යුද සමයේත්, ඉන් පසුවත් මානුෂීය හා සෞඛ්‍ය ආධාර සැපයූ කාර්ය මණ්ඩලවලට, ආයතනවලට හා මෙහෙයුම්වලට ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රහාර එල්ල කළ බව එක්සත් ජාතීන්ගේ නවතම වාර්තාවකින් හෙළිදරව් කර තිබේ.
එම වාර්තාව මගින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා ඇත්තේ යුද සමයේ මානුෂීය ආධාර වළක්වාලන ලද බව පිළිගනිමින් ඒ සම්බන්ධයෙන් රාජ්‍යයක් ලෙස ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටින ලෙසයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් ‘ශ්‍රී ලංකාවේ මානුෂීය ආධාරක සේවාවන්ට එරෙහි ප්‍රහාර - 20 වසරකට පසු - "මම බොහෝවර මිය ගියෙමි"’ හිසින් යුතුව නිකුත් කර තිබෙන නවතම වාර්තාව සකස් කර ඇත්තේ එම කාල වකවානුවේ යුද කලාපයේ සේවය කළ මානුෂීය සහ වෛද්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් 16 දෙනකු සමඟ සිදුකළ සම්මුඛ සාකච්ඡා සහ OHCHR ලේඛනාගාරයේ සාක්ෂි පදනම් කරගනිමිනි.
පිටු 40කින් සමන්විත වාර්තාව ප්‍රසිද්ධ කිරීමට කලින් ශ්‍රී ලංකා රජය සමඟ බෙදාගනු ලැබූ අතර, ඒ ගැන අදහස් දැක්වීමට අවස්ථාවක් ලබා දෙන ලද නමුත් ප්‍රකාශයට පත් කරන නොවැම්බර් 26 වැනිදා වන විටත් ලක් රජයෙන් කිසිදු පිළිතුරක් ලැබී නොතිබුණු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කර තිබේ.
ජාත්‍යන්තර තහංචි පැනවීමටත් යෝජනා
යුද කලාපයකට මානුෂීය හා සෞඛ්‍යාධාර සැපයීම හිතාමතා වළක්වාලීම ජිනීවා සම්මුතිය සහ ජාත්‍යන්තර නීතිය ඇතුළු ජාත්‍යන්තර මානව හිමිකම් අණපනත් යටතේ යුද අපරාධ ගණයට අයත් වේ.
මානුෂීය සැපයුම්වලට බාධා කිරීමෙන් හා වළක්වාලීමෙන් බරපතළ ලෙස මානව හිමිකම් උල්ලංඝනය කළ බවට විශ්වසනීය ලෙස චෝදනා එල්ල වන පුද්ගලයන්ට එරෙහිව දේපළ හා වත්කම් අඩස්සි කිරීම, විදේශ සංචාර තහනම් කිරීම ඇතුළු තහංචි පැනවීම සඳහා ජාත්‍යන්තර නීතිය යොදාගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ වාර්තාව ජාත්‍යන්තර ප්‍රජාවෙන්, මානව හිමිකම් කවුන්සිලයෙන් හා එහි සාමාජික රටවලින් ඉල්ලා සිටී.
විශ්ව අධිකරණ ක්‍රියාමාර්ග ඇතුළු අනාගත වගවීම් සඳහා සාක්ෂි ගොනු කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මහා සභාවේ සහ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා සම්මතයෙන් ජිනීවා නුවර පිහිටුවා ඇති ශ්‍රී ලංකා වගවීමේ ව්‍යාපෘතිය (OSLAP) විසින් නිකුත් කර ඇති ලුහුඬු වාර්තාව, විශේෂයෙන්ම 2006 සහ 2009 මැයි මාසය අතර, ශ්‍රී ලංකාවේ මානුෂීය සේවා කාර්ය මණ්ඩලිකයන්ට, වෛද්‍ය සහ මානුෂීය සේවා යටිතල පහසුකම්වලට සහ සහන සේවා මෙහෙයුම්වලට එල්ල වූ ප්‍රහාර රටාවන් ලේඛනගත කර ඇත.
