The Leader News
BREAKING
ජාතක කතාවලින් හෙළිවන ස්ත්‍රී චරිතය●කුණු කූඩය හිමි යැයි සිතූ ගීත මුළු රටක් ම වැලඳ ගත් අයුරු●අව්‍යාජ ආදරය ලැබීම සඳහා ගැහැනියක ගේ අරගලය: 'ලේඩි චැටර්ලිස් ලවර්'●ආසියාවේ ආර්ථික පිම්ම මැද ශ්‍රී ලංකාවට මඟහැරෙන තරගය●ණය ශ්‍රේණිය ඉහළ යාම සැබෑ ආර්ථික දියුණුවක්ද? දිලිත් පහදයි●Diginote | ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම 'B-' දක්වා ඉහළට●දිට්වා කුණාටුවෙන් බිඳුණු කඳුකර ගොවිබිම යළි පණගන්වන ජාත්‍යන්තර මෙහෙයුම●යුද සමයේ සහන සේවා ප්‍රහාර ගැන ප්‍රසිද්ධියේ සමාව ඉල්ලන්න: UN ඉල්ලයි●ලාෆ්ස් ගෑස් අර්බුදය: පාරිභෝගිකයාටත් කොටස් වෙළෙඳපොළටත් තීරණාත්මක සතියක්●එයාර්බස් ගනුදෙනුවේ නඩුවට ප්‍රංශ මූල්‍ය විමර්ශිකාවක් ශ්‍රී ලංකාවට●
Top Ad
සාහිත්‍ය - කලා

ජාතක කතාවලින් හෙළිවන ස්ත්‍රී චරිතය

Nethmini

Nethmini

November 28, 2026 • 1:15 PM

ජාතක කතාවලින් හෙළිවන ස්ත්‍රී චරිතය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය සතියේ මවිසින් ලියන ලද '' ජාතක කතාවලින් පිළිබිඹු වන ස්ත්‍රිය පිළිබඳ සංකල්ප'' යන මැයෙන් වූ ලිපියේ ඉතිරි කොටස් අද සිට පල කිරීමට මම අදහස් කළෙමි.
  • ජාතක කතා සංග්‍රහය විමිසිලිමත්ව කියවීමේ දී යට සඳහන් මාතෘකාව තවත් කොටස් කිහිපයකට ම බෙදෙිය හැකි බව පසක් විය; ඒ මෙසේ ය 1.
  • ජාතක කතාවලින් හෙළිවන ස්ත්‍රී චරිතය 2.
  • ජාතක කතාවල ස්ත්‍රිය: දුර්වලතා සහ ශක්තිය 3.
අකුරු ප්‍රමාණය (Font Size):

පසුගිය සතියේ මවිසින් ලියන ලද ''ජාතක කතාවලින් පිළිබිඹු වන ස්ත්‍රිය පිළිබඳ සංකල්ප'' යන මැයෙන් වූ ලිපියේ ඉතිරි කොටස් අද සිට පල කිරීමට මම අදහස් කළෙමි.

ජාතක කතා සංග්‍රහය විමිසිලිමත්ව කියවීමේ දී යට සඳහන් මාතෘකාව තවත් කොටස් කිහිපයකට ම බෙදෙිය හැකි බව පසක් විය; ඒ මෙසේ ය

1. ජාතක කතාවලින් හෙළිවන ස්ත්‍රී චරිතය

2. ජාතක කතාවල ස්ත්‍රිය: දුර්වලතා සහ ශක්තිය

3. ජාතක සාහිත්‍යයේ ස්ත්‍රී නිරූපණය

4. ජාතක කතාවල ස්ත්‍රී චරිත පිළිබඳ විමසුම

5. ජාතක කතාවල ස්ත්‍රිය සහ සමාජ දෘෂ්ටිය

6. ජාතක කතාවල ස්ත්‍රී දුර්වලතා: සමාජ විචාරාත්මක කියවීම

ඒ අනුව පළමුවෙන් ම පිළිබඳව ''ජාතක කතාවලින් හෙළිවන ස්ත්‍රී චරිතය'' පිළිබඳ සාකච්ඡා කරමු.

ජාතක කතා යනු බෞද්ධ සාහිත්‍යයේ පමණක් නොව ලෝක සාහිත්‍යයේ ද වැදගත් ස්ථානයක් හිමිකරගත් කතා සම්ප්‍රදායකි. බෝසතාණන් වහන්සේ ගේ පෙර භව ආශ්‍රයෙන් ගොඩනැගුණු මෙම කතා තුළින් මානව ජීවිතයේ විවිධ පැතිකඩ, මිනිස් හැසිරීම්, සදාචාරාත්මක ගුණධර්ම, සමාජ සබඳතා සහ මානසික ස්වභාව නිරූපණය කරයි. එහිදී ස්ත්‍රී චරිතවලට ද සුවිශේෂී ස්ථානයක් හිමි වී තිබේ.

ස්ත්‍රිය, පුරුෂයා ගේ ආධ්‍යාත්මික ගමනට බාධාවක් ද…?

