BREAKING
Top Ad
ඇට මැස්සා

තනි මම කුම් කරම් ජාතිය කළ පවට...! ඇටමැස්සා (67)

T

The Leader

December 1, 2020 • 2:00 AM

තනි මම කුම් කරම් ජාතිය කළ පවට...!  ඇටමැස්සා (67)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉහත දැක්වෙන පද පේළිය එන්නේ වික්ටර් ‍රත්නායක ගායනා කරන ගීතයක.
  • අපේ කටට හුරු බොහෝ රාජ්‍ය ආයතන, බැංකු, මාධ්‍ය ආයතන, පුවත්පත්, වෙළෙඳ සංවිධාන ආදියට එ තුමන් විසින් නම් තබනු ලැබූ බව අද ඒ ආයතනවල සේවකයින් වත් නොදන්නවා ඇති.
  • එහෙත් ඔහුගෙන් ලැබුනේ මෙවන් ප්‍රකාශයක්.
  • ඔබ කරන කාර්යයට ඔබේ භාෂාව හරි." ඔහු ඕනෑම පරපුරක් හා ගනුදෙනු කළ හැකි සදාකාලික යෞවනයෙක් බව මට එදා වැටහුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇටමැස්සා මේ පද ටික අද මාතෘකාව ලෙස ගන්නේ වික්ටර් ගැන කතා කරන්න නෙවෙයි.
( වික්ටර් ගැන දැන් කතා කරන්න දෙයක් නෑ. )

අපේ උත්සාහය මේ පද ටික ඇමිණූ රචකයා ගැන කතා කරන්නයි.

ඔහු අරිසෙන් අහුබුදු .

අද පරපුර ඔහු හදුනන්නේ ළමයින්ට නම් දාපු කෙනෙක් හැටියට විතරයි.

අපට මඟතොටේ, වැඩපොළේ හමුවෙන බොහෝ දෙනෙකුට නම් දාලා තියෙන්නේ අහුබුදු මහත්තයා.

ඒත් ඒ නම් භාවිතා කරන බොහෝ දෙනෙකු තමන්ට නම් දීලා තියෙන්නේ මොන තරම් ශ්‍රේෂ්ඨ පඬිවරයකු ද කියලා දන්නේ නෑ.

කලාසූරී අරීසෙන් අහුබුදු යනු කීර්තිමත් ලේඛකයෙක්.

දේශකයෙක්.

නාට්‍ය අධ්‍යක්ෂවරයෙක්.

සිංහල ගී පබඳුවෙක්.

කවියෙක්.

ගත්කතුවරයෙක්.

ගුරුවරයෙක්.

දෛ‌වඥයෙක්.

මෙහෙම දිග ලිස්ට් එකකින් හඳුන්වා දෙන්න පුළුවන් වෙන කාවද..?

තමුන්ට නමක් දීලා තියෙන්නේ මොන තරම් විශිෂ්ට පුද්ගලයකු ද කියලා නොහැඳිනීම තමයි රටේ අවාසනාව.

තව තියෙනවා කියන්න.

අරිසෙන් අහුබුදු තෙ වරක් රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලැබූවෙක්.

ශ්‍රී ලංකා රජයෙන් පිරිනැමෙන කලාසූරී ගෞරව නාමය ඔහුට හිමිවුණා.

හොඳ ම චිත්‍රපටි ගී පැබැඳුම සඳහා සරසවි සම්මානයෙන් ද පුද ලැබුවා.

අපේ කටට හුරු බොහෝ රාජ්‍ය ආයතන, බැංකු, මාධ්‍ය ආයතන, පුවත්පත්, වෙළෙඳ සංවිධාන ආදියට එ තුමන් විසින් නම් තබනු ලැබූ බව අද ඒ ආයතනවල සේවකයින් වත් නොදන්නවා ඇති.

අහුබුදු මහත්තයා මට කිහිප වාරයක්ම හමුවී තිබුනා.

ඔහුගේ භාෂා ශෛ‌ලියට සපුරා වෙනස් භාෂා ශෛ‌ලියක් මම භාවිතා කළේ.

මම බලාපොරොත්තු වුණේ දරුණු විවේචනයක්.

එහෙත් ඔහුගෙන් ලැබුනේ මෙවන් ප්‍රකාශයක්.

" මා කරන කාර්යයට මගේ භාෂාව හරි.
ඔබ කරන කාර්යයට ඔබේ භාෂාව හරි."