හුදකලා සිදුවීම් නොව ක්රමානුකූල රටාවක්
මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ කාර්යාලයේ (OHCHR) සුරක්ෂිතාගාරය මගින් සම්පාදිත තොරතුරු සහ සාක්ෂි මෙන්ම, වසර 2005 සහ 2009 අතර කාලය තුළ ගැටුම් බලපෑමට පාත්‍ර වූ ප්‍රදේශවල මානුෂීය සේවා මෙහෙයුම් සහ වෛද්‍ය සේවාවන්හි නියුතුව සිටි පුද්ගලයන් 16 දෙනකු සමග සිදුකළ ප්රවිචාරණයන් පදනම් කරගත් මෙම ලුහුඬු වාර්තාවෙන් අනාවරණය කර ඇත්තේ මානුෂීය සේවා ක්රියාකාරිකයන්ට සහ දේපළවලට එල්ල වූ ප්‍රහාරයන්ද, මානුෂීය සහන සේවාවන්ට පනවන ලද ප්‍රවේශ සීමාවන් සහ අත්‍යවශ්‍ය ආධාර ලබාදීම ප්‍රතික්ෂේප කිරීම් ද හුදකලා සිදුවීම් හෝ එදිරිවාදිකම්වල අනියම් ප්‍රතිවිපාක නොවන බවයි.
"ඒ වෙනුවට, ඒවා මානුෂීය සහන සේවාවන්ගේ ධාරිතාව ක්‍රමානුකූලව බිඳ දමමින්, සිවිල් වැසියන්ගේ පීඩාවන් තවත් ගැඹුරු කළා වූද, හානියට පත් ජනපිරිසට අවශ්‍ය ජීවිතාරක්ෂක ආධාර සහ ආරක්ෂාව අහිමි කළා වූද තිරසාර රටාවක කොටසක් විය. සමකාලීන සන්නද්ධ ගැටුමකදී වාර්තා වී ඇති මානුෂීය ආරක්ෂාව දැඩි ලෙස බිඳ වැටුණු අවස්ථාවලින් එකකට මෙය දායක විය. දශක දෙකකට පසුවද, මෙකී අන්තර්ජාතික නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වගඋත්තරදායක වීමක් බොහෝ දුරට සිදුව නැත. පිළිගැනීම හෝ ප්‍රතිකර්ම අහිමි වූ මරණයට පත් හා තුවාල ලැබූවන්ගේ පවුල්වල මෙන්ම ඔවුන්ගේ දිවි ගළවාගත් සගයන්ගේද ජීවිත මත මෙම දණ්ඩ මුක්තිය අඛණ්ඩ බරක් වී පවතී."
වත්මන් ලෝක යුද්ධවලටත් පූර්වාදර්ශයක් වූ හැටි
දණ්ඩ මුක්තිය භුක්ති විඳිමින් ශ්‍රී ලංකාවේ දියත් කෙරුණු මානව විරෝධී ප්‍රහාර දැනට කරනු ලබන යුද්ධවලදීද යොදාගන්නා ආකාරය වාර්තාවේ අවධාරණය කෙරෙයි.
“ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවට වර්තමාන මොහොතේදී සුවිශේෂ වැදගත්කමක් ඇති අතර මානුෂීය සහන සේවකයන්ටත්, යටිතල පහසුකම් සහ මෙහෙයුම්වලටත් එරෙහි ප්රහාරයන්ට අමතරව, මානුෂීය සේවා සඳහා වන ප්රවේශයන් ප්‍රතික්ෂේප කිරීම හෝ සීමා කිරීම සමකාලීන සන්නද්ධ ගැටුම්වල මුඛ්‍ය ලක්ෂණයන් බවට පත්ව තිබේ.”
වාර්තාව පෙන්වා දෙන ආකාරයට 2023 සහ 2025 අතර කාල වකවානුව තුළ 1,010 කට වැඩි මානුෂීය සහන සේවකයන් සංඛ්‍යාවක් ඝාතනය කරනු ලැබ ඇති අතර, ඒ වනාහි ඊට පූර්ව වසර තුන තුළ වාර්තා වූ සංඛ්‍යාව මෙන් තුන් ගුණයකට ආසන්න වූවකි.
