The Leader News
BREAKING
බාලි ඉන්ධන පෝලිම් ලිහිල් කිරීමට හමුදාව පොම්ප ක්‍රියාකරවයි●ආරක්‍ෂක නියෝජ්‍ය ඇමතිගෙන් යුද හමුදාවේ ඉදිරි සැලසුම් ගැන පැසසුම්!●ඕස්ට්‍රේලියානු රැකියා ක්ෂේත්‍රයේ ගැබිනි මව්වරුන්ට එරෙහි වෙනස්කම් තවමත් ඉහළයි●ඉන්ධන බිල අමතක වූ වික්ටෝරියානු ප්‍රාන්ත අගමැතිගෙන් සමාව අයැදීමක්●ශාසනය සහ ජන බලය: පැරණි බලයේ අවතාර සහ ආණ්ඩුව මුහුණ දෙන දේශපාලන උගුල●අසර්බයිජාන ඉන්ධන පිවිසුම: ලංකාවට ආර්ථික වාසියක්ද, භූදේශපාලනික උගුලක්ද?●කාවන්තිස්ස ඇතාගේ මරණය: වනජීවී දෙපාර්තමේන්තුව ලණු කා පච වීම●රියදුරු බලපත්‍රයේ ලකුණු කැපෙන නව ක්‍රමය අප්‍රේල් සිට●වන අලි 784ක් බිලිගත් අර්බුදය සහ කාවන්තිස්ස ඛේදවාචකය●ඥානසාර හිමිට ජනපති සමාවක් නෑ: රජය ස්ථාවරය හෙළි කරයි●
Top Ad
Opinion

ශාසනය සහ ජන බලය: පැරණි බලයේ අවතාර සහ ආණ්ඩුව මුහුණ දෙන දේශපාලන උගුල

Awara

Awara

October 21, 2026 • 4:20 PM

ශාසනය සහ ජන බලය: පැරණි බලයේ අවතාර සහ ආණ්ඩුව මුහුණ දෙන දේශපාලන උගුල

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ග්‍රාම්ෂි විස්තර කළ මෙම අන්තර්කාලීන අර්බුදයේ වැදගත් ලක්ෂණයක් වන්නේ පැරණි දේශපාලන ක්‍රමය සිය ආධිපත්‍යය අහිමි කරගනිමින් සිටියද, නව ක්‍රමය ප්‍රතිස්ථාපනය කිරීමට සමත් දේශපාලන හා සමාජ පිළිවෙළක් තවමත් ස්ථාවර වී නොතිබීමයි.
  • ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීම වටා මතුව ඇති භික්ෂු විරෝධතාත්, ඊට ප්‍රතිචාර වශයෙන් නීතිය හා සාමය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ගවලට සහාය පළ කරමින් කොළඹ පැවැති ආණ්ඩු හිතවාදී විරෝධතාවත්, මෙම පුළුල් දේශපාලන අර්බුදයේ නව අවධියක් ලෙස විමසා බැලිය යුතුය.
  • ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කිරීමට ඇති අයිතිය ආරක්ෂා කිරීමට උත්සාහ කරන අතරතුර, එම ක්‍රියාවලියම ආණ්ඩුව බෞද්ධ ශාසනයට එරෙහි බලවේගයක් ලෙස නිරූපණය කිරීම සඳහා විපක්ෂයේ සහ ඇතැම් සටන්කාමී භික්ෂු දේශපාලන ප්‍රවාහවලට නව අවකාශයක් සපයා දෙන්නේද?
  • ඔක්තෝබර් 15 සහ 16 දිනවල ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා සහ ඔවුන්ට සහාය දක්වන පිරිස් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූහ.
අකුරු ප්‍රමාණය (Font Size):

ග්‍රාම්ෂි විස්තර කළ මෙම අන්තර්කාලීන අර්බුදයේ වැදගත් ලක්ෂණයක් වන්නේ පැරණි දේශපාලන ක්‍රමය සිය ආධිපත්‍යය අහිමි කරගනිමින් සිටියද, නව ක්‍රමය ප්‍රතිස්ථාපනය කිරීමට සමත් දේශපාලන හා සමාජ පිළිවෙළක් තවමත් ස්ථාවර වී නොතිබීමයි. එවැනි තත්ත්වයකදී පැරණි බලවේග අතුරුදන් නොවේ. ඒවා නව සමාජ තත්ත්වයන්ට අනුවර්තනය වෙමින්, තමන්ට අහිමි වූ බලය නැවත ලබාගැනීම සඳහා නව සංකේත, නව සටන් පාඨ සහ නව සමාජ සන්ධාන සොයා යයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීම වටා මතුව ඇති භික්ෂු විරෝධතාත්, ඊට ප්‍රතිචාර වශයෙන් නීතිය හා සාමය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ගවලට සහාය පළ කරමින් කොළඹ පැවැති ආණ්ඩු හිතවාදී විරෝධතාවත්, මෙම පුළුල් දේශපාලන අර්බුදයේ නව අවධියක් ලෙස විමසා බැලිය යුතුය.

මෙහි මතුපිටින් පෙනෙන්නේ නීතිය ක්‍රියාත්මක කිරීම, බෞද්ධ භික්ෂූන්ගේ විරෝධය සහ ආණ්ඩුවට සහාය දක්වන ජන කණ්ඩායම් අතර ගැටුමකි. එහෙත් ගැඹුරින් බැලූ විට පවතින ප්‍රශ්නය වන්නේ නීතිය ක්‍රියාත්මක කිරීම පමණක් නොවේ. එය කවර දේශපාලන අර්ථයක් අත්පත් කරගන්නේද, එම අර්ථය සමාජය තුළ තහවුරු කරන්නේ කවුද, සහ මේ ගැටුමෙන් ප්‍රයෝජන ලබාගැනීමට අවකාශය විවෘත වන්නේ කවර බලවේගවලටද යන්නයි.

ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කිරීමට ඇති අයිතිය ආරක්ෂා කිරීමට උත්සාහ කරන අතරතුර, එම ක්‍රියාවලියම ආණ්ඩුව බෞද්ධ ශාසනයට එරෙහි බලවේගයක් ලෙස නිරූපණය කිරීම සඳහා විපක්ෂයේ සහ ඇතැම් සටන්කාමී භික්ෂු දේශපාලන ප්‍රවාහවලට නව අවකාශයක් සපයා දෙන්නේද? වර්තමාන වර්ධනයන් පිළිබඳව අප දකින තීරණාත්මක දේශපාලන ප්‍රශ්නය මෙයයි.

නීතිය හා සාමය ආරක්ෂා කිරීම ප්‍රමාණවත්ද?


2026 ඔක්තෝබර් 15 සහ 16 දිනවල ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා සහ ඔවුන්ට සහාය දක්වන පිරිස් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූහ. කොටුව මහේස්ත්‍රාත් අධිකරණය එම ස්ථානයේ රැඳී සිටීම සීමා කරමින් නියෝගයක් නිකුත් කිරීමෙන් පසුව විරෝධතාකරුවෝ එම ස්ථානයෙන් ඉවත් වූහ. එම විරෝධතාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය සහ වෙනත් දේශපාලන කණ්ඩායම්වල නියෝජිතයන් ද සම්බන්ධ වූ බව වාර්තා විය.

ඊට ප්‍රතිචාර වශයෙන් ඔක්තෝබර් 17 දින කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයෙන් ආරම්භ වූ පාගමනක් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කළේය. ජනවරමේ පුරවැසියෝ සංවිධානය විසින් සංවිධානය කරන ලද මෙම විරෝධතාවට බෞද්ධ භික්ෂූන්, වෙනත් ආගමික නායකයන් සහ සිවිල් සමාජ නියෝජිතයන් ද එක්ව සිටියහ. එහි ප්‍රකාශිත ප්‍රධාන ඉල්ලීම වූයේ නීතිය සෑම පුද්ගලයකුටම සමානව ක්‍රියාත්මක කළ යුතු බවත්, ඥානසාර හිමියන් සම්බන්ධයෙන් විශේෂ සහනයක් ලබා නොදිය යුතු බවත්ය.

මේ අනුව, එක් සිදුවීමක් වටා දැන් එකිනෙකට වෙනස් දේශපාලන අර්ථකථන දෙකක් සහිත විරෝධතා අවකාශයක් ගොඩනැඟී තිබේ. එක් පාර්ශ්වයක් ඥානසාර හිමියන් නිදහස් කිරීම සහ භික්ෂු සමාජයට ගෞරවය ලබාදීම අවධාරණය කරන අතර, අනෙක් පාර්ශ්වය නීතියේ සමානත්වය සහ නීතිමය ක්‍රියාමාර්ගවලට දේශපාලන මැදිහත්වීම් නොකළ යුතු බව අවධාරණය කරයි.

නීතියේ සමානත්වය පිළිබඳ ඉල්ලීම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක මූලික මූලධර්මයකි. එසේම, ආණ්ඩුවේ ක්‍රියාමාර්ග විවේචනය කිරීමටත්, ආගමික හා දේශපාලන අයිතිවාසිකම් වෙනුවෙන් සාමකාමීව විරෝධය පළ කිරීමටත් ජනතාවට අයිතියක් තිබේ. එබැවින් මෙම ගැටුම විසඳිය යුත්තේ එක් විරෝධතාවක් නීත්‍යනුකූලත් අනෙක නීතිවිරෝධීත් ලෙස සරලව වර්ගීකරණය කිරීමෙන් නොවේ. එක් එක් ක්‍රියාවෙහි නෛතික පදනම, ප්‍රකාශිත ඉල්ලීම් සහ දේශපාලන ප්‍රතිවිපාක වෙන වෙනම විමසීමෙනි.

එහෙත් දේශපාලන වශයෙන් වැදගත් වෙනත් ප්‍රශ්නයක් තිබේ. ආණ්ඩුව නීතියේ සමානත්වය තහවුරු කිරීමට ගන්නා පියවර, තමන් අපේක්ෂා කරන නීත්‍යනුකූලභාවය ශක්තිමත් කරනවාද, නැතහොත් විරුද්ධවාදීන්ට එය වෙනත් ආකාරයකින් අර්ථකථනය කිරීමට අවකාශ සපයනවාද?

නීතිය ක්‍රියාත්මක කිරීමේ අයිතිය සහ එම ක්‍රියාමාර්ගය සමාජය තුළ පිළිගැනීමට ලක්වන ආකාරය යනු එකිනෙකට සම්බන්ධ වුවත් වෙනස් දේශපාලන ප්‍රශ්න දෙකකි.


ආණ්ඩුවකට නීතිය ක්‍රියාත්මක කළ හැකිය. අධිකරණ නියෝගවලට අනුකූලව කටයුතු කළ හැකිය. එහෙත් එම ක්‍රියාමාර්ගවල සමාජ අර්ථය තීරණය වන්නේ නීතිමය ක්‍රියාවලියෙන් පමණක් නොවේ. ඒවා සමාජයට පැහැදිලි කරන ආකාරය, ආණ්ඩුවේ සමස්ත හැසිරීම සහ දේශපාලන බලවේග විසින් එම සිදුවීම් අර්ථකථනය කරන ආකාරය ද එයට බලපායි.

මෙය විශේෂයෙන්ම වැදගත් වන්නේ ශ්‍රී ලංකාව වැනි රටක බෞද්ධ ශාසනය පිළිබඳ සංවේදීතාව ආගමික ක්ෂේත්‍රයට පමණක් සීමා නොවී ජාතික අනන්‍යතාව සහ දේශපාලන නීත්‍යනුකූලභාවය සමඟ ද බැඳී පවතින බැවිනි.

ආණ්ඩුවට එරෙහිව භාවිත කළ හැකි නව දේශපාලන අවකාශය

ඥානසාර හිමියන්ගේ සිදුවීම පැරණි දේශපාලන බලවේගවලට වැදගත් වන්නේ එය එක් පුද්ගලයකුගේ නිදහස පිළිබඳ ප්‍රශ්නයක් ලෙස පමණක් නොව, ආණ්ඩුවේ ස්වභාවය පිළිබඳ පුළුල් දේශපාලන විවාදයක් බවට පත් කළ හැකි බැවිනි.

ආණ්ඩුවේ ක්‍රියාමාර්ගය නීතිය ක්‍රියාත්මක කිරීමක් ලෙස පැහැදිලි කළ හැකි වුවත්, එහි විරුද්ධවාදීන්ට එය “බෞද්ධ භික්ෂූන්ට එරෙහි ක්‍රියාමාර්ගයක්”, “ශාසනයට ගරු නොකරන ආණ්ඩුවක හැසිරීමක්” හෝ “බෞද්ධ අනන්‍යතාව නොසලකා හරින දේශපාලන ව්‍යාපෘතියක්” ලෙස ඉදිරිපත් කිරීමට උත්සාහ කළ හැකිය. එවැනි අර්ථකථන සමාජය තුළ පිළිගැනීමට ලක්වන්නේද යන්න වෙනම ප්‍රශ්නයකි. එහෙත් එවැනි දේශපාලන කථිකාවක් ගොඩනැඟීමට සිදුවීමම ආණ්ඩුවට අලුත් අභියෝගයක් ඇති කරයි.
මෙහි විශේෂත්වය වන්නේ විරෝධතාවට එක්ව සිටින සියලු දෙනා එකම දේශපාලන අරමුණක් දරන බවට සාක්ෂි නොමැති වුවත්, විවිධ දේශපාලන කණ්ඩායම්වලට පොදු විරෝධී තේමාවක් වටා එකතු වීමට ඉඩ ලැබීමයි. ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා පැවැති විරෝධතාවට ප්‍රධාන විපක්ෂ පක්ෂ සහ වෙනත් දේශපාලන කණ්ඩායම්වල නියෝජිතයන් සහභාගි වූ බව වාර්තා වීමෙන් මේ සඳහා දේශපාලන පසුබිමක් පවතින බව දැනටමත් පෙනෙන්නට තිබේ.
මෙය පැරණි පවුල්වාදී දේශපාලනයේ නැවත සංවිධානය වීමේ හැකියාව සමඟ සම්බන්ධ කර ද බැලිය හැකිය. පැරණි දේශපාලන බලවේගවලට ජනතාව අතර තමන්ගේ ආර්ථික සංවර්ධනය පාලන ප්‍රගතිය පිළිබඳ විශ්වාසය නැවත ගොඩනඟා ගැනීම අභියෝගයක් වන විට, ඔවුන් වෙනත් සමාජ ගැටුම් සහ අනන්‍යතා මත පදනම් වූ දේශපාලන අවකාශයන් වෙත යොමුවීමට ඉඩ තිබේ.

එහිදී පවුල්වාදය නැවත පැමිණෙන්නේ පවුලක නමක් හෝ නායකයකුගේ ප්‍රතිරූපයක් ඉදිරියට ගෙන ඒමෙන් පමණක් නොවේ. එය ජාතිකවාදී දෘෂ්ටිවාදයක්, ආගමික අනන්‍යතාව පිළිබඳ අර්බුදයක් හෝ ආණ්ඩුවට එරෙහි පොදු විරෝධයක් තුළින් ද නැවත සංවිධානය විය හැකිය.

එහෙත් මෙම විරෝධතා පිටුපස පැරණි පවුල්වාදී බලවේගයක් විසින් මෙහෙයවන එකම සැලැස්මක් පවතින බව සමහරවිට සාක්ෂි නොමැතිව නිගමනය කළ නොහැකිය. වැදගත් වන්නේ අභිප්‍රායන් පිළිබඳ උපකල්පනවලට වඩා, මෙම තත්ත්වයෙන් කවර දේශපාලන බලවේගවලට නව සන්ධාන ගොඩනැඟීමට සහ ආණ්ඩුවේ නීත්‍යනුකූලභාවයට අභියෝග කිරීමට අවස්ථාව ලැබෙන්නේද යන්නයි.

බලහත්කාරය සහ ආධිපත්‍යය අතර වෙනස


මෙම තත්ත්වය තේරුම් ගැනීමට ග්‍රාම්ෂිගේ හෙජමොනිය හෙවත් දෘෂ්ටිවාදී හා සමාජීය ආධිපත්‍යය පිළිබඳ සංකල්පය වැදගත් වේ.

ග්‍රාම්ෂිට අනුව රාජ්‍ය බලය පවත්වාගෙන යන්නේ බලහත්කාරය මත පමණක් නොවේ. එය සමාජයේ විවිධ කණ්ඩායම්වල පිළිගැනීම, සම්මුතිය සහ පාලකයන්ගේ ක්‍රියාමාර්ග සාධාරණ බවට ඇති විශ්වාසය මත ද රඳා පවතී. නීතිය ක්‍රියාත්මක කිරීම රාජ්‍යයක අත්‍යවශ්‍ය කාර්යයක් වුවත්, එම කාර්යය සමාජය තුළ පිළිගැනීමට ලක්වන ආකාරය පාලනයේ ස්ථාවරත්වයට බලපායි.

ආණ්ඩුවට එරෙහි විරෝධතාවක් ඇති වූ විට එය විසුරුවා හැරීම, අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම හෝ නීතිවිරෝධී ක්‍රියාවලට එරෙහිව පියවර ගැනීම සමහර අවස්ථාවල අවශ්‍ය විය හැකිය. එහෙත් රාජ්‍ය බලය භාවිත කළ හැකි වීම සහ සමාජයේ පුළුල් කොටස්වල පිළිගැනීම දිනාගත හැකි වීම එකම දෙයක් නොවේ.

ආණ්ඩුවකට පළමුවැන්න (බලය) තිබුණත් දෙවැන්න (ආධිපත්‍යය) දුර්වල විය හැකිය. එවිට නීතිය ක්‍රියාත්මක කිරීමෙන් ඇතිවන ක්ෂණික ප්‍රතිඵලය දිගුකාලීන දේශපාලන ගැටලුව විසඳීමට ප්‍රමාණවත් නොවේ.

වර්තමාන සිදුවීම තුළ දකින්නට ලැබෙන ප්‍රධාන අවදානම මෙයයි. ආණ්ඩුව නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා ගන්නා පියවර, එහි විරුද්ධවාදීන් විසින් ආණ්ඩුවේ බෞද්ධ විරෝධී ස්වභාවය පිළිබඳ සාක්ෂියක් ලෙස අර්ථකථනය කිරීමට උත්සාහ කිරීම තුළ, නීතිය පිළිබඳ විවාදය අනන්‍යතාව පිළිබඳ විවාදයක් බවට පත්වෙවෙමින් තිබේද යන්න විමසිය යුතුව ඇත.
එවැනි තත්ත්වයකදී ආණ්ඩුවට සිදුවන්නේ නීතිය ක්‍රියාත්මක කිරීම සාධාරණීකරණය කිරීමට අමතරව, තමන් බෞද්ධ ශාසනයට එරෙහි නොවන බව ද නැවත නැවත පැහැදිලි කිරීමටය. එවිට දේශපාලන න්‍යාය පත්‍රය තීරණය කිරීමේ බලය ක්‍රමයෙන් විරුද්ධවාදීන් වෙත මාරුවීමේ අවදානමක් මතු වේ.
ප්‍රතිවිරෝධතාවට ප්‍රතිවිරෝධතාවෙන් පිළිතුරු දීමේ සීමාව

ආණ්ඩුවට සහාය දක්වන කණ්ඩායම් විසින් කොළඹ පැවැත්වූ විරෝධතාවේ ප්‍රකාශිත පණිවුඩය වූයේ නීතිය සියලු දෙනාට සමානව ක්‍රියාත්මක විය යුතු බවයි. එම අදහසට ආගමික අනන්‍යතාවෙන් තොර පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී පදනමක් තිබේ. නීතියට ඉහළින් කිසිවකු නොසිටිය යුතුය යන ප්‍රතිපත්තිය, පුද්ගලයන්ගේ තරාතිරම හෝ ආගමික තත්ත්වය නොසලකා පිළිගත යුතු මූලධර්මයකි.

එහෙත් ආණ්ඩුවට සහාය දක්වන විරෝධතාවක් පැවැත්වීමෙන් පමණක් විරුද්ධවාදීන්ගේ දේශපාලන අර්ථකථනය පරාජය කළ හැකිද යන්න සැක සහිතය. එක් පාර්ශ්වයක් භික්ෂු විරෝධතාවක් පවත්වන විට අනෙක් පාර්ශ්වය ඊට එරෙහි විරෝධතාවක් පැවැත්වීමෙන් ගැටුම තවදුරටත් දෙපාර්ශ්වික දේශපාලන සටනක් බවට පත්විය හැකිය.

එවිට මුල් ප්‍රශ්නය වන නීතියේ සමානත්වය, අධිකරණ ක්‍රියාවලිය සහ විධායක බලයේ සීමාවන් පිළිබඳ සංවාදය පසුබිමට තල්ලු විය හැකිය. ඒ වෙනුවට ඉදිරියට පැමිණෙන්නේ “භික්ෂූන්ට සහාය දක්වන්නේ කවුද?” සහ “භික්ෂූන්ට එරෙහිව සිටින්නේ කවුද?” යන අනන්‍යතාමය ප්‍රශ්නයයි.

මෙහිදී ආණ්ඩුවට සහාය දක්වන පාර්ශ්වය ද භික්ෂු සමාජය සමස්තයක් ලෙස ආණ්ඩුවට එරෙහි බලවේගයක් ලෙස නිරූපණය නොකිරීම වැදගත්ය. එසේම භික්ෂු විරෝධතාවට සහභාගි වන සියලු දෙනා ශාසනයේ නාමයෙන් පවුල්වාදී දේශපාලනය නැවත ස්ථාපිත කිරීමට උත්සාහ කරන බව පැවසීම ද සාධාරණ නොවේ.

ආණ්ඩුවේ කාර්යය විය යුත්තේ විරුද්ධවාදීන්ගේ දේශපාලන ක්‍රියාකාරකම්වලට සමාන ආකාරයෙන් ප්‍රතිවිරෝධී කඳවුරක් නිර්මාණය කිරීම නොව, නීතියේ සමානත්වය පිළිබඳ මූලධර්මය සමාජයේ පුළුල් කොටස්වලට පිළිගත හැකි පරිදි තහවුරු කිරීමයි.

ශාසනයේ නාමයෙන් දේශපාලනය කිරීම
මෙම ගැටුමේ තවත් මූලික පැතිකඩක් වන්නේ බෞද්ධ ශාසනය සහ ඇතැම් භික්ෂූන්ගේ දේශපාලන ඉල්ලීම් එකම දෙයක් ලෙස සලකනවාද යන්නයි. බෞද්ධ ශාසනයේ ගෞරවය ආරක්ෂා කිරීම යනු ඕනෑම භික්ෂුවකට නීතියෙන් විශේෂ නිදහසක් ලබාදීම නොවේ. එසේම භික්ෂුවකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමෙන් පමණක් ශාසනයට එරෙහි ක්‍රියාමාර්ගයක් සිදු වූ බව ද තීරණය කළ නොහැකිය. එය තීරණය කළ යුත්තේ අදාළ නීතිමය කරුණු, ක්‍රියාපටිපාටිය සහ අයිතිවාසිකම් පිළිබඳ සාක්ෂි මතය.
මෙම වෙනස පැහැදිලි කිරීමට ආණ්ඩුව අසමත් වුවහොත්, ශාසනය පිළිබඳ සමාජ ගෞරවය සහ භික්ෂු දේශපාලන බලය පිළිබඳ විවාදය එකට මිශ්‍ර වීමේ ඉඩකඩක් පවතී. එවිට නීතියේ සමානත්වය ඉල්ලා සිටින පිරිස් පවා බෞද්ධ ශාසනයට විරුද්ධ පිරිසක් ලෙස වැරදි ලෙස නිරූපණය කළ හැකිය.

අනෙක් අතට, ශාසනයේ නාමයෙන් දේශපාලන ඉල්ලීම් ඉදිරිපත් කරන පාර්ශ්වවලට ද තමන්ගේ ඉල්ලීම් විවේචනයෙන් නිදහස් කරගැනීමේ හැකියාවක් නොමැත. භික්ෂු සමාජය ඇතුළත ද විවිධ මතවාද සහ දේශපාලන ස්ථාවරයන් පවතී. ඒවාට විවෘත සංවාදයක් සඳහා අවකාශ තිබිය යුතුය.

මෙහිදී අවශ්‍ය වන්නේ ආගමික අධිකාරය දේශපාලන බලයට යටත් කිරීම හෝ දේශපාලන බලය ආගමික අධිකාරයට යටත් කිරීම නොවේ. ආගමික නිදහස, නීතියේ සමානත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදී වගවීම එකිනෙකට ගැළපෙන ආකාරයෙන් තහවුරු කිරීමයි.

ආණ්ඩුවේ උපායමාර්ගික ගැටලුව

මෙම සිදුවීමේදී ආණ්ඩුව මුහුණ දෙන උපායමාර්ගික ගැටලුව තේරුම්ගත හැක්කේ රාජ්‍ය බලය සහ දේශපාලන ආධිපත්‍යය අතර වෙනස හඳුනාගැනීමෙනි.

රාජ්‍ය බලය යනු නීති ක්‍රියාත්මක කිරීමේ, අධිකරණ තීන්දු අනුගමනය කිරීමේ සහ මහජන සාමය පවත්වාගෙන යාමේ ආයතනික හැකියාවයි. දේශපාලන ආධිපත්‍යය යනු එම බලය භාවිත කරන ආකාරය සමාජයේ සැලකිය යුතු කොටසක් විසින් සාධාරණ හා නීත්‍යනුකූල ලෙස පිළිගැනීමට ලක්වීමයි.

මේ දෙක අතර සම්බන්ධතාව දුර්වල වන විට, ආණ්ඩුවට නීතිය ක්‍රියාත්මක කළ හැකි වුවත් තමන්ගේ ක්‍රියාමාර්ග පිළිබඳ පොදු පිළිගැනීම පවත්වාගැනීම අසීරු විය හැකිය.
එබැවින් මෙම තත්ත්වය තුළ ආණ්ඩුවට වැදගත් වන්නේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හැරීම නොවේ. එසේම සෑම විරෝධතාවකටම බලයෙන් ප්‍රතිචාර දැක්වීම ද නොවේ. නීතිමය ක්‍රියාමාර්ග පැහැදිලිව, අනුකූලව සහ වෙනස්කම් නොකර ක්‍රියාත්මක කිරීමත්, ආගමික හා දේශපාලන විරෝධතා සමඟ සංවාදයට අවකාශ සැලසීමත්, අධිකරණ ක්‍රියාවලිය දේශපාලන බලපෑම්වලින් ස්වාධීනව පවත්වාගෙන යාමත් එකවර අවශ්‍ය වේ. මෙය දුර්වලතාවක් නොවේ. ග්‍රාම්ෂියානු අර්ථයෙන් ගත් විට, බලහත්කාරයට වඩා පුළුල් සමාජ පිළිගැනීමක් ගොඩනැඟීම සඳහා වන දේශපාලන උපායමාර්ගික ක්‍රියාවකි.
ඥානසාර හිමියන්ගේ අත්අඩංගුවට ගැනීම වටා ඇතිවන වර්ධනයන් තවමත් විවිධ දේශපාලන අර්ථකථන සඳහා විවෘතය. එය ආණ්ඩුවට නීතියේ සමානත්වය පිළිබඳ තමන්ගේ ප්‍රතිපත්තිය පැහැදිලි කිරීමට අවස්ථාවක් සපයන අතරම, එම ප්‍රතිපත්තිය ශාසනයට එරෙහි ක්‍රියාමාර්ගයක් ලෙස නිරූපණය කිරීමට විරුද්ධවාදීන්ට ද අවකාශ සලසා දෙයි.

