The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පනාමුරේ කතාව (21 කොටස) : කුඹුස්ස සොහොන් බිම | ඉන්දු පෙරේරා

Nethmini

Nethmini

November 27, 2026 • 2:02 PM

පනාමුරේ කතාව (21 කොටස) : කුඹුස්ස සොහොන් බිම | ඉන්දු පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇඹිලිපිටිය සූරියකන්ද ප්‍රධාන පාරේ මඩුවන්වෙල වලව්ව ඉදිරිපිටින් එම පාරේ විරුද්ධ දෙසට වැටුණු අතුරු පාරක් ඇත.
  • එම වැවත් පසුකරගෙන යනවිට දෙදරන්ගමුව නමින් ගම්මානයක් ඇත.
  • මඩුවන්වෙල වලව්වේ සිට මෙම සුසාන භූමිය පිහිටි ප්‍රදේශයට කිලෝමීටරයක පමණ දුරක් ඇත.
  • කඩා විනාශ කරන ලද සොහොන් දෙකක සිහිවටන පුවරුවලින් එකක් එම ස්ථානයේත්, අනෙක මඩුවන්වෙල වලව්වේත් තබා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
ඇඹිලිපිටිය සූරියකන්ද ප්‍රධාන පාරේ මඩුවන්වෙල වලව්ව ඉදිරිපිටින් එම පාරේ විරුද්ධ දෙසට වැටුණු අතුරු පාරක් ඇත. එහි තරමක් දුර යනවිට මඩුවන්වෙල වැව හමු වේ. එම වැවත් පසුකරගෙන යනවිට දෙදරන්ගමුව නමින් ගම්මානයක් ඇත. මේ ප්‍රදේශ එකල මඩුවන්වෙල දිසාවේ සතු නින්දගම් ය. දෙදරන්ගමුවෙහි කුඹුස්ස සොහොන් බිම නමින් පවුලේ සුසාන භූමියක් තිබේ. ඒ මඩුවන්වෙල පවුලේ සුසාන භූමිය යි. මඩුවන්වෙල වලව්වේ සිට මෙම සුසාන භූමිය පිහිටි ප්‍රදේශයට කිලෝමීටරයක පමණ දුරක් ඇත.
         
වර්තමානය වනවිටත් එහි ස්මාරක තුනක් දැක ගත හැකි අතර තවත් ස්මාරක කිහිපයක් කඩා දමා තිබේ. කඩා විනාශ කරන ලද සොහොන් දෙකක සිහිවටන පුවරුවලින් එකක් එම ස්ථානයේත්, අනෙක මඩුවන්වෙල වලව්වේත් තබා ඇත. මේ හැර තවත් සිහිවටන පුවරු තිබී ඒවා මේ වනවිට විනාශ වී ඇති බව සැලකේ. 
         
මෙහි එක් සිහිවටන පුවරුවක මෙ⁣වැනි සඳහනක් ඇත.
         
"මෙය නැසී ගිය කලවානේ මඩුවන්වෙල කුමාරිහාමින්නාන්සේලාගේ මලයා වන කලවානේ රටේ මහත්මයා විසින් කරවන ලදී."
එහි මියගිය අයගේ නම සහ මියගිය දිනය සඳහන් ඵලකය අනෙක් පැත්තේ තිබුණද, එහි විස්තර සඳහන් කොටස සම්පූර්ණයෙන් කඩා විනාශ කර තිබේ. නමුත් එහි තිබෙන විස්තරවලට අනුව එය කලවානේ කුමාරිහාමිගේ බවට විශ්වාස කළ හැකියැයි මේ පිළිබඳව ගවේෂණය කළ හිටපු පුරාවිද්‍යා ක්ෂේත්‍ර නිලධාරී ජයන්ත විජේරත්න මහතා පවසයි.
         
දෙවැනි සොහොනේ ඇති සිහිවටන ඵලකයේ ද අක්ෂර විනාශ වී ඇත. නමුත් යම් පමණකට කියවා ගත හැකිය. එහි මෙලෙස සඳහන් ව තිබේ.
         