අන්තර් කාර්යාංශ ස්ථාවර කමිටුව (Inter Agency Standing Committee) විසින් වර්තමාන කාල පරිච්ඡේදය විස්තර කරනු ලැබ ඇත්තේ "දණ්ඩ මුක්ති යුගයක්" ලෙසිනි.
"මෙම ලුහුඬු වාර්තාව වෙනුවෙන් අදහස් විමසන ලද බොහෝ දෙනෙක්, කිසිදු පෙළඹවීමකින් තොරව සහ කැපී පෙනෙන ආකාරයේ සමාන යෙදුම්වලින්, වෙනත් සමකාලීන ගැටුම් සමග පවතින මෙකී සමාන්තර ලක්ෂණය පෙන්වා දුන් අතර, ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද කාලීන දණ්ඩ මුක්තිය, ලොව අන් තැන්වල අපරාධකරුවන්ට වඩාත් එඩිතරව ක්‍රියා කිරීමට දිරිය සැපයූ පූර්වාදර්ශයක් ලෙස ද විස්තර කළහ."
සන්දර්භීය පසුබිම සහ දෙපාර්ශ්වයේම සීමා කිරීම්
වාර්තාව පෙන්වා දෙන ආකාරයට මානුෂීය ප්රවේශයන් සීමා කිරීම ගැටුමෙහි අවසන් අදියරට කලින් සිටම පැවති අතර, ඒවා එකිනෙකට වෙනස් ආකාරයන්ගෙන් වුවද, සියලු පාර්ශ්වයන් විසින් පනවනු ලැබ තිබුණි.
"අනුයාතව පත් වූ ආණ්ඩු විසින් දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානයේ පාලනය යටතේ පැවති ප්‍රදේශ තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයට සහ මානුෂීය සේවා මෙහෙයුම්වලට සීමා පනවන ලද අතර, මානුෂීය සහන සේවාවන්හි නියැලි සංවිධානවලට ආවේක්ෂණයන්, අත්තනෝමතික සෝදිසි පරීක්ෂාවන්, මුරපොළ ප්‍රමාදයන් හා සැපයුම් සීමා කිරීම්වලට මුහුණ දීමට සිදුවිය."
LTTE සංවිධානයද, ස්වකීය අවසර පත් ක්‍රමය ඇතුළු සීමා කිරීම් පැනවීම හරහා සිවිල් වැසියන් සහ මානුෂීය සහන සේවා කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ ගමනාගමන කටයුතු පාලනය කළ බව පෙන්වා දෙන වාර්තාව මගින් තව දුරටත් අවධාරණය කර ඇත්තේ මෙකී ක්‍රියාමාර්ග මානුෂීය සහන සේවා සැපයීමේ ධාරිතාව ක්‍රමානුකූලව දුර්වල කර, සිවිල් ජනයා මුහුණ දුන් අන්තරායයන් උත්සන්න කළ බවයි.
2006 ට කලින් පවා, පැවති මානුෂීය සේවා ප්රතිචාරයන් ප්‍රධාන හමුදා ක්රියාන්විතයකට ඔරොත්තු දීමට ප්‍රමාණවත් ලෙස සූදානම්ව නොතිබූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කරන ලද ඇගයුම් මගින් අනතුරු අඟවා තිබුණි.
2008 වන්නි ඉවත්වීම සහ තීරක හැරුම් ලක්ෂ්‍යය
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාවට අනුව 2006 වසරේ පටන්, මෙකී සීමා කිරීම් මානුෂීය සහන සේවා සේවකයන් සහ යටිතල පහසුකම්වලට සෘජුව එල්ල කරන ලද ප්‍රහාර දක්වා උත්සන්න කර තිබේ.
