BREAKING
Top Ad
ඇට මැස්සා

පත්තරකාරයෝ සහ බෝතල් පත්තරකාරයෝ - ඇටමැස්සා (87)

T

The Leader

December 29, 2020 • 10:54 PM

පත්තරකාරයෝ සහ බෝතල් පත්තරකාරයෝ - ඇටමැස්සා (87)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉස්සර නම පත්තරකාරයන්‍ ය.
  •   ශ්‍රී ලංකාවේ වෙසෙන කුහකයින් බහුල වශයෙන් ජීවත් වන්නේ මාධ්‍යවේදීන් ලෙසිනි.
  •   දයාසේන ගුණසිංහ මහතා ලේක් හවුස් ආයතනයෙන් ඉවත් වන විට මෙකී ගුරුවරයා ගුණසිංහ මහතාට එවූ ලිපියක මෙසේ සඳහන් විය.
  •   " සර් අලුත් පත්තරේකට යන බව දැනගන්න ලැබුණා.
අකුරු ප්‍රමාණය (Font Size):
 
ඒක ටිකක් පොෂ් මදිය.
 
ඒ නිසා හැමෝම දැන් හඳුන්වාගන්නේ මාධ්‍යවේදීන් කියාය.
 
ඒක හරියටම මල්ලිකා, මෙලීසා වුණා වැනි දෙයකි.
 
නම වෙනස් වුවත් ක්‍රියාපටිපාටියේ වෙනසක් නැත.
 
සතා එකාමය.
 
ශ්‍රී ලංකාවේ වෙසෙන කුහකයින් බහුල වශයෙන් ජීවත් වන්නේ මාධ්‍යවේදීන් ලෙසිනි.
 
යථාර්ථය එයයි.
 
අතීතයේ කුමරියන් වෙනුවෙන්ම නිකුත් කළ  පුවත්පතක් විය.
 
එහි අන්වර්ථ නාමයකින් ලිපි ලියූවෙක් විය.
 
යන්තම් පද පේලි දෙකක් ඇමිණූ පමණින්  මහා කවියකු යැයි රැවටෙන තරුණියෝ අද මෙන්ම එදත් සිටියහ.
 
චාමර මුතුනායක නම් වූ මේ අන්වර්ථ නාමයට රැවටී පෙම්පත් ලියූ තරුණියන් දහස් ගණනකි.
 
ඉන් කී දෙනෙකු ඔහුට හසුවීද යන්න දන්නෝ දනිති.
 
 
සිළුමිණ පත්තරේට ඉඳහිට ලිපි ලියූ ගුරුවරයකු  විය.
 
දයාසේන ගුණසිංහ මහතා ලේක් හවුස් ආයතනයෙන් ඉවත් වන විට මෙකී ගුරුවරයා ගුණසිංහ මහතාට එවූ ලිපියක මෙසේ සඳහන් විය.
 
" සර් අලුත් පත්තරේකට යන බව දැනගන්න ලැබුණා.
 
හැකි නම් මට ද එහි අවස්ථාවක් ලබාදෙන මෙන් කාරුණිකව අයැද සිටිමි."
 
ගුණසිංහ මහතා මේ ආයාචනාව පිළිගෙන මෙකී ගුරුවරයාව දිවයින කර්තෘ මණ්ඩලයට බඳවා ගත්තේය.
 
පසු කාලයක ගුණසිංහ මහතාගේ බෙල්ල කැපීමට දායක වූ පත්‍තරකාරයන් අතර මොහුද පෙරමුණේ සිටියේය.
 
එසේ කළ මොහු පසුකාලීනව සිළුමිණ පත්තරේ කර්තෘ ධූරයට ද පත් විය.
 
සකෝ බල ලෝ !
 
 
 
යම් පුවත්පත් කලාවේදියකු නිර්නාමික කොළමක් ලියන්නේ  තම ආරක්ෂාව පිණිස පමණක්ම නොවේ.
 