ඔහු ඕනෑම පරපුරක් හා ගනුදෙනු කළ හැකි සදාකාලික යෞවනයෙක් බව මට එදා වැටහුණා.

1947 අවුරුද්දේ දී විශේෂ යමක් සිදු වුණා.

සුනිල් ශාන්තයන් ගෙන් අහුබුදු මහත්තයාට ආරාධනාවක් ලැබෙනවා.

ඒ ලංකා ගීය ලිවීම සඳහා යි.

" ලංකා ලංකා
පෙම්බර ලංකා
පිනවමු ඔබ ලංකා ...
හොබවමු ඔබ ලංකා
දිවි දී....
සුරකිමු ඔබ ලංකා ..."

අපේ නිල නොලත් ජාතික ගීය වූ ' ලංකා ලංකා ' ගීතය බිහිවුණේ එලෙසිනුයි.

අහුබුදු මහත්තයා කියන්නේ තම මව්බිමට පුදුමාකාර ලෙස ආදරය කළ මිනිසෙක්.

ඔහු ලියූ, කියූ, හැදූ දෑ ඊට සාක්කියි.

වික්ටර් ‍රත්නායක ගායනා කරන මේ ගීතය ඔහුගේ දේශප්‍රේමිත්වය කියාපාන හොඳ නිදසුනක්. ( දේශප්‍රේමි කිව්වම NGO ප්‍රේමීන්ගේ ලේ කුපිත වෙන්න පුළුවන් )

මෙන්න ගීතය.

" ගොළු මුහුදේ මුතු ඇටේ
දහම් ආකරේ...
රුවන් දෙරණ මිහිතලේ
උපන් බිම අපේ....
රකිමු වවමු පණ වගේ
හේළි ලංකා ...
රකිමු වවමු පණ පුදා
හේළි ලංකා ....

වෙහෙර අහස සිඹින ඒ
වැව් පෙළ සයුරු
ගලට ලෙනට එළිය දුන්
කැටයම් මහ රූ
හේළී ලංකා හේළි ලංකා ..."

බයිලා ඕන නම් අහුබුදු මහත්තයා බයිලත් ලිව්වා.

කට්ටිය දෙකක් දාගත්තම අදත් කියන 'පෘතුගීසිකාරයා රටවල් අල්ලන්න සූරයා' සිංදුව ලිව්වෙත් අහුබුදු උන්නැහේ.

1960 තිර දක්වපු සංදේශය චිත්‍රපටිය වෙනුවෙන් අහුබුදු ශූරීන් මේ ගීය රචනා කළේ.

ඒ විතරක් නෙවෙයි ඔහු සංදේශය චිත්‍රපටියට ගැමි කරත්ත කවියේ විරිත උපයෝගී කර ගනිමින් තවත් අපූරු නිර්මාණයක් කරනවා.

" කටේ කිරි සුවද යන්නට
පවා බැරි වුණා
යුදට උපන් කුමරිඳු යැයි
නමක් ඇති වුණා

මුල්ලෙරියා වෙලෙහි වතුර
ලෙයට හැරවුණා
ටිකිරි කුමරු රාජසිංහ
නමින් රජ වුණා....."

මේ ගීත අදටත් රසවිඳින්න පුළුවන් ගීත.

ඔහු ලියුවේ අපේ ලේ මස් නහර තුලට ජාතිකත්වය කවන ගීත. ( ඔන්න ආපහු NGO බැලයෝ ෆෝම් වෙන්න පුළුවන් )

දවසක් රූපවාහිනී වැඩ සටහනක සී. ඩී. ෆොන්සේකා හා දියණිය ගායනා කළ අහුබුදුවන් රචනා කළ ' සමන් වැලේ මල් ජයට පිපීලා' ගීතය ප්‍රචාරය වුණා.

මේක දුටු අමරදේවයන් පැවසුවේ " මං අදයි දන්නේ මේ ගීය අහුබුදුවන් ගේ කියලා ..."

මේකයි ඇත්ත.

බොහෝ දෙනා අහුබුදුවන් ව හඳුනන්නේ නැහැ.

ඔහුගේ නිර්මාණ හඳුනන්නේ නැහැ.

අහුබුදුවන් 1952 සිට 1979 විශ්‍රාම යන තෙක් එක දිගට වසර 29 ක් සේවය කළේ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ සිංහල ගුරුවරයා හැටියට .