"විශේෂයෙන්ම දෙමළ ජන බහුතරයක් ජීවත්වන ප්‍රදේශවල ක්‍රියාකාරී වූ ප්‍රාදේශීය සංවිධානයන්ද, ආවේක්ෂණයන්, වත්කම් අත්හිටුවීම් සහ තහනම් කිරීම් වැනි ක්‍රියාමාර්ගවලට මුහුණ දෙන ලද අතර මානුෂීය සහන සේවකයන් LTTE හිතවාදීන් ලෙස පෙන්නුම් කළ නිල ආඛ්‍යාන හේතු කොටගෙන ඔවුන්ගේ ආරක්ෂාව තවදුරටත් දුබල වුණි. එක්සත් ජාතීන්ගේ නියෝජිත කාර්යාංශ සහ අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධානවලට වන්නි ප්‍රදේශයෙන් ඉවත් වන්නැයි 2008 සැප්තැම්බරයේදී රජය විසින් නියෝග කිරීමත් සමග තීරක හැරුම් ලක්ෂ්‍යයක් උදා විය. ඉනික්බිතිව, අන්තර්ජාතික සහන සේවා කාර්ය මණ්ඩලිකයන් ඉවත් වීමත්, 2009 පෙබරවාරි මාසයේදී ජාත්‍යන්තර රතු කුරුස කමිටුව සිය ගොඩ බිම් මෙහෙයුම් කටයුතුවලින් ඈත් වීමත් විසින් මානුෂීය අවශ්‍යතා පෙරදැරි ප්රවේශයන් බරපතළ ලෙස සීමා කරන ලද අතර තීරණාත්මක ආරක්ෂණ සහ නිරීක්ෂණ කටයුතු සඳහා රැඳී සිටීමේ හැකියාවද ඉවත් කෙරුණි."
අවසන් සති කිහිපයේ රෝහල්වලට එල්ල වූ ප්‍රහාර
‘ශ්‍රී ලංකාවේ මානුෂීය ආධාරක සේවාවන්ට එරෙහි ප්‍රහාර, 20 වසරකට පසු "මම බොහෝවර මිය ගියෙමි."’ හිසින් යුතුව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කර තිබෙන නවතම වාර්තාව තව දුරටත් අවධාරණය කරන්නේ වෛද්‍ය පහසුකම් සපයන ස්ථාන වෙත එල්ල කරන ලද ප්‍රහාර, අවසාන ක්‍රියාන්විතවලදී උත්සන්න වූ ආකාරයයි.
"ආහාර ද්‍රව්‍ය සහ වෛද්‍ය සැපයුම් සම්බන්ධයෙන් වූ සීමා කිරීම් තීව්ර කෙරුණු අතර තක්සේරු කළ අවශ්‍යතාවන්ට වඩා සැපයුම් ප්‍රමාණය පහළ ගියේය. අත්‍යවශ්‍ය ඖෂධ සහ ශල්‍ය කාර්මික මෙවලම් සම්බන්ධයෙන් පැවැති බරපතළ හිඟය වෛද්‍ය ප්‍රතිකාර අඩාල කරන ලද අතර මන්දපෝෂණය සහ හාමත තීරණාත්මක මට්ටම් කරා ළඟා විය. අවසාන සති කිහිපය වන විට, අඛණ්ඩ ෂෙල් ප්‍රහාර මැද වෙරළාශ්‍රිත පටු බිම් තීරයකට කොටු වී සිටි සිවිල් වැසියන්ට මානුෂීය සහනාධාර සඳහා වූ ප්‍රවේශය සහමුලින්ම අහිමිව තිබූ අතර අවසාන සක්‍රීය රෝහල ද සිය මෙහෙයුම් නතර කර තිබුණි."
යුද අපරාධ ලෙස සැලකෙන 'ලාංඡනික සිදුවීම්' හතර
මෙම වාර්තාව මගින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ‘ලාංඡනික සිදුවීම්’ ලෙස හඳුන්වනු ලබන යුද අපරාධ ගණයේ ලා සැලකෙන ප්‍රහාර හතරක් විමර්ශනයට ලක් කර තිබේ.
