බදුර්දීන්ට කොරෝනා නැත.
එහෙත් බදුර්දීන් ආණ්ඩුවට කොරෝනාවක් විය.
සියල්ල අවසානයේ බදුර්දීන් අද උදෑසන අත් අඩංගුවට පත් විය.
ආණ්ඩුවක් බලයට පත් වූ දා සිට සිදුවන්නේ ඒ ආණ්ඩුවේ ජනප්‍රියත්වය දිනෙන් දින පහත බැසීම ය.
විපක්ෂයේ ජනප්‍රියත්වය දිනෙන් දින ඉහළ නැගීම ය.
එහෙත් ලංකාවේ දැනට විපක්ෂයක් නැති නිසා එවැන්නක් සිදුවන්නේ නැත.
නමුත් ගෝඨා ගේ ආණ්ඩුවේ ජනප්‍රියත්වය නම් පල්ලම් බහිමින් තිබෙන බව රහසක් නොවේ.
20 ටත් වඩා බදුර්දීන් එයට ප්‍රධානම හේතුවක් විය.
බදුර්දීන් අතුරුදන් වන්නේ මහින්දගේ ලොකු අයියා මුණගැසී සතියකට පසුව ය.
චමල් රාජපක්ෂ හිටියේ බදුර්දීන් ගේ අත අල්ලාගෙන ය.
කලින් මේ නියෝගය දී තිබුනේ නම් හිටපු පොලිස් නිලධාරියකු වන චමල්ට පොලීසිය එනතුරුම බදුර්දීන්ට පැන යා නොදී ඔහුගේ අතින්ම අල්ලාගෙන ඉන්නට තිබුණි.
අනිත් අතට බදුර්දීන් අතුරුදන් වන්නේ ප්‍රභාකරන්ව සොයාගත්, ප්‍රභාකරන්ට ද ගේම දුන් දක්ෂ හමුදා නිලධාරියකු වන වත්මන් ආරක්ෂක ලේකම් මන්නාරම් පිටි වැල්ලේ දී බදුර්දීන්ව පසසා සතියකට පසුව ය.
හරි නම් එතුමා ආරක්ෂක ලේකම්වරයා හැටියට පොඩි හෝ මෙව්වා එකක් තිබුනේ නම් රට හමුවේ ප්‍රකාශයක් කළ යුතුව තිබුණි.
එහෙත් එසේ වූයේ නැත.
ඒ වෙනුවට ආරක්ෂක ලේකම්වරයා පැවසුවේ
'ටිං ටිං ' කාටූන්වල එන දෙබස් ය.
මාධ්‍යවලින් කලින් හෙළිදරව් කළ නිසා බදුර්දීන් අල්ලාගත නොහැකි වීලූ.
එසේ නම් හැමදාම පත්තරේ නිවුස් ගිය ප්‍රභාකරන් අල්ලාගත්තේ කෙසේද යන ප්‍රශ්නය මෙතැනදී කිසියම් දේශද්‍රෝහියකු විමසිය හැකිය.
අනෙක් අතට පොලීසිය විසින් “WANTED “
කියා පෝස්ටර් ගසා දරුණු අපරාධකරුවන් අල්ලා ගැනීමට මහජන සහාය පැතීම විහිළුවකි.
මන්ද යත් පෝස්ටර් මාධ්‍යයෙන් එසේ හෙළිදරව් කළ විට එම අපරාධකරුවන් ද බදුර්දීන් මෙන් සැඟවී සිටිය හැකි බැවිනි.
බදුර්දීන් අල්ලන තෙක් "බදුර්දීන් අල්ලපියව්" කියා වැඩිපුරම කෑගැසුවේ එදා බදුර්දීන්ට එරෙහිව විශ්වාසභංගක් ගෙනා වෙලාවේ එම විශ්වාසභංගය පරාජය කර බදුර්දීන්ව රැකගැනීමට පුල පුලා බලා සිටි විපක්ෂයේ ටොයියන් ය.
බදුර්දීන් ඇල්ලීම ගැන 'මීක්' සද්දයක් නැතුව හිටියේ බදුර්දීන්ට එරෙහි විශ්වාසභංගයට විරුද්ධව ජන්දය පාවිච්චි කර ගමට එන්න එපා යැයි බැනර් එල්ලූ බයියන් ය.
