The Leader News
BREAKING
2027 අයවැයෙන් මෙරට කෘෂිකර්මාන්තයට මඟහැරුණු සැබෑ අවස්ථා මොනවාද?●ඕස්ට්‍රේලියාවට ගිය ශ්‍රී ලාංකිකයන් 12ක් වහාම හරවා එවයි●ඕස්ට්‍රේලියාවේ සිට වීසා අයදුම් කරන විදේශිකයන්ට හදිසි මූල්‍ය බරක්●ජාතක කතාවලින් හෙළිවන ස්ත්‍රී චරිතය●කුණු කූඩය හිමි යැයි සිතූ ගීත මුළු රටක් ම වැලඳ ගත් අයුරු●අව්‍යාජ ආදරය ලැබීම සඳහා ගැහැනියක ගේ අරගලය: 'ලේඩි චැටර්ලිස් ලවර්'●ආසියාවේ ආර්ථික පිම්ම මැද ශ්‍රී ලංකාවට මඟහැරෙන තරගය●ණය ශ්‍රේණිය ඉහළ යාම සැබෑ ආර්ථික දියුණුවක්ද? දිලිත් පහදයි●Diginote | ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම 'B-' දක්වා ඉහළට●දිට්වා කුණාටුවෙන් බිඳුණු කඳුකර ගොවිබිම යළි පණගන්වන ජාත්‍යන්තර මෙහෙයුම●
Top Ad
විශේෂාංග

2027 අයවැයෙන් මෙරට කෘෂිකර්මාන්තයට මඟහැරුණු සැබෑ අවස්ථා මොනවාද?

Nethmini

Nethmini

November 28, 2026 • 3:14 PM

2027 අයවැයෙන් මෙරට කෘෂිකර්මාන්තයට මඟහැරුණු සැබෑ අවස්ථා මොනවාද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාතික ආර්ථිකය තුළ කෘෂිකර්මාන්තය තවමත් උපායමාර්ගික වශයෙන් ඉතා වැදගත් අංශයකි.
  • ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම, රැකියා උත්පාදනය, අපනයන ආදායම් ඉහළ නැංවීම මෙන්ම ග්‍රාමීය ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය ලෙස කෘෂිකර්මාන්තය ප්‍රධාන භූමිකාවක් ඉටු කරයි.
  • අඩු ඵලදායිතාවක් සහිත, දේශගුණික අවදානම්වලට නිරාවරණය වූ, කුඩා පරිමාණ වගාවන් මත පදනම් වූ කෘෂිකාර්මික පද්ධතියක් වෙනුවට තරගකාරී, වාණිජමය වශයෙන් ශක්තිමත්, තාක්ෂණිකව දියුණු සහ පරිසර හිතකාමී කෘෂිකාර්මික ආර්ථිකයක් ගොඩනැඟීමට 2027 අයවැය යෝජනා සමත් වේද යන්න විමසා බැලිය යුතුය.
  • අයවැය රාමුව සහ ආහාර සුරක්ෂිතතාව NPP ආණ්ඩුවේ 2025–2027 දක්වා වූ අයවැය රාමුවේ කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ දේශීය ආහාර නිෂ්පාදනය සහ ජාතික ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීම කෙරෙහි අඛණ්ඩ අවධානය යොමු කර තිබීමයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ජාතික ආර්ථිකය තුළ කෘෂිකර්මාන්තය තවමත් උපායමාර්ගික වශයෙන් ඉතා වැදගත් අංශයකි. ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම, රැකියා උත්පාදනය, අපනයන ආදායම් ඉහළ නැංවීම මෙන්ම ග්‍රාමීය ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය ලෙස කෘෂිකර්මාන්තය ප්‍රධාන භූමිකාවක් ඉටු කරයි.  

අඩු ඵලදායිතාවක් සහිත, දේශගුණික අවදානම්වලට නිරාවරණය වූ, කුඩා පරිමාණ වගාවන් මත පදනම් වූ කෘෂිකාර්මික පද්ධතියක් වෙනුවට තරගකාරී, වාණිජමය වශයෙන් ශක්තිමත්, තාක්ෂණිකව දියුණු සහ පරිසර හිතකාමී කෘෂිකාර්මික ආර්ථිකයක් ගොඩනැඟීමට 2027 අයවැය යෝජනා සමත් වේද යන්න විමසා බැලිය යුතුය.