ජාතක කතා විමසා බැලීමේ දී පෙනී යන වැදගත් කරුණක් වන්නේ ස්ත්‍රී චරිත නිරූපණය බොහෝ විට පුරුෂ චරිතවලට සාපේක්ෂව ගොඩනැගී තිබීම ය. විශේෂයෙන් බෝසතාණන් වහන්සේගේ චරිතය ඉස්මතු කිරීම, උන්වහන්සේ ගේ සදාචාරාත්මක ශක්තිය සහ ආධ්‍යාත්මික සංවර්ධනය නිරූපණය කිරීම සඳහා ඇතැම් ස්ත්‍රී චරිත යොදාගෙන ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ස්ත්‍රිය ඇතැම් අවස්ථාවල පුරුෂයා ගේ ආධ්‍යාත්මික ගමනට බාධාවක් වන චරිතයක් ලෙස ද නිරූපණය කර ඇත.

ස්ත්‍රී ආකර්ෂණය පුරුෂ ආධ්‍යාත්මිකභාවය පිරිහීමට හේතුවක් ද…?

ජාතක කතාවල දක්නට ලැබෙන ස්ත්‍රී චරිත අතර ප්‍රධාන වශයෙන් හඳුනාගත හැකි ස්වභාවයක් වන්නේ රාගය, ඊර්ෂ්‍යාව, මානය, කපටිකම, වංචාව සහ අවිශ්වාසය යනාදි දුර්වලතා සහිත චරිත නිරූපණය යි. ඇතැම් කතාවල ස්ත්‍රිය: පුරුෂයා නොමග යවන, ඔහු ගේ සිතෙහි රාගික හැඟීම් අවුළුවන හෝ ඔහු ගේ සදාචාරාත්මක පැවැත්ම බිඳ දමන තැනැත්තියක ලෙස නිරූපණය කර ඇත. මෙවැනි නිරූපණ තුළින් පුරුෂයා ආධ්‍යාත්මික වශයෙන් පිරිහීමට හේතුවක් ලෙස ස්ත්‍රී ආකර්ෂණය හඳුන්වා දෙන ආකාරයක් ද දැකිය හැකි ය. එහෙත් ජාතක කතාවල ස්ත්‍රී චරිත සියල්ල ම එවැනි ඍණාත්මක ස්වභාවයකින් නිරූපණය වී ඇතැයි පැවසීම සාධාරණ නොවේ. පතිවත රකින, ස්වාමිපුරුෂයා කෙරෙහි විශ්වාසවන්ත වන, දරුවන් වෙනුවෙන් කැපවන, දුක් දරාගන්නා සහ පවුලේ යහපත වෙනුවෙන් ක්‍රියාකරන ස්ත්‍රී චරිත ද මෙම කතා තුළ හමු වේ. මෙවැනි චරිත මගින් ස්ත්‍රිය තුළ පවතින ආදරය, කරුණාව, ඉවසීම, පරිත්‍යාගශීලීත්වය සහ අධිෂ්ඨානශීලීභාවය වැනි ගුණාංග නිරූපණය කර ඇත.

ජාතක කතාවල ස්ත්‍රී චරිතවලට හිමි වන කථන අවකාශය

විශේෂයෙන් වෙස්සන්තර ජාතකය බඳු කතාවල මද්‍රී දේවිය ගේ චරිතය විමසා බැලීමේදී ස්ත්‍රිය ගේ කැපවීම, පවුල කෙරෙහි ඇති බැඳීම සහ දුෂ්කර අවස්ථාවල දී දරාගැනීමේ ශක්තිය පිළිබඳව අවධානය යොමු කළ හැකිය. එහෙත් එවැනි චරිත විග්‍රහ කිරීමේදී ස්ත්‍රිය ගේ කැපවීම පමණක් නොව, ඇය මුහුණ දෙන අභියෝග සහ ඇගේ ස්වාධීන කැමැත්තට ලැබෙන අවකාශය ද විමසා බැලිය යුතු ය. මෙහි දී අවධානය යොමු කළ යුතු තවත් වැදගත් කරුණක් වන්නේ ජාතක කතාවල ස්ත්‍රී චරිතවලට හිමි වන කථන අවකාශය යි. බොහෝ අවස්ථාවල පුරුෂ චරිත කතාවේ තීරණාත්මක ක්‍රියාකාරීන් බවට පත්වන අතර ස්ත්‍රී චරිත ඔවුන්ගේ ජීවිතවලට බලපාන අනුබද්ධ චරිත බවට පත්වේ. ස්ත්‍රියගේ සිතුම් පැතුම්, ඇගේ තීරණ සහ ඇගේ ජීවන අත්දැකීම් ස්වාධීනව ඉදිරිපත් වීමට ලැබෙන අවස්ථා සාපේක්ෂව සීමිතය.මෙම තත්ත්වය හුදෙක් සාහිත්‍යමය ලක්ෂණයක් ලෙස පමණක් නොව, එම කතා නිර්මාණය වූ සමාජයේ ස්ත්‍රී-පුරුෂ බල සම්බන්ධතා පිළිබඳ දර්ශකයක් ලෙස ද විමසා බැලිය හැකිය. පැරණි සමාජයේ ස්ත්‍රිය ගෙන් අපේක්ෂා කළ කීකරුකම, පතිවත, පවුලට කැපවීම සහ පුරුෂයාට අවනත වීම යනාදි සංකල්ප කතා තුළින් ප්‍රකාශයට පත්වන ආකාරය හඳුනාගත හැකි ය. එමෙන්ම එම අපේක්ෂාවලට එරෙහිව ක්‍රියාකරන ස්ත්‍රී චරිත ඇතැම් විට දුෂ්ට හෝ දඬුවම් ලැබිය යුතු චරිත ලෙස නිරූපණය වීම ද සැලකිල්ලට ගත යුතු ය. මෙවැනි නිරූපණ පිළිබඳව නූතන ස්ත්‍රීවාදී සාහිත්‍ය විචාරයේදී ද අවධානය යොමු වී තිබේ.