1- 2006 ජනවාරි 29 සහ 30 වැනි දිනවල දෙමළ පුනරුත්ථාපන සංවිධානයේ (TRO) කාර්ය මණ්ඩල සාමාජිකයන් අතුරුදන් වීම.
2- 2006 අගෝස්තු මාසයේ මුත්තූර්හිදී සාගින්නට එරෙහි මෙහෙයුම (ACF) සංවිධානයේ දේශීය කාර්ය මණ්ඩලිකයන් 17 දෙනකු ඝාතනය කිරීම.
3- 2009 ජනවාරි මාසයේදී එක්සත් ජාතීන්ගේ "Convoy 11" සැපයුම් රථ පෙළට ෂෙල් ප්‍රහාර එල්ල කිරීම හා අවහිර කිරීම.
4- 2009 ජනවාරි සහ පෙබරවාරි දක්වා වූ කාලය අතරතුර පුදුකුඩියිරුප්පු රෝහලට ෂෙල් ප්‍රහාර එල්ල කිරීම.
මේ කිසිදු සිදුවීමකට අදාළව කවර හෝ පුද්ගලයකු සාපරාධී ලෙස වගකිව යුතු බව තීරණය කර නැති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය සිය නවතම වාර්තාව මගින් සිහිපත් කර තිබේ.
"පවතින සාක්ෂිවලින් පෙනී යන්නේ, සිවිල් ජනයාට සහ මානුෂීය සහන සේවාවන්ට බලපෑවා වූ ප්රහාරයන්, සීමා කිරීම් සහ අහිමි කිරීම් සිදුවූයේ, සිවිල් වැසියන් රැඳී සිටින ස්ථානයන් සහ මානුෂීය අවශ්‍යතා කවරේද යන්න පිළිබඳව රජය දැනුවත්ව සිටියදී බව ය. වෛද්‍ය හා මානුෂීය සහන සේවා සැපයීමට ආධාරක වන දේපළවලට ප්‍රහාර එල්ල කිරීම සහ මානුෂීය ආධාර වැළැක්වීම මගින් සිවිල් වැසියන් හාමත් කිරීම ඇතුළු යුද අපරාධ රජයේ හමුදා විසින් සිදු කර ඇති බවට විශ්වාසදායක චෝදනා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා විසින් පත්කරන ලද විශේෂඥ මඩුල්ල විසින් සොයාගන්නා ලද අතර සියලුම පාර්ශ්වයන් විසින් බරපතළ උල්ලංඝනය කිරීම් රැසක් යුද අපරාධ වශයෙන් සැලකිය හැකි බව විශ්වාස කිරීමට සාධාරණ පදනම් පවතින බව ශ්‍රී ලංකාව පිළිබඳව OHCHR විමර්ශන වාර්තාව (OISL) මගින් අනාවරණය කරගන්නා ලදී."
අසාර්ථක වූ දේශීය කොමිෂන් සභා
යුද සමයේ උතුරු නැගෙනහිර බරපතළ මානව හිමිකම් උල්ලංඝන කිහිපයක් විමර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ටී. සුන්දරලිංගම්ගේ ප්‍රධානත්වයෙන් 2006 දී පත්කරන ලද කොමිසම විසින් TRO කාර්ය මණ්ඩල සාමාජිකයන් අතුරුදන් වීම සම්බන්ධයෙන් හෙළි කරගන්නා ලද තොරතුරුද අලුත් එජා වාර්තාවට ඇතුළත් වේ.
කොමිසම් පත්කිරීම ඇතුළුව මෙතෙක් පැවති ආණ්ඩු විසින් දේශීය වශයෙන් දක්වා ඇති ප්‍රතිචාර යුක්තිය ඉටු කිරීමට අසමත් වී ඇති බව වාර්තාව පෙන්වා දෙයි.