2025–2026 අයවැය රාමුව සහ ආහාර සුරක්ෂිතතාව


NPP ආණ්ඩුවේ 2025–2027 දක්වා වූ අයවැය රාමුවේ කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ දේශීය ආහාර නිෂ්පාදනය සහ ජාතික ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීම කෙරෙහි අඛණ්ඩ අවධානය යොමු කර තිබීමයි.

2025 අයවැය මඟින් වී මිලදී ගැනීම සහ ආරක්ෂිත වී සංචිත පවත්වාගෙන යෑම සඳහා රුපියල් බිලියන 5ක් වෙන් කර තිබූ අතර දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා අවධානය යොමු කර තිබුණි.

2026 අයවැය මඟින් සතොස ගබඩා යාන්ත්‍රණ ශක්තිමත් කිරීම සඳහා රුපියල් බිලියනයක් සහ මෙට්‍රික් ටොන් 5,000ක පමණ ධාරිතාවක් සහිත දඹුල්ල ශීත ගබඩා පහසුකම සම්පූර්ණ කිරීම සඳහා රුපියල් මිලියන 250ක් යෝජනා කර තිබුණි.

එමෙන්ම, 2030 වන විට දේශීය කිරි අවශ්‍යතාවෙන් 75%ක් දේශීයව සපුරා ගැනීමේ ඉලක්කයක් හඳුන්වා දී තිබුණි. කිරි නිෂ්පාදන සංවර්ධනය සඳහා මූලික කටයුතු වෙනුවෙන් රුපියල් බිලියනයක් සහ සත්ත්ව අභිජනන ඒකක වැඩිදියුණු කිරීම සඳහා තවත් රුපියල් බිලියනයක් යෝජනා කර තිබුණි. මිල්කෝ ආයතනය සංවර්ධනයට රුපියල් මිලියන 3,000ක් ලබා දීමට ද යෝජනා වී තිබුණි.

වාරිමාර්ග සංවර්ධනය සඳහා 2025දී රුපියල් බිලියන 78ක් සහ 2026දී රුපියල් බිලියන 91.7ක් වෙන් කර තිබුණි. 2025 අයවැය තුළ පොල්, කුරුඳු, කුළුබඩු, කිරි නිෂ්පාදන සහ වෙනත් ක්ෂේත්‍ර භෝග නිෂ්පාදන නංවාලීමට යෝජනා කර තිබුණි. ඒ යටතේ උතුරු පොල් ත්‍රිකෝණය සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කර තිබුණි.

2026 අයවැය තුළ සුළු පරිමාණ පොල් වගාකරුවන් ඉලක්ක කරගනිමින් රුපියල් බිලියන 2.5ක් සහ උතුරු පොල් ත්‍රිකෝණයේ වගා ව්‍යාප්තිය සඳහා රුපියල් මිලියන 600ක් යෝජනා කර තිබුණි.

2027 අයවැයෙන් වෙන් කළ නව ප්‍රතිපාදන

2027 අයවැය මඟින් උසස් තත්ත්වයේ අභිජනන සතුන් ආනයනය සඳහා රුපියල් බිලියන 1.8ක් සහ බඩල්ගම මිල්කෝ කර්මාන්තශාලාව සංවර්ධනය කිරීම සඳහා රුපියල් බිලියන 3ක් වෙන් කර ඇත. තෝරාගත් දිස්ත්‍රික්කවල එළු පාලනය වැඩිදියුණු කිරීමට ද යෝජනා කර ඇත.

පොහොර සහනාධාරය සඳහා රුපියල් බිලියන 44ක් යෝජනා කර ඇති අතර, 2026/27 මහ කන්නයේ සිට වී ඉඩම්වල වගා කරන වෙනත් භෝග සඳහා ද සහනාධාරය පුළුල් කිරීමට යෝජනා කර ඇත. වාරිමාර්ග සංවර්ධනය සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 77කි.

