BREAKING
Top Ad
ඇට මැස්සා

සරල වින්දනයේ ගැඹුර දුටු අපූරුතමයා - ඇටමැස්සා (86)

T

The Leader

December 29, 2020 • 5:23 AM

සරල වින්දනයේ ගැඹුර දුටු අපූරුතමයා - ඇටමැස්සා (86)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • " මට සම්භාව්‍ය චිත්‍රපටි අරහං "
  •   හර්බට් රංජිත් පීරිස්ගේ සිනමා දිවිය ඇරඹෙන්නේ 1974 දී 'සැණකෙළිය' චිත්‍රපටියෙන්.
  •   එහිදී හර්බට් රංජිත් පීරිස් ගැන කිසියම් තක්සේරුවක් ගාමිණී ෆොන්සේකා විසින් ඇති කර ගන්නවා.
  •   සැණකෙළිය (1974), සිල්‍වා (1980), එක්ටැම් ගේ (1980), ඇර සොයිසා (1984), හායි හූයි බබි ආච්චි (2001) ඊට නිදසුන් ය.
අකුරු ප්‍රමාණය (Font Size):
මේ සම්භාව්‍ය ප්‍රකාශය කරනු ලැබුවේ තමන් කරනු ලබන මාධ්‍යයන් තුල තමන්ගේම මාවතක් විවර කරගත් කලාකරුවකු විසිනි. 
 
ඔහු මහා විජ්ජාකරුවකු නොවේ.
 
යන්තම් චිත්‍රපටියක් දෙකක් කර පොර ටෝක් දෙන්නෙකු ද නොවීය.
 
නමුත් අදටත් අප්පිරියාවකින් තොරව බලන් ඉන්න පුළුවන් නිර්මාණ කිහිපයක් ඔහු ඉතිරි කර ගියේය.
 
හර්බට් රංජිත් පීරිස්.
 
ඒ ඔහුගේ නමයි.
 
ඔහුගේ ජීවිතය ඔහුටම පමණක් විඳින්නට හැකි එකක් විය.
 
ඔහු විසූ නිවසේ සාලය ද, නිදන කාමරය ද, වැසිකිළිය ද පිහිටා තිබුනේ එකටම ය.
 
ඔහුගේ ජීවිතය මෙන්ම ඔහුගේ නිර්මාණකරණය ද ඔහුට අවශ්‍ය තාලයට විය.
 
හර්බට් රංජිත් පීරිස්ගේ සිනමා දිවිය ඇරඹෙන්නේ 1974 දී 'සැණකෙළිය' චිත්‍රපටියෙන්.
 

 

 

 

 

සැණකෙළිය චිත්‍රපටිය සිංහල සිනමා වංශ කතාවට වැදගත් වන්නේ හර්බට් රංජිත් පීරිස් ගේ ආගමනය සේම ගාමිණී, මාලිනි, විජය ත්‍රිත්වය එකට රඟපෑ චිත්‍රපටි අතලොස්සෙන් එකක් වන නිසයි.
 
එහිදී හර්බට් රංජිත් පීරිස් ගැන කිසියම් තක්සේරුවක් ගාමිණී ෆොන්සේකා විසින් ඇති කර ගන්නවා.
 
ගාමිණී ගේ 'උතුමාණනි' චිත්‍රපටියේ පිටපත ලියන්නට හර්බට් රංජිත් පීරිස්ට බාර දෙන්නේ එබැවිනි.
 
හර්බට් රංජිත් පීරිස්ට සම්භාව්‍ය චිත්‍රපටි පේන්න බැරි විය.
 
ඔහුගේ නිර්මාණ රීතිය වූයේ සරල වින්දනය යි.
 
සැණකෙළිය (1974), සිල්‍වා (1980), එක්ටැම් ගේ (1980), ඇර සොයිසා (1984), හායි හූයි බබි ආච්චි (2001) ඊට නිදසුන් ය.
 

 
හර්බට් රංජිත් පීරිස්ගේ නිර්මාණ සදහා චරිත තෝරාගැනීම ද සුවිශේෂය.
 
අදාළ චරිතයට ගැලපෙන පුද්ගලයා ටක්කෙටම තෝරාගැනීමට හර්බට් රංජිත් පීරිස් තුල වූයේ සුවිශේෂී හැකියාවකි.
 
ඇර සොයිසා චිත්‍රපටියේ ප්‍රධාන කාන්තා චරිතය වූ කාන්ති සහ ටාසන් සදහා ඔහු තෝරාගත්තේ රාජු කුමාරසිංහ නම් පිරිමි නළුවා ය.
 
හර්බට් රංජිත් පීරිස් ඔහුට හිතුනු දේ කළේය.
 
හැමදාම දකින මුහුණු වෙනුවට ඔහු අලුත් මුහුණු සොයාගත්තේ ‍ය.
 
ඔහුගේ නිර්මාණ තුල වූයේ සැහැල්ලුවෙන් රංගනයේ යෙදෙන ශිල්පීන් ය.
 
හර්බට් ‍රංජිත් පීරිස් වරක් ඇටමැස්සා සමග මෙසේ පැවසුවේ ය.
 
" මල්ලි, අපි බීලා ගෙවල්වලට ඇවිත් වළං පොළොවේ ගහනවා...
 