කෙසේ වුව ද, වසර ගණනාවක් තිස්සේ රැස්කරගත් විස්තීර්ණ ලේඛනගත සාක්ෂි තිබියදීත්, අර්ථාන්විත වගඋත්තරදායක වීමක් මෙතෙක් සිදුව නොමැති අතර, මෙම වාර්තාවේ විමර්ශනයට භාජනය කර ඇති සිදුවීම් මගින් රාජ්‍ය වගකීම ප්‍රතික්ෂේප කිරීමද, අකාර්යක්ෂම විමර්ශන හා අභිචෝදනයද, වින්දිතයන් හා සාක්ෂිකරුවන්ට ප්‍රමාණවත් ආරක්ෂණයක් නොමැති වීම සහ සාපරාධී වගඋත්තරදායකත්වය වෙනුවට විමර්ශන කොමිෂන් සභා මත රඳා පැවතීම ද ඇතුළු දණ්ඩ මුක්තියට හේතුවන අඛණ්ඩ සාධක හෙළිදරව් කර ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් විවේචන
මෙම වාර්තාව මගින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ද විවේචනයට ලක් කර තිබේ.
කාර්ය මණ්ඩල සාමාජිකයන් විසින් තනි තනි පුද්ගලයන් වශයෙන් පෙන්නුම් කළ ධෛර්යවන්ත භාවය තිබියදීත්, සිවිල් වැසියන් ආරක්ෂා කිරීමටත්, පූර්ව අනතුරු ඇඟවීම්වලට ප්‍රතිචාර දැක්වීමටත්, මානුෂීය සහ මානව හිමිකම් මූලධර්ම පදනම් කොටගත් ක්‍රියාමාර්ගයන් සහතික කිරීමටත් අදාළව එක්සත් ජාතීන්ගේ සංවිධානය ස්වකීය වගකීම් ඉටුකිරීමට අසමත් වූ බවට මහ ලේකම්වරයාගේ අභ්‍යන්තර සමාලෝචන මඩුල්ලේ නිගමනයද මෙමගින් සිහිපත් කරයි.
යුද කලාපයේ සිවිල් වැසියන් ආරක්ෂා කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය අපොහොසත් වූ බව ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුමේ අවසන් සමයේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනයන් සහ යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ හිටපු සහකාර මහලේකම් චාල්ස් පෙට්රිගේ ප්‍රධානත්වයෙන් සම්පාදිත අභ්‍යන්තර සමාලෝචන වාර්තාව (UN Internal Review Panel Report) 2012 දී අනාවරණය කර තිබේ.
බරපතළ උල්ලංඝනයන් විමර්ශනය කිරීමේ හා ඒවාට එරෙහි අභිචෝදනා කිරීමේ මූලික වගකීම රජයට පැවරෙන්නේය යන කරුණ ඉහත අසමත් වීම් මගින් කිසිසේත් හීන නොකරන බව වාර්තාව අවධාරණය කරයි.
මානුෂීය සහන සේවකයන්ගේ හඬ
සිදු කරන ලද ප්රවිචාරණයන් මගින් ගැටුමෙහි අවසාන අදියර සහ එහි දිගු කාලීන ප්‍රතිවිපාක පිළිබඳව කැපී පෙනෙන ලෙස එකිනෙකට බැඳී ඇති විස්තර වාර්තාව මගින් අනාවරණය කෙරේ.
හුදු මානුෂීය සහන සේවාවන්හි නියැලීමම සැකයට සහ බියගැන්වීම්වලට හේතුවක් වූ ආකාරය ප්රවිචාරණ සාකච්ඡාවලට සහභාගී වූ පිරිස් විසින් විස්තර කර ඇති අතර විශේෂයෙන්ම දේශීය කාර්ය මණ්ඩල සාමාජිකයන් ඊට බරපතළ ලෙස ගොදුරු වූ බව ද සඳහන්ය.
"2008 සැප්තැම්බර් මාසයේදී අන්තර්ජාතික සංවිධාන ඉවත් වීම, සිවිල් ජනයාට මානුෂීය ආධාර පමණක් නොව, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ඇසින් දැක ලේඛනගත කිරීමේ හැකියාව සහිත ජාත්‍යන්තර නියෝජනයද අහිමි කළ තීරක හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස ඔවුහු හඳුනාගත්හ."
