The Leader News
BREAKING
සෞදි අර්බුදය ගැන පාඨලීගෙන් විශේෂ භූ-දේශපාලනික විවරණයක්●ශාස්ත්‍රාලියන් ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය හෙට (18)●ලෝක තරුණ නැගිටීම් හමුවේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් මුහුණදෙන අර්බුදය●දූෂණ විරෝධී ක්‍රියාමාර්ග අත්නොහරින්නැයි ජනාධිපති කාර්යාලයට පාගමනක්●සෞඛ්‍ය සහායකයින්ගේ නිල ඇඳුම් ගැටලුව: දේශපාලන සභාවකින් රජයට ලිපියක්!●කාවන්තිස්ස ඇත් රජුගේ වියෝව: අධිකරණ නියෝග සහ ඇවිලෙන සංවාදය●ක්‍රිකට් ද හිට් විකට් ද? ටිරන් බංගගමආරච්චි විමසයි●සාෆ් පාපන්දු ශූරතාවලියට ඉන්දියාව එන්නේ නැද්ද?●FIFA සාම ත්‍යාගය ලැබූ එකම දේශපාලන නායකයා ඩොනල්ඩ් ට්‍රම්ප් ද?●මැලේසියාවෙන් දැවැන්ත අධ්‍යාපන පිම්මක්: ඩොලර් බිලියන හතරක ආර්ථික ඉලක්කයක්●
Top Ad
ක්‍රීඩා

ක්‍රිකට් ද හිට් විකට් ද? ටිරන් බංගගමආරච්චි විමසයි

අඛණ්ඩ පරාජයන් සහ පරිපාලන අර්බුද හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව අද පත්ව ඇත්තේ නීරස වචන නාස්තියක් බවටයි. පරිවර්තන කමිටු පත්කළ ද ලෝලීන්ගේ බලාපොරොත්තු තවමත් බොඳව පවතී.

Pasan

Pasan

October 17, 2026 • 9:23 PM

ක්‍රිකට් ද හිට් විකට් ද? ටිරන් බංගගමආරච්චි විමසයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මීට කලකට පෙර ක්‍රිකට් යනු දීර්ඝ කතා චාරිකාවක් යා හැකි මාතෘකාවකි.
  • ලංකාවේ ක්‍රිකට් වලට මොකද වුණේ යන්නට පශ්චාත් පරීක්ෂණ ඕනෑ තරම් කර ඇත.
  • මේ ආණ්ඩුව ඊට ප්‍රතිකර්මය ලෙස ෂම්මි ප්‍රමුඛ නඩය පන්නා දමා ඉරාන් වික්‍රමරත්න ප්‍රමුඛ අතුරු පාලක මණ්ඩලයක් පත් කරන්නට විය.
  • එය අතුරුද පරිවර්තනද යන්න තුළ එල්ලීම වයිඩ් පන්දුවක් සේ බැහැර කළ ද තවමත් මෙරට ක්‍රිකට් යථා තත්ත්වයට ගන්නේ කෙසේද යන්නට විසඳුම් පේන මානයක නැති බව පෙනෙන්නට ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

මීට කලකට පෙර ක්‍රිකට් යනු දීර්ඝ කතා චාරිකාවක් යා හැකි මාතෘකාවකි. එහෙත් අද එය සීමිත ඕවර තරගයක් නොව එක් දින පන්දුවාරයක් තරම්වත් දුර නොයන කතාබහකි. කොටින්ම නීරස වූ වචන නාස්තියකි. ලංකාවේ ක්‍රිකට් වලට මොකද වුණේ යන්නට පශ්චාත් පරීක්ෂණ ඕනෑ තරම් කර ඇත. එහෙත් අදටත් ඒවා පරීක්ෂණ මිස ප්‍රතිඵල ගෙන දුන් දේ නොවේ.

