BREAKING
Top Ad
ඇට මැස්සා

පාසල් විවෘත කිරීම හෙවත් නටපු තොයිලෙකුත් නැති බෙරේ පළුවකුත් නැති නාඩගම -ඇටමැස්සා (66)

T

The Leader

November 30, 2020 • 3:20 AM

පාසල් විවෘත කිරීම හෙවත් නටපු තොයිලෙකුත් නැති බෙරේ පළුවකුත් නැති නාඩගම -ඇටමැස්සා (66)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අධ්‍යාපන ඇමැතිකම වූ කලි භාරදූර වගකීමකි.
  •   දරුවන්ගේ පමණක් නොව රටේ අනාගතය කෙරෙහි ද තීරණාත්මක ලෙස බලපාන සාධකයකි.
  •   කොළඹ සරසවි ඉතිහාසයේ පහළ වූ දුර්වලම උපකුලපතිවරයාට රටේ  අධ්‍යාපනය බාර දීමෙන් ගම්‍ය වන එක් කරුණක් ඇත.
  •   එනම්, ‍රටේ අධ්‍යාපනයේ ඉතුරු වී ඇති යමක් තිබේ නම් ඒ ටිකත් ඉවරය යන්නය.
අකුරු ප්‍රමාණය (Font Size):
 
දරුවන් ලක්ෂ ගණනකගේ අනාගතය සමග කරන ගනුදෙනුවකි.
 
දරුවන්ගේ පමණක් නොව රටේ අනාගතය කෙරෙහි ද තීරණාත්මක ලෙස බලපාන සාධකයකි.
 
ඒ සා විශාල වගකීමක් එලොවටත් නැති මෙලොවටත් නැති ජී. එල්. වැන්නෙකුට දීම තවමත් සිතාගත නොහැකි කාරණයකි.
 
කොළඹ සරසවි ඉතිහාසයේ පහළ වූ දුර්වලම උපකුලපතිවරයාට රටේ  අධ්‍යාපනය බාර දීමෙන් ගම්‍ය වන එක් කරුණක් ඇත.
 
එනම්, ‍රටේ අධ්‍යාපනයේ ඉතුරු වී ඇති යමක් තිබේ නම් ඒ ටිකත් ඉවරය යන්නය.
 
සමහර විට ජී.එල්. මේ ආත්ම භවයෙදි දරණු ලබන අවසාන ඇමැති පදවිය මෙය විය හැකිය.
 
ඒ පිළිබද අනුකම්පා කොට ඔහුට මේ ඇමැති පදවිය දුන්නා වන්නට පුළුවන.
 
එහෙත් ඒ වෙනුවෙන් රටේ ශිෂ්‍ය පරපුරට ගෙවීමට සිදු වී ඇති වන්දිය නම් සුළුපටු නොවේ.
 
 
ඩලස් ද අධ්‍යාපන ඇමැතිව සිටියේය. 
 
එහෙත් ඔහු ජී. එල්. මෙන් ගොබ්බ තාලයට පාසල් විවෘත කරන්නට ගියේ නැත.
 
කෙසේ හෝ වේවා ජී.එල්. ගේ තදියම් පාසල් විවෘත කිරීමේ ව්‍යාපෘතිය නිසා සිදු වූයේ දෙමාපියන් පමණක් නොව දරුවන් ද ගෝඨාභය ගේ ආණ්ඩුව විශ්වාස නොකරන තැනට පත් වීමයි.
 
ආණ්ඩුව විහිළුවක් වන තැනට ඇද වැටීමයි.
 
කොරෝනා අමුතු කේස් එකක් බව සැබැවි.
 
එහෙත් දරුවන් යනු ඊටත් වඩා අමුතුම කේස් එකකි.
 
පළමුව එය තේරුම් ගත යුතුය.
 
දරුවන් හා ගනුදෙනුව සීරුවෙන් කළ යුත්තේ එබැවිනි.
 
හරියටම ගණන් බැලුවහොත් මේ අවුරුද්දටම මාස 3 කට වඩා පාසල් විවෘත කළේ නැත.
 