කාලය මැවූ වෙනසක අරුමේ...!
බදුර්දීන් ඉන්න තැන ඔහුගේ නෝනාවත් දැනගෙන සිටියේ නැත.
බදුර්දීන් යන්නේ කොහේද, ඉන්නේ කොතැනද, ටෙලිෆෝන් නොම්මරේ මොකක්ද යන මේ මොකවත් ඈ දන්නේ නැත.
ඒකට අපේ ගෑනු ය!
අද බොන්නේ මොන බාර් එකේද, කාත් එක්කද, කොයි වෙලාවටද යන මේ සියල්ල ඔවුන් දනී.
ඒ අතින් මේ ලෝකයේ වැඩ වාසය කරන සියලු භාර්‍යාවන් අතරින් ආදර්ශමත්ම භාර්‍යාව බදුර්දීන්ගේ භාර්‍යාවය.
බදුර්දීන් අත්අඩංගුවට ගත්තේ මොකටදැයි විටෙක සිතේ.
මන්ද බදුර්දීන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ආණ්ඩුවේ බස්වලට මුදල් නොගෙවා ජන්දය දමන්න සෙනග ඇද්දූ සිල්ලර චෝදනාවට ය.
සිලි සිලි බෑග් එකක ඇඳුම් කෑලි දෙක තුනක් එල්ලා ගෙන ආ බදුර්දීන් අද වනවිට අක්කර 3000 ක පමණ හිමිකරුවකු වූයේ කෙසේදැයි යන චෝදනාවට නම් කිසි දිනෙක ඔහු අත්අඩංගුවට පත් වන්නේ නැත.
එවැනි චෝදනාවකට ඔහුව ඇතුළට ගන්නේ නම් ආණ්ඩු පක්ෂයේත්, විපක්ෂයේත් බහුතරය අද සිටිය යුත්තේ ඇතුළේය.
බදුර්දීන් සැඟවී සිටියේ ධනයට සිරියක් වූ කෙනෙක් ළග යැයි කතාවක් පැතිරී යයි.
එය සැබෑවක් නම් ආණ්ඩුව විසින් පළමුව කළ යුතුව ඇත්තේ ධනයට සිරියක් වූ අදාළ තැනැත්තාගේ පුකට පයින් ගසා එළියට දැමීම යි.
මන්ද යත් බිම් බෝම්බ සමඟ ජීවත්වීමේ අමාරුව මේ රටේ නායකයා තරම් හොඳින් දන්නා වෙන කිසිවකුත් නැති බැවිනි.
කෙසේ හෝ වේවා අවසානයේ බදුර්දීන් අත්අඩංගුවට ගැනීමට හැකිවීම මේ රටේ ආරක්ෂක අංශ ලැබූ සුවිශේෂී ජයග්‍රහණයකි.
චිචී කක්ෂගත කළ චන්ද්‍රිකාව තවමත් සොයාගැන්මට නොහැකි වූ රටකට, රාජිත සේනාරත්නව , රවී කරුණානායකව සොයාගැන්මට නොහැකි වූ රටකට බදුර්දීන්ව කෙසේ හෝ සොයා ගන්නට ලැබීම සැමරිය යුතු ජයග්‍රහණයකි.
පාරේ කිරිබත් උයන්නට මන්ද තව පමා....?
(ඇටමැස්සා)
බදුර්දීන් -ඇටමැස්සා (46)
T
The Leader
October 19, 2020 • 12:28 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- දවසේ කතාව කොරෝනා නොව බදුර්දීන් ය.
- නමුත් ගෝඨා ගේ ආණ්ඩුවේ ජනප්‍රියත්වය නම් පල්ලම් බහිමින් තිබෙන බව රහසක් නොවේ.
- 20 ටත් වඩා බදුර්දීන් එයට ප්‍රධානම හේතුවක් විය.
- හරි නම් එතුමා ආරක්ෂක ලේකම්වරයා හැටියට පොඩි හෝ මෙව්වා එකක් තිබුනේ නම් රට හමුවේ ප්‍රකාශයක් කළ යුතුව තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