හෙළයේ මහා නළු ගාමිණී ෆොන්සේකා ඇතුළු ශාන්ත තෝමස් විදුහලේ ශිෂ්‍ය පරම්පරා ගණනකගේ සිංහල ගුරුවරයා වුණේ මෙතුමා.

ඔහු අමරදේව වෙනුවෙන් මෙහෙම ගීයක් ලියනවා.

" අතු අගැ දිළි වන මල් පිපෙන්නා
විඳැ විඳැ සඳ සිහිලැල්
මසිත් ඔබ හද සිහිලැල් ලබාලා
පරයයි ඒ හැම මල්

දෝතළු තුරු එළි වැල් එළෙන්නා
කොහි එගසින් අත් වැල්
මට ඇති ඔබ අත්වැල් වෙළෙන්නෙමි
මම ඔබ හා හැමකල්..."

ඒ වුණත් අමරදේවට ඒක මතක තිබුනේ නෑ.

2004 අවුරුද්දේ මැයි 27 වැනිදා එල්ෆින්ස්ටන් රඟහලේ අහුබුදුවන් ගේ කලා ජීවිතයට වසර 70 ක් සපිරීම නිමිත්තෙන් ප්‍රසංගයක් පැවැත්වුණා.

ඒ නිමිත්තෙන් අහුබුදුවන් ගේ ගීත අඩංගු CD තැටියක් නිකුත් කෙරුණා.

ඒ සදහා අමරදේවයන් ගායනා කළ මේ ගීතයත් තෝරාගෙන තිබුනා.

" සක්විති කිත් රැස යුත් සිරි ලංකා
වික්මැති පුත් පෙළ ලත් සිරි ලංකා
සෙත් සිරි ලංකා
සෙත් සිරි ලංකා
සසිරි අසිරි සිරිනී
සිරි ලංකා....

රන් ගොයමින් පැහැ
ගෙන බබලන්නී
ගංගා ඇළ දොළ
සේල අඳින්නී
සදහම් මිණි කැන්
බෙදමින් යන්නී

අමළ කොමළ ලලනී
සිරි ලංකා
මිහිරි රුසිරි කුමරී
සිරි ලංකා
සසිරි අසිරි සිරිනී
සිරි ලංකා..."

ඒත් මේ ගීතය CD තැටියේ අඩංගු වුණේ නෑ.

අමරදේව සුපුරුදු පරිදි පටිගත කරන දිනයේ පොල්ල තිබ්බා.

හැම දේටම සල්ලි ඉස්සර කරගන්න අමරදේව ගේ නෝනා ඒකට හේතුව වූ බව පසුව ආරංචි වුණා.

ලතා වල්පොලට පමණක්ම ගැයිය හැකි මේ නැලැවිලි ගීතය ලියුවෙත් අහුබුදුවන්.

" සුදට සුදේ වළාකුළයි
නිල අහසේ පාවෙන්නේ
කන්ද උඩින් පණිවිඩයයි
පුතුට මගේ ගෙන එන්නේ ...

සුරංගනාවනුයි වළා කුළ ඔසවා
ගෙන එන්නේ
හඳ මාමයි සිනා සිසී
රිදී පාන අල්ලන්නේ...

දොයි දොයි දොයිය පුතා
බයි බයි බයිය පුතා..."

උමාරියා එහෙම මේක කිව්වා නම් නිදාගෙන ඉන්න පොඩි එකා බයවෙලා ඇහැරෙනවා.

ඇත්තෙන්ම අහුබුදු කියන්නේ අසිරිමත් පුද්ගලයෙක්.

අපේ රටට, දැයට අනුපමේය මෙහෙවරක් කළ පඬිවරයෙක්.

එහෙත් දැයක් වශයෙන් අප පෙරළා ඔහුට ආදර ගෞරව දක්වා තිබේද?

විමසිය යුතු පැණය එයයි.

" ව්ළාකුළින් බැස
  සමන් කුළත් වැඳ 
  එලෝ බලා යනවා...

අනේ මගෙන් වැඩ 
ගනිවි ගනිව්
හඬ හඬා ඔහේ යනවා...

දැවේ දැවේ බිම්
 දි දී රහස් දුම්
 බැලූ බැලූ සැමතේ

යවව් යවව් මා
එහේ මෙහේ හා
ගිමන් නිවා පොළොවේ ..."

වසර 91 ක් ආයු වළඳා අහුබුදුවන් ද එලෙසින්ම 2011 මැයි 26 වැනිදා නික්ම ගියේය .
 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...