BREAKING
Top Ad
ඇට මැස්සා

දැන්වීම් කලාවේ සිංහල ලකුණ -ඇටමැස්සා (83)

T

The Leader

December 23, 2020 • 12:27 AM

දැන්වීම් කලාවේ සිංහල ලකුණ  -ඇටමැස්සා (83)  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 1977 අවුරුද්දේ එක් දිනයකි.
  •   අර්වින් ජීවිතය පටන් ගන්නේ "ඇත්ත" පුවත්පතේ පත්තරකාරයකු ලෙසිනි.
  •   අවුරුදු පතා අර්වින් හමුවට පැමිණෙන චින්තන ජයසේන ළමා නිවාසයකට දානයක් දෙන බව පවසා ගානක් කඩාගෙන යාම සිරිතක් කරගෙන සිටියේය.
  •   මේ දානය දෙන්නේ ළමා නිවාසයකට නොව කොහේ හෝ බාර් එකකට බව අර්වින් දැන සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):
කොටුවේ ටයිම්ස් බිල්ඩින් එකෙන් එළියට බැස බ්‍රිස්ටල් වීදීය දිගේ ඇවිදගෙන එන මිනිසෙකි.
 
මද දුරක් යන විට ගැහැනුන් පොරකමින් සිටිනු ඔහු දුටුවේය.
 
පදික වේදිකාවේ සිටින මිනිසෙක් යමක් උඩ දමමින් විකුණයි.
 
ඒ, නිකම් නොවේ.
 
අපූරු ඇඩ්වර්ටිසිං ලයින් එකක් ද සමගිනි.
 
".... අම්මා ඉස්සුවා....තාත්තා බැස්සුවා....
 
.... අම්මා ඉස්සුවා....තාත්තා බැස්සුවා...."
 
මේ පදික වෙළෙන්දා අම්මා කිව්වේ සිරිමාවෝට ය.26195387 156870155086919 1260022459999500985 n
 
තාත්තා කිව්වේ ජේ.ආර්. ටය.
 
ඔහු උඩ දමමින් විකුණුවේ ඉන්දියාවෙන් ගෙනා වොයිල් සාරි ය.
 
කතාව මේකය.
 
සිරිමාවෝගේ කාලයේ සාරි හිඟ ය.
 
තිබුණත් මිල ය.
 
ජේ.ආර්. ආර්ථිකය විවෘත කිරීමත් සමග සාරි ද නිදහසේ රට තුලට ගලා ආවේ ය.
 
මේ අපූරු සජීවී වෙළෙඳ දැන්වීමක් සහිතව කෙරුණු වෙළෙඳාම දෙස බලා සිටියේ මෙරට දැන්වීම් කලාවේ පතාක යෝධයෙකි.
 
ඔහු අර්වින් වීරක්කොඩි ‍ය.
 
ලංකාවේ දැන්වීම්  ක්ෂේත්‍රය තුල පහළ වූ අමුතුම චරිතය ඔහු ය.
 
මෙරට දැන්වීම් ක්ෂේත්‍රයට අරක්ගෙන සිටින්නේ බොහෝ විට තුප්පහියන් ය.
 
අර්වින් වෙනස් වන්නේ එතැනිනි.
 
ලංකාවේ බොහෝ දැන්වීම් ආයතන ප්‍රධානීන්ට කළ නොහැකි දෙයක් ඔහුට කළ හැකි විය.
 
එනම්, අර්වින්ට හොඳ සිංහලලෙන් දැන්වීම් කොපියක් ලියාගැනීමේ හැකියාව තිබිණ.
 
අර්වින් ජීවිතය පටන් ගන්නේ "ඇත්ත" පුවත්පතේ පත්තරකාරයකු ලෙසිනි.
 
ඉන් පසු ඔහු නිදහස් පිටපත් රචකයකු වශයෙන් ප්‍රචාරක ආයතන ගණනාවක සේවය කළේය.
 
ඒ දිනවල ඔහු මුළු දවස පුරාම ටැක්සියක් වෙන් කරවාගෙන මේ රාජකාරියේ නිරත විය.
 
අර්වින්ගේ චරිතය කියන තරම් කළු නැත.
 
හිතන තරම් සුදුත් නැත.
 
අර්වින් ‍යමෙකු සමග තරහා වුවහොත් තරහා වුණාමය.
 