"නවරත්න වික්‍රමසිංහ සමරකෝන් පණ්ඩිත මුදියන්සේ රාලහාමිලගේ............ කුමාරිහාමින්නාන්සේ වර්ෂ 1928 දෙසැම්බ්‍ර මස 23 වන දින උදේ එකොලහට මනුලොව හැර සුරපුරම යන්ට යෙදුනාය"
         
මෙම වාසගමෙන් හඳුන්වන්නේ කලවානේ රටේ මහත්තයාගේ බිරිඳ වූ දූල්ලෑවේ කුමාරිහාමි ය. 
     
තුන්වැනි සොහොන් ඵලකයේ "ඕමත්තේ තිලකරත්න මුදියන්සේ රාලහාමිලාගේ කලවානේ පුංචි බණ්ඩාර මහත්මයා වර්ෂ 1911 මැයි මස 06 දින කාලක්‍රියා ක⁣ළේය" යනුවෙන් දැක්වෙයි.   
     
මෙම විස්තරය ගැටලු සහගත ය. මේ නමින් හඳුන්වන්නේ කලවානේ කුමාරිහාමිගේ බාල සොහොයුරා ය. මඩුවන්වෙල දිසාවේට ඉතා හිතවත්ව කටයුතු කළ ඔහුට දිසාවේ විසින් කොලොන්නේ වලව්වක් ද සාදා දී පදිංචි කරවාගෙන තිබිණි. බොහෝ තොරතුරුවලට අනුව ඔහු මියගොස් ඇත්තේ දිසාවේ මියගොස් සෑහෙන කලකට පසුවය. ඒ අනුව 1911 දී මිය ගිය රටේ මහත්මයා කලවානේ වෙනත් කෙනෙකු විය හැකිය. නැතහොත් සිහිවටන පුවරුවේ ඇති දින වකවානුවල වරදක් තිබෙනු ඇත.
       
මේ පිළිබඳ තොරතුරු ගවේෂණය කළ ජයන්ත විජේරත්න මහතා සිය "රත්නපුර දිස්ත්‍රික්කයේ වලව් පෙළපත් කිහිපයක්" ග්‍රන්ථයෙහි මෙලෙස දක්වයි. 
       
 "මේ ගැන කරුණු විමසීමේදී අනාවරණය වූයේ කලවානේ කුමාරිහාමිගේ සොහොයුරන් දෙදෙනෙකුම මඩුවන්වෙලට පැමිණ රාජකාරියේ යෙදී ඇති බවයි. කලවානෙන් ප්‍රථමයෙන්ම පැමිණි පුංචි බණ්ඩාර අලියෙකුගේ ප්‍රහාරයෙන් 1911 දී මියගිය නිසා ඔහුගේ මරණයෙන් පසුව, ඔහුගේ බාල සොහොයුරාද මෙහි පැමිණ සිය මස්සිනාවූ මඩුවන්වෙල රටේ මහතාට සහයෝගය ලබා දී ඇත. ඒ අනුව මෙහි කලවානේ රටේ මහතුන් දෙදෙනෙකු ගැන සඳහන් වේ. ප්‍රදේශවාසීන් ඔහු හඳුන්වා ඇත්තේ "තට්ට බණ්ඩාර හාමුදුරුවෝ" නමින් ය."
 පුංචි බණ්ඩා කලවාන රටේ මහත්තයාගේ පුතා වන විලී මඩුවන්වෙල (විලී කලවාන වූ ඔහු පසුව මඩුවන්වෙල නාමය රැගෙන ඇත.) ද මඩුවන්වෙල නින්ද ගමෙහි සේවය කර ඇත.
     
කුඹුස්ස සොහොන් බිමෙහි පවතින තවත් සොහොන් ඵලකයක මෙවැනි සඳහනක් ඇත. 
       
"එක්නැලිගොඩ මහීපාල කුරුප්පු වික්‍රමසිංහ බොල්තුඹා දේවාලයේ බස්නායක මැතිතුමා ශක වර්ෂ 1798 මේෂ රවි 17 භාග වූ ගුරු දින 
කාලක්‍රියා කළේය. (ශක වර්ෂ ක්‍රිස්තු වර්ෂ බවට පරිවර්තනය කිරීමට ශක වර්ෂයට 78 ක් එකතු කළ යුතුය.) එම පුවරුව තිබෙන්නේ මඩුවන්වෙල දිසාවේගේ මාමාගේ සොහොනෙහි ය.
       
