අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලැස්ම පිළිබඳව පසුගිය දිනවල රටේම අවධානය යොමු විය. මේ සඳහා වන ගැසට් පත්‍රය ප්‍රසිද්ධ කර මාස ගණනාවක් ගතවූ පසු ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මේ සැලැස්ම පිළිබඳ සැකයන් ඉස්මතු කර තිබුණි. එසේ වුවද අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලැස්ම පිළිබඳව රටේ බොහෝ දෙනාගේ අවධානය යොමු වූයේ බලංගොඩ කස්සප හිමියන් ඇතුළු කණ්ඩායමක් ඊට එරෙහිව සත්‍යග්‍රහයක් රුවන්වැලි සෑ රථ ගාල අසල ආරම්භ කිරීමත් සමඟය.
බලංගොඩ කස්සප හිමියන් මීට පෙර ත්‍රිකුණාමල ජයන්ති විහාරයේ බුදුපිළිම තැන්පත් කිරීමේ සිද්ධියේදී හා ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාර නිලධාරීන් විසින් බලහත්කාරයෙන් ඉවත් කිරීමේ සිද්ධියට එරෙහි විරෝධතා පා ගමනේදී ඒවාට මැදිහත් වී දැඩි සටන්කාමී අදහස් පළ කරමින් කැපී පෙනුණු භික්ෂූන් වහන්සේ නමකි. උන් වහන්සේගේ එම සටන් ක්‍රියාමාර්ග උපායශීලිත්වය වෙනුවට ආවේගශීලිත්වය ඉස්මතු කරන අනතුරුදායක ඒවා බව බොහෝ දෙනා පවසති.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පිළිබඳව මතු වූ සටන උපායශීලී ලෙස කූටප්‍රාප්තියේදී ගත යුතු විරාමය ගැනීමට ඉඩ නොදී විහාරමහා දේවී උද්‍යානයේ සත්‍යග්‍රහය දක්වා ඇදගෙන ගොස් අවසානයේ කඩාකප්පල් කරන්නට ආණ්ඩුවට ඉඩ ලබා දුන්නේ බලංගොඩ කස්සප හිමියන්ගේ ආවේගශීලී දුර්වල සටන් ක්‍රියාමාර්ගය නිසා බවද බොහෝ දෙනෙක් පවසති. මේ නිසාම පා ගමනට තිබුණු බහුජන සහභාගිත්වය විහාරමහා දේවී උද්‍යානයේදී දක්නට නොලැබුණු බව නම් ඇත්ත ය.
කළුනික සෙවීමක් බඳු වූ ගැසට් නිවේදනය
විහාරමහා දේවී උද්‍යාන සටන කඩාකප්පල් වීමත් සමඟ අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්ම පිළිබඳව උන් වහන්සේ දියත් කළ සටනත් කිසිදු අධ්‍යයනයකින් තොරව හුදු හැඟීමට පමණක් ආරම්භ කළ එකක් නිසාදෝ එයට පහර දී අවසන් කිරීමට හැකි විය. ඒ කෙසේ හෝ අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලැස්ම හා ඊට ඉන්දීය ආණ්ඩුවේ සහභාගිත්වය අරභයා මෙරට බෞද්ධයින් තුළ මතු වූ සැකසංකා නම් තවමත් අවසන් වී නැති බව පැහැදිලි ය.

ඒ නිසාම මේ පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලැස්ම ප්‍රකාශයට පත් කළ 2026/2/27 දිනැති අංක 2477/44 දරන ගැසට් පත්‍රය සොයා ගැනීමට පසුගිය සතියම උත්සාහ ගත්තෙමි. එසේ වුවත් ආණ්ඩුව විසින් ප්‍රසිද්ධ කළ ගැසට් නිවේදනය සොයා ගැනීම කළුනික සොයනවාටත් වඩා අසීරු කරුණක් බව තේරුණේ ඒ උත්සාහයේදී ය.
රජයේ ආයතන ගණනාවක වෙබ් අඩවි පිරික්සුවද එය අතුරුදහන් වී තිබුණි. අවසානයේ කෘත්‍රිම බුද්ධියේ පිහිට පැතුවද ඊටත් එය සොයා ගත නොහැකි විය. ආණ්ඩුවේ ආයතන මේ ගැසට් නිවේදනය හැංගීමෙන්ම ආණ්ඩුව කෙරෙහි මේ අරභයා බෞද්ධ මහජනයාට පවතින සැකය තහවුරු කරමින් සිටින බව තේරෙන කිසිම ලොක්කෙකු ඒ ආයතනවල නොසිටීම ගැන කණගාටු ය. අවසානයේ කෙසේ හෝ මගේ උත්සාහය ඵල දරමින් මගේ මිත්‍රයෙක් මේ ගැසට් පත්‍රයේ ඩිජිටල් පිටපත මා වෙත එව්වේය.
