'ලේඩි චැටර්ලිස් ලවර්' (Lady Chatterley's Lover) ඩී. එච්. ලෝරන්ස් (D. H. Lawrence) විසින් 1920 ගණන්වල දී මුලින් ම ලියලා නිකුත් කරනු ලබන්නේ 1926 ඉතාලියේ දී. ඒක හරියට හොරෙන් වගේ කරපු වැඩක්. මොකද මේ කාලයේ එංගලන්තයේ මෙවැනි දෙයක් පබ්ලිෂ් කරන්න අමාරුයි. එහෙම කළොත් ලොකු සමාජ කැලඹීමක් ඇතිවෙනවා. ඊට පස්සේ 1929 දී ප්‍රංශයේ දී නව කතාව පබ්ලිෂ් වෙනවා. වාරණයකික් තොරව එක්සත් රාජධානියේ 'ලේඩි චැටර්ලිස් ලවර්' නිකුත් වෙන්නේ 1960 වගේ කාලයක දී.
මහන්සි නොවී තම උරුමය සුරකින පන්තිය

අපි ආස කරන චැටර්ලි ආර්යාව ගේ නම තමයි කොනී, නැත්නම් කොන්ස්ටන්ස් රීඩ්, එයා ඉහළ මධ්‍යම පාන්තික, උගත් බුර්ෂුවා පවුල් පසුබිමකින් ආපු ගැහැනියක්. බුර්ෂුවා කියන්නේ පවුල්/සමාජ තලවල හොඳින් ධනය තිබෙන, අධ්‍යාපනය ලත්, සමාජ තත්ත්වය ඇති, මැද සහ ඉහළ මධ්‍යම පන්තියේ පවුල්වලට. හැබැයි මේගොල්ලෝ අර ඉඩම් හිමි රදළ වංශාධිපතියන් නෙවෙයි. මේ බුර්ෂුවා අයගෙනුත් උගත් නැත්නම් බුද්ධිමය ප්‍රාග්ධනයක් හිමි බුර්ෂුවා කොටසකුත් ඉන්නවා. ඒ කියන්නේ අධ්‍යාපනය ලද, සංස්කෘතික ජීවිතයක් ඇති අය. මේ සමාජ කොටස නවීන අදහස්, ප්‍රවණතා එක්ක එකතුවෙනවා. කලාව, විද්‍යාව ආදී බුද්ධිමය ජීවිතයක් මේ අයට තියෙනවා. ඒක මොකක් හරි රැකියාවක් කරන කෙනෙකුගෙන් හෝ ඉඩ කඩම් දේපළ තියාගෙන විවේකයෙන් සිටින සමාජ කොටසින් වෙනස්. ‘බුද්ධිමය බුර්ෂුවා පන්තිය’ සාමාන්‍යයෙන් නිදහස්කාමී යි. වැඩිපුර ගැවසෙන්නේ විවිධත්ව ඇති, විවිධත්වයට ගෞරව කරන චින්තකයින්, ලේඛකයින්, කලාකරුවන් යනාදි අයත් එක්ක. මේගොල්ලෝ දැනුමට, සාහිත්‍යයට, දර්ශනයට මුල්තැන දෙනවා. එවැනි සංවාදවල ජීවිතය ගත කරලා පුරුදු පුහුණු වුණු අය. ඉතින් කොනී මෙන්න මෙහෙම පවුල් පසුබිමක් තියෙන ගැහැනියක්. කොනී විවාහ වෙන්නේ ක්ලිෆර්ඩ් චැටර්ලි එක්ක. ක්ලිෆර්ඩ් කියන්නේ නම් අර ඉඩම් දේපළ හිමි රදළ වංශාධිපතියෝ. ඒ කියන්නේ උරුමයෙන් ම විශාල වතු, පතල් ආකර හිමි පන්තිය. මෙවැනි පසුබිම් ඇති අය තම දේපළ, ව්‍යාපාර ඉහළින් සලකනවා. සාමාන්‍ය මිනිස් දිවියෙන් මේ අය ඈත යි. මහන්සි නොවී තම උරුමය සුරකින පන්තියක්.
