන් මිල, ප්‍රමාණය, ගුණාත්මකභාවය හෝ වට්ටම් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීම වෙළෙඳ සදාචාරයට පටහැනි ය.

උදාහරණයක් ලෙස, රුපියල් 100කට අලෙවි කළ භාණ්ඩයක් රුපියල් 80කට අඩු කළ බවට විශාල ප්‍රචාරයක් ලබා දෙන අවස්ථාවක් ගැන සිතමු. පාරිභෝගිකයාට පෙනෙන්නේ රුපියල් 20ක ඉතිරියකි. එහෙත් එම භාණ්ඩයේ ඇසුරුමේ තිබූ ග්‍රෑම් 100ක ප්‍රමාණය ග්‍රෑම් 75 දක්වා අඩු කර තිබේ නම්, මිල අඩු කිරීමේ ප්‍රචාරය පමණක් බැලීමෙන් පාරිභෝගිකයාට සම්පූර්ණ තත්ත්වය අවබෝධ කරගත නොහැකි ය.

මෙවැනි තත්ත්වයක් හැඳින්වීමට ජාත්‍යන්තරව ප්‍රමාණය අඩු කර මිල පවත්වාගෙන යාම (Shrinkflation) යන යෙදුම භාවිත වේ. එහි අදහස වන්නේ භාණ්ඩයක මිල එලෙසම තබා හෝ සුළු වශයෙන් වෙනස් කර, එහි ප්‍රමාණය අඩු කිරීමෙන් ඒකකයකට ගෙවන මිල ඉහළ යාම යි.

ඇතැම් විට මිල අඩු කිරීමක් පෙන්වන අතරතුර භාණ්ඩයේ ප්‍රමාණය ද අඩු කර තිබිය හැකි ය. එවිට පාරිභෝගිකයාට ලැබෙන වාසිය පිළිබඳව ප්‍රචාරණයෙන් පමණක් තීරණය කළ නොහැකි ය.

භාණ්ඩයක මිල පමණක් නොව, එහි බර, ප්‍රමාණය, කල් ඉකුත් වන දිනය සහ ඒකකයක මිල ද සසඳා බැලීම වැදගත් වන්නේ ඒ නිසා ය. ඒ සඳහා පාරිභෝගික සබුද්ධිකතාව (Consumer Awareness) ඉතා වැදගත් වේ. මෙහිදී ප්‍රශ්නය වන්නේ මිල අඩු කිරීම නොව, පාරිභෝගිකයාට සම්පූර්ණ තොරතුරු නොදීමෙන් වාසියක් ලබාගැනීමට උත්සාහ කිරීම ය.

එදිනෙදා ජීවිතයේ විශ්වාසය පළුදු වන හැටි

බොරුවේ ස්වභාවය හඳුනාගැනීමට එදිනෙදා ජීවිතයේ සිදුවන සරල උදාහරණයක් ප්‍රමාණවත් ය.

යම් පුද්ගලයකු තවත් අයකුගෙන් රුපියල් ලක්ෂයක මුදලක් ණයට ඉල්ලා සිටින බව සිතමු. ණය දෙන පුද්ගලයාට ඇති ප්‍රධාන සැකය වන්නේ එම මුදල නැවත ලැබේද යන්න යි.

ණය ඉල්ලන පුද්ගලයා මුලින්ම ලබන මාසයේ 30 වැනිදා මුදල ආපසු ගෙවන බව පවසයි. පසුව 30 වැනිදා නොව 15 වැනිදා ගෙවිය හැකි බව කියයි. නැවතත් 15 වැනිදා නොව 19 වැනිදා අනිවාර්යයෙන්ම ගෙවන බව පවසයි.

මෙහිදී ණය දෙන පුද්ගලයාගේ අවධානය මුදල ආපසු ලැබේද යන ප්‍රශ්නයෙන් ගෙවන දිනය පිළිබඳ අවධානයකට මාරු වේ. දින වෙනස් කිරීම සහ නැවත නැවත සහතික කිරීම නිසා ණය ඉල්ලන පුද්ගලයාගේ ප්‍රකාශය තුළ කිසියම් සත්‍යයක් ඇතැයි ඔහුට හැඟෙන්නට පුළුවන.