නිල නිවේදන කියවන හැටි කියා දුන් අපූරු මිතුරා
ආණ්ඩුවේ නිල නිවේදන අධ්‍යයනය කරන අන්දම ගැන මට මුලින්ම කියා දුන්නේ කිසිම දිනක රාජ්‍ය සේවයට සම්බන්ධ වී නොසිටි අපේ වැඩිහිටි මිත්‍රයෙකු වූ අභාවප්‍රාප්ත විජේසිංහ මහතා ය. ඔහු රටේ ප්‍රභූ පරපුරකට අයත් සබරගමුවේ පදිංචිව සිටි පවුලක සාමාජිකයෙකි. ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා දන්නා තරමින් උසස් පෙළ දක්වා ඉගෙනගෙන වාමාංශික දේශපාලන කටයුතුවලට සම්බන්ධ වී සිටි ඔහු පාර්ලිමේන්තු මැතිවරණ දෙකකදී සබරගමුවේ අසුනකට ස්වාධීනව තරඟ කිරීමත් කළේය.
ඔහු අවසානයට තරඟ කළ 1977 මහ මැතිවරණය දා ඔහු සිටියේ කොට්ටාව ප්‍රදේශයේ හිතවතෙකුගේ නිවසක දේශපාලනමය සතුටු සාමීචියක යෙදෙමිනි. නිදහසේ සැරිසරමින් කල් ගෙවූ අපූරු මිනිසෙක් වූ විජේසිංහ එකල නිත්‍ය වාසස්ථානයක නොරැඳුණු, රෑ බෝ වූ තැන දන්නා හඳුනන මිතුරකුගේ නිවසේ රාත්‍රිය ගත කළ අයෙකි. එක දිගට දින දෙකකට වඩා එකම නිවසක කවර හේතුවක් මත හෝ රැඳී නොසිටින ඔහු සංචාරයේ යෙදෙමින් මිනිසුන්ට උදව් උපකාර කරමින් ඒවා ආවර්ජනයෙන් සතුටු වූ උදාර මිනිසෙකි.
එදිනෙදා වියදම සඳහා ඉල්ලීම් කරන අයට ඉංග්‍රීසි උගන්වා ලැබෙන මුදලක් ගනියි. කිසි දින ගාස්තුවක් නියම කිරීමක් නැත. දෙන්නේ රුපියල් පහ ද දහය ද පණහ ද බැලීමක් ද නැත. ස්තූති පූර්වකව භාරගෙන ඒ දෙස නොබලාම සාක්කුවේ දාගනී. කීයක් දුන්නත් නැතත් නියම කරගත් දින නියම කරගත් වෙලාවට නිවසටම එන ඔහු ඉගෙන ගන්නා කෙනාට ඇති කියන තුරු අඛණ්ඩව ඉංග්‍රීසි උගන්වයි.
ඩේලි නිව්ස් පුවත්පතේ ප්රවෘත්ති සිංහලට පරිවර්තනය කිරීම, පනත්වල වගන්ති සිංහලට පරිවර්තනය කරවීම, දිනමිණ ප්රවෘත්ති ඉංග්‍රීසියට පරිවර්තනය කරවීම, ගැසට් නිවේදන පරිවර්තනය, ඔහුගේ ඉගැන්වීම් ක්‍රමවේදයේ අනිවාර්ය අංග විය. ඕනෑම නීතියක් පිළිබඳ මනා ගැඹුරු දැනුමක් තිබූ ඔහු අසාධාරණයට ලක් වූ පුද්ගලයින් වෙනුවෙන් ගෙවල් කුලී මණ්ඩලය ඉදිරියේ නියෝජිතයා ලෙස පෙනී සිටීම ද කර නීතීඥවරුන් හා උණුසුම් තර්ක වාද කර තම සේවාදායකයාට සාධාරණය ඉටු කළේය.