සමාජ ධුරාවලි අතර ඇති වෙනස සහ දුර මිනිස් සම්බන්ධතා
ඩී. එච්. ලෝරන්ස්
පළමු ලෝක යුද්ධයෙන් පස්සේ එංගලන්තයේ වංශාධිපති වරප්‍රසාද පිරිහෙන්න පටන් ගන්නවා. මේ එක්කම කාර්මිකරණය ලොව පුරා පැතිරෙන්න ගන්නවා. මහන්සි වී වැඩ කරන මිනිස්සු වෙනුවට යන්ත්‍ර එනවා. කම්හල් ඇරඹෙනවා. කොනී සමග විවාහ වී ටික කලකින් යුද්ධයට ගිය ක්ලිෆර්ඩ් දරුණුවට තුවාල වෙලා අංශභාගයට ලක්වෙනවා. එතැන් සිට ක්පිෆර්ඩ්ට ඉතිරිවන්නේ තම සමාජ පාන්තික ගෞරවය විතරයි. මේක හරියට ඔහු ගේ රදළ වංශාධිපතිත්වය අංභාගයට පත්වුණා වගේ වැඩක්. වංශාධිපතිත්වය කියන්නේ අතීතයේ දී බලය හිමි සමාජ පන්තියක්, කාර්මිකරණයෙන් පසු ලෝකයේ දී බෙලහීන වෙච්ච වචනයක්.
කොනී දැන් චැටර්ලි ආර්යාව වෙනවා. වතු පාලක ඔලිවර් වැඩ කරන පන්තියේ හොඳ ජීව ශක්තිය ඇති, තැනට සුදුසු නුවණ ඇති, අව්‍යාජ කම්කරුවෙක්. චැටර්ලි ආර්යාව (කොනී) මෙම ලෝක දෙක අතර පාලම බවට පත්වන අතර, වංශවත් ප්‍රභූ පෙළැන්තියේ හැඟීම්බර හිස්කමත් සහ ලිංගික සිඳීයාමත් අතර කම්කරුවකු ගේ ජීව ශක්තිය ඉස්මතු කරනවා. සමාජ ධුරාවලි අතර ඇති වෙනස සහ දුර මිනිස් සම්බන්ධකම් සහ විල්ලෝඩී ආශා ඉදිරියේ තුනී වී නැතිව යනවා.
ගැහැනුන් ගේ ස්වාධීනත්වය පිළිබඳ රැඩිකල් ප්‍රකාශය
ගැහැනිය ගේ ආශාව සහ ස්වාධීනත්වය කොනී ගේ චරිතය හරහා දකින්නට, තේරුම් ගන්නට පුළුවන්. කොනී ගේ ලිංගිකමය සහ හැඟීම් අවශ්‍යතා ක්ලිෆර්ඩ් ගේ වංශවත් සමාජයේ සදාචාරාත්මක නීති රිතී විසින් ප්‍රතික්ෂේප කරනවා. මේ නිහඬ බලපෑම මත වුණත් මෙලර්ස් සමග ඇගේ කායික මානසික සම්බන්ධය ගැහැනුන් ගේ ස්වාධීනත්වය පිළිබඳ රැඩිකල් ප්‍රකාශයක් වෙනවා. වර්තමාන සමාජයේ දී බොහෝ ගැහැනුන් තවමත් ආශාව විවෘතව ප්‍රකාශ කිරීමේ දී අපකීර්තියට මුහුණ දෙනවා. ඒක හරියට අර ක්ලිෆර්ඩ් ගේ වංශවත් සමාජ පවුල් වටපිටාව තුළ ගොඩනැගෙන තහනම වගේම තමයි. කොනී සහ ක්ලිෆර්ඩ් ගේ විවාහය සමාජ ගිවිසුමක් ලෙස ඉදිරිපත් වන නිසා, එහි දී කොනී වඳ සම්බන්ධතාවක් විඳ දරාගෙන සමාජය අපේක්ෂා කරන පරිදි ක්ලිෆර්ඩ්ට ආරක්ෂාව සහ පහසුකම සපයන්න ඔ්න. අද සමාජයේ දී ගැහැනුන්ට අසතුටුදායක විවාහයක් අත්හැරීමට හෝ ආදරය සහ ගැළපුම මත සහකරුවෙක් තෝරා ගැනීමට වැඩි නිදහසක් තිබුණ ද, බොහෝ දෙනෙකුට තවමත් රැකියාවේ, සම්ප්‍රදායේ හෝ සමාජ ප්‍රතිරූපයේ පීඩනවලට මුහුණ දෙන්න වෙනවා. කොනීට දැනුණු මානසික ගැටුම අද ගැහැනුන්ටත් එලෙසම තිබෙනවා.