එහෙත් ණය ගෙවීමේ සැබෑ අරමුණක් හෝ හැකියාවක් නොමැති නම්, මෙය හුදෙක් කාලය දිනාගැනීමේ රැවටිලිකාර උපක්‍රමයකි.

මෙවැනි බොරුවකින් තාවකාලිකව මුදල් ලබාගත හැකි වුවද, අවසානයේ සිදුවන්නේ විශ්වාසය බිඳ වැටීම යි. මුදල නැවත නොලැබීමේ පාඩුවට අමතරව, ණය දුන් පුද්ගලයාගේ මානසික පීඩනය, පවුල් සබඳතා බිඳවැටීම සහ අනාගතයේදී අවශ්‍ය අවස්ථාවකදී පවා උදව් ලබාගැනීමට නොහැකි වීම වැනි ප්‍රතිවිපාක ඇති විය හැකි ය. මෙයින් පැහැදිලි වන්නේ බොරුවෙන් තාවකාලිකව විශ්වාසයක් ඇති කළ හැකි නමුත්, එම විශ්වාසය සත්‍යය මත පදනම් වූ එකක් නොවන බව ය.

වෙළෙඳපොළ තරගය, සමාජ මාධ්‍ය සහ තාවකාලික ජයග්‍රහණ

නව ලිබරල්වාදය (Neoliberalism) යනු වෙළෙඳපොළ තරගය, පෞද්ගලික ව්‍යාපාර, නිදහස් වෙළෙඳාම සහ රාජ්‍යයේ ආර්ථික මැදිහත්වීම සීමා කිරීම වැනි අදහස් සමඟ සම්බන්ධ දේශපාලන හා ආර්ථික ප්‍රවේශයකි.

මෙම සංකල්පය තුළ බොරුව අනිවාර්යයෙන්ම අගය කරන බව පැවසීම නිවැරදි නොවේ. එහෙත් තරගකාරී වෙළෙඳපොළක ලාභය, වෙළෙඳ නාමයේ ජනප්‍රියත්වය සහ පාරිභෝගික අවධානය ලබාගැනීම ඉහළින් සලකන විට, සදාචාරයට වඩා ප්‍රතිඵලය වැදගත් කරගන්නා අවස්ථා ඇති විය හැකි ය.

එවැනි පසුබිමක සත්‍යය සම්පූර්ණයෙන්ම ඉදිරිපත් කිරීම වෙනුවට, සත්‍යයේ තමන්ට වාසිදායක කොටස පමණක් ඉදිරිපත් කිරීම වෙළෙඳ උපක්‍රමයක් ලෙස භාවිත විය හැකි ය.

එහෙත් මෙය නව ලිබරල්වාදයට පමණක් සීමා වූ සංසිද්ධියක් නොවේ. ඉතිහාසය පුරා බලය, ධනය සහ දේශපාලන වාසි ලබාගැනීම සඳහා බොරුව භාවිත කර තිබේ. අද වෙනස වන්නේ තාක්ෂණය, සන්නිවේදන ජාල සහ සමාජ මාධ්‍ය නිසා එය ඉතා වේගයෙන් හා විශාල පිරිසක් වෙත පැතිරවීමට හැකි වීම යි.

සමාජ මාධ්‍ය තුළ අසත්‍ය තොරතුරු වේගයෙන් පැතිර යාමට හේතුව ඒවා සත්‍යය බවට පත්වීම නොව, ඒවාට ලැබෙන අවධානය, නැවත බෙදාහැරීම සහ ඇතැම් විට ඒවා නිර්මාණය කරන පුද්ගලයන්ගේ අරමුණු ය.