ගාස්තුව වූයේ බොහෝ විට සේවාදායකයාගේ වියදමෙන් සැපයෙන දිවා ආහාරය පමණක් විය. එසේ වුවත් නියමිත දින නියමිත වෙලාවට සේවාදායකයා වෙනුවෙන් පෙනී සිටීම වැරැද්දුවේ නැත. ගමනක් යන්න ඕනෑ වූ විට ලොන්ඩරියට යන ඔහු ඇඳුමක් ලබාගෙන ගාස්තුව ගෙවා එතැනදීම ඇඳගෙන ගොස් පසුව ගෙනවිත් දෙයි. ඕනෑම විෂයක් ගැන ගැඹුරු දැනුමක් අධ්‍යයනයෙන් ලබා සිටි ඔහු අපට පැවසුවේ ආණ්ඩුවේ නිල නිවේදන අධ්‍යයනය කිරීමේදී මුලින්ම සොයා බැලිය යුත්තේ ඒ නිවේදනය කිරීමට ආණ්ඩුවට බලය ලැබුණු අන්දම ගැන කියා ය. ඊළඟට නිවේදනයේ අන්තර්ගතය ලබා දී ඇති බලයට අනුව පවතින්නේද යන්න බැලිය යුතු බවත් ඔහු කියා දුන්නේය. මට මේ සියල්ල යළි සිහිපත් වූයේ අනුරාධපුර පූජාභූමි සංවර්ධන ගැසට් පත්‍රය අධ්‍යයනය කළ පසුවය.
31 වගන්තියෙන් අමාත්‍යවරයාට බලයක් ලැබී තිබේද?

අංක 2477/44 දරන 2026/2/27 දිනැති ගැසට් නිවේදනය මෙසේය:
“යාවත්කාලීන කරන ලද අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලැස්ම ප්‍රකාශයට පත් කිරීම” “2000 අංක 49 දරන පනතින් සංශෝධිත 1946 අංක 13 දරන නගර හා ග්‍රාම නිර්මාණ ආඥා පනතේ 28(2) වගන්තියෙන් නාගරික සංවර්ධන විෂය භාර අමාත්‍යතුමාට පැවරී ඇති බලතල ප්‍රකාරව 2025/10/08 දින අනුමත කරන ලද යාවත්කාලීන කරන ලද අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම සහ සංවර්ධනය කිරීමේදී අනුගමනය කළ යුතු නිර්ණායක එම පනතේ 31 වගන්තිය යටතේ මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් නිරෝෂන් රත්නායක වන මම මහජනයාගේ දැන ගැනීම පිණිස මෙසේ ප්‍රකාශයට පත් කරමි.”
බිමල් නිරෝෂන් රත්නායක ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය (පා.ම.)
ඉහත ගැසට් නිවේදනය අනුව අමාත්‍යවරයා විසින් මහජනතාවගේ දැන ගැනීම සඳහා මේ යාවත්කාලීන කළ අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලැස්ම ගැසට් මඟින් ප්‍රකාශයට පත් කරන්නේ නගර හා ග්‍රාම නිර්මාණ ආඥා පනතේ 31 වගන්තියෙන් තමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව බව අමාත්‍යවරයා ගැසට් නිවේදනයේ සඳහන් කර ඇත. මගේ වැඩිහිටි මිත්‍රයාගේ ඉහත සඳහන් උපදෙස මතක් වී මම නගර හා ග්‍රාම නිර්මාණ ආඥා පනතේ 31 වගන්තිය බැලීමි. එම වගන්තියේ දැක්වෙන්නේ මෙසේය.
“යම් කෙටුම්පත් සැලැස්මක් මඟින් ඒ අවස්ථාවේ බල පැවැත්වෙන යම් පනතක හෝ ප්‍රඥප්තියක යම් විධිවිධානයක් ක්‍රියාත්මක වීම වෙනස් කිරීම හෝ අත්හිටවනු ලැබීම හෝ එසේ වෙනස් කරනු ලැබීමට හෝ අත්හිටුවීමට අදහස් කර තිබේ නම් අමාත්‍යවරයා විසින් ඒ සඳහා ඉදිරිපත් කරන යෝජනාවක් මඟින් එම සැලැස්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය.”
ඒ අනුව අමාත්‍යවරයා ගැසට් නිවේදනයේ කියා ඇති පරිදි අනුමත කළ සැලැස්මක් මහජනයාට දැන ගැනීමට ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමේ බලයක් 31 වගන්තියෙන් ඔහුට ලබා දී නැත. ඒ අනුව ගැසට් නිවේදනයේ ඒ කොටස නිවැරදි නොවන ප්‍රකාශයකි.