මෙරට ක්‍රිකට් විනාශයේ පිළිල ෂම්මි සිල්වා ප්‍රමුඛ පැවති ක්‍රිකට් පාලක මණ්ඩලය යැයි බොහෝ වාද විවාද විය. මේ ආණ්ඩුව ඊට ප්‍රතිකර්මය ලෙස ෂම්මි ප්‍රමුඛ නඩය පන්නා දමා ඉරාන් වික්‍රමරත්න ප්‍රමුඛ අතුරු පාලක මණ්ඩලයක් පත් කරන්නට විය. ක්‍රීඩා පනතේ එවැනි කමිටුවක් අතුරු පාලක කමිටුවක් වුවත් වත්මන් ක්‍රීඩා පරිපාලනය එය අතුරු නොව පරිවර්තන කමිටුවක් යැයි පුරසාරම් කියන්නට විය.

එය අතුරුද පරිවර්තනද යන්න තුළ එල්ලීම වයිඩ් පන්දුවක් සේ බැහැර කළ ද තවමත් මෙරට ක්‍රිකට් යථා තත්ත්වයට ගන්නේ කෙසේද යන්නට විසඳුම් පේන මානයක නැති බව පෙනෙන්නට ඇත. අලුත් අතුරු කමිටුවෙන් දැනෙන පරිවර්තනයක් වන අයුරුද නොපෙනේ. පරිවර්තනයක් කෙසේ වෙතත් මෙරට ක්‍රිකට් රටාව තවමත් පෙන්නුම් කරනුයේ පැරණි පරාජයන්හිම පරාවර්තනයක් මිස වෙන අටමගලයක් නම් නොවන බව පැහැදිලිය.


පරාජයේ ඉස්මුරුත්තාව සහ නැතිවූ ලෝලී උන්මාදය

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල අද සිටිනුයේ පරාජයේ ඉස්මුරුත්තාවටම පත්වය. වෙනත් රටවලට ශ්‍රී ලංකා ක්‍රිකට් යනු හොඳ කටගැස්මක් වී ඇත. කොටින්ම ශ්‍රී ලංකා පිල දිනනවාට වඩා පරදින්නට ලොල් වී ඇත. එය ඇබ්බැහියක් තරමට දුරදිග ගොස්ය. අවසන් වූ පාකිස්ථාන තරගාවලියේදී ද අපි අත්වින්දේ එයම නොවේද? එංගලන්තය, පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තුන්කොන් තරගාවලිය ද දොරකඩටම පැමිණ ඇති නිසා පැරණි පරාජයන් ගැන ශෝක වෙන්නටද කාලයක් ඉතිරි වී නැති තරම්ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අඛණ්ඩ පරාජයන් හමුවේ ඉවසීමෙන් කටයුතු කරන්නැයි ක්‍රීඩා ඇමති සුනිල් කුමාර ගමගේ නොබෝදා කීවේ මේ පරාජයන්ට එරෙහිව ක්‍රිකට් ලෝලීන් පාරට බසිනු ඇතැයි සිතාද නොහැඟේ. එවන් ක්‍රිකට් උමතුවක් අද නැත. අද ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කළ ද ක්‍රිකට් ලෝලීන්ට වගක් නැති තරම් වෙති. පෙර මෙන් ක්‍රිකට් තරග දෙස ඇස් අලවාගෙන කාලය කෑමද අපරාධයක් ගාණට පත්වී ඇත. තරග ලකුණු පුවරුව ඉඳහිට බැලීම පරණ පුරුද්දට බොහෝ දෙනා කිරීම නම් තවමත් ඉතිරි වී ඇත.


ඇමතිගේ කතා සහ පුහුණුකරුගේ සුපුරුදු ප්‍රකාශ

ශ්‍රී ලංකා පරාජයෙන් පසුව ක්‍රීඩා ඇමතිවරයා තව මොන මොනවාදෝ කියා තිබුණි.

"අපි ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙමින් බොහෝ දේ කරමින් සිටිනවා. ඒත් තරග ජයග්‍රහණය කිරීමට නම් අපිට ක්‍රීඩකයින් සංවර්ධනය කර ගැනීමට සිදුවෙනවා. අපිට එවැනි ක්‍රීඩකයින් නොමැති විට අපි තරග පරාජය වෙනවා."

