The Leader News
BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

ගසන් කනෆනි දුටු පලස්තීන ප්‍රතිරෝධී කවියේ නැගීම

Pasan

Pasan

November 27, 2026 • 10:26 PM

ගසන් කනෆනි දුටු පලස්තීන ප්‍රතිරෝධී කවියේ නැගීම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම ලිපිය මීට දශක කිහිපයකට පෙර, 1968 වසරේදී අග්‍රගණ්‍ය පලස්තීන ලේඛකයෙකු, දේශපාලන විචාරකයෙකු සහ ක්‍රියාකාරිකයෙකු වූ ගසන් කනෆනි විසින් ලියන ලද Resistance Literature in Occupied Palestine (බලහත්කාරී ලෙස අත්පත් කර ගත් පලස්තීනයේ ප්‍රතිරෝධී සාහිත්‍යය) ලිපියේ සිංහල පරිවර්තනයයි.
  • ගසන් කනෆනි සහ 1948 ඛේදවාචකයේ පසුබිම ගසන් කනෆනි 1936 වසරේදී පලස්තීනයේ උපත ලැබ, ඊශ්‍රායලය විසින් සැලසුම් කරන ලදැයි සැලකෙන මෝටර් රථ බෝම්බයකට ලක් ව 1972 දී ඝාතනයට ලක් විය.
  • ඔහු විසින් ලියන ලද කෘති අද වන විට ලෝකය පුරා භාෂා 16කට පමණ පරිවර්තනය වී තිබේ.
  • මෙය 1949 දක්වාම ඇදී ගිය අතර එය නිම වූයේ පලස්තීනය තුළ ජීවත් වූ අතිවිශාල අරාබි ප්‍රජාවකට ඊශ්‍රායල ප්‍රහාර නිසා සිය නිජබිම අහිමි වීමෙන් සහ ඔවුන් බොහෝ දෙනෙකු රටෙන් පිටුවහල් වීමට සලස්වමිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙම ලිපිය මීට දශක කිහිපයකට පෙර, 1968 වසරේදී අග්‍රගණ්‍ය පලස්තීන ලේඛකයෙකු, දේශපාලන විචාරකයෙකු සහ ක්‍රියාකාරිකයෙකු වූ ගසන් කනෆනි විසින් ලියන ලද Resistance Literature in Occupied Palestine (බලහත්කාරී ලෙස අත්පත් කර ගත් පලස්තීනයේ ප්‍රතිරෝධී සාහිත්‍යය) ලිපියේ සිංහල පරිවර්තනයයි.

ගසන් කනෆනි සහ 1948 ඛේදවාචකයේ පසුබිම

ගසන් කනෆනි 1936 වසරේදී පලස්තීනයේ උපත ලැබ, ඊශ්‍රායලය විසින් සැලසුම් කරන ලදැයි සැලකෙන මෝටර් රථ බෝම්බයකට ලක් ව 1972 දී ඝාතනයට ලක් විය. ඔහු විසින් ලියන ලද කෘති අද වන විට ලෝකය පුරා භාෂා 16කට පමණ පරිවර්තනය වී තිබේ.

ඔහුගේ උපත සිදු වූයේ පලස්තීනය සහ මැදපෙරදිග කලාපය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලනයට විරුද්ධව යටත්විජිත විරෝධී අරගලයක නියැළුණු වකවානුවකය. 1948 මැයි මාසයේදී පලස්තීනයේ බ්‍රිතාන්‍ය පාලනය අවසන් වූ විට සයන්වාදීන් (යුදෙව් රාජ්‍යයක් බිහි කිරීම සඳහා වූ ව්‍යාපාරය) 1947 වසරේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බෙදුම් සැලසුම මගින් යෝජිත පලස්තීන භූමිය පවා ඈඳා ගනිමින් පලස්තීනය තුළ ඊශ්‍රායල රාජ්‍යයක් ප්‍රකාශයට පත් කිරීම නිසා එයට ප්‍රතිරෝධය දැක්වූ එම කලාපයේ අරාබි රාජ්‍ය සහ ඊශ්‍රායලය අතර යුද්ධයක් ඇරඹිණි.

මෙය 1949 දක්වාම ඇදී ගිය අතර එය නිම වූයේ පලස්තීනය තුළ ජීවත් වූ අතිවිශාල අරාබි ප්‍රජාවකට ඊශ්‍රායල ප්‍රහාර නිසා සිය නිජබිම අහිමි වීමෙන් සහ ඔවුන් බොහෝ දෙනෙකු රටෙන් පිටුවහල් වීමට සලස්වමිනි. මේ කාලයේදී ගසන් කනෆනිගේ පවුලටද උපන්බිමෙන් පිට වන්නට සිදු විය. එවක ඔහුගේ වයස අවුරුදු දොළහකි. ඔහු සිය පවුල සමඟ ලෙබනනයේ සරණාගත දිවියක් ගත කර ඉන්පසු සිරියාවට සංක්‍රමණය විය. මෙම ලිපිය මගින් විස්තර කෙරෙන දේශපාලන පසුබිම එයයි.

Embracing Heritage: Ghassan Kanafani - A True Palestinian Warrior -  Palestinian Elegance

සාහිත්‍යය, දේශපාලනය සහ වත්මන් යථාර්ථය

පසු කලෙක ලේඛකයෙකු බවට පත් වූ ගසන් කනෆනිගේ ජීවිතය සහ දේශපාලනය මුළුමනින් කැප වුණේ නිදහස් පලස්තීනයක් බිහි කිරීමේ පරම අරමුණ වෙනුවෙනි. 

ඔහු විසින් ලියන ලද කෙටිකතා සහ නවකතාවලින් එය පිළිබිඹු වෙයි. 1948දී සයන්වාදීන් විසින් පලස්තීන බිම් අත්පත් කර ගනිමින් පිහිටුවනු ලැබූ ඊශ්‍රායලය, රාජ්‍යයක් ලෙස පිළිගැනීම ප්‍රතික්ෂේප කළ පලස්තීන දේශපාලන ක්‍රියාකාරිකයෙකු වූ ඔහු මෙම ලිපිය තුළදීද ‘ඊශ්‍රායලය’ හෝ ‘ඊශ්‍රායල්වරුන්’ වැනි යෙදුම් භාවිත නොකරයි. ඒ වෙනුවට ඔහු ‘සයන්වාදීන්’ සහ ඔවුන් විසින් ‘බලහත්කාරී ලෙස අත්පත් කර ගත් පලස්තීන භූමිය’ යන යෙදුම් භාවිත කරයි.

ඔහුගේ මේ ලිපිය එවැනි දේශපාලන පසුබිමක් යටතේ 60 දශකයේ අගභාගය වන විට පලස්තීනය තුළ බිහි වෙමින් තිබූ ප්‍රතිරෝධී සාහිත්‍යයේ — විශේෂයෙන් ප්‍රතිරෝධී කාව්‍යයේ නැගීම — විමර්ශනය කරන්නකි. එහි වැදගත්කම වන්නේ සාහිත්‍යය හුදු සෞන්දර්යවාදයට කොටු නොවිය යුතු බව විශ්වාස කළ ලේඛකයෙකු විසින් කිසියම් සමාජයක ජනයා මුහුණ දෙන පීඩාව සාහිත්‍යය තුළින් පරාවර්තනය වීමේ දේශපාලනය සහ එහි වැදගත්කම විග්‍රහ කිරීමයි.

කනෆනිගේ ලිපිය අද දවසට දක්වන අනෙක් වැදගත්කම වන්නේ, දශක කිහිපයක් තිස්සේ අද දක්වා මහා මිනිස් සංහාර මැද පුපුරා හැලෙන පලස්තීන-ඊශ්‍රායල අර්බුදය හුදු ‘ආගමික මතවාදී ගැටුමක්’ හෝ ‘ත්‍රස්තවාදී ප්‍රහාරවලින් ආරක්ෂා වීමට ඊශ්‍රායලය ගෙන යන ප්‍රතිප්‍රහාරයක්’ ලෙස බටහිර ජනමාධ්‍යවලින් ගෙන යන ප්‍රබන්ධමය ප්‍රචාරවලට නිසි පිළිතුරක් සැපයීමයි. පලස්තීන ජනයා මුහුණ දෙන ඓතිහාසික දේශපාලන ගැටලුව සමඟ පවතින භූ දේශපාලන යථාර්ථයේ සබැඳියාව හෙළි කරන එය පලස්තීනයට එරෙහිව සහ ඊශ්‍රායලයට පක්ෂපාතීව බටහිර අධිරාජ්‍යවාදය විසින් ගොඩනගන ප්‍රබන්ධමය ඉතිහාසය මුළුමනින් බැහැර කරයි.