2027 අයවැය මඟින් අඩු ඵලදායිතාවක් සහිත හෝ නිසි ලෙස ප්‍රයෝජනයට නොගන්නා හඳුනාගත් කුඹුරු ඉඩම් වෙනත් ක්ෂේත්‍ර භෝග හෝ ස්ථිර භෝග සඳහා යොදා ගැනීමට යෝජනා කර ඇත. ඒ සඳහා රුපියල් බිලියන 1.55ක් ද, සාමූහික යාය ක්‍රමය යටතේ කෘෂිකාර්මික නිෂ්පාදනය දිරිගැන්වීම සඳහා රුපියල් මිලියන 400ක් ද යෝජනා කර තිබේ. සමූපාකාර සමිතිවලට සහල් නිෂ්පාදනයට අවශ්‍ය යන්ත්‍ර මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 300ක මුදලක් ද යෝජනා කර ඇත.

එනයින් බලන කළ, පසුගිය අයවැය දෙක (2025 සහ 2026) මඟින් යෝජනා වී ආරම්භ කළ යම් වැඩපිළිවෙළවල්හි අඛණ්ඩතාවක් පවත්වා ගනිමින්, අපනයන දිරිගැන්වීම්, සාමූහික වගාව සහ ග්‍රාමීය යටිතල පහසුකම් කෙරෙහි මෙවර අයවැය යම් අවධානයක් යොමු කර ඇති බව පෙනෙන්නට තිබේ. එය පැසසිය යුතු ධනාත්මක තත්ත්වයකි.  


එසේ වුවද, ක්ෂේත්‍රයේ සැබෑ ව්‍යුහාත්මක ගැටලු විසඳීමට මෙම අයවැය යෝජනා ප්‍රමාණවත්ද යන්න ගැටලු සහගතය. එසේ මඟහැරී ඇති සමහර කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම මෙම ලිපියේ අරමුණයි.  

1. සංඛ්‍යාලේඛනවලින් අවතක්සේරු වන කෘෂිකර්මයේ උපායමාර්ගික වැදගත්කම  


කෘෂිකර්මයට අදාළව අයවැය කථාව ආරම්භයේ දීම ඊට යොදාගත් පදනම ගැටලු සහගතය. රැකියා නියුක්තියට 23%ක පමණ දායකත්වයක් සපයන කෘෂිකර්මය මඟින් දළ දේශීය නිෂ්පාදිතයට (GDP) දක්වන දායකත්වය 8.4%ක් පමණක් ලෙස සලකා තීරණ ගැනීම දෝෂ සහිතය.  

ජාතික ගිණුම් සැකසීමේ සාම්ප්‍රදායික ක්‍රියාවලියේ දී තේ, පොල්, රබර් ආශ්‍රිත නිෂ්පාදන, ආහාර සැකසීම, ප්‍රවාහනය සහ අපනයන සේවා ගණනය කෙරෙන්නේ කර්මාන්ත සහ සේවා අංශ යටතේය. එබැවින් කෘෂිකර්මය 8.4%ක අංශයක් ලෙස පමණක් සලකා ප්‍රතිපත්ති සම්පාදනය කිරීමෙන්; කාර්මික සංවර්ධනයට, අපනයන ආදායමට සහ ග්‍රාමීය ආර්ථිකයට එය දක්වන සමස්ත අගය දාම දායකත්වය බරපතළ ලෙස අවතක්සේරු වී තිබේ.

එමෙන්ම, 23%ක ශ්‍රම බලකායක් මඟින් 8.4%ක නිෂ්පාදනයක් පමණක් ලැබේය යන අර්ථ නිරූපණය මඟින් ගම්‍ය වන්නේ ක්ෂේත්‍රයේ ශ්‍රම ඵලදායිතාව සහ යාන්ත්‍රිකකරණය ඉතා පහළ මට්ටමක පවතින බවයි.

2. ප්‍රාග්ධන අයවැය කප්පාදුව සහ නිෂ්පාදන පිරිවැය

පසුගිය (2026) අයවැයට සාපේක්ෂව 2027 අයවැයෙන් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ප්‍රාග්ධන ප්‍රතිපාදන රුපියල් බිලියන 131.3 සිට රුපියල් බිලියන 119 දක්වා රුපියල් බිලියන 12.3කින් කප්පාදුවට ලක් කර ඇත.