28(2) වගන්තිය යටතේ සැලැස්ම අනුමත කිරීම නීත්‍යානුකූලද?
ඊළඟට ඒ ගැසට් නිවේදනයේම සඳහන් වන්නේ යාවත්කාලීන කරන ලද අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම නගර හා ග්‍රාම නිර්මාණ ආඥා පනතේ 28(2) වගන්තිය ප්‍රකාරව නාගරික සංවර්ධන විෂය භාර අමාත්‍යවරයා විසින් 2025/10/08 දින අනුමත කළ බවයි. එම ආඥා පනතේ 28(2) වගන්තිය කුමක්දැයි සොයා බැලූ විට 1946 සම්මත කළ මුල් ආඥා පනතේ තිබූ 28 වගන්තිය 2000 වසරේ අංක 49 දරන පනතින් සංශෝධනය කර ඇති බව දැනගන්නට ලැබුණි.
එසේ සංශෝධනය කර 28 වගන්තියේ තිබූ අමාත්‍යවරයා යන සඳහනට ප්‍රාදේශීය භෞතික සැලසුම් අරභයා ජාතික භෞතික සැලසුම් සභාව යන්නත් එක් කර ඇත. ඉන් සිදු කර ඇත්තේ 28 වගන්තියේ අමාත්‍යවරයාට එතෙක් තිබූ කාර්යයන්ගෙන් කොටසක් කලාපීය භෞතික සැලසුම් අරභයා ජාතික භෞතික සැලසුම් සභාවට පැවරීමය. වෙනත් අයුරකින් කිවහොත් කලාපීය භෞතික සැලසුම් අරභයා මුලින් ඇමතිවරයාට තිබුණු බලය 2000 සංශෝධිත පනතින් ජාතික භෞතික සැලසුම් සභාවට පවරා ඇති බව කිව හැකිය.
මේ ගැසට් පත්‍රයේ සඳහන් කර ඇත්තේ පනතේ 28(2) යටතේ තමාට පවරා ඇති බලය පරිදි යාවත්කාලීන කළ අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම අමාත්‍යවරයා විසින් 2025/10/08 දින අනුමත කළ බවයි. එසේ නම් එසේ අනුමත කිරීමේ බලයක් ඒ වගන්තියේ සඳහන්ව තිබේදැයි සොයා බැලුවෙමි. නගර හා ග්‍රාම නිර්මාණ ආඥා පනතේ 28(2) වගන්තිය 2000 සංශෝධිත පනත අනුව කියවෙන්නේ මෙසේය:
“අන්තර් අමාත්‍යාංශ කමිටුව විසින් (1) උප වගන්තිය ප්‍රකාරව සැලසුම් අධිකාරිය විසින් කෙටුම්පත් සැලැස්මට 27 වන වගන්තිය පරිදි ඉදිරිපත් කළ සියලු විරෝධතා පිළිබඳව සහ එම විරෝධතා පිළිබඳව සැලසුම් අධිකාරිය ඉදිරිපත් කළ විසඳුම් යෝජනා සලකා බැලීමෙන් පසු කෙටුම්පත් සැලැස්ම අනුමත කළ යුත්තේ සංශෝධන සහිතවද රහිතවද යන නිර්දේශය සමඟ අමාත්‍යවරයා වෙත හෝ කලාපීය භෞතික සැලසුම් කෙටුම්පතක් නම් ජාතික සැලසුම් සභාව වෙත යැවිය යුතුය.”
මේ අනුව නගර හා ග්‍රාම නිර්මාණ ආඥා පනතේ 28(2) වගන්තිය මඟින් සිදු කර ඇත්තේ අමාත්‍යවරයාට බලයක් ලබා දීමක් නොව කිසියම් භෞතික සැලසුම් කෙටුම්පතක් අනුමත කිරීමේ ක්‍රියාවලියේදී අන්තර් අමාත්‍යාංශ කමිටුව විසින් අනුගමනය කළ යුතු පියවරක් නියම කිරීම බව පැහැදිලි වෙයි.
මේ අනුව මෙම ගැසට් නිවේදනයේ සඳහන් කර ඇති යාවත්කාලීන කළ අනුරාධපුර පූජානගර සංවර්ධන සැලැස්ම නාගරික සංවර්ධන විෂය භාර අමාත්‍යවරයා විසින් පනතේ අදාළ නොවන වගන්තියක් මත අනුමත කර ඇති බවද පැහැදිලි වේ. ඒ අනුව මේ නිකුත් කර ඇති ගැසට් නිවේදනය නීත්‍යානුකූල ගැසට් නිවේදනයක් සේ සැලකිය නොහැකි බව එයින්ම නිරීක්ෂණය වේ. ගැසට් පත්‍රයේ සඳහන් පූජා භූමි සංවර්ධන සැලැස්ම පිළිබඳව වාද විවාද කරන අය මෙහි නීත්‍යානුකූලත්වය ගැන සොයා බලා නොතිබීම තවත් ඛේදවාචකයකි.