මානුෂීය ආධාර ක්‍රමානුකූලව සීමා කිරීම සහ හැසිරවීම, ගැටුම් කලාපය තුළ කොටු වී සිටි සිවිල් වැසියන්ට වඩ වඩාත් දැරිය නොහැකි තත්ත්වයන් නිර්මාණය වීමට හේතු වූ බව බොහෝ දෙනා විස්තර කර තිබේ.
අත්‍යවශ්‍ය සැපයුම් හිඟව තිබියදී, තුවාල ලැබූ සහ බරපතළ ලෙස ඔත්පළ වූ රෝගීන් සුවිශාල ප්‍රමාණයකට ප්‍රතිකාර ලබාදීමට සිදු වූ බවත්, බොහෝ අවස්ථාවලදී දිවි බේරා ගැනීමට අවශ්‍ය ප්‍රතිකර්ම ලබාදිය නොහැකි වූ බවත් වෛද්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයෝ සඳහන් කර ඇත.
"මුහුණ දුන් ගැඹුරු අසරණ භාවය පිළිබඳව මානුෂීය සහන සේවාවල නියුතු වූවන් කතා කළ අතර තමන් විසින් අත්විඳින ලද දෑ පිළිබඳ සාක්ෂි දරා සිටීමේ වගකීම පිළිබඳ වූ කල් පවත්නා හැඟීමක් ද ඔවුන් තුළ විය. සත්‍යය, පිළිගැනීම සහ වගඋත්තරදායකත්වය වෙනුවෙන් වසර ගණනාවක් දැරූ අසාර්ථක පරිශ්රමයන් හේතුවෙන් ඇති වූ චිත්තවේගී කම්පාවන් සහ මානසික පීඩාවන් බොහෝ දෙනකු තුළ නොනැසී පවතී. හානියට පත්වූවන්ට, අඛණ්ඩ දණ්ඩ මුක්ති පිළිවෙත හේතුවෙන් සත්‍යය හෝ සහනයක් ලබා දී නොමැති අතර, එවැනි උල්ලංඝනයන්ට ප්‍රතිකර්ම ලබාදීමට අපොහොසත් වීම වෙනත් ස්ථානවලදී ද එකී සිදුවීම් පුනරාවර්තනය වීමේ අවදානම පිළිබඳ පවතින කනස්සල්ල ප්‍රතිබල ගන්වයි."
නිගමන සහ නිර්දේශ
රාජ්‍ය ආරක්ෂක හමුදාවන් සම්බන්ධ වූ ප්‍රහාර ඇතුළු මානුෂීය සහන සේවකයන් හා වෛද්‍ය කාර්ය මණ්ඩලිකයන්ට මෙන්ම ඒවා පවත්වාගෙන යනු ලැබූ ස්ථාන සහ ඔවුන්ගේ මෙහෙයුම්වලටත් එල්ල කරන ලද ප්‍රහාර රජය විසින් විධිමත්ව පිළිගනිමින්, ප්‍රසිද්ධියේ සමාව අයැද සිටීමකින් ආරම්භ විය යුතු, සත්‍යය, වගඋත්තරදායකත්වය සහ පුනරාවර්තනය වැළැක්වීම සඳහා වූ පැහැදිලි කැපවීමක්ද, ඒ සමගම ඝාතනය කළ හෝ අතුරුදන් වූ පුද්ගලයන්ගේ පවුල්වලට සහ දිවි ගළවා ගත් සගයන්ට ප්‍රමාණවත් සහ විස්තීරණ හානි පූර්ණය කිරීමක්ද මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් ඉල්ලා සිටිනු ලබයි.