2025 සිට 2027 දක්වා NPP ආණ්ඩුවේ අයවැය තුනම සලකා බැලීමේදී පෙනී යන්නේ, මෙවරද පොහොර සහනාධාර (රුපියල් බිලියන 44) වැනි පුනරාවර්තන වියදම් හැර, නිෂ්පාදන පිරිවැයෙන් 45%–55%ක් පමණ වන ශ්‍රම පිරිවැය අඩු කිරීමට අවශ්‍ය පුළුල් යාන්ත්‍රිකකරණය සහ බලශක්ති පිරිවැය අඩු කිරීම කෙරෙහි ප්‍රමාණවත් අවධානයක් යොමු වී නොමැති බවයි.

‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් වාරි මාර්ග, ඇළවේලි ආදිය යථා තත්ත්වයට පත්වීම සහ පොහොර සහනාධාර හරහා කෙටිකාලීන වර්ධනයක් අපේක්ෂා කළ හැකි වුවද, ප්‍රාග්ධන වියදම් කප්පාදු කිරීම දිගුකාලීන නවීකරණය අඩපණ කරයි.

3. ගොවි සුබසාධනය සහ කුටුම්භ ආදායම් පීඩනය  

පොහොර සහනාධාරය තුළින් පමණක් ග්‍රාමීය ගොවි පවුල්වල සැබෑ ජීවන තත්ත්වය නඟා සිටුවීමක් අපේක්ෂා කළ නොහැකිය.  

සමස්ත ජනතාව සේම, ගොවි පවුල් ද VAT වැනි වක්‍ර බදු නිසා දැඩි පීඩනයකට ලක්ව සිටී. ඒ නිසා ඔවුනට තම ආදායම සම්පූර්ණයෙන්ම පාහේ දෛනික පරිභෝජනයට වැය කිරීමට සිදුවී තිබේ.

එවන් පසුබිමක, ගොවි නිෂ්පාදන සඳහා සහතික කළ අවම මිල යාන්ත්‍රණය සැබෑ ලෙසම ක්‍රියාත්මක කිරීමේ හෝ ගොවි ජනතාව සඳහා වෙනත් සහන වැඩපිළිවෙළක් අයවැය තුළ දක්නට නොලැබේ.  

4. වන සත්ත්ව හානිය සහ පාලනය  

HARTI ආයතනයේ සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දත්තවලට අනුව වාර්ෂික අස්වැන්නෙන් 30% සිට 40% දක්වා ප්‍රමාණයක් වන සතුන් විසින් විනාශ කරනු ලබයි.
2027 අයවැයෙන් වන සත්ත්ව ප්‍රහාරවලින් සිදුවන ජීවිත හා නිවාස හානි වන්දි ඉහළ නැංවීමට සහ අලි වැටවල් සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමට පියවර ගෙන ඇත.

නමුත් වාර්ෂිකව පොල් ගෙඩි මිලියන 100කට ආසන්න ප්‍රමාණයක් ඇතුළුව රටපුරා දැවැන්ත වගා හානි සිදු කරන රිළවුන්, වල් ඌරන්, මොනරුන් සහ දඬුලේනුන් පාලනය කිරීමට කිසිදු ඉලක්කගත වැඩපිළිවෙළක් හෝ ක්‍රමයක් අයවැයෙන් යෝජනා වී නොමැත.

5. බීජ ආනයනය සහ 6. පසු-අස්වනු හානිය  

ශ්‍රී ලංකාව වී බීජවලින් ස්වයංපෝෂිත වුවද, දෙමුහුන් බඩඉරිඟු බීජ (ඩොලර් මිලියන 7–9ක් පමණ), එළවළු බීජ (ඩොලර් මිලියන 5–8ක් පමණ) සහ බීජ අර්තාපල් (ඩොලර් මිලියන 1ක් පමණ) ආනයනය කිරීම සඳහා වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 15 සිට 20 දක්වා (රුපියල් බිලියන 4.5–6ක් පමණ) විදේශ විනිමය වැය කරයි. පශු සම්පත් අභිජනන සතුන් ආනයනයට රුපියල් බිලියන 1.8ක් වෙන් කළද, දේශීය වාණිජ බීජ නිෂ්පාදනය නඟා සිටුවීමට විශේෂිත ප්‍රාග්ධන ප්‍රතිපාදනයක් අයවැයේ නොමැත.