වඩා ස්වාධීන ලෙස තම කාර්යය කරගෙන යෑම සඳහාත් ය.
 
එහෙත් ගුණසිංහ මහතා 'උකුස්සා' කොළම ලියන බව දේශපාලන බලධාරීන්ට පාවා දුන්නේ ඔහුත් සමග එකටම සිටි පත්තරකාරයින්‍ ය.
 
ලේ අවුට් බාස්ලා ය.
 
එවැනි පාවාදෙන්නන් අදත් අප අතර සිටී.
 
 
 
සැබෑ සත්‍යවාදීන් සත්‍යවාදී බෝඩ් එල්ලාගෙන සිටින්නේ නැත.
 
සත්‍යවාදී බෝඩ් එල්ලාගෙන ලියන දේ ලියන්නා තුල නැති බව කියවන්නෝ නොදනිති.
 
මෙකී එක් සත්‍යවාදීයකු තම පෙම්වතිය සමග උරණ වී පත්තර කන්තෝරුවට පැමිණියේ කෙලින් කටින් හිටගන්නට බැරි තරම් බීමත්ව ‍ය.
 
පෙම්වතිය ගේ ගම රත්නපුරය යි.
 
බීමතින් පැමිණි සත්‍යවාදීයා කළේ ටෙලිෆෝන් ඩිරෙක්ටරිය ගෙන රත්නපුරයේ අංක කරකවමින් පෙම්වතිය ගැන කියා කුණුහරුපයෙන් බැන වැදීමයි.
 
මෙම පෙම්වතිය ගේ නිවසට අල්ලපු නිවසටත් ඔහු විසින් දුරකථනයෙන් බැන වැදී තිබුණි.
 
පාරේ ඉන්නා ගණිකාවක දුටු විට උතුරා යන ඔහුගේ මානව ප්‍රේමය අමනාප වූ තම පෙම්වතිය කෙරේ තිබුනේ නැත.
 
 
 
මහින්ද රාජපක්ෂ ජිනීවා යන විට ඔහු ළග ආණ්ඩුව විසින් මරා දමනු ලැබූ තරුණයින් ගේ ජායාරූප ඇති බවට ජේ.ආර්. ගේ ආණ්ඩුවට ඔත්තුව දෙන්නේ මහින්ද ළගම සිටි පත්තරකාරයකු විසින් බවට එකල රාවයක් පැතිරුණි.
 
මහින්දව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී නතර කරගන්නේ ඒ අනුව ය.
 
 
තමා සේවය කරන පුවත්පත් ආයතනයෙන් මුදල් ගෙන විශේෂාංග වාර්තාකරණයට ගොස් ගණිකාවන් ඇසුරු කොට පෙටි කෑෂ්වලින් එම මුදල් පියවූ පත්තරකාරයන් මේ දිවයින තුල සිට ඇත.
 
මොවුන් පසු කලෙක ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් මෙන්ම පුවත්පත් ආයතනය තුලට ද රිංගා ගැනීම මෙහි ඇති ලොකුම විහිළුවයි.
 
 
 
තම බිරිද ගේ සොහොයුරා සී. අයි. ඩී. එකෙන් කියා නිවසට පැන තරුණියක් දූෂණය කළ පසු 'මල්ලි ඇක්සිඩෙන්ට් වෙලා' යැයි කියා ආයතනයේ වාහනයක් ද රැගෙන ඔහුව බේරා ගැනීමට ගිය පත්තරකාරයන් මේ දිවයිනේ නොව මේ මව්බිමේ සිටී.
 
සිරී රණසිංහලා අද රංජිත් විජේවර්ධනට රෙකමන් කරන්නේ එවැනි මිනිසුන් ය.
 