කඩිනම්, ස්වාධීන සහ අපක්ෂපාතී විමර්ශන මගින් තනි තනි සිදුවීම් පිළිබඳව පමණක් නොව, මානුෂීය සහන සේවා කටයුතුවල නිරත වූ පාර්ශ්වයන්ට එරෙහිව එල්ල කළ ප්‍රහාර සහ මානුෂීය ආධාර සැපයීම සඳහා පැනවූ සීමා කිරීම් පුළුල් ප්රතිපත්තියක හෝ සැලැස්මක පංගුවක් වීද යන්න ගැනත් සොයා බැලීමට අවධානය යොමු කළ යුතු බව අවධාරණය කරන එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ සඳහා අභිචෝදක ආයතනවල ස්වාධීනත්වය සහ ධාරිතාව ශක්තිමත් කිරීමත්, ස්වාධීන අභිචෝදන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමත්, රෝම ප්රඥප්තිය ඇතුළු අදාළ අන්තර්ජාතික නෛතික මෙවලම් පිළිගැනීමත් අවශ්‍ය බව ශ්‍රී ලංකා රජයට අවධාරණය කරයි.
ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණය කරමින්, බරපතළ උල්ලංඝනයන්ට සම්බන්ධ නිලධරයන් විවේචනාත්මක පරීක්ෂාවට පාත්‍ර කිරීම සහතික කර, වින්දිතයන්ගේ සහ සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව කාර්ය සාධක ලෙස ශක්තිමත් කිරීම සහ වින්දිතයන්ටත්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ටත්, මානව හිමිකම් ආරක්ෂකයන්ට සහ ජනමාධ්‍යවේදීන්ටත් එරෙහි ආවේක්ෂණ කටයුතු, බියගැන්වීම් සහ පළිගැනීම් අවසන් කිරීම මගින් පුනරාවර්තනය වැළැක්වීමටත් රජය විසින් සංයුක්ත ක්‍රියාමාර්ග ගත යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නවතම වාර්තාව මගින් කියා සිටි.
ජාත්‍යන්තර ඇස
අඛණ්ඩ අන්තර්ජාතික අධීක්ෂණයක් පවත්වා ගෙන යාම OHCHR විසින් නිර්දේශ කරනු ලබන අතර, දේශීය වෑයම් ප්‍රමාණවත් නොවන අවස්ථාවල දී අන්තර්ජාතික විමර්ශන, අභිචෝදනය, ඉලක්කගත සම්බාධක සහ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආරක්ෂක අංශ සාමාජිකයන් සම්බන්ධයෙන් මානව හිමිකම් මුල්කොටගත් දෘඪතර පසුබිම් පිරික්සීම් සිදු කිරීම හරහා වගඋත්තරදායක වීම තහවුරු කිරීමට අවශ්‍ය සහාය ලබාදීම ද නිර්දේශ කර සිටී.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් නොවැම්බර් 26 වැනිදා ‘ශ්‍රී ලංකාවේ මානුෂීය ආධාරක සේවාවන්ට එරෙහි ප්‍රහාර, 20 වසරකට පසු "මම බොහෝවර මිය ගියෙමි."’ හිසින් යුතුව නිකුත් කර තිබෙන නවතම වාර්තාව මගින් අවසාන වශයෙන් නිර්දේශ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ මානුෂීය සහන සේවා ක්‍රියාකාරකම්වලට එරෙහි ප්‍රහාර සම්බන්ධයෙන් වගඋත්තරදායක වීම, ආරක්ෂක මණ්ඩලයේ 2730 (2024) යෝජනාව සහ මානුෂීය සහන සේවකයන්ගේ ආරක්ෂාව සඳහා වූ 2025 ප්රකාශනය යටතේ ක්‍රියාවට නංවන ප්රයත්න ද ඇතුළු, එවැනි උල්ලංඝනයන්ට එරෙහි පළල් අන්තර්ජාතික ප්‍රතිචාරයේ අවියෝජනීය කොටසක් විය යුතු අතර, ශ්‍රී ලංකාවේ පැවති දණ්ඩ මුක්තිය වෙනත් ගැටුම් සඳහා පූර්වාදර්ශයක් නොවනු ඇති බවට සහතික කිරීමට එය ඉවහල් වනු ඇති බවයි.

වැඩිදුර තොරතුරු ඇතුළත් මූලාශ්‍ර සබැඳි
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ නිල මාධ්‍ය නිවේදනය: OHCHR Official Press Release
සම්පූර්ණ වාර්තාව (PDF): 'I died many times': Attacks on humanitarian assistance in Sri Lanka, 20 years on