බලහත්කාරී ලෙස අත්පත් කර ගත් පලස්තීනයේ ප්‍රතිරෝධී සාහිත්‍යය

– ගසන් කනෆනි (1968)

1948 වසරේදී සයන්වාදීන් අතට පත් වූ පලස්තීන රාජ්‍යය බිඳ වැටීම නිසා, එම සයන්වාදීන් විසින් බලහත්කාරී ලෙස අත්පත් කර ගනු ලැබූ පලස්තීන භූමියේ විසූ අරාබි ජනගහනයට සහ ඔවුන්ගේ සමාජ ව්‍යුහයට බරපතළ විනාශයක් සිදු විය. ඉන්පසු තම නිජභූමියෙහි දිගටම ජීවත් වූ අරාබි ජාතිකයන් 200,000ක් අතරින් හතරෙන් තුනක්ම ගොවීහු / අඳ ගොවීහු වූහ. යුද්ධය අතරතුර හෝ ඉන්පසුව පලස්තීන නගර වැඩි හරියක් ඉවත් කරන ලදී. මෙය එහි සිටි අරාබි සම්භවයක් ඇති ප්‍රජාවගේ සමාජමය තත්ත්ව දරුණු ලෙස විනාශ කිරීමට හේතු විය. ඊට හේතුව වූයේ ඔවුන්ගේ දේශපාලන සහ සංස්කෘතික ප්‍රකාශනයට එම ඉවත් කරන ලද නගර කේන්ද්‍රස්ථාන වී තිබූ බැවිනි.

සයන්වාදීහු සිය මිලිටරි මෙහෙයුම් නවතා දැමූ පසුව ඔවුන්ගේ පීඩක විධික්‍රම දියත් කළහ. එහි පරිසරය ඔවුන්ට පහසු කලාපයක් විය. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වූයේ (පලස්තීනය තුළ) අරාබි අනන්‍යතාව මුලිනුපුටා දමා, නව ප්‍රවණතාවයේ බීජ කාවැද්දූ විට ඒවා වර්ධනය වී සයන්වාදී දේශපාලනයට සහ සාහිත්‍යයට අනුගත වීමක් වනු ඇතැයි යන්නය.

Come back, my friend! On reading Ghassan Kanafani's “Letter from Gaza” |  Verso Books

පිටුවහල් සාහිත්‍යය සහ අත්පත් කර ගත් භූමියේ මර්දනය

මේ ඛේදනීය බිඳ වැටීමට කලින් පලස්තීන සාහිත්‍යය එම සියවසේ මුල් භාගයේදී පෝෂණය වූ අරාබි සාහිත්‍ය ව්‍යාපාරයේ ප්‍රධාන ධාරාවේ කොටසක් විය. එය කයිරෝව මුල් කර ගත් මූලාශ්‍ර මත වැඩුණු අතර එවක එම සාහිත්‍ය ව්‍යාපාරයේ මුල් තැන ගත් ඊජිප්තු, සිරියානු සහ ලෙබනන ලේඛකයන්ගේ ආභාසය මත එය පෝෂණය විය. ප්‍රකට පලස්තීන සාහිත්‍යකරුවන් පවා ඔවුන්ව පිළිගෙන ඔවුන්ගේ සාහිත්‍යයික නිෂ්පාදන ඇගයුමට ලක් කළ අරාබි අගනගරවලට ඔවුන්ට ලබා දුන් ප්‍රසිද්ධිය වෙනුවෙන් ණයගැති වූහ. ඇත්ත වශයෙන්ම පලස්තීනය දේශපාලන කරළියෙහි සහ අරාබි ජාතිකවාදී අරගලයේ ප්‍රකට තැනක් අත්පත් කරගෙන සිටින කාලයකදී පලස්තීන සාහිත්‍යයේ අගය කුඩා වී යාමට කාරණා කිහිපයක්ම බලපෑවේය.