එපමණක් නොවෙයි, අපි ක්‍රිකට් පරිවර්තන කමිටුවක් පත්කර ඇති බවත් ක්‍රිකට් පරිපාලනය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නව නීති සම්පාදනය කරමින් පවතින බවත් ඔහු කියයි.

තරගකාරී ක්‍රීඩකයින් බිහි කිරීමට සහ ශ්‍රී ලංකාව නැවතත් ජයග්‍රාහී මාවතට ගෙන ඒමට හැකි ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම මෙහි අරමුණ බව ඔහුගේ අදහසය. එය වෙනම කතා කළ යුතු මාතෘකාවකි. මෙහිදී ක්‍රීඩා ඇමතිවරයා කියන ඉතුරු ටිකත් වැදගත්ය. අනෙකුත් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් අඛණ්ඩව දියුණු වෙමින් පවතින බවත්, ඉහළම මට්ටමින් තරග කළ හැකි ක්‍රීඩකයින් ශ්‍රී ලංකාව විසින් ද බිහිකර ගැනීම අත්‍යවශ්‍ය බවත්, ජාත්‍යන්තර තරග ජයග්‍රහණය කළ හැකි ක්‍රීඩකයින් පිරිසක් බිහිකර නොගෙන මේ ගමන යා නොහැකි බවත් ඔහුගේ අදහසය. ඔහු මේ සියලු දෑ කියනුයේ පාකිස්ථානයට එරෙහිව පැවති විස්සයි-20 තරගාවලිය පරාජය වීමෙන් පසුවය.

ෂම්මි ප්‍රමුඛ නඩය සිටියේ නම් හරි පහසුවෙන් ඒ මුවහමට තලන්නට ඉඩ තිබුණ මුත්, දැන් පරිවර්තන කමිටුවක් නිසා ඇමතිගේ වාක්‍ය ශෛලිය ද පරිවර්තනය වී ඇති බව පෙනේ. ඒවා දීර්ඝව කතා කළ යුතු අනු මාතෘකාවන්ය.

එංගලන්ත සංචාරයේදී ලද පරාජයන් හමුවේ ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු ගැරී කර්ස්ටන් මාධ්‍යයට කීවේ මෙබන්දකි:

"ඇත්තටම කිව්වොත් අපි කණගාටු වෙනවා. අපි ක්‍රීඩා කළ තරග හය පුරාවටම වඩා හොඳ තරගකාරී ක්‍රිකට් රටාවක් පෙන්නුම් කිරීමට සහ අප ගැන වඩා හොඳ ප්‍රතිරූපයක් තැබීමට බලාපොරොත්තුවෙන් හිටියා. ඒත් එක් තරගයක් හැරුණ විට මුළු තරග මාලාව පුරාම පිතිකරණයෙන් සාර්ථක වීමට අපට හැකි වුණේ නැහැ. තරගයකදී තරගකාරී වීමට නොහැකි වූ විට සමහර පරාජයන් සැබැවින්ම රිදවනවා. අපගේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ අපි වැඩිදියුණු කරගත යුත්තේ එයයි. නමුත් ඕනෑම ජාත්‍යන්තර කණ්ඩායමකට එරෙහිව සැබැවින්ම තරගකාරී විය හැකි කණ්ඩායමක් ගොඩනැගීමට අපට හැකි බව අපි දන්නවා."


පරාජයන්ගේ වාර්තාව සහ බොඳවූ හෙට දවස

එදා එංගලන්ත තරගාවලිය පරාජයෙන් පසුව කී එම කතාවම මෙවර පාකිස්ථාන තරගාවලිය පරාජයෙන් පසුවද ගැරී කර්ස්ටන්ට ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර කිව හැකිය. මන්ද මෙම තරගාවලියේ අවසන් තරගය තුළද ශ්‍රී ලංකා පිල නැවතත් කළ හැකි දේ ඔප්පු කළ බැවිනි. තවමත් ක්‍රිකට් වලට ලැදි අයට එවැනි තත්ත්වයක් උන්නු හැටියට මළා මදැයි කියන්නා සේ බාරගන්නට සිදුව ඇත.

