The Leader News
BREAKING
Top Ad
පුවත්

සජිත්ගෙන් ‘දරුවන්ට කෝටියක්’ - පාසල් 36කට සුහුරු පුවරු

Nethmini

Nethmini

November 26, 2026 • 12:12 PM

සජිත්ගෙන් ‘දරුවන්ට කෝටියක්’ - පාසල් 36කට සුහුරු පුවරු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තමන්ට ලබාදෙන රුපියල් කෝටියක විමධ්‍යගත මුදල් යොදාගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අත්‍යවශ්‍ය සුහුරු පුවරු (Smart Boards) පරිත්‍යාග කිරීමේ නව වැඩසටහනක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (25) ආරම්භ කළා.
  • ඔහු එය නම් කර ඇත්තේ ‘දරුවන්ට කෝටියක්’ ලෙසිනුයි.
  • හෝමාගම සුනිල් පෙරුම්බුලි ශාලාවේ පැවති එම උත්සවයේදී හෝමාගම අධ්‍යාපන කලාපයේ පාසල් 8ක් සඳහා ස්මාට් බෝඩ්ස් පිරිනැමීම සිදු කෙරුණා.
  • ඒ අනුව මේ වසරේ විමධ්‍යගත මුදලින් හෝමාගම, පිළියන්දල, ජයවර්ධනපුර සහ කොළඹ අධ්‍යාපන කලාපවල පාසල් 36ක් සඳහා ස්මාට් බෝඩ්ස් ලබාදීමට නියමිතයි.
අකුරු ප්‍රමාණය (Font Size):

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තමන්ට ලබාදෙන රුපියල් කෝටියක විමධ්‍යගත මුදල් යොදාගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අත්‍යවශ්‍ය සුහුරු පුවරු (Smart Boards) පරිත්‍යාග කිරීමේ නව වැඩසටහනක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (25) ආරම්භ කළා.

ඔහු එය නම් කර ඇත්තේ ‘දරුවන්ට කෝටියක්’ ලෙසිනුයි.

හෝමාගම සුනිල් පෙරුම්බුලි ශාලාවේ පැවති එම උත්සවයේදී හෝමාගම අධ්‍යාපන කලාපයේ පාසල් 8ක් සඳහා ස්මාට් බෝඩ්ස් පිරිනැමීම සිදු කෙරුණා.

ඒ අනුව මේ වසරේ විමධ්‍යගත මුදලින් හෝමාගම, පිළියන්දල, ජයවර්ධනපුර සහ කොළඹ අධ්‍යාපන කලාපවල පාසල් 36ක් සඳහා ස්මාට් බෝඩ්ස් ලබාදීමට නියමිතයි.

2027 වසරේ කෝටියත් දරුවන්ගේ අධ්‍යාපනයට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට විමධ්‍යගත මුදල් ලබාදීමේ අරමුණ රටට අගයක් එකතු කරන ව්‍යාපෘති දියත් කිරීම බව පෙන්වා දුන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, රටේ බදු ගෙවන ජනතාව සතු මෙම රුපියල් කෝටියක මුදල රටේ දරුවන්ගේ අධ්‍යාපන සංවර්ධනය සඳහා යෙදවීමට තමන් අදහස් කළ බවද අවධාරණය කළා.

2027 වසර සඳහා ලැබෙන රුපියල් කෝටියක මුදලද මේ අයුරින්ම රටේ දරුවන්ගේ අධ්‍යාපන සංවර්ධනය සඳහා යොදවන බවද සජිත් ප්‍රේමදාස කියා සිටියා.

නූතන අධ්‍යාපනයේ 4Cs සංකල්පය සහ සිසු කේන්ද්‍රීය අධ්‍යාපනය

“ලෝකයේ අධ්‍යාපනය තාක්ෂණ අතින් වේගයෙන් ඉදිරියට යද්දී, අපි බලන්නට ඕන අපේ අධ්‍යාපන ක්‍රමයත් අතීතවාදී ඉල්ලීමට හැඩගස්සනවද, එහෙමත් නැත්නම් අනාගතවාදී විදිහට දියුණු කරනවද කියන කාරණාව. විශේෂයෙන්ම විභාග ක්‍රමය ඇතුළේ ලකුණු ලබාගැනීම වැදගත්, එයිනුත් ඉහළ ලකුණු ලබාගැනීම ගොඩක් වැදගත්. හැබැයි, ලෝකය ජය ගන්නට ඒක ප්‍රමාණවත්ද? නැහැ.

විශේෂයෙන්ම නූතන අධ්‍යාපනයේ ප්‍රධාන සංකල්ප හතරක් තිබෙනවා. ඒක හඳුන්වන්නේ 4Cs කියලා. Critical Thinking - විචාරශීලීව සිතීම, Creativity - නිර්මාණශීලීත්වය, Communication - සන්නිවේදන හැකියාව, Collaboration - අන් අය සමඟ එකට එකතුවී කටයුතු කිරීම. ඉතිං අපේ දරුවන් ප්‍රශ්නවලට උත්තර මොනවද කියලා මතක තබා ගන්නවාට වඩා වැදගත් වෙන්නේ, ඒ අය නිවැරදි ප්‍රශ්න අසන්නන් වීම.

තොරතුරු ලබාගැනීම පමණක් නොවෙයි, ඒ තොරතුරු ලබාගෙන ඒවා අධ්‍යයනය කරන්නත් ඕන, විශ්ලේෂණය කරන්නත් ඕන, සත්‍යතාව පරීක්ෂා කරන්නත් ඕන. දැනුම භාවිතා කරලා ගැටලුවලට විසඳුම් ලබාගන්නත් ඕන. ඇත්තටම අධ්‍යාපනයේ ඉදිරි පිම්මක් ගන්න නම්, ගුරුවරයා කේන්ද්‍රීය අධ්‍යාපනයෙන් ඔබ්බට ගිහිල්ලා සිසු දරුවා කේන්ද්‍ර කරගත් අධ්‍යාපනයකට යොමු වෙන්න ඕන. ලෝකයේ අධ්‍යාපන දියුණුව ලබපු රටවල්වල විශේෂයෙන්ම අනුගමනය කරන්නේ එන්න ඒ Student-Centered Education සංකල්පය.”

කෘත්‍රිම බුද්ධියට ගුරුවරයාගේ තැන ගත නොහැකියි

අධ්‍යාපන පරිවර්තනයේ කේන්ද්‍රස්ථානය ගුරුවරයා බවත්, ස්මාට් තිරයකට හෝ කෘත්‍රිම බුද්ධියට ගුරුවරයාගේ කාර්යභාරය ඉටු කිරීමට නොහැකි බව පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස අවධාරණය කළේ, ගුරුවරයා යනු උපදේශකයෙක්, මඟ පෙන්වන්නෙක්, නායකත්වය පිළිබඳව අවබෝධයක් ලබාදෙන්නෙක් බවයි.

ඒ හේතුවෙන් කවර තාක්ෂණයකට වුවද, ගුරුවරයාගේ කාර්යභාරය ඉටුකළ නොහැකි බවත්, නවීන අධ්‍යාපනය දරුවන්ට ලබාදීමේදී ගුරුවරයා සමඟ තාක්ෂණය සම්බන්ධ කළ යුතු බවත්, ඊට ඔවුන් පුහුණු කළ යුතු බවත් ඔහු කියා සිටියා.

ගිරා පෝතක අධ්‍යාපනයෙන් ඔබ්බට ඩිජිටල් පන්තිකාමරයක්

“ඔබ හිතනවද දරුවෙකුගේ සම්පූර්ණ හැකියාව පැය තුන හතරක විභාගයකින් අපිට මනින්න පුළුවන් කියලා? විවිධ දරුවන්ට තියෙනවා විවිධ හැකියාවන්. සමහරු ගණිතයට දක්ෂයි, තවත් කෙනෙක් විද්‍යාවට දක්ෂයි, ක්‍රීඩා කුසලතාව තියෙන දරුවෝ ඉන්නවා, ඒ වගේම තාක්ෂණය, නායකත්වය ආදී විවිධ දක්ෂතාවලින් හෙබි දරු පරපුරක් අපිට ඉන්නවා. ඒත් පැය තුන හතරක විභාගයකින්, ඒ දරුවන්ගේ දක්ෂතා මනින්න අපිට බෑ.

මම හිතන්නේ කටපාඩම් කරන Rote learning, ගිරා පෝතක අධ්‍යාපන ක්‍රමයක් දරුවෙකුගේ උගත්කම, බුද්ධිය මනින්න හොඳම ක්‍රමවේදයක් නෙමෙයි කියලා. ඒ වගේම ඩිජිටල් ස්මාර්ට් බෝඩ් එකක් ලබා දුන් පමණින් එක්වරම අධ්‍යාපනයේ පරිවර්තනාත්මක වෙනසක් සිදුවෙන්නේ නෑ, ඒත් අපි බලාපොරොත්තු වෙන පරිවර්තනාත්මක වෙනස වෙනුවෙන් මේක පළවෙනි පියවර විය යුතුයි. ඇත්ත වශයෙන්ම මේ සංකල්පය Digital educational ecosystem (ඩිජිටල් අධ්‍යාපන පද්ධතියක්) නිර්මාණය කිරීමයි.”