එසේ වූ පළියට කිසිදු වග විභාගයකින් තොරව පාසල් විවෘත කළ හැකිද?
 
මේ රටේ දරුවන් ගෙන් සීයට කීයක් පාසල් වෑන් රථවලින් පාසලට පැමිණෙන්නේද?
 
 සීයට කීයක් පාසල් හෝ පාරේ බස් රථවලින් පාසලට පැමිණෙන්නේද?
 
 සීයට කීයක් පෞද්ගලික වාහනවලින් පාසලට පැමිණෙන්නේද?
 
 සීයට කීයක් පා ගමනින් පාසලට පැමිණෙන්නේද?
 
මේවා අධ්‍යාපන බලධාරීන් හීනෙකින්වත් නොසිතූ කාරණා විය හැකිය.
 
" ඇරපන් කරාමේ - මේක අපේ පයිප්පේ" කී සැණින් වතුර ගලාගෙන ආ පළියට පාසල් ආරම්භ කළ විගස මේ දරුවන් ද පාසල් එතැයි බලධාරීන් සිතා සිටිනවාද?
 
මොකුත් හෝ ඉහළ නිලධාරින් පිරිසක් විසින් සුපුරුදු පරිදි ජී. එල්.ව ගොනාට අන්දවා පාසල් යලි විවෘත කරන ලදි. 
 
එහි ප්‍රතිඵල දින 2 ක් යන්නට මත්තෙන් දක්නට ලැබිණි.
 
ජී.එල්. ඇදගෙන නෑවේ නිකම් නොව ඇඟේ දවටාගෙන සිටි සළුපිළි ද බිම වට්ටවා ගනිමිනි.
 
ලෝකයම නව රටාවකට හැඩ ගැසෙමින්  පවතී.
 
නව මානයන් සොයායමින් සිටී.
 
අපේ යල් පැනගිය අධ්‍යාපන ‍රටාවත් නව්‍ය ලෝකයට ගැලපෙන සේ නවීකරණය විය යුතුය.
 
නව ලොවට ගැලපෙන, නව දැනුමින් සන්නද්ධ පරපුරක් අපේ පාසල් පද්ධතිය තුලින් එළියට ගත යුතුය.
 
එහෙත් කෝපි කාලේ ජී.එල්.ලාගෙන් එවැනි වෙනසක් බලාපොරොත්තු විය නොහේ.
 
සැබැවින්ම අධ්‍යාපනය බාර ගත යුතුව තිබුනේ ජනාධිපති ගෝඨාභය යි.
 
ගෝඨාභයට අනාගතය පෙනෙන දුරින් දශම කාලක්වත් ජී. එල්. ගේ බෝතල් අඩි කණ්නාඩි කුට්ටමට නොපෙනේ.
 
ජී. එල්. තදියමේ පාසල් විවෘත කරන්නට ගොස් සිදුවූයේ ගෝඨාභයගේ රජය අපකීර්තියට පත් වීමයි.
 
දෙමාපියන් බනින්නේ ආණ්ඩුවටය.
 
දරුවන් කොචෝක් කරන්නේත් ආණ්ඩුවටය.
 
මේ වසරට පාසල් වාරය නිමා කරන්නට ඇත්තේ හරියටම සති 2 කට නොඅඩු කාලයකි.
 
ඒ දින කිහිපයත් ඉවසන්නට නොහැකි වූයේ කාටද? 
 
කුරුල්ලන් එළවීමට වෙලේ සිටුවා තැබිය යුතු උදවිය ඇදගෙන විත් අධ්‍යාපනය වැනි ඇමැතිකම් දුන් විට මෙවැනි පරිප්පු කෝස් බලාපොරොත්තු විය යුතුය.
 
ගෝඨාභය බොහෝ දුරට නිවැරැදි තීන්දු තීරණ ගත් නායකයෙකි.
 
ඔහුට වැරැදුනේ ජී.එල්. පමණි.
 
 
(ඇටමැස්සා)
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...