ඉන්දීය මැදිහත්වීම සහ චෝල ආක්රමණයේ ඓතිහාසික මතකය

මේ තත්ත්වයෙන් පිළිබිඹු වන්නේ අතිශය අවාසනාවන්ත තත්ත්වයකි. එනම් රජයේ ව්‍යවස්ථාපිත නිල නිවේදන පවා ඊට අදාළ නීතිමය අවශ්‍යතාවන් පිළිබඳව කිසිදු සැලකිල්ලක් තොරව ප්‍රකාශයට පත් කරන බවය. එය විධිමත් රාජ්‍ය පාලනයකින් බලාපොරොත්තු විය නොහැකි බරපතල තත්ත්වයකි. ඊටත් වඩා අවාසනාවන්ත වන්නේ කඩිමුඩියේ මෙබඳු මූලික නෛතික කරුණු ගැනවත් සොයා බැලීම් සිදු නොකර මේ ගැසට් නිවේදනයක් නිකුත් කළේ ඇයි යන ප්රශ්නය මතුවීමයි.
මේ ප්රශ්නය වැඩිපුර මතුවන්නේ ඉන්දියාව අනුරාධපුර පූජාභූමිය සංවර්ධනයට ආධාර දෙන්නට ඉදිරිපත් වී තිබීමත් නිසා ය. මේ රටේ ශිෂ්ටාචාරයේ පදනම් වූ අනුරාධපුර පූජානගරය සහිත පෞරාණික රාජධානියේ අගනගරය සංවර්ධනය කිරීමට ඉන්දියාවට ඇති ඕනෑකම ගැන බෞද්ධයින්ට ඇත්තේ සැකයකි. එය සාධාරණ සැකයක් වන්නේ අවුරුදු දහසකට වඩා අගනුවර ලෙස තබාගෙන ශ්‍රී ලාංකීය ශිෂ්ටාචාරය ගොඩනැඟූ මේ අගනගරය මුළුමනින්ම විනාශයට පත් කිරීමේ පූර්ණ වගකීම ඉන්දීය සම්භවයෙන් යුතු චෝල අධිරාජ්‍යය යටතේ සිදු කිරීම නිසාය.
පළමුවන රාජරාජ නම් චෝල අධිරාජයා විසින් ක්‍රිස්තු වර්ෂ 1017දී ශ්‍රී ලංකාව ආක්‍රමණය කර පස්වන මිහිඳු රජුවත් අල්ලාගෙන චෝල රටට ගෙන ගොස් ආණ්ඩුකාරයෙකු මඟින් පොළොන්නරුවේ සිට ලංකාව පාලනය කරන ලදී. එහිදී මුළු අනුරාධපුර නගරයම කොල්ලකා වස්තුව පැහැරගෙන අනුරාධපුරය වනගත කළේ මේ චෝල පාලකයින්ය.
එදා විනාශ කළ අනුරාධපුරය මුළුමනින්ම පාදා ගැනීමට නිදහස ලබා වසර හැත්තෑ ගණනක් ගෙවී ගිය පසුවත් අපට හැකි වූයේ නැත. මේ විනාශයේ මතකය පරම්පරාවෙන් පරම්පරාවට ශ්‍රී ලාංකීය සිංහල බෞද්ධ ප්‍රජාව තුළ එන්නේ ජානගතව මෙනි. ඒ නිසා ඕනෑම ආකාරයක ඉන්දීය සම්බන්ධතාවයක් නිරායාසයෙන්ම බෞද්ධයින්ගේ සැකයට භාජන වීම අදටත් සිදුවේ. එබඳු වාතාවරණයක රජය ඉන්දීය සහයෙන් කරන්නට යන ව්‍යාපෘති ගැන වඩාත් විවෘත වීම අවශ්‍යව තිබියදී පවතින නීතිවලටත් පිටින් නොසැලකිල්ලෙන් නිල නිවේදන ගැසට් මඟින් පළ කර හෑල්ලුවට පත් වීම අතිශය අවාසනාවන්තය.