මේ මඩුවන්වෙල පවුලේ තවත් සිහිවටන ඵලකයකි.
       
"විජේරත්න රාජකරුණා වාසල මුදියන්සේලාගේ දඹවින්නේ මඩුවන්වෙල කුමාරිහාමි ශක වර්ෂ 1798 මේෂ රවි 11 භාග වූ කිවි දින කාලක්‍රියා කළාය"
       
මේ මඩුවන්වෙල දිසාවේගේ පළමු බිරිඳ වන දඹවින්නේ කුමාරිහාමිගේ සොහොන් ඵලකයයි. මඩුවන්වෙල වලව්වේ මේ වනවිට ප්‍රදර්ශනයට තබා ඇති සොහොන් ඵලකය මෙය වෙයි.
       
කුඹුස්ස සොහොන් බිම මඩුවන්වෙල පවුලේ සුසාන භූමිය වුවද මඩුවන්වෙල දිසාවේගේ සොහොන එහි ඉදි කෙරුණේ නැත. එය ඉදි කර ඇත්තේ මඩුවන්වෙල වලව්ව ආසන්නයෙනි. මෙයට නිශ්චිත හේතුවක් සඳහන් වන්නේ නැතත් දිසාවේගේ සොහොන ඉදිකරන ලද්දේ ඔහුගේ එකම දරුවා වන ඩිංගිරි අප්පෝ බැවින් එය ඇගේ කැමැත්තට අනුව වලව්ව ආසන්නයේ ඉදි කළා වන්නට බැරි නැත. කෙසේ වුවද පියාගේ මරණයෙන් වසර 34 කට පසුව මියගිය ඩිංගිරි අප්පෝගේ සොහොන ද ඉදි කෙරුණේ කුඹුස්සේ නොව දිසාවේගේ සොහොන ආසන්නයේ ම ය.
     
දෙදරන්ගමුවේ පිහිටි මඩුවන්වෙල පරපුරට අයත් කුඹුස්ස සොහොන් බිම 2007.07.06 දිනැති අංක 1505 ගැසට් නිවේදනය මගින් පුරාවිද්‍යා ස්මාරක වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.
     
බොහොමයක් වලව්වල ප්‍රභූවරුන් තම නින්දගම්වල කාන්තාවන් සම්බන්ධයෙන් දැක්වූ ඇල්ම පිළිබඳ පුවත් මඩුවන්වෙල දිසාවේට ද පොදු විය. නමුත් ඔහු සුවිශේෂ පුද්ගලයෙකි. මඩුවන්වෙල දිසාවේ ජීවත් වූයේ මෙරට ඉංග්‍රීසි පාලන සමයෙහි ය. එකල දිසාවේ (දිසාපති) හෙවත් ඒජන්තවරුන් ලෙස ඉංග්‍රීසි සිවිල් නිලධාරීහු කටයුතු කළහ. රත්නපුර දිස්ත්‍රික්කයට පළමු වතාවට ආණ්ඩුවේ උප ඒජන්තවරයකු 1817 දී පත් කරන ලද අතර ඔහු ලුතිනන් මැල්කම් ය. 
ජේම්ස් විලියම් මඩුවන්වෙල ට රටේ මහත්තයා තනතුර හිමිවූ 1886 වසරේ සිට ඔහු මිය යන තෙක්ම ඉංග්‍රීසි ඒජන්තවරුන් 28 දෙනෙකු සමග සබඳතා පවත්වා ඇති බව පැවසේ. තම බල ප්‍රදේශය දියුණු කිරීම සඳහා විශාල වැඩ කොටසක් කළ මඩුවන්වෙල රටේ මහත්තයා එම කාර්යයන්වල දී ඉංග්‍රීසි ජාතික නිලධාරීන් සමඟ ඉතා හොඳ සහයෝගයකින් කටයුතු කළත් ඉංග්‍රීසි පාලනය පිළිබඳව ඔහු දැක්වූයේ දැඩි නොකැමැත්තකි. නීතිය හමුවේ දැඩි ලෙස ක්‍රියා කළද, කුල මල ජාති ආගම් භේදවලින් තොරව ආගන්තුක සත්කාරයට ඉතා ලැදි ත්‍යාගශීලී පුද්ගලයෙකු ලෙස මඩුවන්වෙල දිසාවේ ප්‍රකටව සිටියේය. මඩුවන්වෙල පරපුරේ අවසන් පුරුක ලෙස ඉතිහාසගත වූ ජේම්ස් විලියම් මඩුවන්වෙල ජාතිහිතෛෂි රදලයකු ලෙස සඳහන් වෙයි.
තවත් කොටසක් ලබන සතියේ 
මෙම විස්තර සපයා ගැනීමට උපකාරී වූ හිටපු පුරාවිද්‍යා ගවේෂණ නිලධාරී මාධ්‍යවේදී ජයන්ත විජේරත්න හේරත් මහතාටත්, ලිපි පෙළ සඳහා නන් අයුරින් උපකාර ලබා දෙන ප්‍රවීන මාධ්‍යවේදී රක්වානේ බුද්ධික තැන්නෙපිට මහතාටත්, පනාමුරේ මහා විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති, පරිසරවේදී සහ ඓතිහාසික පනාමුර හස්තිරාජ පදනමේ සාමාජික ඩී.ඩී. දයාරත්න මහතාටත් ස්තුතියි.
ඡායාරූප අන්තර්ජාලය 

