පැමිණිල්ලක් විභාග කිරීමේ මුවාවෙන් නිවසට පැමිණ, 16 හැවිරිදි වියටත් අඩු පාසල් සිසුවියක රවටා අපහරණය කර දූෂණය කළ විවාහක උප පොලිස් පරීක්ෂකවරයෙකුට කුරුණෑගල මහාධිකරණය බරපතල වැඩ සහිත වසර 50ක සිරදඬුවම් නියම කර තිබේ.
චෝදනා හතරකට වෙන් වෙන්ව ලබාදුන් මෙම සිරදඬුවම්වල එකතුව වසර 50ක් වුවද, එය වසර 15කින් එකවර ගෙවී යන ලෙස ක්‍රියාත්මක කිරීමට කුරුණෑගල පූර්වගාමී මහාධිකරණ විනිසුරු ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කළේය. ඒ අනුව විත්තිකරුට වසර 15ක සිරදඬුවමක් විඳීමට සිදුවේ.
වින්දිත තරුණියට රුපියල් ලක්ෂ 10ක වන්දියක් ගෙවන ලෙසත්, චෝදනා හතර වෙනුවෙන් වෙන් වෙන්ව රුපියල් 50,000 බැගින් දඩ ගෙවන ලෙසත් අමරසිංහ හේවගේ රුවන් අමරසිංහ නමැති විත්තිකරුට අධිකරණය නියම කළේය.
විමර්ශන මුවාවෙන් ඇටවූ උගුල
වින්දිත දැරියගේ මව විදේශගතව සිටි අතර, ඇය හැදී වැඩුණේ සිය මිත්තණියගේ භාරයේය.
අසල්වැසියෙකුගෙන් සිදුවූ බව කියන ලිංගික අතවරයක් ගැන පොලිසියට ලැබුණු පැමිණිල්ලක් විමර්ශනය කිරීම පැවරී තිබුණේ ප්‍රදේශයේ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ මෙම උප පොලිස් පරීක්ෂකවරයාටය.
එම රාජකාරිය මුවාවෙන් දැරියගේ පියා සමඟ සමීප හිතවත්කමක් ගොඩනගා ගත් විත්තිකරු, නිවසේ වැඩිහිටියන් නොමැති අවස්ථා බලා නිල ඇඳුමෙන් මෙන්ම සිවිල් ඇඳුමෙන්ද එහි පැමිණ තිබේ.
පෙම්වතා බේරාදෙන පොරොන්දුවෙන් බියවැද්දීම
ඒ වන විට මෙම පාසල් සිසුවියගේ පෙම්වතා සම්බන්ධයෙන් වෙනත් පොලිස් විමර්ශනයක් ආරම්භ වී තිබුණි.
එම නඩුවෙන් පෙම්වතා බේරා දීමට නම් තමා සමඟ ලිංගිකව එක්විය යුතු බවට විත්තිකරු දැරියට බලපෑම් කර ඇති බව නඩු විභාගයේදී අනාවරණය විය.
එක් දිනක් රාත්‍රී අටට පමණ විදුලිය විසන්ධි වී තිබූ අවස්ථාවක ඇගේ නිවසට පැමිණි ඔහු, දැරිය කාමරයට කැඳවාගෙන ගොස් පළමු වරට අපයෝජනය කර තිබේ.
පසුව පොලිස් නිල ඇඳුමෙන්ම පාසල අසලට පැමිණි මෙම නිලධාරියා, පාසල් නිල ඇඳුමෙන් සිටි දැරිය යතුරුපැදියේ නංවාගෙන සිය නිවසට සහ විවිධ සංචාරක නිකේතන වෙත රැගෙන ගොස් අවස්ථා කිහිපයකදීම අපයෝජනය කර ඇත.
මිතුරියන්ගේ අවධානය සහ තාප්පයේ සිදුරෙන් ආ ලිපිය
දැරිය නිරන්තරයෙන් පාසල් නොපැමිණීම ගැන සැක සිතූ ඇගේ මිතුරියන් ඒ බව දැරියගේ පියාට දැනුම් දීමත් සමඟ මෙම අපරාධය හෙළි විය.
අධිකරණ නියෝග මත දැරිය ළමා නිවාසයක රඳවා සිටියදී, දුරබැහැර පොලිස් ස්ථානයකට මාරු කර යවා සිටි විත්තිකරු එහිද පැමිණ තිබේ.
දැරිය එළිමහනේ දිය නාමින් සිටියදී තාප්පයේ තිබූ කුඩා සිදුරකින් මඤ්ඤොක්කා ලීයක ඇමිණූ ලිපියක් යොමු කරමින්, සත්‍ය තොරතුරු කිසිවෙකුට හෙළි නොකරන ලෙසත්, කොහේ සිටියත් ඇයව තමා ළඟට ගන්නා බවත් ඔහු දන්වා ඇත.
ඉදිරිපත් වූ සාක්ෂි සහ විශේෂඥ අධිකරණ වෛද්‍ය වාර්තා සියල්ල සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා, චෝදනා හතරටම විත්තිකරු වරදකරු බවට තීන්දු කරමින් මෙම දඬුවම ප්‍රකාශයට පත් කළේය.



