ඉවතලන පැරණි ටයර් 1,300ක් සහ හිස් වීදුරු බෝතල් 7,000ක් යොදාගෙන ඉදිකළ නිදන කාමර හතරක අපූරු නිවසක් නවසීලන්තයේ කොරොමැන්ඩල් (Coromandel) ප්‍රදේශයේදී විකිණීමට තබා තිබේ.
'අර්ත්ෂිප් ටෙ ටිමටංගා' (Earthship Te Timatanga) ලෙස නම් කර ඇති මෙම නිවස, නවසීලන්තයේ අතිශය ජනප්‍රිය 'ග්‍රෑන්ඩ් ඩිසයින්ස්' (Grand Designs New Zealand) රූපවාහිනී වැඩසටහන ඔස්සේ ද ලොව පුරා ප්‍රේක්ෂක අවධානය දිනා ගත්තේය.
වාර්තා චිත්‍රපටයකින් උපන් අපූරු සිහිනය

ගස් ඇනින් (Gus Anning) සහ සාරා රෝව් (Sarah Rowe) යන අඹුසැමි යුවළට මෙම නිවස ඉදිකිරීමේ අදහස පහළ වී ඇත්තේ 'ගාබේජ් වොරියර්' (Garbage Warrior) නම් වාර්තා චිත්‍රපටය නැරඹීමෙන් පසුවයි.
කඳු මුදුනකට සහ ගංගාවකට මුහුණලා පිහිටි හිකුආයි (Hikuai) ග්‍රාමීය නිම්නයේ ඔවුන් සිය සිහින නිවහන ගොඩනැගීමට තෝරා ගත්හ.
විදෙස් විශේෂඥයින් හය දෙනෙකු, දේශීය නිර්මාණ ශිල්පීන් මෙන්ම සිය දරුවන් තිදෙනාගේ සහ මිතුරන්ගේ ද සහාය ඇතිව ඔවුන් 2015 වසරේදී වසරකටත් අඩු කාලයකින් මෙහි ඉදිකිරීම් නිම කර ඇත.
විදුලි බිලක්, වායු සමීකරණ නැති සොබාදහමේ නිවහන
මෙම නිවසේ ඇති විශේෂත්වය වන්නේ කෘත්‍රිම වායු සමීකරණ හෝ තාපක යන්ත්‍ර නොමැතිව වසර පුරාම සෙල්සියස් අංශක 20ක පමණ සමබර උෂ්ණත්වයක් පවත්වා ගැනීමයි.
සෑම කාමරයකටම සූර්යාලෝකය සෘජුවම ලැබෙන සේ නිවස සැලසුම් කර ඇති අතර, ශාකවලින් පිරුණු දිගු කොරිඩෝවකට සියලු කාමර විවෘත වේ.

පසුපස බිත්ති සඳහා පස් පුරවා භාවිත කළ ටයර් 1,300 මගින් දිවා කාලයේ හිරු රශ්මිය උරාගෙන රාත්‍රී කාලයේ නිවස උණුසුම්ව තබන අතර, ගිම්හාන කාලයේදී වහලයේ ඇති විශේෂ වා කවුළු විවෘත කළ විට උණුසුම් වාතය පිටතට ගලා යයි.
අලංකරණයට මෙන්ම පිටත උෂ්ණත්වය පාලනය කරන ආවරණයක් ලෙස ද භාවිත කර ඇති වීදුරු බෝතල් 7,000 නිවසට අමුතුම සුන්දරත්වයක් එක් කර තිබේ.
ජලය සහ විදුලියත් සොබාදහමෙන්ම
නිවසට අවශ්‍ය සම්පූර්ණ විදුලිය සූර්ය පැනල මගින් නිපදවන අතර, අතිරික්ත විදුලිය ප්‍රධාන විදුලි පද්ධතියට අලෙවි කිරීමට ද හැකියාව පවතී.
වැසි ජලය රැස් කිරීමේ පද්ධතියකට අමතරව, නාන කාමර සහ මුළුතැන්ගෙයින් ඉවතලන ජලය (Greywater) නිවස ඇතුළත ඇති ශාක පද්ධතිය පෝෂණය කිරීම සඳහා ස්වයංක්‍රීයව යොමු කෙරේ.

නව පරිච්ඡේදයකට මුලපිරීම
රූපවාහිනී වැඩසටහනින් පසු මිලියන පහකට අධික පිරිසකගේ අවධානයට ලක්වූ මෙම නිවස පළමු වරට අලෙවි කිරීමට තීරණය කර ඇත්තේ, ඇනින් සහ රෝව් යුවළ නවසීලන්තයේ 'බේ ඔෆ් අයිලන්ඩ්ස්' (Bay of Islands) ප්‍රදේශයේ පදිංචියට යාමට සූදානම් වන බැවිනි.
මෙම නිවස "හුස්ම ගන්නා සහ සොබාදහම සමඟ බැඳුණු අපූරු නවාතැනක්" ලෙස හඳුන්වන සාරා රෝව්, තමන් ගොඩනැගූ මෙම පරිසර හිතකාමී දැක්මට ආදරය කරන නව හිමිකරුවෙකුට එය භාර දීමට බලාපොරොත්තු වන බව 'වන්රූෆ්' (OneRoof) වෙබ් අඩවිය වෙත පවසා තිබේ.
වැඩිදුර තොරතුරු ඇතුළත් මූලාශ්‍ර සබැඳිය:



