ක්‍රීඩක ප්‍රකාශවලින් ඇවිළුණු මහජන විරෝධය
ජපාන ආසියානු ක්‍රීඩා උළෙලේ ජයග්‍රාහකයින්ගේ සමහර මතභේදාත්මක ප්‍රකාශයන්ට එරෙහිව නැගුනු මහජන විරෝධයෙන් පසුව දකුණු කොරියානු රන් පදක්කම්ලාභීන්ට ප්‍රදානය කෙරෙන යුද හමුදා සේවා මුක්තිය අනාගතයේදී අහෝසි කිරීමට හෝ අඩු කිරීමට ඉඩ තිබෙනවා.
ආසියානු ක්‍රීඩා පාපන්දු අවසාන තරගයේදී දකුණු කොරියාව ගෝල් 1-0කින් ජපානය පැරදවීමෙන් පසුව කොරියානු කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙකු සිදුකළ ප්‍රකාශයන් එරට බොහෝ දෙනාගේ දෝෂාරෝපණයට ලක්ව තිබෙනවා.
BTS පවා ගිය හමුදාවෙන් ක්‍රීඩකයන්ට වරප්‍රසාද ඇයි?
මේ තිදෙනා ම ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා තිබුණ ද, සාමාන්‍ය පුරවැසියන් ලෙස ක්‍රීඩකයින් ලබන ජයග්‍රහණයන් වෙනුවෙන් ඔවුන්ට මෙවැනි ආකාරයේ විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු ද යනුවෙන් වඩාත් පුළුල් වූ විවාදයක් දැන් ආරම්භ වී තිබෙනවා.
ගෝලීයව ජනප්‍රියව සිටින BTS පොප් සංගීත කණ්ඩායමේ සාමාජිකයින් පවා දකුණු කොරියානු සාමාන්‍ය වැසියන් ලෙස අනිවාර්ය හමුදා සේවය සම්පූර්ණ කර ඇති බව පෙන්වා දී තිබෙනවා.
"නීතිය සම්පූර්ණයෙන් ම වෙනස් විය යුතුයි" - විෂයභාර ඇමති
මේ පිළිබඳ විවේචන වැඩිවෙමින් තිබියදී සංස්කෘතික, ක්‍රීඩා හා සංචාරක ඇමති Choi Hwi-young ජාතික සභාවේ සංස්කෘතික, ක්‍රීඩා හා සංචාරක කමිටුවට ප්‍රකාශයක් කරමින් ක්‍රීඩකයින් හා කලාකරුවන්ට තිබෙන විකල්ප හමුදා සේවා මුක්තියේ ක්‍රමවේදය අනිවාර්යයෙන් ම ආපසු හැරවිය යුතුව ඇතැයි පවසා තිබෙනවා.
“මේ ක්‍රමවේදය අතිවිශිෂ්ට කලාකරුවන් හා ක්‍රීඩකයින්ට ඔවුන්ගේ හැකියාවන් පවත්වා ගෙන යමින් ඒවා දියුණු කර ගැනීමට උපකාරයක් වීමට දායක වූ බව සත්‍යයක්” යැයි ඇමතිවරයා කියා සිටියා. “කෙසේ වෙතත්, යුද හමුදා සේවයේ සාධරණත්වය හා මහජන අවබෝධයට සම්බන්ධව තිබෙන වටිනාකම් දැන් වෙනස් වී තිබෙනවා.
මේ ක්‍රමවේදය නැවත වතාවක් සම්පූර්ණයෙන් සමාලෝචනය කළ යුතු බවට මම එකඟ වනවා” යනුවෙන් ඔහු වැඩි දුරටත් සඳහන් කර ඇතැයි වාර්තා වනවා.
(සටහන | වර්නන් ගුණසේකර)
ක්‍රීඩා සංස්කාරක
සබැඳි වාර්තාවක් :
හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!