ජාතක සාහිත්‍යයේ ස්ත්‍රී නිරූපණය පිළිබඳ නයෝමි ඇපල්ටන් ගේ අදහස

නයෝමි ඇපල්ටන්

බෞද්ධ ජාතක සාහිත්‍යයේ ස්ත්‍රී නිරූපණය පිළිබඳ අධ්‍යයනයක දී නයෝමි ඇපල්ටන් පෙන්වා දෙන්නේ ඇතැම් පාලි ජාතක කතාවල ස්ත්‍රිය පුරුෂයා ගේ ආධ්‍යාත්මික ගමනට බාධාවක් ලෙස නිරූපණය වන අතර, ස්ත්‍රී චරිතවලට තමන්ගේ ම හඬක් ලබාදෙන අවස්ථා ද සීමිත බවයි. එහෙත් එම අධ්‍යයනයෙන් මතුකරන වැදගත් කරුණක් වන්නේ බුදුදහමේ ආධ්‍යාත්මික විමුක්තිය ලැබීමේ හැකියාව ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයට ම පිළිගැනෙන පසුබිමක් තුළ, ජනප්‍රිය කතා සාහිත්‍යයේ ස්ත්‍රී නිරූපණය ඊට සමානව සාධාරණ නොවීම ය. ඒ අනුව ජාතක කතාවල ස්ත්‍රී චරිත විමසා බැලීමේ දී ඒවායේ අන්තර්ගතය පමණක් නොව, එම චරිත නිරූපණය කර ඇති ආකාරය, ඒවාට ලබාදී ඇති කථන අවකාශය සහ ඒවා තුළින් සමාජයට සම්ප්‍රේෂණය වන ආකල්ප ද විමසා බැලිය යුතු ය. යම් ස්ත්‍රී චරිතයක් දුර්වල හෝ දුෂ්ට ලෙස නිරූපණය වූ පමණින් සමස්ත ස්ත්‍රී වර්ගය පිළිබඳ නිගමනයකට එළඹීම සාහිත්‍ය විචාරයේ දී සාධාරණ නොවේ.

ජාතක කතාවල ස්ත්‍රී චරිත අධ්‍යයනය කළ යුත්තේ කෙසේ ද?

අවසාන වශයෙන් කිව හැක්කේ ජාතක කතාවලින් හෙළිවන ස්ත්‍රී චරිතය එකම ආකෘතියකට සීමා කළ නොහැකි බවයි. එහි යහපත් මෙන්ම අයහපත් චරිත ද, කැපවීම මෙන්ම වංචාව ද, ආදරය මෙන්ම ඊර්ෂ්‍යාව ද, බුද්ධිමත්භාවය මෙන්ම අවිචාරවත්භාවය ද නිරූපණය වේ. එහෙත් මෙම නිරූපණ අතරින් වඩාත් වැදගත් වන්නේ ස්ත්‍රිය පිළිබඳ පැරණි සමාජයේ පැවති ආකල්ප, අපේක්ෂා සහ පුරුෂාධිපත්‍යවාදී දෘෂ්ටිය හඳුනාගැනීමට ලැබෙන අවස්ථාවයි. එබැවින් ජාතක කතාවල ස්ත්‍රී චරිත අධ්‍යයනය කළ යුත්තේ ඒවායේ දක්නට ලැබෙන දුර්වලතා ලැයිස්තුගත කිරීමෙන් පමණක් නොවේ. එම චරිත තුළින් පිළිබිඹු වන මානව ස්වභාවය, සමාජ සංස්කෘතික පසුබිම සහ ස්ත්‍රී-පුරුෂ සබඳතාවල බල ව්‍යුහය ද විමර්ශනය කිරීමෙනි. එබඳු විචාරාත්මක කියවීමක් තුළින් ජාතක සාහිත්‍යය වඩාත් ගැඹුරින් අවබෝධ කරගැනීමටත්, එහි සමාජ හා සාහිත්‍යමය වටිනාකම නව මානයකින් විමසීමට හැකි ය.

ජයසිරි අලවත්ත

නිදහස් ලේඛක

jayasirialawatta11@gmail.com

View all stories by ජයසිරි අලවත්ත
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...