බොහෝ දැන්වීම් ආයතන ප්‍රධානීන්ට පෞරුෂයක් නැත.
 
මිනිසකුගේ පෞරුෂය ගොඩනැගෙන්නේ ඔහු සතු දැක්ම හා ඔහු ඒ සදහා කටයුතු කරන ආකාරය අනුවයි.
 
ඒ අර්ථයෙන් ගත් කල අර්වින්ට ඔහුටම අනන්‍ය වූ ශෛ‌ලියක් තිබිණ.
 
අර්වින් හොඳට කන බොන මිනිහෙකි.
 
මිනිසුන් හදුනා ගැනීමේ හොඳ ඉවක් ඔහුට තිබේ.
 
බොහෝ හොඳ මිනිසුන් ඔහුව දමා ගියේ ඔහු ළග සිටි එක් නරක මිනිසකු නිසා ය.
 
තමන් යටතේ සේවය කරන සේවකයකු අස් වී වෙනත් ආයතනයකට එක් වූ විට අමනාප වීම ලංකාවේ බොහෝ කොම්පැණි ලොක්කන් තුල දක්නට ලැබෙන්නකි.
 
එම දුර්වලකම අර්වින්ටත් නොඅඩුව පිහිටියේ ය.
 
අර්වින් සමග වැඩ කිරීම අසීරුය.
 
එහෙත් අර්වින් සමග වැඩ කළොත් වෙනත් ඕනෑම තැනක ගොස් වැඩ කිරීම පහසුය.
 
තමන් යටතේ සේවය කරන සේවකයින්ට වසර අවසානයේ බෝනස් මුදලක් පිරිනැමීම බොහෝ ලොක්කන්ට තමන්ගේ ඇඟන් ඇටයක් යන්නා සේ සමානය.
 
එහෙත් තම සේවකයින්ට මාස දෙකක බෝනස් මුදල් පිරිනමා කොරිඩෝවට වී සිගරැට්ටුවක් උරමින් එහි සතුට බුක්ති විඳි ආයතන ප්‍රධානියෙකි අර්වින්.
 
එසේම අර්වින් ‍යනු ලෝකෝත්තරයෙකි.
 
තවත් එවැනිම ලෝකෝත්තරයකු වූ චින්තන ජයසේනටවත් අර්වින්ව අන්ඳවන්නට නොහැකි විය.
 
කතාව සැකැවින් මෙසේය.
 
අවුරුදු පතා අර්වින් හමුවට පැමිණෙන චින්තන ජයසේන ළමා නිවාසයකට දානයක් දෙන බව පවසා ගානක් කඩාගෙන යාම සිරිතක් කරගෙන සිටියේය.
 
මේ දානය දෙන්නේ ළමා නිවාසයකට නොව කොහේ හෝ බාර් එකකට බව අර්වින් දැන සිටියේය.
 
චින්තනට මේ වැඩේ කළ හැකි වූයේ වරක් හෝ දෙවරක් පමණි.
 
ඊළඟ වසරේ 'ළමා නිවාස දානය' ගැන මතක් කර චින්තන දුරකථන ඇමතුමක් දුන් විට අර්වින් පැවසුවේ මුදල් නොව දානයට අවශ්‍ය බඩු අරන් දෙන්නම් කියාය. WhatsApp Image 2020 12 23 at 1.49.28 PM
 
එදායින් පසු චින්තන ජයසේන ෆීනික්ස් එක පැත්ත පළාතේ ආවේ නැත.
 
අර්වින්ගේ ස්වර්ණමය යුගය ෆීනික්ස් ඇඩ්වර්ටිසිං ‍යුගයයි.
 
සම්පත් බැංකුව සිය මාතර ශාඛාව ආරම්භ කරන විට අර්වින් එම දැන්වීමේ හෙඩ්ලයින් එක 
ලියුවේ මෙලෙසිනි.
 
" අපි මාතර"
 
රූපරාමුවේ වූයේ පොල් කොල ආවරණයක් සහිත කිරි හට්ටියක් සහ පැණි මුළකි.
 
ඉන් එහාට කියන්නට තවත් දෙයක් නැත.
 