ආණ්ඩුවට සහාය දක්වන පිරිස්වල විරෝධතාව එම දේශපාලන අර්ථකථනයට ප්‍රතිචාරයක් වුවත්, එය විසින්ම ගැටලුවේ දෘෂ්ටිවාදී පදනම විසඳනු ඇතැයි කිව නොහැකිය. ඒ වෙනුවට දෙපාර්ශ්වයේම විරෝධතා වඩාත් පුළුල් දේශපාලන ධ්‍රැවීකරණයකට මඟ පාදන්නේද යන්න නිරීක්ෂණය කළ යුතුය.

මෙහිදී ග්‍රාම්ෂිගේ අදහස නැවත වැදගත් වේ. පැරණි දේශපාලන ක්‍රමය සිය ආධිපත්‍යය අහිමි කරගනිමින් සිටින විට, එය නැවත පැමිණෙන්නේ අනිවාර්යයෙන්ම පැරණි නායකයන්ගේ සෘජු පාලනය යටතේ නොවේ. එය පැරණි දෘෂ්ටිවාද නව සමාජ ගැටුම් තුළ නැවත ස්ථාපිත කිරීමෙන් ද සිදුවිය හැකිය.

එබැවින් ප්‍රශ්නය වන්නේ ඥානසාර හිමියන් නිදහස් කළ යුතුද නැද්ද යන එක් තීරණයකට පමණක් සීමා නොවේ. නීතියේ සමානත්වය පිළිබඳ මූලධර්මය, ආගමික නිදහස සහ දේශපාලන බලය පිළිබඳ ප්‍රශ්න එකිනෙක ගැටෙන මෙම අවස්ථාව තුළ, කවර දේශපාලන බලවේගයක් සමාජයේ පුළුල් පිළිගැනීම දිනාගන්නේද යන්නයි.

පැරණි දේශපාලනය නැවත පැමිණීම වැළැක්විය හැක්කේ එහි විරෝධතාකරුවන්ට එරෙහිව බලය පෙන්වීමෙන් පමණක් නොවේ. පැරණි දේශපාලනය නැවත නැඟී සිටීමට ඉඩ සලසන සමාජ බිය, අනන්‍යතාමය ගැටුම් සහ ආයතනික අවිශ්වාසය අඩු කිරීමෙනි.
නව දේශපාලන පිළිවෙළක් ගොඩනැඟීමේ අභියෝගය ඇත්තේ එතැනය. ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කළ යුතුය. එහෙත් එය නීතියේ නාමයෙන් සමාජය ධ්‍රැවීකරණය නොකරන ආකාරයෙන් කළ යුතුය. විරුද්ධවාදීන්ට විරෝධය දැක්වීමට අයිතිය තිබිය යුතුය. එහෙත් ආගමික අධිකාරය නීතියෙන් ඉහළට ඔසවා තැබීමට එම අයිතිය භාවිත කළ නොහැකිය.
ග්‍රාම්ෂි අපට මතක් කරන්නේ පැරණි ලෝකය මියයන විට එහි අවතාර නැවත මතුවීම ඓතිහාසික අසාමාන්‍යතාවක් නොවන බවයි. තීරණාත්මක ප්‍රශ්නය වන්නේ එම අවතාරවලට නැවත ජීවය ලබාදෙන දේශපාලන හා සමාජ කොන්දේසි වෙනස් කිරීමට නව බලවේග සමත් වන්නේද යන්නයි. සැබෑ අභියෝගය වන්නේ පැරණි දේශපාලන කඳවුර පරාජය කිරීම පමණක් නොව, එම පැරණි දේශපාලනය නැවත නැවත නිෂ්පාදනය කරන බල සම්බන්ධතා වෙනස් කිරීම තුළය.

(උපුටා ගැනීම - Athulasiri Samarakoon ගේ ෆේස්බුක් පිටුවෙන්..)



ආචාර්ය අතුලසිරි සමරකෝන්

Digital creator, Lecturer at Open University of Sri Lanka, Former Teaching assistant at University of Colombo smasa@ou.ac.lk

View all stories by ආචාර්ය අතුලසිරි සමරකෝන්
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...