 
තමන් සමග එකට සේවය කරන පත්තර සගයන් දෙදෙනෙකුට 10% පොලියට මුදල් දී එම මුදලින් ඔවුන් සමග අරක්කු බී මාසය අවසානයේ පොලියද, මුදලද අය කරගත් පත්තරකාරයන් ඇටමැස්සා දැක ඇත.
 
 
එක්තරා ජාතික පුවත්පතක (දැනට වසා ඇති ) ප්‍රධාන කතුවරයාගේ ආයතන දුරකථන බිල්පත පරීක්ෂා කිරීමේදී  මාසිකව එකම අංකයකට රුපියල් ලක්ෂ 2-3 ඉක්මවූ ඇමතුම් ලබාගෙන ඇති බව හෙළි විය.
 
මේ පිළිබදව වැඩිදුර පරීක්ෂා කළ පාලනාධිකාරියට හෙළි වූයේ කුමක්ද ?
 
මෙම ඇමතුම් ලබා දී තිබුනේ ඔහුගේ බිරිදට නොව එම ආයතනයේ සේවය කරමින් සිටියදී මියගිය කතුවරයකුගේ බිරිදට බවයි.
 
 
මාධ්‍ය ලෝකය පිරී පවතින්නේ මෙවැනි අසුන්දර පුවත්වලිනි.
 
මෙවැනිම දෙයක් නොව මීට සුළු වරදක් සාමාන්‍ය මිනිසකු අතින් වී නම් එය පත්තරේ හෙඩ් ලයිම වනු ඇත.
 
මාධ්‍යකාරයන්ට පමණක් වෙනම නීතියකි.
 
මාධ්‍යකාරයන් මේවා පිටතට නොදෙන්නේ  "බළල්ලුන් බළල්ලුන් ගේ මස් නොකන" තියරිය අනුවය.
 
මේ සියලු ජඩකම් වැසී ඇත්තේ මේ නිසාය.
 
මීඩීයා නැතිනම් ප්‍රෙස් යන බෝඩ් ගසා වෑන් එකෙන් ගොස් තැනකට බැස්ස පමණින් පොරක් නොවේ.
 
විකුණන්න පුළුවන් හැම දේම නිවුස් නොවේ.
 
මේ රටේ මාධ්‍යකාරයන් නොදන්නා සත්‍යය ද එයයි.
 
මේ රටේ එදා මෙදාතුර මාධ්‍යකාරයන් කී දහසක් සිටින්නට ඇත්ද?
 
අදටත් කතා කරන්නේ එයිනුත් කී දෙනෙකු ගැනද?
 
 
එක්තරා මාධ්‍ය ආයතනයක සේවය කළ තම ලක්ෂපති මිතුරා හමුවීමට ඔහුගේ පැරණි මිතුරකු ගියේය.
 
මේ මිතුරා විසින් නිර්මාණය කළ ගීතයක් විය.
 
ඔහුට අවශ්‍ය වූයේ ලක්ෂපති මිතුරාගේ උදව්වෙන් එය ප්‍රචාරය කර ගැනීමට ය.
 
ලක්ෂපති මිතුරා පැවසුවේ එකක් නොව ගීත 4 ක් ම පටිගත කරගෙන එන ලෙසයි.
 
අර මිතුරා සති කිහිපයකට පසු දහ අතේ ණය වී ගී 4 පටිගත කර රැගෙන ආවේය.
 
එවිට ලක්ෂපති මිතුරා පැවසුවේ කුමක්ද ?
 
" අහවල් දවසේ මං උඹෙන් සිගරැට් එකක් ඉල්ලුවා...
 
උඹ මට දුන්නේ නෑ...
 
මට ඒක හොඳට මතකයි....
 
මං මේ එක සිංදුවක් වත් ගහන්නේ නෑ..
 
පළයං...."
 
මෙන්න අපේ රටේ මාධ්‍ය සදාචාරය !
 
ආණ්ඩුවට අයත් පත්තර ආයතනයක පත්තරකාරයෙක් සිටියේය.
 