1948න් පසුව පලස්තීන සාහිත්‍යය නව සාහිත්‍ය ව්‍යාපාරයකට අඩිතාලම දැමීමට සමත් විය. එය වඩා හොඳින් විග්‍රහ කළ හැක්කේ පලස්තීන හෝ සරණාගත සාහිත්‍යය වෙනුවට පිටුවහලුන්ගේ සාහිත්‍යය ලෙස ගනිමිනි. මෙම සාහිත්‍ය ව්‍යාපාරයේ ප්‍රධාන අංගය වූ කවිය ගුණාත්මක සහ තාක්ෂණික අංශයෙන් සැලකිය යුතු ප්‍රගතියක් ලබනු දක්නට ලැබිණි. 1948 යුද්ධයෙන් පසු ටික කලක් නිහඬව පැවති එය ඉන්පසු විශාල පිබිදීමකට ලක් විය. ජනතාවගේ ජාතික අනුරාගය පිළිබිඹු කරන ජාතික කාව්‍ය බිහි වන්නට විය. එය අරාබි සහ විදෙස් සාහිත්‍යයික ප්‍රවණතා සමඟ ගැටෙමින් ටිකෙන් ටික තාක්ෂණයේ සම්ප්‍රදායික නීති කඩ කරමින්, පැරණි භාවමය පිපිරීම් නොතකා හරිමින් පවතින යථාර්ථයට වඩා අනුරූප වන, ගැඹුරු ශෝකයක් සහිත අනන්‍ය හැඟීමක් සමඟ නැවත කරළියට පැමිණියේය.

අනෙක් අතට බලහත්කාරී ලෙස අත්පත් කර ගනු ලැබූ පලස්තීනය තුළ බිහි වූ ප්‍රතිරෝධී සාහිත්‍යය මූලධාර්මික වෙනස්කම්වල විසම්මුති සමඟ ගැටීමකට ලක් කරන ලදී. සයන්වාදීන් විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගනු ලැබූ පලස්තීනයේ අරාබි සාහිත්‍යයේ කොඳුනාරටිය, ලේඛකයන් සහ සංස්කෘතික විද්වතුන්ගේ මුළුමහත් පරම්පරාවක සංක්‍රමණයෙන් පසු අතුරුදන් විය. පලස්තීනයෙන් වෙනත් රටවලට සංක්‍රමණය නොවූ අය බොහෝ දුරට ගම්බදව ඔවුන්ගේ සමාජයක් තනා ගත් අතර ලෝකයේ කවර ප්‍රදේශයකවත් නුවූ විරූ ලෙස එම ජන ප්‍රජාව දේශපාලනික, සමාජයීය සහ සංස්කෘතික පීඩාවන්ට බඳුන් විය.

අරාබි ප්‍රජාව මුහුණ දුන් සැබෑ තත්ත්වය

පහත සඳහන් කරුණුවලින් බලහත්කාරයෙන් අත්පත් කර ගත් පලස්තීනය තුළ ජීවත් වූ අරාබි සම්භවයක් ඇති ජනයා මුහුණ දුන් සැබෑ තත්ත්වය පෙන්වයි:

1- ඉතිරි වූ ජනයාගෙන් බහුතරය ඔවුන්ට හිමි වූ සමාජමය තත්ත්වය අනුව ලේඛකයන් සහ කලාකරුවන්ගේ නව පරම්පරාවක් සෑදීමට තරම් සංස්කෘතික සම්මතයක නොසිටියහ.

2- ඉන් පෙර ගම්බද පෙදෙස්වලින් පැමිණෙන දක්ෂ පලස්තීන තරුණ පිරිසට අත දුන් අරාබි නගර ඉන්පසුව සතුරාගේ තහනම් නගර බවට පත් කෙරිණ.

3- පලස්තීන අරාබි ජනගහනය කලාපයේ සෙසු අරාබි රටවලින් සම්පූර්ණයෙන් හුදෙකලා විය.

4- සයන්වාදී මිලිටරිය මගින් එම අරාබි ප්‍රජාව මත අතිශය දරුණු නීති පනවා ඔවුන්ගේ සාහිත්‍ය ප්‍රකාශන වාරණයට ලක් කළේය.

5- සාහිත්‍ය කෘති ප්‍රකාශනය සහ බෙදා හැරීම අතිශයින්ම සීමා කරන ලදී. එසේත් නැතිනම් තදබල නීති පනවා පවත්වාගෙන යන ලදී.  

6- අරාබිවරුන්ට විදෙස් භාෂා ඉගෙනීමට කිසිම ක්‍රමයක් නොතිබිණි. ද්විතීයික අධ්‍යාපනයට පිවිසියේ සුළු පිරිසකි. විශ්වවිද්‍යාල අධ්‍යාපනයට පිවිසි කෙනෙකු නැති තරම් විය.

එහෙයින් යළි ඉපදීමට සමත් වූ පලස්තීන සාහිත්‍යය කියවන විට, අරාබි ජනගහනය තම පැවැත්ම තහවුරු කිරීමටත් සිය ප්‍රකාශනය සඳහාත් මර්දනයේ සහ වධබන්ධනයේ අඳුරු රාත්‍රීන් තුළ අරගල කරමින් සිටින බව සිහියේ තබා ගත යුතු වේ. මේ මොහොත වන විට වේගවත් ලෙස ස්පන්දනය වන ප්‍රතිරෝධී සාහිත්‍යයක් බවට පැහැදිලි ලෙස පත් වීමට ඔවුන්ගේ ස්වකීය ප්‍රකාශනයට හැකි වී තිබේ.

interactive encyclopedia of the palestine question – palquest | ghassan  kanafani's funeral

මුවින් මුව පැතිරුණු ප්‍රතිරෝධයේ කවිය

මෙවැනි තදබල මර්දනකාරී වතාවරණයක් යටතේ ප්‍රතිරෝධයේ පළමු පෙරගමන්කරුවා ලෙස කවිය පත් වීම පහසුවෙන් තේරුම් ගත හැකිය. ඒ කවිය මුද්‍රණය කිරීමකින් තොරව මුවින් මුව ප්‍රචාරය කිරීම පහසු නිසාය. මෙමගින් ආරම්භයේදී කවිය, කට පාඩමින් මතක තබා ගැනීමට හැකි සහ ඉක්මනින් හැඟීම්වලට ආමන්ත්‍රණය කරන සම්ප්‍රදායික ආකෘතියට කොටු වීම පැහැදිලි කරයි. පළමුවෙන් පෙම් කවියේ ගුණාංග මූලික කොට ගත් නිර්මාණවල ආගමනයක් සිදු විය. ඉන්පසුව සම්ප්‍රදායික කාව්‍යයට සමගාමීව ජනප්‍රිය දේශභාෂීය (vernacular) කවි ප්‍රතිරෝධී ප්‍රකාශනයේ පළමු සාරය ලෙස එළි දකින්නට විය.

ඇත්ත වශයෙන්ම කියනවා නම් එක්දහස් නමසිය විසි ගණන්වල සිටම මෙකී ජනප්‍රියවාදී කවි පලස්තීන සාහිත්‍යයේ ඉතිහාසය තුළ විශාල භූමිකාවක් ඉටු කළ අතර මුළුමහත් අරාබි ලෝකය පුරාම ඒවා සුපතළව තිබිණ. වර්ෂ 1936දී බ්‍රිතාන්‍ය මැන්ඩේටය / බ්‍රිතාන්‍ය භාර දේශය විසින් මරණ දඬුවමට ලක් කළ පලස්තීන අරගලකරුවෙකු ගායනා කළ මෙම ජනප්‍රිය හිටිවන කවිය හැම පලස්තීනුවෙක්ම කට පාඩමින් දනිති:

රාත්‍රිය: සිරකරුට ඔහුගේ ගීය ගයා නිම කරන්නට ඉඩ දෙන්න

හිමිදිරිය වන විට ඔහු පියාපත් ගැටෙනු ඇත

ඔහුගේ සිරුර එල්ලී

සුළඟට වැනෙනු ඇත

රාත්‍රිය: පමා කරනු මැන නුඹේ පියවර

ඉඩ දෙනු වත්කරන්නට නුඹ තුළට මගෙ හදවත

බාගදා නුඹට අමතක ඇති මා ගැන

මගේ දුක්කම්කටොළු ගැන

අහෝ මගේ හෝරා

නුඹේ දෑතින් ගිලිහෙන අයුරු

මා බියෙන් හඬන බව නොසිතනු

මගේ මව්බිම වෙනුවෙනි ඒ කඳුළු

පියෙකු නොමැතිව සාගින්දරේ පැළක තනි වූ

මා දරු පැටවු වෙනුවෙනි ඒ කඳුළු

ඔවුන් සාගිනි නිවනු කවුරුද

මා නැතිව ගිය පසු

මගේ සොයුරන් දෙදෙනද

පෝරකයක් මතම එල්ලිණි මට පෙර

කෙලෙස දිවි ගෙවන්නද මා බිරින්දෑ

තනිව කඳුළු වගුරමින?

වළල්ලක්වත් නොපැලඳුවෙමි

ඇගේ අතෙහි

මගේ මව්බිම අවි දරනු රිසියෙන් හඬ නගන විට.

හැටේ දශකයේ නව සාහිත්‍ය පෙරළිය

ජනප්‍රියවාදී කවියේ ආධිපත්‍යය 1948න් පසුව වසර දහයක් පුරා නිසි ලෙස වර්ධනය වූ සම්මත සාහිත්‍යයක් බිහි වන තුරුම පැවතිණි. පරාජිතයන් සිය ප්‍රකාශනය සඳහා යොදා ගත් මාධ්‍යය වූයේ එයයි. එය ඔවුන්ගේ ජීවිතවල සෑම අවස්ථාවකම ආධිපත්‍යය දැරුවේය. ගිනිඅවි දැරූ බලකායන් නොතකා හරිමින් මංගල උත්සව, අවමංගල්‍ය උත්සව, හැන්දෑවරුවේ පැවැත්වෙන හමුවීම්වල සිට ජනතාව එක්රැස් වූ සෑම අවස්ථාවක්ම මෙම කවිවල බලපෑම නිසා තියුණු විරෝධය පෑම් බවට පත් විය. බොහෝ ජනප්‍රිය කවීහු සිරගත කෙරුණි. නැත්නම් ඔවුන් බරපතළ නීතිරීතිවලට යටත් කෙරිණි.

ජනප්‍රියවාදී කවියේ නැගීම සහ ප්‍රචලිත වීම ක්‍රමයෙන් සිදු වෙද්දී සයන්වාදී හමුදා ඔවුන්ගේ මර්දනයද තව තවත් වැඩි කළේය. ඔවුහු සමහර කවීන් ඝාතනය කළහ. අරාබිවරුන්ගේ රැස්වීම් තහනම් කළහ. මෙවැනි ක්‍රමවලින් ප්‍රතිරෝධයේ මෙම ප්‍රවණතාවය වළක්වාලිය නොහැකි විය. ඒ වෙනුවට එය අවුරුදු පහක් පමණ යටිබිම්ගතව තිබී ඉන්පසුව තියුණු බලයකින් සහ නව ජීවයකින් අලුතෙන් පුපුරා හැලිණ.

හැටේ දශකයේ ආරම්භය වන විට පුදුමයකට මෙන් ඉතා සුවිශේෂී මෙම අලුත් සාහිත්‍ය රැල්ල කරළියට පැමිණියේය. මෙම සාහිත්‍ය රැල්ල නියෝජනය කළෝ ධෛර්යසම්පන්න වූහ. ජීව ගුණයෙන් පිරිපුන් සුබවාදීහු වූහ. මෙම වකවානුවේම පිටුවහල්ව ජීවත් වූ, බොහෝ විට දුක් දොම්නසින් පිරි නිර්මාණවලට පණ පෙවූ කවීන්ට වඩා විරෝධාකල්පයේ ජීවයෙන් ඔද වැඩුණෝ වූහ.  

මෙම නව පෙරළියට වහාම පෙර දශකය වඩා හොඳින් හැඳින්විය හැක්කේ අරාබි ජාතික අනන්‍යතාවය, අරගලයේ අභිප්‍රාය සමඟ ඒකාබද්ධ වූ කාලවකවානුව ලෙසයි. 1948න් පසුව පෙම් කවිය වෙත නැඹුරු වූ පරාජිත සහ අසරණ බවින් පෙළුණු නිර්මාණකරුවෝ හැටේ දශකය උදා වූ පසුව නිර්භීත, බලාපොරොත්තු සහගත සහ පසුනොබසින ප්‍රතිරෝධයේ සැබෑ බලයක් බවට පත් වූහ.

Palestinian Resistance Literature Under Occupation, 1948–1968 [Excerpt] •  Protean Magazine

පෙම් කවි යනු 1948න් පසු අරාබි ප්‍රජාව අත්විඳි දැවැන්ත හුදෙකලාව සහ නෙරපා හැරීමෙහි කටුක බව පිටතට ප්‍රකාශ වූ විධියයි. තමන් පරාජිත සුළුතරයකිය යන හැඟීම කාලය දිගේ ඉන්පසු නිර්භයව විරෝධය දැක්වීමක් වෙත වෙනස් වන්නට විය. ඉන්පසු ඔවුන්ට තමන් සිටින කටුක තත්ත්වය සමඟ මුහුණට මුහුණ ගැටෙන්නට හැකි විය.

ප්‍රතිරෝධය දැක්වීම පහසු කටයුත්තක් නොවිණ. එය ඊට වඩා ජීවිතය සහ මරණය අතර ප්‍රශ්නයක් ලෙස සලකන දරුණු හමුදාවක් සමඟ කරන ලද දෛනික සටනක් විය. මර්දනය දරුණු වන විට ප්‍රතිරෝධය ශක්තිමත් විය. පිටුවහල් කවියට වඩා, ප්‍රතිරෝධී කවිය දුක් කඳුළු පිරි ප්‍රවණතාවයෙන් තොරව විස්මයජනක විප්ලවීය ජීවයකින් කරළියට පැමිණියේය. පුදුමයකට මෙන් එය අරාබි රටවල සියලු දේශපාලන කැළඹිලි සමඟ අනුනාද විය.

ප්‍රතිරෝධී කාව්‍යයේ නව ආකෘතිය සහ මාධ්‍ය

ප්‍රතිරෝධී කාව්‍යය එහි අරමුණෙන් සහ සාහිත්‍යමය බලපෑමෙන් පමණක් නොව එහි ආකෘතිය සහ තාක්ෂණය අතින්ද වෙනසක් පෙන්නුම් කළේය. එය සම්ප්‍රදායික කාව්‍ය ආකෘති බැහැර කර එහි බලය නොසිඳෙන ලෙස නූතන තාක්ෂණික ක්‍රම ඊට ඇතුළත් කර ගත්තේය. අරමුණ අතින් ගත් විට ප්‍රතිරෝධී කාව්‍ය ප්‍රකාශනයේ විවිධ මාධ්‍ය වෙත නැඹුරු වනු දකින්නට ලැබිණ:

ප්‍රේමය – ආදරවන්තියකට බැඳි ආලය මව්බිම කෙරෙහි ඇති ආලයට මුළුමනින්ම සම කෙරිණි. ගැහැනිය සහ පොළොව සම්පූර්ණයෙන් එක් කරන ලදී. ගැඹුරු ප්‍රේමය විමුක්තියේ සුවිසල් අරමුණ වෙත පරිවර්තනය කරන ලදී.

