BREAKING
Top Ad
ඇට මැස්සා

පුෂ්පා අයිස් ක්‍රීම් - ඇටමැස්සා (74)

T

The Leader

December 10, 2020 • 1:43 AM

  පුෂ්පා අයිස් ක්‍රීම් - ඇටමැස්සා (74)  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ නම බොහෝ දෙනකු අසා නැතුවාට සැක නැත.
  •   ඇලුමිනියම් තහඩු ගසා සකස් කළ අයිස් ක්‍රීම් පෙට්ටිය ‍යට රෝද 2 ක් සවිකර ඇත.
  •   පොප්සිකල් වර්ග 3 කි.
  •   නිර්ධන පංතිය සඳහා සත 5 හේ කුඩා පොප්සිකල් ‍ය.
අකුරු ප්‍රමාණය (Font Size):
මේ නම හඳුනන්නේ 70-80 දශකවල කොළඹ අවට පාසල් ගිය පරපුරය.
 
පුෂ්පා අයිස් ක්‍රීම් ආවේ කරත්තයක ය.
 
එන්නේ තල්ලු කරගෙන ය.
 
ඇලුමිනියම් තහඩු ගසා සකස් කළ අයිස් ක්‍රීම් පෙට්ටිය ‍යට රෝද 2 ක් සවිකර ඇත.
 
ඒ පෙට්ටිය තුල විවිධ පාටින් යුතු පොප්සිකල් අසුරා තිබේ.
 
රතු පාට, කහ පාට, කොල පාට, තැඹිලි පාට පොප්සිකල් ‍ය.
 
කටට කෙළ උනන්නේ අයිස්ක්‍රීම් කන්නටත් පෙර සිටය.
 
දිනපතාම එවායේ පාට වෙනස් වේ.
 
පොප්සිකල් වර්ග 3 කි.
 
නිර්ධන පංතිය සඳහා සත 5 හේ කුඩා පොප්සිකල් ‍ය.
 
මධ්‍යම පංතියේ සඳහා සත 10 යේ ලොකු පොප්සිකල් ‍ය.
 
ධනපති පංතියට සුදු පැහැති අයිස් පළමට චොකලට් තවරා ඇති අයිස් චොක් ය.
 
එය අලෙවි කළේ සත 25 ක් තරම් වූ අධික මිලකට ය.
 
අයිස් චොක් එක ආවේත් දවටනයක් රහිතව ය.
 
නිර්ධන පංතිය, මධ්‍යම පංතිය හා ධනපති පංතිය නියෝජනය කළ ද මේ සියලුම පොප්සිකල් ආවේ එකම පෙට්ටියේ ය. 
 
අයිස්ක්‍රීම් කරත්තය තල්ලු කරගෙන ආවේ මැදිවිය ඉක්මවූ දමිළ ජාතික අහිංසක මිනිසෙකි.
 
ඔහු අපට ඉතා වැදගත් පුද්ගලයකු විය.
 
එබැවින් අපි ඔහුට කටපුරා අංකල් කියා ඇමතුවෙමු.
 
එදවස ඔහුගේ මේ අයිස්ක්‍රීම් පෙට්ටියම අපට තේරුම්ගැනීමට තරම් අපහසු ප්‍රහේලිකාවක් විය.
 
 
අර ගිනි ගහන කට්ට අව්වේත් ඔහුගේ අයිස්ක්‍රීම් දිය නොවේ.
 
අධි ශීතකරණයක් තුල දැමුවා මෙන් ඒවා හොඳටම කූල් ය.
 
අද සුපිරි වෙළෙඳසල් තුල අධිශීතකරණ තුල බහා ඇති පොප්සිකල් බිල ගෙවා එළියට එන ඩිංගට දිය වී හමාරය.
 
එහෙත් පුෂ්පා අයිස්ක්‍රීම් එසේ නොවේ.
 
එම අයිස් පළම් කොන්ක්‍රීට් වගේ ය.
 
ශීතකරණයක් වත් නැතිව මෙසේ අයිස්ක්‍රීම් දිය නොවී තබා ගන්නේ කෙසේද ?
 
මෙහි තාක්ෂණය අපට එදා වැටහුණේ නැත.
 
පුෂ්පා පොප්සිකල් ‍රසවිඳ ඇති මගේ මහාචාර්ය මිතුරෙකු පැවසුවේ මෙම අයිස්ක්‍රීම් පෙට්ටිය ඇලුමිනියම් තහඩු දෙකකින් නිමවා ඇති බවත්, ඒ තහඩු දෙක අතර හිඩැස ලුණුවලින් පුරවා ඇති බවත් ය.
 
අයිස්ක්‍රීම් දිය නොවී තබාගෙන ඇත්තේ එලෙසිනි.
 
පාසල් ගිය පසු අප බලා සිටින්නේ විවේක කාලය එනතුරු ය.
 
පාසල් ඇරුණු පසු අප බලා සිටින්නේ පුෂ්පා අයිස්ක්‍රීම් එනතුරු ය.
 
වතුර, කලරින්, සැකරින් මුසු කොට හැදූ පුෂ්පා පොප්සිකල් ‍රස තවමත් දිවඟට මවාගත හැකිය.
 
පොප්සිකල් හදන්න වතුර ගත්තේ බෙරේ වැවෙන් වුවත් අපට කාරියක් නැත.
 
පුෂ්පා පොප්සිකල් රසට එදවස  අමෘතයත් පරාදය.
 
කටේ තිබ්බ ගමන් කඩා වැටෙන අද තියෙන එලිෆන්ට්හවුස් වේවා, කාගිල්ස් මැජික් වේවා පොප්සිකල්වලට වඩා පුෂ්පා පොප්සිකල් එක කෙතරම් රසද?
 
අප එදා මත් වී සිටියේ පුෂ්පා පොප්සිකල් ‍රසයෙනි.
 
අපට ඒ පිටුපස සිටි වයසක මිනිසා පෙනුණේ නැත.
 
එහෙත් අද ඔහුව පැහැදිලිව පෙනේ.
 
හැතැප්ම ගණනක් කරත්තය තල්ලු කරගෙන අයිස් පළම් විකුණන්නට ඔහු කොයි තරම් දුකක් විඳින්නට ඇත්දැයි තේරුම් යන්නේ දැන්ය.
 
ඔහුගේ ව්‍යාපාරික කාලය වූයේ දවල් 12 ත් හවස 3 ත් අතරය.
 
ඉන් පසු ඔහු කරත්තය තල්ලු කරගෙන සෙමින් කොටහේන පැත්තට ගාටයි.
 
කොට කලිසමකින් හා අත් කොට කමිසයකින් සැරසී පුෂ්පා අයිස්ක්‍රීම් විකිණූ ඒ දමිළ මිනිසාගේ බොකුටු කොණ්ඩය, දහඩියෙන් තෙත් වූ විඩාබර මුහුණ දැනුදු මතකයට නගාගත හැකිය.
 
1980 දශකය මැද භාගය ඇරඹෙන විට කිසිදා දිය නොවූ පුෂ්පා අයිස්ක්‍රීම් නාමය කෙමෙන් දිය වී යන්නට විය.
 
අද වනවිට පුෂ්පා අයිස්ක්‍රීම් නැත.
 
පුෂ්පා අයිස්ක්‍රීම් විකුණූ දමිළ අංකලුත් නැත.
 
සත 5 ත් නැත.
 
සත 10 ත් නැත.
 
සත 25 ත් නැත.
 
මතකය පමණක් ඇත.
 
 
(ඇටමැස්සා)
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...