යාපනයේදී අතුරුදන් වූ මානව හිමිකම් ක්‍රියාකාරීන් වන ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් යන දෙදෙනා සම්බන්ධ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය 2027 පෙබරවාරි 12 වැනිදා දක්වා කල් තැබීමට යාපනය මහේස්ත්‍රාත් එස්. ලෙනින් කුමාර් මහතා අද (27) නියෝග කළේය.
මෙම නඩුවට අදාළව හිටපු ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටිමින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබා දුන්නේය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ මහතා යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ සිට සාක්ෂි මෙහෙයවීම සිදු කළ අතර, 2009 - 2012 කාලසීමාව තුළ සිදු වූ බව කියන පැහැරගැනීම් සහ අතුරුදන් කිරීම් කිහිපයක් පිළිබඳව එහිදී දීර්ඝ ලෙස ප්‍රශ්න කෙරිණි.
ආරක්ෂක ලේකම් ධුරයේ වගකීම් සහ මතකය පිළිබඳ ප්‍රශ්න කිරීම්
සාක්ෂි විභාගය අතරතුර නීතිඥ නුවන් බෝපගේ මහතා මාධ්‍යවේදී කීත් නොයාර්, පෝද්දල ජයන්ත සහ දේශපාලන ක්‍රියාකාරී කුමාර් ගුණරත්නම් යන අය පැහැරගැනීමේ සිදුවීම් පිළිබඳව හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් කරුණු විමසීය.
ඊට පිළිතුරු දෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ කියා සිටියේ, ආරක්ෂක ලේකම්වරයා ලෙස තම වගකීම වූයේ ජාතික ආරක්ෂාව සම්බන්ධ ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සහ අවශ්‍ය පිරිස් බලය යෙදවීම බවයි. පැහැරගැනීම් හෝ අතුරුදන්වීම් පිළිබඳ විමර්ශන පැවැත්වීම පොලිසිය සහ බුද්ධි අංශවල වගකීමක් බව ඔහු සඳහන් කළේය.

කීත් නොයාර් මාධ්‍යවේදියා නිදහස් කිරීමට දැනුවත්ව මැදිහත් වූ බවට නීතිඥවරයා කළ යෝජනාව හිටපු ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළේය. "සෘජුවම යම් තොරතුරක් ලැබුණොත් එය පොලිස්පතිවරයාට හෝ බුද්ධි ප්‍රධානියාට දැනුම් දීම මිස පෞද්ගලික මැදිහත්වීමක් සිදු කළේ නැහැ," යනුවෙන් ඔහු පැවසීය.
පෝද්දල ජයන්ත මාධ්‍යවේදියා පැහැරගැනීම ඇතුළු 2009 වර්ෂයේ සිදු වූ බව කියන සිදුවීම් වසර ගණනාවක් පැරණි බැවින් ඒ පිළිබඳව තමන්ට මතකයක් නොමැති බව හිටපු ජනාධිපතිවරයා කිහිප විටක්ම අධිකරණයට දන්වා සිටියේය.
පුවත්පත් වාර්තාව සහ හඬපටය පිළිබඳ විවාදය
2015 නොවැම්බර් 08 වැනිදා 'සත්හඬ' පුවත්පතට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක් සහ ඊට අදාළ බව කියන හඬපටයක් සම්බන්ධයෙන් ද නීතිඥවරයා කරුණු ඉදිරිපත් කළේය. කුමාර් ගුණරත්නම් මහතා අත්අඩංගුවට ගැනීම ගැන එම හඬපටයේ සඳහන් වන බව පැමිණිලි පාර්ශ්වය පෙන්වා දුන්නේය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී එම හඬපටය සාක්ෂිකරුට ඇසීමට සැලැස්වූ අතර, එය පැහැදිලි නොමැති බවත් තමන්ගේම හඬපටයක් දැයි තහවුරු කර ගත නොහැකි බැවින් එය පිළිගත නොහැකි බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවක්
හිටපු ජනාධිපතිවරයා සාක්ෂි දීම සඳහා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි අවස්ථාවේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට නිහඬ විරෝධතාවක් පවත්වනු ලැබීය.
එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා කියා සිටියේ, 2011 දෙසැම්බර් 09 වැනිදා රාත්‍රියේ යාපනය අධි ආරක්ෂිත කලාපයකදී ලලිත් සහ කුගන් අතුරුදන් වී වසර 15ක් ගත වී ඇතත් මෙතෙක් ඔවුන් පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බවයි.

එවකට කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා මොවුන් අත්අඩංගුවේ පසුවන බවට පළමුව ප්‍රකාශ කළ බවත්, පසුව නඩු විභාගයේදී එම තොරතුරු තමන්ට ලැබුණේ එවකට ආරක්ෂක ලේකම්වරයාගෙන් බවට සාක්ෂි දී ඇති බවත් ජයගොඩ මහතා සිහිපත් කළේය.
හිටපු ආරක්ෂක ලේකම්වරයාට අධිකරණය හමුවේ "මතක නැතැයි" පවසමින් මඟහැර යා නොහැකි බව පැවසූ ඔහු, පෙර පුවත්පත් සාකච්ඡාවලදී සිදු කළ ප්‍රකාශ සැලකිල්ලට ගැනීමේදී මෙම සිදුවීම් පිළිබඳව ඔහු දැනුවත්ව සිටි බවට තම පක්ෂය විශ්වාස කරන බව චෝදනා කළේය.
"අපි යුක්තිය සඳහා සටන නවත්වන්නේ නැහැ. අපට අවශ්‍ය පළිගැනීමක් නෙවෙයි. වරදක් කළ අයට කවදා හෝ දඬුවම් ලැබෙන බව තහවුරු කළොත් විතරයි අනාගතයේ මෙවැනි දේ සිදුවීම වළක්වන්න පුළුවන් වෙන්නේ. අපේ මේ සටන අතීතයට යුක්තිය ඉල්ලා සිටීමක් පමණක් නෙවෙයි, අනාගතයේ කිසිවෙකුට මෙවැනි ඉරණමක් අත්වීම වැළැක්වීම සඳහායි." - පුබුදු ජයගොඩ
මෙම නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය සඳහා ලබන වසරේ පෙබරවාරි 12 වැනිදා යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපතිවරයාට නියෝග කෙරිණි.