ඉංග්‍රීසි කොපිය සිංහලට අමුවෙන්ම පරිවර්තනය කළ අවධියක සිංහල දැන්වීම් කලාව උපත ලබන්නේ ෆීනික්ස් ආයතනය තුලිනි. 62250106 462486604525271 5223680946431066112 n
 
එහි නියමුවා වූයේ අර්වින් වීරක්කොඩි ‍ය.
 
ප්‍රේමදාසගේ කාලයේ ගම් උදාව ප්‍රචාරක කටයුතු කෙරුණේ අර්වින් හරහා ෆීනික්ස් ප්‍රචාරක ආයතනයෙනි.
 
මතක හැටියට එය ඇඹිලිපිටිය ගම් උදාවයි.
 
ජූනි 23 වැනිදාට එලිවන්නට පැය කිහිපයකි.
 
ප්‍රේමදාස උදා ගම් වැඩබිම බලන්නට එන්නේ මැදියම් රැයේදී ය.
 
ප්‍රේමදාස එතැනට පාත්වීමට පෙර අර්වින් සංවිධායකයන් සමග නිරීක්ෂණ චාරිකාවක යෙදෙමින් සිටියේය.
 
අර්වින්ට ඈත පාළු ළිදක් පෙනුණි.
 
අර්වින් ප්‍රේමදාසගේ නොම්මරේ හොඳින්ම දනී.
 
ප්‍රේමදාස ආවිට මේ ළිද ළගට ගොස් එබී බැලීම අනිවාර්යය.
 
ඊට පෙර අර්වින් ළිද පරීක්ෂා කර බැලීය.
 
ළිද පුරවා තිබුනේ පාසලේ කැඩුණු ඩෙස් බංකු කකුල්වලිනි.
 
වහාම ඒවා ඉවත් කර ළිද පිරිසිදු කළා පමණක් නොව බවුසරයක් ගෙනැවිත් ඊට වතුර ද පුරවනු ලැබීය.
 
ප්‍රේමදාස පැමිණියේය.
 
අවට සිරි නරඹමින් ඉදිරියට ගියේය.
 
අඩුපාඩුවක් දක්නට නැත.
 
ඈත ළිදකි.
 
ප්‍රේමදාස හීන්සීරුවේ එදෙසට ගමන් කළේය.
 
ළිදට එබී බැලුවේය.
 
නිල් කැටේට වතුර ය.
 
එදා අර්වින් නොසිටින්නට ගම් උදාව සංවිධායකයන් අසාගන්නා බැනුමේ දෝංකාරය තවමත් රැව්දෙනු ඇත.
 
ප්‍රේමදාස තම ප්‍රචාරක වැඩවලට අර්වින්ව තෝරාගත්තේ ඔහුට තිබූ ජන මනසට කතා කිරීමේ හැකියාව ගැන දත් නිසාය.
 
එහෙත් ප්‍රේමදාසගේ පුතා තම ජනාධිපතිවරණ ප්‍රචාරක මෙහෙයුම සදහා දැන්වීම් ප්‍රචාරක ආයතනයක් තෝරාගත්තේ කෙසේද ?
 
තම නෝනාගේ සැලූන් එකෙන් කොන්ඩය කපන මිතුරියගේ උපදෙස් අනුවය.
 
අර්වින් ළග පිටපත් රචකයින් ලෙස බොහෝ විට සේවය කළේ පත්තරකාරයන් ය.
 
බී. ඒ. සිරිවර්ධන හෙවත් 'ඇත්ත' පත්තරේ 'සිරා'
ද කාලයක් අර්වින් ළග සේවය කළේය.
 
දවල්ට ෆීනික්ස් එකේ වැඩ කරන 'සිරා' රෑට ' 'ඇත්ත' පත්තරේ වැඩ ය.
 
එකල ලංකා බැංකුවේ ප්‍රචාරක කටයුතු කළේ ෆීනික්ස් ආයතනයයි.
 
දිනක් එවකට මුදල් ඇමැතිවරයා වූ රොනී ද මැල්ට එරෙහිව 'ඇත්ත' පත්තරේ ප්‍රවෘත්තියක් පළ විය.
 
ග්‍රාන්ට්ස් ප්‍රචාරක ආයතනයේ ලොක්කා වූ රෙජී කන්දප්පා මෙය අර්වින්ගේ අනුග්‍රහයෙන් සිදුවූවක් ලෙසට රොනී ගේ කණේ කේළම තැබුවේය.
 