සබැඳි ලිපි :

පනාමුරේ කතාව (01 කොටස) : ඇත්ගාල ඉදිවූ පනාමුරේ නින්දගම | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (02 කොටස) : ඇතින්නියන් වලව්ව | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (03 කොටස) : රටේ මහත්තයාවත් ඇන්දවූ දුම්කොළ වෙ⁣ළෙන්දා | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (04 කොටස) : අඩනිරුවත් ඇඳුම ඇන්දත් කාන්තාවන් නොකෙලෙසුණු අතීත සමාජය | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (05 කොටස) : ප්‍රාදේශීය පාලකයන්ගේ ලන්දේසි යුද්ධය | ඉන්දු පෙරේරා  

පනාමුරේ කතාව (06 කොටස) : මඩුවන්වෙල කළු කුමාරයා | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (07 කොටස) : සුද්දන්ට මතක හිටින පාඩමක් | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (08 කොටස) : සුදු ඒජන්තවරයා ගඟ මැදට දමයි | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (09 කොටස) : රුපියල් පනහේ තේ වත්ත | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (10 කොටස) : මඩුවන්වෙල අතීතය | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (11 කොටස) : මඩුවන්වෙල තරුණයා රටේ මහත්තයා වූ හැටි | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (12 කොටස) : කාටවත් නොනැමුණු මඩුවන්වෙල ආර්.එම්. | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (14 කොටස) : පනාමුරේ ඇත්ගාලට මුල පුරයි | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (15 කොටස) : ඇත්ගාල සහ ගාල් නගරය | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (16 කොටස): ගාලේ ඇතුන්ගේ දුක | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (17 කොටස): ඩිංගිරි අප්පෝට මංගල යෝජනා | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (18 කොටස): මොළමුරේගේ සම්ප්‍රාප්තිය | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (19 කොටස) : මඩුවන්වෙල බූදලය මොළමුරේ පරපුරට | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (20 කොටස) : දිසාවේ ගේ අවසන් ගමන | ඉන්දු පෙරේරා

ඉන්දු පෙරේරා

ලේඛිකා

ඉන්දු පෙරේරා යනු සාහිත්‍ය නිර්මාණ, මාධ්‍ය ලේඛනය සහ සමාජ-මානවීය කරුණු ඔස්සේ සිය අවධානය යොමු කළ ලේඛිකාවකි. ඇයගේ ලේඛන තුළ සාමාන්‍ය මිනිසාගේ ජීවිතය, සමාජ අත්දැකීම් සහ මානවීය සංවේදීතා ප්‍රමුඛ ස්ථානයක් ගනී.

View all stories by ඉන්දු පෙරේරා
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...