එළවළු සහ පලතුරුවල වාර්ෂික පසු-අස්වනු හානිය 30%–40%ක් පමණ වන අතර එහි වටිනාකම රුපියල් බිලියන 180කට ආසන්නය. අයවැය මඟින් සහල් සහ කිරි සැකසුම් යන්ත්‍රෝපකරණ කෙරෙහි අවධානය යොමු කළ ද, ඉක්මනින් නරක් වන එළවළු සහ පලතුරු සඳහා අත්‍යවශ්‍ය වන ගොවිපළ මට්ටමේ පූර්ව-සිසිලන මධ්‍යස්ථාන, ශීතකරණ ප්‍රවාහන පහසුකම්, ශීතාගාර සඳහා විදුලි ගාස්තු සහන සහ ප්ලාස්ටික් කූඩ භාවිතය ප්‍රවර්ධනය කිරීමට ප්‍රමාණවත් අරමුදල් වෙන් කර නොමැත.

අයවැය තුළ මඟහැරී ඇති තවත් ප්‍රධාන අංශ

ඉහත කරුණුවලට අමතරව, මෙරට කෘෂිකර්මාන්තයේ ප්‍රගමනය කෙරෙහි වැදගත් තවත් ප්‍රධාන අංශ කිහිපයක් 2027 අයවැය තුළ මඟහැරී තිබේ:

| තරුණ පරපුර ආකර්ෂණය කර ගැනීම: වර්තමාන ගොවි ජනතාවගෙන් 50%කට වඩා වයස අවුරුදු 50 ඉක්මවා ඇති පසුබිමක, උගත් තරුණයන් නවීන තාක්ෂණය සමඟ කෘෂිකර්මාන්තය වෙත ආකර්ෂණය කර ගැනීමට විශේෂ යෝජනා හෝ ප්‍රතිපාදන දක්නට නැත.

| කෘෂි ව්‍යාප්ති සේවා දියුණු කිරීම: කෘෂිකර්ම උපදේශකවරුන්ගේ දැඩි හිඟය පියවීමට සහ ගොවීන් රසායනික වෙළඳුන් මත යැපීම වැළැක්වීමට නව බඳවා ගැනීම් හෝ ක්ෂේත්‍ර උපදේශන සේවා ශක්තිමත් කිරීමේ පැහැදිලි ක්‍රමවේදයක් හෝ ප්‍රතිපාදන දක්නට නැත.  

| පර්යේෂණ හා සංවර්ධන සඳහා ප්‍රමුඛතාව අඩුවීම: කෘෂිකාර්මික පර්යේෂණ සඳහා රාජ්‍ය වියදම කෘෂිකාර්මික GDPයෙන් ඉතා පහළ අගයක පවතිද්දී, දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දෙන නව ප්‍රභේද බිහි කිරීමට පර්යේෂණ ආයතන නවීකරණය කිරීම නොසලකා හැර ඇත.  

| නිදහස් වෙළඳ ගිවිසුම්වලට මුහුණ දීමේ පෙර සූදානම: ඉන්දියාව, චීනය සහ RCEP වැනි වෙළඳ ගිවිසුම් කඩිනම් කිරීමට යෝජනා කළද, මිල අඩු ආනයනික භාණ්ඩ හමුවේ දේශීය ගොවියා ආරක්ෂා කිරීමට හෝ අපනයන සඳහා අත්‍යවශ්‍ය ප්‍රමිතීන් පරීක්ෂාවට අවශ්‍ය පරීක්ෂණාගාර (SPS ප්‍රමිතීන්) දියුණු කිරීමට ප්‍රාග්ධනය වෙන් කර නොමැත.  

පාංශු සංරක්ෂණය, ඉඩම් අයිතිය සහ ක්‍රියාත්මක කිරීමේ ගැටලු  

| පසෙහි තිරසාර ගුණාත්මය පවත්වා ගැනීම: පොහොර සහනාධාරය රසායනික පොහොරට පමණක් සීමා වේ. එසේ වුවද දිගින් දිගටම රසායනික පොහොර මත යැපීම නිසා පිරිහී ඇති පසෙහි ගුණාත්මය යථා තත්ත්වයට පත් කිරීමට සහ පාංශු සංරක්ෂණය සඳහා ජාතික මට්ටමේ වැඩසටහනක් කෙරෙහි අවධානය යොමු කර නොමැත. 2027 අයවැය තුළ සිව් අවුරුදු ඒකාබද්ධ ශාක පෝෂක කළමනාකරණ වැඩසටහනක් හඳුන්වා දී ඇතත්, ඒ සඳහා ආරම්භක ප්‍රතිපාදනය රුපියල් මිලියන 47ක් පමණි.

| ඉඩම් අයිතිය සහ ඇපකර බාධක: බිම්සවිය වැඩසටහන තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා 2027 වර්ෂයේදී රුපියල් මිලියන 800ක් සහ ඉඩම් ලේඛන ඩිජිටල්කරණය සහ ඉඩම් තොරතුරු පද්ධති නවීකරණය කිරීම සඳහා රුපියල් මිලියන 140ක් වෙන් කර ඇත. තවද ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (කෘෂි-සැකසුම්කරුවන් සහ වාණිජ කෘෂි ව්‍යාපාර ඇතුළුව) සඳහා බිලියන 50ක ණය පහසුකම් ගැන සඳහන් වේ. එසේ වුවද, ස්වර්ණභූමි/ජයභූමි බලපත්‍රලාභී සහ රජයේ ඉඩම්වල වගා කරන ලක්ෂ සංඛ්‍යාත ගොවීන්ට බැංකු ඇපකර ලෙස තැබිය හැකි පැහැදිලි ඔප්පු ලබා දීමේ ගැටලුව සම්බන්ධයෙන් සඳහනක් නොමැත.

| අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ දී දක්වන දුර්වලතාව: 2025 වසරේ දී කෘෂිකර්ම අමාත්‍යාංශයට සිය සැලසුම්වලින් ළඟා කර ගත හැකි වූයේ සාපේක්ෂව අඩු මූල්‍ය ප්‍රගතියකි. අමාත්‍යාංශ වාර්ෂික ප්‍රගති වාර්තාවට අනුව, 2025 සඳහා අනුමත ප්‍රාග්ධන (රුපියල් මිලියන 101,780) මුදල්වලින් වැය කර තිබුණේ 64%ක් (රුපියල් මිලියන 65,919) පමණි. පුනරාවර්තන (රුපියල් මිලියන 53,473) මුදල්වලින් සැලකිය යුතු ප්‍රතිශතයක් පොහොර සහනාධාරය (රුපියල් මිලියන 36,840) සඳහා වෙන් කර තිබූ බැවින් එම මුදල් භාවිත කර තිබුණි. එවැනි පසුබිමක අයවැය යෝජනා ක්‍රියාත්මක වන බව සහ වෙන් කළ මුදල් නිසි ලෙස භාවිත වන බව තහවුරු කරන කාර්යසාධන දර්ශක (KPIs) අයවැයට ඇතුළත් කර නොමැත.  

සමාලෝචනය

සමස්තයක් ලෙස ගත් කල, 2027 අයවැය යනු කෘෂිකර්මාන්තයේ සැබෑ ව්‍යුහාත්මක පරිවර්තනයකට වඩා සාම්ප්‍රදායික සහනාධාර සහ යටිතල පහසුකම් නඩත්තුව මත පදනම් වූ ලේඛනයකි.  

බීජ ආනයනය සඳහා වාර්ෂිකව වැය වන ඩොලර් මිලියන ගණන අවම කිරීම, පසු-අස්වනු හානිය සහ වන සත්ත්ව හානිය අවම කිරීම ආදිය සඳහා හෝ නිශ්චිත ප්‍රාග්ධන ආයෝජන සිදු නොකරන්නේ නම්, මෙරට කෘෂිකර්මාන්තය තිරසාර වර්ධනයක් කරා ගෙන යෑම අභියෝගයක් වනු ඇත.  



(සටහන | කේ.කේ.අයි.යූ. අරුණ කුමාර )
බෝග විද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රුහුණ විශ්වවිද්‍යාලය

මූලාශ්‍ර සබැඳි :

මුල් ලිපිය: ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සහ අයවැය - vinivida.lk

නිල අයවැය ලේඛන: 2027 අයවැය ලේඛන - මුදල් අමාත්‍යාංශය (treasury.gov.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...