පුහුණුකාර තැන ජයසූරිය සිටියේ නම් ඔහු පිටියෙන් පිට පෙන්වන ශරීර භාෂාව දෙස බලා සනත්ට ඇති උනන්දුව ක්‍රිකට් පිලට නැතැයි කියන්නට, ලියන්නට තිබුණි. එවැනි සිල්ලර කාරණා නිසා මෙරට ක්‍රිකට් කොතරම් පජාත වුවත් සුජාත කරගෙන රැගෙන යාමට ඉවහල් වූ බව කිව හැකිය. එවැනි දේ වලින් ක්‍රිකට් සංවර්ධනයක් සිදු නොවන මුත් ක්‍රිකට් ක්‍රීඩාව පණ අදින මුත් මිය නොයා සිටින බව පෙන්විය හැකිය.

මේ වසර දෙස හැරී බලන කල ජාත්‍යන්තර විස්සයි-විස්ස, එක්දින සහ ටෙස්ට් ඇතුළු සියලුම ආකෘතිවලින් ශ්‍රී ලංකා පිල දැඩි පසුබෑමකට හා කඩාවැටීමකට ලක්වී ඇත. ඒ තුළ පරාජයන් කන්දරාවකි. කොටින්ම ටී-20 තරග ආකෘතිය තුළ ක්‍රීඩා කළ තරග 18න් දාහතරක්ම පරාජය වීම තුළ ශ්‍රී ලංකා පිලේ තත්ත්වය මනාව වටහා ගත හැකිය.

අපි අවසාන වශයෙන් පාකිස්ථාන සංචාරයේදී තරගාවලිය 2-1ක් ලෙස පරාජයට පත්විය. ඊට පෙර එංගලන්ත සංචාරයේදී විස්සයි-විස්ස තරග වලින් 3-0ක් ලෙස පූර්ණ පරාජයක් ලබන්නට විය. එහිදීම එක්දින තරගාවලියද (ODI) පරාජය විය. ආසියානු ක්‍රීඩා උළෙලේදී ද ශ්‍රී ලංකා පිල සුපුරුදු පරාජයම වැළඳ ගත් අතර ඉන්දීය සහ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ ප්‍රතිඵලත් අමිහිරිම විය. මේ වසරේදිම පැවති 2026 විස්සයි-විස්ස ලෝක කුසලාන තරගාවලියෙහි සුපිරි අටදෙනාගේ (Super 8) වටයටවත් ඒමට නොහැකි විය.

මෙතරම් පසුබෑම්, පරාජයන් හමුවේ අපි තවමත් එම පිලම අත්හදා බලමින් අද මුදලට හෙට ණයට කියන්නාක් මෙන් ඒ ගැන සිහින දකිමින් සිටිමු. ක්‍රීඩා ඇමතිද තරගාවලියෙන් තරගාවලියට පසු ඉදිරියට සාර්ථක පිලක් සඳහා බවට බයාදු කතාවක් කර කර හරිනු ඇත. පරිවර්තන කමිටුව කොයි මොහොතේ හෝ පරිවර්තනයක් කරනු ඇතැයි ක්‍රීඩා ඇමති ප්‍රමුඛ ආණ්ඩුව බලා සිටින මුත්, ක්‍රිකට් ලෝලීන් නම් මෙරට ක්‍රිකට් අතහැර බොහෝ කල්ය. අත්හරින දේ නැවත වැළඳ ගැනීමට හැකි මුත් ඊට සැබවින්ම පරිවර්තනයක් වුවමනාය. තම සිතැඟි පිරිසකගෙන් යුත් කමිටුවක් දමා එයට පරිවර්තන කමිටුව යැයි කී පමණින් නම් එය කළ නොහැකි බව දැනට කිව හැකිය.


(සටහන - ටිරන් කුමාර බංගගමආරච්චි)
මාධ්‍යවේදී
tiran.ravaya@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...