එසැණින් ලංකා බැංකු ගිණුම අර්වින් ගෙන් ගලවා කන්දප්පාට දෙන ලදි. 
 
මෙයට අදාළ සියලු සාක්කි අදටත් අර්වින්ගේ පුස්තකාලයේ සුරැකිව පවතින බවට සැකයක් නැත.
 
සංවර්ධන ලොතරැයි මණ්ඩලය ෆීනික්ස් ආයතනයට හිමි 15% කොමිස් මුදල අඩු කිරීමට උත්සාහ දරද්දී අර්වින් නිකම් සිටියේ නැත.
 
මෙම 15% කොමිස් මුදල ප්‍රචාරක ආයතනයක් සතු අයිතිවාසිකමක් බවත්, එයට අත තැබීමට කිසිවෙකුටවත් නොහැකි බවත් ඔහු උසාවිය හමුවේ කියා සිටියේය.
 
සති 2 කට සංවර්ධන ලොතරැයිය අළෙවි කිරීම නවතාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කෙරිණ.
 
මේවා ශ්‍රී ලංකා දැන්වීම් ඉතිහාසයේ නොමැකෙන මංසලකුණු ය.
 
අද දැන්වීම් ආයතන මෙහෙයවන හැලපයන් මේ ඉතිහාසය දන්නේ නැත.
 
එදා අර්වින් සටන් කළේ ෆීනික්ස් එක වෙනුවෙන් පමණක් නොව සමස්ත දැන්වීම් ක්ෂේත්‍රයම වෙනුවෙනි.
 
එහෙත් ඇතැම් දැන්වීම් ආයතන ප්‍රධානීන් සියතින්ම ගෙල සිඳගනිමින් මෙම කොමිස් මුදල කප්පාදු කරගෙන තම සේවාවන් සැපයීමට එකඟ විය.  48422852 762844237395365 6463189889373437952 n
 
ඇන්කර් ප්‍රචාරක දැන්වීම් මුල් කාලයේ කළේ ෆීනික්ස් ආයතනයයි.
 
එවක ලින්ටාස් ආයතනයේ ප්‍රධානී ලිලාමනී ඩයස් කළේ 7% ක කොමිස් මුදලකට සේවය ලබාදීමට එකඟව ඇන්කර් ගිණුම ෆීනික්ස් වෙතින් ලබාගැනීමයි.
 
එදා වේල පිණිස කළ මෙවැනි තුට්ටු දෙකේ පාවාදීම්, දීනකම් නිසා වළපල්ල බලා යෑමට දේශීය දැන්වීම් කලාවට සිදුවිය.
 
ජාතික රූපවාහිනීයේ සැළලිහිණියා නිර්මාණය වූයේ ෆීනික්ස් එක ඇතුලේය.
 
ජාතික රූපවාහිනීය ඒ ගෞරවය නොදෙන විට අර්වින් කළේ එහි නිර්මාණ ශිල්පියා වූ නෙවිල් පෙරේරා ද කැටුව උසාවි යෑම යි.
 
ප්‍රශ්නය නිරාකරණය වනතුරු රූපවාහිනීයේ සැළලිහිණියා සලකුණ ගැලවිණ.
 
අර්වින් ඒ ජාතියේ බඩුවකි.
 
පසුකාලීනව අර්වින් විසින් ෆීනික්ස් ආයතනයේ බහුතර කොටස් අයිතිය ජාත්‍යන්තර ප්‍රචාරක ආයතනයක් වූ ඔගිල්වි ආයතනයට අලෙවි කරනු ලැබීය.
 
ඔගිල්වි ආයතනය මිලදී ගත්තේ ෆීනික්ස් කොටස් පමණක්ම නොවේ.
 
අර්වින් ‍සතු ඇතැම් මනුස්සකම් ද ඒ සමග මිලදී ගනු ලැබීය.
 
අර්වින් බොහෝ මිනිසුන් සමග තරහ ය.
 
බොහෝ මිනිසුන් ද අර්වින් සමග තරහ ය.
 
එසේ වුවත් අර්වින් මෙරට දැන්වීම් ක්ෂේත්‍රයට කළ යුග මෙහෙවර ඒ සියල්ලටම ඉහළින් වැජඹෙනු ඇත.
 
 
(ඇටමැස්සා)
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...