අනන්‍යතා අහිමිවීම සහ සමාජ විනිශ්චයේ පීඩනය
එදා සිට ම අද වෙනතුරු ගැහැනුන් ගේ මිනිස් සම්බන්ධකම් හරහා සැදුණු මනෝවිද්‍යාත්මක ගමන කාලයත් එක්ක ඉදිරියට ආපු අරගලයක් වගේ. සමාජය නොයෙකුත් භූමිකා, යුතුකම් සහ විනිශ්චය ගැහැනු මත පටවන අතරතුර, අව්‍යාජව ආදරය ලැබීමට ඇති ආශාව වෙනුවෙන් ගැහැනු අරගල කරනවා. මේ වන විට කාන්තාවන්ට වැඩි අයිතිවාසිකම් සහ නිදහසක් තියෙනවා. නමුත් පීතෘමූලිකත්වය, මානසිකව නොසලකා හැරීම, අනන්‍යතා අහිමිවීම සහ සමාජ විනිශ්චයේ පීඩනය ගැහැනුන් වෙනුවෙන් තවමත් තියෙනවා. ක්ල්ෆර්ඩ් ගේ මන්දිරයෙන් එහා වත්ත පහළ කොනී ගේ රහස් නිදන කාමරයට එබෙනවා වගේම මෙම නිරීක්ෂණ, සංස්කෘතික අපකීර්තිය සහ අසමානතාවය අලුත් ආකාරවලින් නැවත හැඩගස්වලා තියෙනවා. මැඩම් බොවාරිවල එම හීන දැක්කා; කොනී හීනෙට අත තිබ්බා. සියවසක් ගත වුණත්, ගැහැනිය තවමත් තමන්ගේ ආශාව වෙනුවෙන් දඬුවම් ලබනවා. වෙනස් වෙලා තියෙන්නේ දඬුවමේ ආකාරය විතරයි.

මෙම කෘතිය ඇසුරින් චිත්‍රපට දෙකක් නිර්මාණය වුණා. එක් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කකරන ලද්දේ Just Jaeckin (ජස්ට් ජෙකින් -1981) විසිනි. මෙය ප්‍රංශ–බ්‍රිතාන්‍ය නිෂ්පාදනයක් වන අතර Sylvia Kristel සහ Nicholas Clay ප්‍රධාන චරිත නිරූපණය කළහ.
Lady Chatterley (1993) — අනෙක් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ Ken Russell (කෙන් රසල්) විසිනි. ඒ, 1993 වසරේදී. මෙය BBC වෙනුවෙන් නිර්මාණය වූ රූපවාහිනී අනුවර්තනයකි; Joely Richardson සහ Sean Bean එහි ප්‍රධාන චරිත නිරූපණය කළහ.
එමෙන් ම මෙම කෘතියෙහි සිංහල පරිවර්තන දෙකක් ද ඇත. ඒක් කාතියක් පර්වර්තනය කර ඇත්තේ විජයපාල වික්‍රමසිංහ ය; එය නම් කර ඇත්තේ ''සනහස බැඳුණු තැන'' යනුවෙනි.

අනෙක් කෘතිය පරිවර්තනය කර ඇත්තේ ශ්‍යාමන් හේමකොඩි ය; එය නම් කර ඇත්තේ ''චැටර්ලි ආර්යාවගේ පෙම්වතා'' යනුවෙනි.
උපුටා ගත්තේ Shiranjith Nishantha Gammudhuwattaගේ ගේ face book පිටුවෙන්