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස පෙන්වා දුන්නේ, පන්ති කාමරයකට ස්මාර්ට් තිරයක් ලැබීම හරහා එය Smart Classroom (සුහුරු පන්තිකාමරයක්) බවට පරිවර්තනය කිරීමේ මූලික පියවර තැබීමට හැකි වන බවයි. එවිට කළු ලෑල්ල වෙනුවට ඩිජිටල් තිරයක් හරහා අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළට නැංවීමට හැකිවන බවද ඔහු කියා සිටියා.

දෘශ්‍යමය අත්දැකීම් හරහා ලෝකය දකින දරුවන්


“විශේෂයෙන්ම පුංචි උදාහරණයක් කිව්වොත්, විද්‍යාව ඉගෙන ගන්න ශිෂ්‍යයාට මිනිස් සිරුරේ ක්‍රියාකාරීත්වය ගැන ත්‍රිමාණ රූප හරහා අවබෝධයක් ලබාගන්න අවශ්‍ය නම් මේ ඔස්සේ ඒකට හැකියාව උදාවෙනවා. තව භූගෝල විද්‍යාව ඉගෙන ගන්න දරුවෙකුට ලෝකයේ සාගර, ගිනිකඳු, වනාන්තර, පරිසර පද්ධති ගැන මේ ස්මාට් බෝඩ් එක හරහා දෘශ්‍යමය අත්දැකීම් (Visual experience) ලබාගන්නත් පුළුවන්. ඇහැට පෙනෙන අත්දැකීම් ලබාගැනීම වැදගත්.

ඒ වගේම ඩිජිටල් සබඳතා තුළ විවිධ රටවල්වල විද්‍යාඥයින්, පර්යේෂකයන්, විශේෂඥයින්, අධ්‍යාපන ආයතනවල බොහෝ දෙනාගේ පර්යේෂණත් අධ්‍යයනය කරන්න අවස්ථාව සලසා ගන්න පුළුවන්. ඩිජිටල් තාක්ෂණය ඔස්සේ අවශ්‍ය දැනුම සහිත විද්වතුන් සම්බන්ධ කරගෙන ඒ අයගේ දැනුම සහ අත්දැකීම් බෙදා හදා ගන්නත් පහසුකම් මේ හරහා සලසා ගන්න පුළුවන්. මම මේ කිව්වේ මේ ස්මාර්ට් බෝඩ් එක හරහා දරුවන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මක බව ඉහළ නංවා ගන්න පුළුවන් ප්‍රතිලාභ කිහිපයක් විතරයි.”

රට පුංචි වුණත් සිහින විශාල කරගන්න

සජිත් ප්‍රේමදාස මෙහිදී දරුවන්ගෙන් ඉල්ලීමක් ද කළා.

“හැම තිස්සෙම ලොකුවට හිතන්න. අපේ රට පුංචි වුණාට අපේ සිහින විශාල කරගන්න. හැම තිස්සෙම තාක්ෂණික දැනුම වර්ධනය කරගන්න. ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරන්න, ඒ වගේම වැඩිම වෙළෙඳපොළක් තියෙන රටවල් විදිහට ඉන්දියාව, චීනය, ජපානය වගේ රටවල්වල භාවිතා කරන භාෂාවත් තෙවෙනි භාෂාවක් විදිහට ඉගෙන ගන්න. ඒක ලෝකය දිනන්න වැදගත් වේවි. හැම තිස්සෙම දැනුමෙන් පොහොසත් වෙන්න, එතකොට මුදලින් පොහොසත් වෙන එකත් පහසු වේවි. ඒ ගමනේදී මානව ගුණධර්ම, විනය, මනුස්සකම ආරක්ෂා කරගන්න,” යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහිදී අවධාරණය කළා.

මේ ‘දරුවන්ට කෝටියක්’ සමාරම්භක අවස්ථාවට හෝමාගම සජබ සංවිධායක නීතිඥ එරන්ද වැලිඅංගගේ, අවිස්සාවේල්ල සංවිධායක නීතිඥ සුදත් වික්‍රමරත්න යන මහත්වරුන්, පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ හෝමාගම කලාපයේ පාසල් අටේ විදුහල්පතිවරු, සිසු දරුවන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...