උපහාසය – සතුරා සහ ඔවුන්ගේ හෙන්චයියන් හාස්‍යයට ලක් කර මර්දනයේ විධික්‍රම තියුණු උත්ප්‍රාසයට ලක් කරන ලදී. මෙම ප්‍රවණතාවය විසින් ප්‍රකාශ කරනු ලැබුවේ සිදු වෙමින් තිබෙන සියල්ල අල්පකාලික ලෙස දකින සජීවී බවින් සහ අපරාජිත බවින් පිරුණු ජීව ගුණයකි. මෙම සංක්‍රාන්තීය අවධිය කවදාහෝ යථා තත්ත්වයට පත් වන බව හෝ පත් කළ යුතු බවකි.

විරෝධය සහ අභියෝගය – සතුරා නිරාවරණය කර සටන්කාමීන්ගේ නොබිඳෙනසුලු නිර්භය ආත්ම සමඟ මුහුණට මුහුණ ගැටෙන්නට සලස්වන ලදී.

වාමවාදී නැඹුරුව සහ විප්ලවීය ආත්මය

මෙහිදී විශේෂයෙන් සැලකිය යුතු කරුණ වන්නේ මෙම ප්‍රතිරෝධී කවි මූලිකව වාමවාදී ලෙස හඳුන්වනු ලැබීමයි. මේ වකවානුවේ පලස්තීන ජීවිත මත ආධිපත්‍යය විහිදුවන ලද වාතාවරණය මගින් ඇති කරන ලද ප්‍රතිඵලය එයයි. එම වාතාවරණය මෙසේ කරුණු කිහිපයකින් සංක්ෂිප්ත කොට දැක්විය හැකිය:

පලස්තීනයෙහි ජීවත් වූ අරාබි ජනගහනයෙන් බහුතරයක් ගම්බදව ජීවත් වූ අතර ඔවුන් 1948ට පෙර බ්‍රිතාන්‍ය මැන්ඩේටයට විරුද්ධ විප්ලව සහ ජනතා නැගිටීම්වලට සෑහෙන ලෙස දායක වූ අයයි. එමෙන්ම 1948 වසරේදී දරුණුම බලපෑමට ලක් වූයේද ඔවුන්ය.

ඔවුන්ගේ ජීවිත ඉතා දුක්ඛිත විය. දෛනික ජීවිතය පවත්වාගෙන යාමේදීද ඔවුන්ට දරුණු කුරිරු පාලනයක් අත්විඳින්නට සිදු විය.

සතුරාගේ පැවැත්ම අධිරාජ්‍ය ගැති, ධනේශ්වර ක්‍රමයක ප්‍රතිඵලයක් වූ අතර ඔවුන් අඛණ්ඩ පැවැත්මද ධනවාදය මගින් තහවුරු කරන ලද්දකි.

තවදුරටත් පවසන්නේ නම් පලස්තීන ප්‍රතිරෝධී කවි සෑම සයන්වාදී විශ්වාසයකටම අභියෝගයකි. එය එම විශ්වාස සමඟ එකින් එක ගැටෙමින් ඒවා බැහැර කර දමයි. එය හුදු හැඟීම්බර බවින් මිදී විචාරය මත පදනම් වූ ශක්තිමත් සාහිත්‍යයකි. මේ සියල්ලටම වඩා එය අරාබි විප්ලවීය දම්වැලේ වැදගත් පුරුකක් වූ අතර ප්‍රගතිශීලී අරාබි ව්‍යාපාරය සමඟ අතිනත ගෙන ගමන් කරයි. සියලු බාධක සහ කම්කටොළු මැද ඊට සැබෑ සාහිත්‍යයක් බවට පත් වී විප්ලවීය කවියාගේ ආත්මය පාඨකයා වෙත ඉදිරිපත් කරන්නට හැකිව තිබේ.

(සිංහල පරිවර්තනය – කත්‍යානා අමරසිංහ)

මූලාශ්‍ර සබැඳි:

Poetry of Resistance in Occupied Palestine (1968) – Ghassan Kanafani (Internet Archive)

Ghassan Kanafani’s Theory of Resistance Literature in Occupied Palestine (University of Exeter Archives)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...