ඔහු සරසවි අවධියේ පටන්ම ඇන්දෙ, පැළැන්දෙ, කෑවේ, බිව්වේ, නෑවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න පරිද්දෙනි.
 
මේ තැනැත්තා සරසවියක කතිකාචාර්යවරයකුගේ බිරිදක සමග පෙමක පැටළුණේය.
 
ඔහු මේ ප්‍රේමය දිනා ගැනීම සදහා භාවිතා කළේ අමුතුම න්‍යායකි.
 
ඔහු කළේ තම පුවත්පතේ පොලිස් පුවත් වාර්තා කරන පුවත්පත් කලාවේදියා ලවා අදාළ පොලිසියේ පොලිස් ස්ථානාධිපති සම්බන්ධ කරගෙන ඉහත කී කතිකාචාර්යවරයාට අඩත්තේට්ටම් කිරීමයි.
 
අවසානයේ කතිකාචාර්යවරයා තම විවාහය දික්කසාදයකින් කෙළවර කර ගත්තේ මේ වධහිංසනය ඉවසා ගන්නට නොහැකිවය.
 
මේවා මනුස්සකමටත් නිගා දෙන තුච්ච වැඩය.
 
මිලාඟිරිය ශාන්ත පාවුළු බාලිකා විදුහල ඉදිරිපිට ඇති රෙස්ටොරන්ට් එකකි.
 
එහි බෝතලයක් හිස් කරන තිදෙනෙකි.
 
ඒ චිත්‍රපටියක ප්‍රධාන නිළිය, ප්‍රධාන නළුවා සහ පත්තරකාරයකු වූ එහි අධ්‍යක්ෂවරයායි. 
 
ගැටළුව ප්‍රධාන නිළිය මේ දෙදෙනාටම පෙම් කිරීමයි.
 
බෝතලය ඉවර වුවත් ප්‍රශ්නය ඉවර වූයේ නැත.
 
විසඳුමක් නැතිව තිදෙනාම ඉන් පිටවෙද්දී දොරටුව අසලදී රෙස්ටොරන්ට් එකේ හිමිකරු හමුවිය.
 
ඔහු ප්‍රධාන නළුවා හොඳින් හඳුනයි.
 
" මොකද පුතා මේ...?"
 
ඔහු විමසීය.
 
ප්‍රධාන නළුවා හඬමින් සිද්ධිය විස්තර කළේ මෙලෙසිනි.
 
" බලන්න අංකල් මෙයා ( ප්‍රධාන නිළිය පෙන්වමින් ) මටත් ආදරෙයිලු.. මෙයාටත් ( පත්තරකාර ඩිරෙක්ටර් පෙන්වමින් ) ආදරෙයිලු.. අපි දෙන්නා ගෙන් කාවද ඕන ඇහුවම දෙන්නම ඕනලු..."
 
අදාළ චිත්‍රපටියේවත් මෙවැනි තාත්වික දර්ශනයක් තිබුනේ නැත.
 
අනුන්ගේ නිරුවත හෙළි කරන සමහර මාධ්‍යකාරයන්ගේ නිරුවත මෙයයි.
 
එක්තරා යුගයකදී සරසවිය පත්තරේට ලැබෙන අලුත්ම චිත්‍රපටිවලට අදාළ ෆුල් පේජ් දැන්වීම් නැතිව ගියේය.
 
පසුව සොයා බලද්දී හොරේ අසුවිය.
 
සරසවියේ හිටපු කර්තෘවරයා කර ඇත්තේ  දැන්වීමට අදාළ මුදල් සාක්කුවේ දමාගෙන ඒ වෙනුවට චිත්‍රපටිය ගැන ෆුල් පේජ් ලිපියක් පළ කිරීමයි.
 
සිනමා ක්ෂේත්‍රය තුල මෙය හඳුන්වනු ලැබුවේ ග්‍රැන්විල් ගැහිල්ල ලෙසිනි.
 