පිඟන් කුඩු කරනවා...
 
බැන ගන්නවා....
 
රණ්ඩු කර ගන්නවා...
 
නෝනාට ගහනවා....
 
කන්තෝරුවේ ලොක්කා ගෙන් ඇනුම් බැනුම අහගන්නවා...
 
බෙලි කැපිලි, කේළාම් කීම්, ගෝරි බෝරි එක්ක වැඩපොළේ ඉන්නේ ...
 
ඉතින් ගෙදර ඇවිත් ටීවී එක ඉස්සරහ වාඩි වෙලා ආපහු ඔය ටිකම බලන්න ඕනද...?"
 
 
කතාව ඇත්ත ‍ය.
 
ඒ නිසාම හර්බට් ‍රංජිත් පීරිස් කිසිදාක බලන් ඉන්න බැරි ටෙලිනාට්‍ය හැදුවේ නැත.
 
ඔහුගේ 'හිරුට මුවාවෙන්' ටෙලිනාට්‍ය ජනප්‍රිය වූයේ ඉඳි ආප්ප කතාව නමිනි.
 
හිරු සඳු හමුවේ, හිරු තනිවෙලා වැනි ඔහුගේ සෙසු ටෙලිනාට්‍ය තුල ද දක්නට ලැබුනේ ඔහු ප්‍රිය කළ සරල වින්දන ‍රීතියයි.
 

මේවා අදටත් බලන්න පුළුවන් ටෙලිනාට්‍ය යි.
 
මිනිසුන් තව තවත් මානසික වධහිංසනයන්ට භාජනය නොකළ ටෙලිනාට්‍ය යි.
 
හර්බට් ‍රංජිත් පීරිස් ගේ ඉතිහාසය පීරා බැලීමේදී  'ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත' යන කියමන බොරුවක් බව පැහැදිලිය.
 
ඇර සොයිසා චිත්‍රපටියේ නාමාවලිය දෙස බැලූවිට එහි කතාව, දෙබස්, තිර රචනය, සංස්කරණය, අධ්‍යක්ෂණය ඇතුළුව ඔහු නොකළ දෙයක් නැත.
 

 
දයානන්ද ගුණවර්ධනයන්ගේ 'නරි බෑනා' වාදක වෘන්දයට ද ඔහු ඇතුළත් විය.
 
හර්බට් ‍රංජිත් පීරිස් ගේ ප්‍රියතම ඇඳුම වූයේ සරමයි.
 
දිනක් 'පොරොන්දුව ' චිත්‍රපටියේ මංගල දර්ශනය නරඹා අවසානයේ හර්බට් ‍රංජිත් කොළඹ 80 ක්ලබ් එක පැත්තේ ගියේය.
 
ඒ මධුවිතින් මඳක් සප්පායම් වන්නටය.
 
ගියේ තනියම නොවේ.
 
චන්ද්‍රම් රත්නම්, ‍රවීන්ද්‍ර රන්දෙණිය, රන්ජන් ‍රාමනායක, අශෝක පෙරේරා, හේලි පෙරේරා හා අරුණ ගුණරත්න සමගිනි.
 
හර්බට් ‍රංජිත් සිටියේ සුපුරුදු සරම පිටිනි.
 
එහෙත් 80 ක්ලබ් පාලනාධිකාරිය විසින් ඔවුන්ට සේවාව සැපයීම ප්‍රතික්ෂේප කරනු ලැබීය. 
 
හේතුව හර්බට් ‍රංජිත්ගේ සරමයි.
 
එතැනින් පිට වූ ඔවුන් නතර වූයේ ඔටස් ක්ලබ් එකේය.
 
නිදහසින් දශක ගණනාවකට පසුවත් අපේ රටේ සරමට සැලකුවේ එලෙසිනි.
 
එසේ වුවත් හර්බට් ‍රංජිත් පීරිස් සරම අත් නොහළේය.
 
හර්බට් ‍රංජිත් පීරිස් විවාහ වී සිටියේ ස්වර්ණා මල්වාරච්චි සමග ය.
 
චරිතයට ගැලපෙන නිළිය හෝ නළුවා තෝරාගැනීමට හර්බට් ‍රංජිත් පීරිස් තුල පුදුමාකාර ඉවක් තිබිණ.
 
සමහර විට ඔහු වැරැදි තෝරාගැනීමක් කළේ තම පෞද්ගලික ජීවිතයේ සහාය නිළිය තෝරාගැනීමේදී විය හැකිය.
 
අප කවුරුත් නික්ම ‍යා යුය.
 
එහෙත්  හර්බට් ‍රංජිත් පීරිස් නික්ම ගියා ඉක්මන් වැඩි දැයි සිතෙන්නේ අද ටෙලිනාට්‍ය කියා පෙන්වන දහ ජරාව දුටු විටය.
 
හර්බට් ‍රංජිත් පීරිස් ගේ ප්‍රියතම වර්ණය වූයේ සුදු පාටය.
 
2001 ජූලි 1 වැනි දින සමුගත් ඔහු සුදු පැහැති පෙට්ටියක අවසන් ගමන් ගියේ ඔහුගේ අවසන් ඉල්ලීම පරිදිය.
 
(ඇටමැස්සා)
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...