ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ රජයේ පාසලක් තුළදී අටහැවිරිදි පිරිමි ළමයෙකු විසින් හයහැවිරිදි දැරියකට අමානුෂික ලෙස පහරදීමේ පුවතක් සහ ඊට අදාළ සීසීටීවී (CCTV) දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ මුළු ඉන්දියාව පුරාම විශාල කම්පනයක් සහ කෝපයක් මතුව තිබේ. ප්‍රහාරයෙන් බරපතළ ලෙස තුවාල ලැබූ දැරිය දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඇයගේ ජීවිතයට පැවති අවදානම ඉවත්ව තිබුණද, ඇය තවමත් පසුවන්නේ දැඩි මානසික බියකිනි.
මෙම සිදුවීම ඔක්තෝබර් 28 වන දින හර්යානා ප්‍රාන්තයේ පන්ච්කුලා (Panchkula) ප්‍රදේශයේ පිහිටි රජයේ පාසලක සිදුවී ඇති අතර, සති අන්තයේදී අදාළ වීඩියෝ දර්ශන ප්‍රසිද්ධ වීමත් සමඟ සිදුවීමේ බරපතළකම රට හමුවේ නිරාවරණය විය. 8 හැවිරිදි පිරිමි දරුවා මෙවැනි දරුණු ප්‍රහාරයක් එල්ල කිරීමට හේතුවූ ආසන්නතම පෙළඹවීම මෙතෙක් අනාවරණය වී නොමැත.

දැරියගේ පියා පවසන්නේ පාසල නිමවීමෙන් පසුවත් තම දියණිය නිවසට පැමිණීමට නොසිටීම නිසා සෙවීමේදී, අදාළ පිරිමි ළමයා විසින් දැරිය උඩුමහලේ පන්ති කාමරයක සිටින බව පැවසූ බවයි. පන්ති කාමරය තුළ රුධිරයෙන් තෙත්ව බරපතළ ලෙස තුවාල ලබා සිටි තම දියණිය දුටු බවත්, පාසලක් තුළ පවා දරුවෙකුට ආරක්ෂාව නොමැති නම් දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරන්නේ කෙසේදැයි ඔහු දැඩි කංසාවෙන් යුතුව ප්‍රශ්න කරයි.
තුවාල ලැබූ දැරිය ප්‍රථමයෙන් ප්‍රදේශයේ රෝහලකට ඇතුළත් කළ අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා චන්දිගාර් හි පිහිටි විශේෂිත PGIMER රෝහල වෙත මාරු කර යවා ඇත. දැරියගේ තත්ත්වය පිළිබඳව විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් නිරන්තර නිරීක්ෂණයේ පසුවන අතර, ඇයට අවශ්‍ය සියලුම වෛද්‍ය සහ මානසික සහයෝගයන් ලබා දීමට කටයුතු යොදා ඇති බව රෝහල් පාලනාධිකාරිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිසිය පවසන්නේ පාසල් බලධාරීන්ගේ දැඩි නොසලකා හැරීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර, පාසලේ විදුහල්පතිවරයා සහ ගුරුවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇති බවයි. ඉන්දියානු නීතියට අනුව අටහැවිරිදි දරුවෙකුට සිරදඬුවම් නියම කළ නොහැකි බැවින්, අදාළ පිරිමි දරුවා බාලවයස්කාර වැරදිකරුවන් සඳහා වන විශේෂ නිවාසයක් වෙත යොමුකර ඇත.
දරුවා දැනට ළමා ඡන්ද විනිශ්චය මණ්ඩලයේ (Juvenile Justice Board) නිරීක්ෂණය යටතේ මානසික වෛද්‍යවරුන් සහ උපදේශකයන්ගේ දැඩි ඇගයීමට ලක්කෙරේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් පාසල් පාලනාධිකාරියේ පැත්තෙන් සිදුවූ නොසලකා හැරීම් පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීමට හර්යානා ප්‍රාන්ත රජය විසින් විශේෂ කමිටුවක් ද පත් කර තිබේ.
පාසල් පද්ධතිය තුළ ළමුන්ගේ ආරක්ෂාව සහ කුඩා වයසේ පසුවන දරුවන් අතර ඇතිවන මෙවැනි අන්තගාමී ප්‍රචණ්ඩකාරී හැසිරීම් පිළිබඳව මෙම සිදුවීමත් සමඟ ඉන්දියාව තුළ දැඩි සමාජීය කතිකාවතක් නිර්මාණය වී ඇත. දරුවන්ගේ මානසික සෞඛ්‍යය සහ පාසල් තුළ ආරක්ෂිත පරිසරයක් පවත්වාගැනීමේ අවශ්‍යතාව පිළිබඳව බලධාරීන්ගේ අවධානය නැවත වතාවක් යොමුව තිබේ.