මේවා මාධ්‍යකාරයන්ට අනුව කිසිසේත්ම පගාවක් හෝ අල්ලසක් හෝ ජරාව කෑමක්  නොවේ.
 
ඒවා එසේ වන්නේ මාධ්‍යකාරයන් නොවන්නන් කළ විටය.
 
එෆ්එම් නාලිකා වේවා ටීවී චැනල් වේවා සිංදුවක් ප්‍රචාරය කිරීමට දොළ පිදේනි දිය යුතුය.
 
එය නීතියක් වන තරමටම වර්තමානයේ වර්ධනය වී තිබේ.
 
ප්‍රේක්ෂකයන් සිතාගෙන සිටින්නේ මේ රටේ ටීවී චැනල්වල ටෙලිනාට්‍ය ඉබේ විකාශය වනවා කියායි.
 
එහෙත් ඇත්ත ටෙලිනාට්‍ය තරම් සුන්දර නැත.
 
හැම කොටසක් පාසාම ගානක් ගෙවිය යුතුය.
 
එහෙත් ඒ චැනල් එකට නම් නොවේ.
 
ටෙලිනාට්‍යයේ කොටසක මිල තීරණය වන්නේ අදාළ පුද්ගලයන්ගේ සාක්කුවලට වැටෙන ගානත් එකතු වූ පසුව ය.
 
එක්තරා මාධ්‍ය ආයතනයක ප්‍රධානියකු එහිම සේවය කරන නිවේදිකාවක හා පෙම් සුව විඳිද්දී මේසය කඩාගෙන වැටුණි.
 
මෙම සිදුවීම ඉහළට වාර්තා විය.
 
පාලනාධිකාරිය කළේ කුමක්ද ?
 
මාධ්‍ය ප්‍රධානියා සේවයේ තබාගෙන අර නිවේදිකාව සේවයෙන් පහ කිරීමයි.
 
ඊළඟ වසරේ මාර්තු 8 වැනිදා ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් කාන්තා හිංසනය හා අපයෝජනය පිලිබඳ විශේෂ වැඩසටහනක් මේ මාධ්‍ය ප්‍රධානියා විසින්ම සිදුකරන ලදි.
 
සිරස වෙනුවට ඔලුව පාවිච්චි නොකරන අපේ ශ්‍රාවකයින්, ප්‍රේක්ෂකයින් මේ කටුක යතාර්ථයක් දන්නේ නැත.
 
මාධ්‍යකාරයන් යනු සාන්තුවරයන් නොවේ.
 
එහෙත් සමාජයේ සෙසු පිරිස් සාන්තුවරයන් විය යුතුයැයි ඔවුන්ගේ විශ්වාසයයි.
 
" බෝතාල්....පත්තරේයි..." කියමින් බෝතල් පත්තරකාර මහත්වරුන් ඔබේ නිවසට පැමිණි විට ඔවුන්ට මහත්වරුන් ලෙස සැලකීමට අප පුරුදු විය යුතුය.
 
මක්නිසාද ‍යත් මේ රටේ ඇතැම්  පත්තරකාරයන් ට (මාධ්‍යකාරයන්ට ) සාපේක්ෂව බෝතල් පත්තරකාරයින්‍ වැදගත් මහත්වරුන් ය.
 

" සිංදු අහද්දි, පත්තර බලද්දී මේ ලේඛකයන් කොච්චර සුන්දර මිනිසුන් ද කියලා බාහිර සමාජය හිතනවා.

ඒත් ඒක එහෙම නෙවෙයි කියලා ඇතුළේ ඉන්න අපි දන්නවා. මොන වගෙ සත්තු එක්කද වැඩ කරන්නේ කියලා අපි විතරයි දන්නේ ..." අජිත් සමරනායක (ප්‍රසිද්ධ දේශනයක දී)

 
 
(ඇටමැස්සා)
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...