ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ දේශපාලන සිතියම උඩුයටිකුරු කරමින්, ලිබරල්-ජාතික සන්ධානය (Coalition) විශිෂ්ට මැතිවරණ ජයග්‍රහණයක් වාර්තා කර තිබේ.
මෙම ජයග්‍රහණයත් සමඟ 36 හැවිරිදි ලිබරල් පක්ෂ නායිකා ජෙස් විල්සන් (Jess Wilson) වික්ටෝරියා ප්‍රාන්තයේ 51 වැනි අග්‍රාමාත්‍යවරිය (Premier) ලෙස තේරී පත්වීමට නියමිතය.
ඇය එම ප්‍රාන්ත ඉතිහාසයේ මහජන ඡන්දයෙන් තේරී පත්වන පළමු සහ ළාබාලතම කාන්තා අග්‍රාමාත්‍යවරිය ලෙස ද වාර්තා පොත් අතරට එක්වෙයි.
වසර 70කට පසු අගමැතිවරයෙකුට අසුන අහිමි වෙයි
වික්ටෝරියා මැතිවරණයේදී සිය ආසනය අහිමි වීමෙන් පසු බෙන් කැරොල් පරාජය පිළිගනිමින්
වසර 12ක් පුරා වික්ටෝරියා ප්‍රාන්තය පාලනය කළ කම්කරු පක්ෂයට (Labor Party) මෙවර මුහුණ දීමට සිදු වූයේ දැවැන්ත පසුබෑමකටය.
වත්මන් අග්‍රාමාත්‍ය බෙන් කැරොල් (Ben Carroll) ඔහුගේ නිඩ්රි (Niddrie) ආසනයෙන් පවා පරාජයට පත්වීම විශේෂත්වයකි.
වසර 50ක් පුරා කම්කරු පක්ෂයේ බලකොටුවක්ව පැවති එම ආසනය අහිමි වීමත් සමඟ, වසර 70කට පසු මැතිවරණයකින් සිය අසුන පරාජය වූ පළමු වික්ටෝරියානු අග්‍රාමාත්‍යවරයා බවට ඔහු පත්විය.
රාත්‍රී 8:30ට පෙර ජෙස් විල්සන් වෙත දුරකථන ඇමතුමක් ලබා දුන් බෙන් කැරොල් සිය පරාජය නිහතමානීව පිළිගත්තේය. පක්ෂයේ පසුබෑම පිළිබඳ සම්පූර්ණ වගකීම තමන් භාරගන්නා බව ඔහු සඳහන් කළේය.
වසර 4ක් තුළ ඉහළම පුටුවට ආ ජෙස් විල්සන්
පසුගිය වසර හත තුළ පස් වතාවක් නායකත්වය මාරු වෙමින් අර්බුදයකට ලක්ව තිබූ වික්ටෝරියානු ලිබරල් පක්ෂයට නව ජවයක් ලබා දුන්නේ ජෙස් විල්සන්ය.
2025 නොවැම්බර් මාසයේදී පක්ෂ නායකත්වයට පත් වූ ඇය, වසර හතරකටත් අඩු කාලයකදී නවක මන්ත්‍රීවරියකගේ සිට ප්‍රාන්තයේ ඉහළම පුටුව දක්වා පැමිණීමට සමත් වූවාය.
ජයග්රහණයෙන් පසු මෙල්බර්න් නුවර පක්ෂ මූලස්ථානයේදී අදහස් දැක්වූ ඇය, වික්ටෝරියා ප්‍රාන්තය යළි ව්‍යාපාර සඳහා විවෘත බවත්, ජනතාව තැබූ විශ්වාසය සත්‍යවාදී පාලනයකින් රකින බවත් අවධාරණය කළාය.
පෙර පාලකයන්ගේ බර සහ පෞද්ගලීකරණ විවාදය
පසුගිය දශකය තුළ ඩැනියෙල් ඇන්ඩෲස් සහ ජසින්ටා ඇලන් යටතේ පැවති කම්කරු පක්ෂ පාලනය තුළ රාජ්‍ය ණය බර ඉහළ යාම, අපරාධ වර්ධනය වීම සහ මහාමාර්ග නඩත්තුව දුර්වල වීම ජනතා අප්‍රසාදයට ප්‍රධාන හේතු විය.
ඉදිකිරීම් ක්ෂේත්රයේ වෘත්තීය සමිති හා සම්බන්ධ දූෂණ චෝදනා පිළිබඳව සමාජය තුළ දැඩි කෝපයක් පැවති බව නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ගේබ්‍රියෙල් විලියම්ස් ද පිළිගත්තාය.
පසුගිය ජූලි මාසයේදී ජසින්ටා ඇලන් වෙනුවට අග්‍රාමාත්‍ය ධුරයට පත් බෙන් කැරොල් එම චෝදනා විමර්ශනයට රාජකීය කොමිසමක් පත් කළ ද, දශකයක පාලනයේ බරින් මිදීමට ඔහුට කාලය ප්‍රමාණවත් නොවීය.
මැතිවරණයට දින දෙකකට පෙර මෙල්බර්න් නුවර අපජල පද්ධතිය අර්ධ වශයෙන් පෞද්ගලීකරණය කිරීමට සහ ඇතැම් ව්‍යාපෘති කප්පාදු කිරීමට ජෙස් විල්සන් ඉදිරිපත් කළ යෝජනා දැඩි විවේචනයට ලක් විය.
ඒ වන විටත් මිලියන 2.2ක පිරිසක් පූර්ව ඡන්දය ප්‍රකාශ කර තිබූ නමුත්, පැවති රජය වෙනස් කිරීමේ ජනතා රැල්ල ඉදිරියේ එම විවේචනවලට සන්ධානයේ ජයග්‍රහණය වැළැක්විය නොහැකි විය.
කම්කරු පක්ෂයට දශකයක පසුබෑමක්?
ඕස්ට්‍රේලියාව ඒකාබද්ධ රාජ්‍යයක් වූ දා සිට කම්කරු පක්ෂය ජයග්‍රහණය කළ බලකොටු පවා මෙවර ඔවුන්ට අහිමි වී ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
හිටපු කම්කරු පක්ෂ උපායමාර්ගික උපදේශකයෙකු වන කොස් සමරාස් පවසන්නේ මෙය ජාතික මට්ටමින් එම පක්ෂය අත්විඳි දරුණුතම ඓතිහාසික පරාජය බවයි.
වික්ටෝරියා ප්‍රාන්තය තුළ කම්කරු පක්ෂයට යළි හිස එසවීමට දශකයකට වැඩි කාලයක් ගතවනු ඇතැයි ද, මීළඟ කම්කරු පක්ෂ අගමැතිවරයා තවමත් උසස් පාසලේ ඉගෙන ගන්නා අයෙකු විය හැකි බවට ද ඔහු උපහාසාත්මකව අදහස් පළ කර තිබේ.
වැඩිදුර තොරතුරු ඇතුළත් මූලාශ්‍ර සබැඳි:
Jess Wilson to become 51st Victorian premier as Coalition swept to state election victory