කෙටි කාලීනව බොරුවෙන් වාසි ලබාගත හැකි අවස්ථා තිබේ. බොරු ප්‍රචාරයකින් භාණ්ඩයක් අලෙවි කළ හැකි ය. වැරදි පොරොන්දුවකින් ඡන්ද ලබාගත හැකි ය. අර්ධ සත්‍යයකින් ව්‍යාපාරික ගනුදෙනුවක් තමන්ට වාසිදායක කරගත හැකි ය. එහෙත් එවැනි ජයග්‍රහණයක් දිගුකාලීනව පවත්වාගෙන යා හැකිද යන්න වෙනම ප්‍රශ්නයකි.

විශ්වාසය බිඳ වැටුණු පසු එය නැවත ගොඩනැඟීම පහසු නැත. පාරිභෝගිකයා එක් වෙළෙඳ නාමයක් කෙරෙහි විශ්වාසය නැති කරගත් පසු වෙනත් වෙළෙඳ නාමයක් තෝරාගත හැකි ය. ජනතාව දේශපාලනඥයකුගේ පොරොන්දු විශ්වාස නොකරන තත්ත්වයකට පත් වූ පසු, ඔහුගේ සත්‍ය ප්‍රකාශ පවා සැකයට ලක් විය හැකි ය.

මෙහිදී වැදගත් වන්නේ පුද්ගලයකුගේ සාර්ථකත්වය මැනීමේදී භාවිත කරන නිර්ණායකය යි. වැඩි මුදලක් උපයාගැනීම, වැඩි ජනප්‍රියත්වයක් ලබාගැනීම හෝ තරගකරුවකු පරාජය කිරීම පමණක් සාර්ථකත්වයේ සම්පූර්ණ අර්ථය නොවේ.

සත්‍යය සඟවා ලබාගත් ජයග්‍රහණයක්, එය හෙළි වූ පසු විශාල පාඩුවක් බවට පත්විය හැකි ය. එබැවින් බොරුවෙන් ලැබෙන වාසිය බොහෝ විට තාවකාලික වන අතර, එහි ප්‍රතිවිපාක දිගුකාලීන විය හැකි ය.

බොරුවෙන් ආරක්ෂා වීමට තොරතුරු සාක්ෂරතාව

බොරුවෙන් ආරක්ෂා වීමට සෑම ප්‍රකාශයක්ම සැක කිරීම අවශ්‍ය නැත. එහෙත් විශේෂයෙන් අපට මුදල්, සෞඛ්‍යය, දේශපාලන තීරණ හෝ සමාජ සබඳතා සම්බන්ධයෙන් බලපෑමක් ඇති කරන තොරතුරු පිළිබඳව විමසිලිමත් වීම වැදගත් ය.

තොරතුරක් ලැබුණු විට ප්‍රශ්න කිහිපයක් ඇසිය හැකි ය.

| මෙම තොරතුරේ මූලාශ්‍රය කුමක්ද?
| එයට අදාළ සාක්ෂි තිබේද?
| සම්පූර්ණ තොරතුරු ඉදිරිපත් කර තිබේද, නැතහොත් වාසිදායක කොටස පමණක් තෝරාගෙන තිබේද?
| මෙම ප්‍රකාශයෙන් ප්‍රයෝජන ලබන්නේ කවුද?
| වෙනත් විශ්වාසදායක මූලාශ්‍රයකින් මෙය තහවුරු කරගත හැකිද?

මෙවැනි විමසීම් මඟින් බොරුවට හසු වීමේ අවදානම අඩු කරගත හැකි ය.

විශේෂයෙන් සමාජ මාධ්‍ය තුළ පළවන පුවතක් දැකීමෙන් පසු එය වහාම බෙදාහැරීම වෙනුවට, එහි මූලාශ්‍රය සහ සත්‍යතාව පරීක්ෂා කිරීම වැදගත් ය. නැවත නැවත පළ වූ පමණින් යම් තොරතුරක් සත්‍යයක් බවට පත් නොවේ.

තොරතුරු විමර්ශනය කිරීමේදී තොරතුරු සාක්ෂරතාව (Information Literacy) සහ විවේචනාත්මක චින්තනය (Critical Thinking) යන හැකියාවන් වැදගත් වේ. 
තොරතුරු සාක්ෂරතාව යනු තොරතුරු සොයාගැනීමට, ඒවායේ විශ්වසනීයත්වය ඇගයීමට සහ නිවැරදිව භාවිත කිරීමට ඇති හැකියාව යි. විවේචනාත්මක චින්තනය යනු යම් අදහසක් හෝ ප්‍රකාශයක් සාක්ෂි මත විමසා බලා තීරණයකට එළඹීම යි.

එම හැකියාවන් වර්ධනය කරගත් සමාජයක බොරුවට පහසුවෙන් අගැයුමක් ලබාගත නොහැකි ය.

ගොබෙල්ස් න්‍යාය සහ ඉතිහාසයේ අඳුරු පාඩම

වර්තමාන දේශපාලන සංස්කෘතිය තුළ ද බොරුවට වැඩි අගැයුමක් ලැබෙන බව පෙනෙන අවස්ථා තිබේ. එහෙත් එය සමාජය බොරුව සදාචාරාත්මකව පිළිගෙන ඇති බවට සාක්ෂියක් නොවේ. බොහෝ විට අප අගය කරන්නේ බොරුව නොව, එයින් ලබාගත් බව පෙනෙන සාර්ථකත්වය යි.

බොරුවෙන් මුදල් උපයාගත් පුද්ගලයාට සමාජයේ ප්‍රශංසාව ලැබිය හැකි ය. බොරු පොරොන්දු දුන් දේශපාලනඥයකුට තාවකාලික ජනප්‍රියත්වයක් ලැබිය හැකි ය. එහෙත් එම ජනප්‍රියත්වය සත්‍යය මත ගොඩනැඟුණු විශ්වාසයක් නොවේ.

ජෝසප් ගොබෙල්ස්ගේ

මේ සඳහා ඉදිරිපත් කළ හැකි හොඳම සාක්ෂියක් වනුයේ ලෝක දේශපාලනයේ ප්‍රකට ගොබෙල්ස් න්‍යාය නම් සංසිද්ධිය යි. “බොරුවක් සිය වතාවක් කීවොත් එය සත්‍යයක් ලෙස ජනතාව පිළිගනී” යනුවෙන් හැඳින්වෙන මෙම අදහස, දෙවැනි ලෝක යුද්ධ සමයේ ජර්මනියේ නාසි පාලනයේ ප්‍රචාරක අමාත්‍යවරයා වූ ජෝසප් ගොබෙල්ස්ගේ ප්‍රචාරක උපක්‍රමය මුල් කොට ගොඩනැඟුණු එකක් ලෙස සැලකේ. එමගින් නැවත නැවත කියන අසත්‍යයක් මඟින් මුළු ජාතියක්ම නොමඟ යවා, අවසානයේ ලෝක විනාශකාරීම යුද්ධයකටත්, මිනිස් සංහාරයකටත් මඟ පෑදූ බව ඉතිහාසය සනාථ කොට හමාර ය. ඒ අනුව ගොබෙල්ස් න්‍යාය ලොව විනාශකාරීම දේශපාලන න්‍යායක් බව පැහැදිලි ය. එම අඳුරු අතීත ඉතිහාස කතාව අප කෙසේවත් වර්තමානයට හෝ ශ්‍රී ලංකාවට ආදර්ශයට ගත යුතු නැත.


මූලාශ්‍රය :

විනිවිද (vinivida.lk) - මුල් ලිපිය

ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

හිටපු මානව විද්‍යා මහාචාර්ය

ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතා ශ්‍රී ලාංකීය මානව විද්‍යා ක්ෂේත්‍රයේ විද්වතෙකු, ලේඛකයෙකු, ගීත රචකයෙකු සහ සාහිත්‍යවේදියෙකු ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ ප්‍රවීණයෙකි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්යවරයෙකු ලෙසද කටයුතු කර ඇති ඔහු, ශ්‍රී ලාංකීය ජන සංස්කෘතිය, සමාජය හා කලාව පිළිබඳ සිය ශාස්ත්‍රීය දැනුම සහ නිර්මාණාත්මක දායකත්වය ඔස්සේ ප්‍රකට වී ඇත.

View all stories by ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...