මහ බැංකුව විසින් මෑතකදී සිදුකළ පොලී අනුපාත ඉහළ දැමීම හේතුවෙන් ආර්ථිකයට, ව්‍යාපාරවලට සහ රාජ්‍ය ණය පිරිවැයට ඇතිවන බලපෑම පිළිබඳව පැහැදිලි කරන ලෙස හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා මුදල් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය.
ඔක්තෝබර් මාසයේ උද්ධමනය (භාණ්ඩ හා සේවා මිල ඉහළ යාමේ වේගය) සියයට 8.3 දක්වා ඉහළ යාමත් සමඟ මහ බැංකුව ගත් නව මුදල් ප්‍රතිපත්ති තීරණ සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා පාර්ලිමේන්තුව හමුවේ කරුණු 7ක් යටතේ ප්‍රශ්න මාලාවක් ඉදිරිපත් කළේය.
පෙර පුරෝකථන සහ නව ප්‍රතිපත්ති තීරණ
ජූලි මාසයේ වාර්තා වූ සියයට 7.3 ආසන්නයේදී උද්ධමනය උපරිමයට ළඟා වනු ඇතැයිද, නව අවදානම් මතු නොවුවහොත් 2026 වසර තුළ තවදුරටත් පොලී අනුපාත ඉහළ දැමීම අවශ්‍ය නොවනු ඇතැයිද මහ බැංකු අධිපතිවරයා පසුගිය අගෝස්තු මාසයේදී රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර තිබූ බව රවී කරුණානායක මහතා සිහිපත් කළේය.
කෙසේ වෙතත්, මැයි මාසයේදී පොලී අනුපාත සියයට 1කින් (1%) ඉහළ දැමීමෙන් පසු, නොවැම්බර් 20 වැනිදා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවත් සියයට 0.25කින් සියයට 9 දක්වා ඉහළ දැමීමට පියවර ගත්තේය. ඊට අමතරව, දෙසැම්බර් 9 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වාණිජ බැංකු විසින් මහ බැංකුවේ තැන්පත් කළ යුතු අනිවාර්ය සංචිත අනුපාතය (SRR) සියයට 2 සිට සියයට 3 දක්වා ඉහළ නැංවීමටද නිවේදනය කර ඇති අතර, උද්ධමනය යළි සියයට 5 මට්ටමට පැමිණෙනු ඇතැයි දැන් පුරෝකථනය කර ඇත්තේ 2027 දෙවැනි භාගයේදීය.
උද්ධමනය ඉහළ යාම සහ බැංකු මුදල් පාලනය
මෙම පසුබිම යටතේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාගෙන් පහත කරුණු පිළිබඳව පැහැදිලි කිරීමක් අපේක්ෂා කරන බව හිටපු අමාත්‍යවරයා පැවසීය:
| උද්ධමන වාර්තාව: අගෝස්තු තක්සේරුව ඉක්මවා උද්ධමනය ඉහළ යාමට බලශක්ති, ආහාර, විනිමය අනුපාත සහ දේශීය ඉල්ලුම බලපෑ ආකාරය සංඛ්‍යාත්මකව ඉදිරිපත් කිරීම සහ අඛණ්ඩ කාර්තු දෙකකදී උද්ධමනය සියයට 7 ඉක්මවුවහොත් මහ බැංකු පනතේ 26(5) වගන්තිය යටතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු විශේෂ පැහැදිලි කිරීමේ වාර්තාව සභාගත කරන දිනය දැනුම් දීම.
| බැංකු පද්ධතියේ මුදල් ප්‍රමාණය: පෞද්ගලික අංශයට ලබාදෙන ණය වර්ධනය මන්දගාමී වෙමින් තිබියදී මෙම පියවර දෙකම ගැනීමට හේතු, අනිවාර්ය සංචිත අනුපාතය ඉහළ දැමීමෙන් බැංකු සතුව ණය දීමට ඇති මුදල් ප්‍රමාණය (ද්‍රවශීලතාව) කොපමණ අඩු වේද යන්න සහ සාමාන්‍ය මුදල් පාලන ක්‍රමවලට වඩා ඉන් උද්ධමනය පාලනය වන ආකාරය.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ආර්ථික වර්ධනය
මහ බැංකුවේ මෙම තීරණය හේතුවෙන් වාණිජ බැංකු ණය පොලී අනුපාතවලට සහ ණය ලබාගැනීමේ හැකියාවට ඇතිවන බලපෑම පිළිබඳවද ඔහු අවධානය යොමු කළේය.
දැනටමත් ඉහළ පොලී වියදම් හමුවේ ව්‍යාපාර පවත්වාගෙන යාමට අරගල කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට මෙම තීරණය බලපාන ආකාරයත්, සහනදායී පොලී අනුපාත සහ රුපියල් බිලියන 174ක ණය ඉලක්කය තවදුරටත් පවත්වාගත හැකිද යන්නත් ඔහු විමසා සිටියේය.
එමෙන්ම, 2027 අයවැයේ අපේක්ෂිත සියයට 4ත් 5ත් අතර ආර්ථික වර්ධන උපකල්පනය තවදුරටත් වලංගුද යන්න සහ ආයෝජන, රැකියා සහ බදු ආදායමට ඉන් සිදුවන බලපෑම පැහැදිලි කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.
රාජ්‍ය ණය පිරිවැය සහ ජාත්‍යන්තර බලපෑම්
රුපියල් බිලියන 2,300ක භාණ්ඩාගාර බිල්පත් සියල්ල සියයට 0.25කින් ඉහළ පොලී අනුපාතයකට වසරකට අලුත් කළහොත් (ප්‍රතිමූල්‍යකරණය කළහොත්) රජයට දැරීමට සිදුවන අමතර පොලී වියදම රුපියල් බිලියන 5.75ක් බව රවී කරුණානායක මහතා පෙන්වා දුන්නේය.
පොලී සඳහා වෙන් කර ඇති රුපියල් බිලියන 2,643ක අයවැය ප්‍රතිපාදන හමුවේ භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාත සියයට 0.25, සියයට 0.50 හෝ සියයට 1කින් ඉහළ ගියහොත් රජයට දැරීමට සිදුවන අමතර වියදම සහ එය පියවා ගන්නා ආකාරය පිළිබඳවද ඔහු විමසුවේය.
මීට අමතරව, ඉදිරි සති කිහිපයේදී ඇමෙරිකානු මහ බැංකුව (ෆෙඩරල් සංචිතය) පොලී අනුපාත ඉහළ දැමුවහොත් ශ්‍රී ලංකා රුපියලට සහ දේශීය ණය පොලී අනුපාතවලට ඇතිවන බලපෑම කුමක්ද යන්නත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ විදේශ සංචිත ඉලක්ක මෙම මුදල් ප්‍රතිපත්ති තීරණවලට බලපෑවේද යන්නත් පාර්ලිමේන්තුවට දැනුම් දෙන ලෙස හිටපු මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
රවී කරුණානායක මහතාගේ ප්‍රකාශය නරඹන්න
සබැඳි පුවත්:



