ගැබ්බරව සිටින ජීවන සහකාරියට වංචා කරන පිරිමින් කෙරෙහි දැඩි අප්‍රසාදය පළ කරමින් ජර්මානු ගෝල් රකින ක්‍රීඩක මැන්වෙල් නෝයාගේ (Manuel Neuer) බිරිඳ ඇනිකා පළ කළ පෝස්ටුවක් මේ දිනවල සමාජ මාධ්‍යයේ වේගයෙන් පැතිර යනවා. එවැනි ක්‍රියාවකින් පෙන්නුම් කරන්නේ දුෂ්ටකමේ වෙනස්ම මට්ටමක් යැයි ඇය සඳහන් කර තිබෙනවා. ඇනිකා මේ ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ ඇය ගැබ් දරා සිටියදී මැන්වෙල් තරුණ භෞත චිකිත්සකවරියක සමඟ ඇසුරක් පැවැත්වූ බවට වාර්තා වී තිබීම මධ්‍යයේයි.
බ්‍රසීල සහ සිසිලි සංචාර ගැන හෙළිදරව්ව
අගෝස්තු මාසයේ දෙවැනි දරුවා ලැබී ටික කලකින් පසුව ‘බයර්න් මියුනික්’ කණ්ඩායමේ ගෝල් රකින්නා සහ ඇනිකා වෙන් වූ බවට ජර්මන් මාධ්‍ය වාර්තා කරනවා. ඉන්පසුව 40 හැවිරිදි මැන්වෙල් හඳුනා නොගත් කාන්තාවක සමඟ බ්‍රසීලයේ සිටින අයුරු ඡායාරූපගත කර තිබෙන අතර ඇය ඔහු සමඟ කටයුතු කළ 23 හැවිරිදි භෞත චිකිත්සකවරියක බවට හඳුනාගෙන තිබෙනවා.
මයින්ස් කණ්ඩායම සමඟ නොවැම්බර් 7 වැනිදා පැවති ‘බුන්ඩස්ලීගා’ තරගයේදී පාදයේ ආබාධයකට ලක්වීමෙන් පසුව මැන්වෙල් දකුණු අමෙරිකාවේ සංචාරයක නිරත වුණා. සැප්තැම්බර් මස අගදී ඔහු සහ තරුණ කාන්තාව සිසිලි දූපතේදී එකට සිටි බවට ජර්මන් වාර්තා සඳහන් කරනවා.
“එය වැරැද්දක් නෙවෙයි, ආත්මාර්ථකාමී තෝරා ගැනීමක්”

26 හැවිරිදි හිටපු හෑන්ඩ්බෝල් ක්‍රීඩිකාවක වන ඇනිකා මේ කටකතාව පැතිර යාමෙන් පසුව ඇගේ කටහඬ අවදි කර තිබෙනවා. “ගැබිනි කාන්තාවක් රැවටීම දුෂ්ටකමේ අන්තයට යාමක්” යනුවෙන් සඳහන් පණිවුඩයක් ඇය නැවත පෝස්ට් කර තිබෙනවා.
“ඔබේ දරුවා රැගෙන යන කාන්තාව දෙස බලමින්, ඇගේ ශරීරය වෙනස් වෙන හැටි බලා සිටිමින්, ඇය අමාරුවෙන් සිටින අයුරු දකිමින්, මහන්සි වෙමින් ගර්භණී අවධියේ එන හැම දෙයක්ම විඳ දරාගෙන සිටින හැටි දැක දැකත් ඇයට පිටුපසින් ඇයට වංචා කිරීමට තරම් නිර්භීත වෙන්න පුළුවන් මිනිහෙක් ගැන සිතින් මවා ගන්න.”
“ඔබ වෙනත් කෙනෙකු සමඟ විනෝද වෙද්දී ඇය කුස දරා සිටින්නේ ඔබේ දරුවාවයි. ආදරය, ආරක්ෂාව හා උපකාරය ලැබෙන බවට හැඟීමක් ඇතිවිය යුතු කාන්තාව ඒ වෙනුවට ඔබ ඇති කළ වේදනාවෙන් පෙළෙනවා. එය වැරැද්දක් නෙවෙයි. එය තෝරා ගැනීමක්. ආත්මාර්ථකාමී, සංවේදිතාවක් නැති, ගරුසරු නැති තෝරා ගැනීමක්.”
“විශේෂයෙන් ඇයට ඔබව වඩාත්ම අවශ්‍ය වෙලාවේදී ඔබ ඔබේම දරුවා කුසේ දරාගත් කාන්තාවට ද්‍රෝහී වෙනවා නම්, ඔබට නැත්තේ හිතවත්කම පමණක් නෙවෙයි. ඔබට අවම වැදගත්කමක් හා ගෞරවයකුත් නැහැ. මට දැනෙන්නේ මහා පිළිකුලක්.”
පවුල වෙනුවෙන් ක්‍රීඩාවෙන් සමුගත් ඇනිකා
මැන්වෙල් සහ ඇනිකාට පුතුන් දෙදෙනෙක් සිටිනවා. ලුකා 2024 මාර්තුවේ උපත ලැබූ අතර දෙවැනියාගේ නම තවමත් අනාවරණය කර නැහැ. තමාගේ පවුලට ප්‍රමුඛතාවක් දීමේ අරමුණින් තමා ළඟදීම වෘත්තීය හෑන්ඩ්බෝල් ක්‍රීඩා දිවියෙන් ඉවත් වන බවට ඇනිකා 2025 වසරේදී කියා තිබුණා.
(සටහන - වර්නන් ගුණසේකර)




