BREAKING
Top Ad
ඇට මැස්සා

අවුසදහාමි - ඇටමැස්සා (73)

T

The Leader

December 9, 2020 • 2:26 AM

අවුසදහාමි - ඇටමැස්සා (73)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  •   සත්‍ය වශයෙන්ම සිංහල නමක්.
  •   මට ඔහු මුලින්ම හමුවෙන්නේ 1991 වසර මැද භාගයේ දී, පොළොන්නරුවේ දී.
  •   " ඇත්ත වහන්න බෑ...!"   අවුසදහාමි නියෝගය ප්‍රතික්ෂේප කළා.
  •   ඇත්තටම දෙමළ මහා සෑයේ සැබෑ පාදම තියෙන්නේ රෝලන්ඩ් බැඳපු ගල් බැම්මට අඩි 12 ක් විතර ඈතින්.
අකුරු ප්‍රමාණය (Font Size):
 
අපූරු නමක්.
 
සත්‍ය වශයෙන්ම සිංහල නමක්.
 
පරම්පරාවෙන් පරම්පරාවට පැවතීගෙන ආ නමක්.
 
සමහර විට අපේ පරම්පරාවෙන් පසු අවසන් වන නමක්.
 
ඔහුගේ සම්පූර්ණ නම උදුල බණ්ඩාර අවුසදහාමි.
 
අපි කෙටියෙන් කිව්වේ 'අවුස් ' කියල.
 
මට ඔහු මුලින්ම හමුවෙන්නේ 1991 වසර මැද භාගයේ දී, පොළොන්නරුවේ දී.
 
අවුසදහාමි මට හමුවෙන විට ඔහුව රැකියාවෙන් ඉවත් කරලයි තිබුනේ.
 
ඔහුගේ රැකියාව අහිමි කළේ සංස්කෘතික ත්‍රිකෝණයේ අධ්‍යක්ෂ ජනරාල්ව සිටි නිධන් කොල්ලකරුවන් ගෙන් පස්සේ මේ රටේ පුරාවස්තුවලට වැඩිම හානියක් කරපු රෝලන්ඩ් සිල්වා.
 
ඔහු කළ වරද වුණේ 'සත්‍ය ' පාදා ගැනීම.
 
කතන්දරේ මේකයි.
 
 උදුල බණ්ඩාර අවුසදහාමි වැඩ කළේ සංස්කෘතික ත්‍රිකෝණයේ සංරක්ෂණ නිලධාරියකු හැටියටයි .
 
කැණීම් කරගෙන යද්දී ඔහු තමයි දෙමළ මහා සෑයේ නිවැරැදි පාදම හොයා ගත්තේ.
 
හැබැයි ඒ වෙනකොට රෝලන්ඩ් සිල්වා වෙන ස්ථානයක් පාදම හැටියට හඳුන්වා දීලා දෙමළ මහා සෑය වටේ ගඩොල් කෝටියක් විතර දාලා බැම්මකුත් බැඳලා ඉවරයි.
 
නිවැරැදි පාදම පෙන්නුම් කළාම රෝලන්ඩ් සිල්වා මොකද කළේ?
 
වහාම ඒක පස් දාලා වහන්න කියලා  අවුසදහාමි ට නියෝග කළා.
 
" ඇත්ත වහන්න බෑ...!"
 
අවුසදහාමි නියෝගය ප්‍රතික්ෂේප කළා.
 
රෝලන්ඩ් සිල්වා අවුසදහාමි සේවයෙන් ඉවත් කරලා පස් දාලා  දෙමළ මහා සෑයේ සැබෑ පාදම වැහුවා.
 
ඇත්තටම දෙමළ මහා සෑයේ සැබෑ පාදම තියෙන්නේ රෝලන්ඩ් බැඳපු ගල් බැම්මට අඩි 12 ක් විතර ඈතින්.
 
අදටත් රෝලන්ඩ් වහපු සැබෑ පාදම උඩ හිටගෙන අපි දෙමළ මහා සෑය වන්දනා කරනවා.
 
දෙමළ මහා සෑය කියන්නේ අපේ ඉංජිනේරු තාක්ෂණයේ විශිෂ්ට නිර්මාණයක්.
 
රවුම් හැඩයේ පාදමක් තියෙන ස්ථූප අපේ රටේ විරලයි.
 
දෙමළ මහා සෑය සෑදුවා නම් එය ලෝකයේ විශාලතම ස්ථූපය බවට පත් වෙන්න තිබුනා. 
 
අවුසදහාමි සටන් කළේ අපේ උරුමය වෙනුවෙන්.
 
අපේ පුරාවස්තු මතු පරපුරට දායාද කර දීමේ අරමුණින්.
 
ඔහුව රැකියාවෙන් ඉවත් කළත් ඔහු සටනින් ඉවත් වුණේ නෑ.
 
අපි දන්නවා පරණවිතාන මහත්තයා කැණීම් කළේ හැන්දක් උපයෝගී කරගෙන බව.
 
ඒත් රෝලන්ඩ් සිල්වා කියන කාපාළුවා රන්කොත් වෙහෙරේ කැණීම් කළේ බැකෝ යන්ත්‍රයක් උපයෝගී කරගෙන.
 
මෙහෙම කරන්න පුළුවන් පුරාවිද්‍යාව ගැන මෙලෝම හසරක් නොදන්නා මැටි මෝල් මී හරකෙකුට විතරයි.
 
අපේ ඉතිහාසය වනසන්න ජේ.ආර්. පාවිච්චි කළේ මේ වගෙ මිනිස්සුත්ව.
 
රන්කොත් වෙහෙරට බැකෝ යොදපු ජායාරූප අවුසදහාමි සතුව තිබුනා. 
 
ඒවා ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා. 
 
ඒත් මේවා බාරව සිටි මල්වතු- අස්ගිරි පාර්ශ්වයන් හාන්සි පුටුවලට වෙලා නිඳා ගත්තා මිසක් ඊට එරෙහිව යමක් කළේ නෑ.
 
යම් උණුසුම් තත්ත්වයක් මතුවෙන කොටම රෝලන්ඩ් ගිහින් මල්වතු- අස්ගිරි දෙපළ හමුවෙලා සංස්කෘතික ත්‍රිකෝණයෙන් මුද්‍රණය කරපු පොත් ටිකක් පරිත්‍යාග කරලා එනවා.
 
කතාව එතැනින් ඉවරයි.
 
තිවංක පිළිමගෙයි චිත්‍රවලට රෝලන්ඩ් කරන්න හදපු අපරාධය රටට හෙළි කරන්න මඟ පෑදුවේ අවුසදහාමි.
 
තිවංක පිළිමගෙයි හදන්නේ සීගිරිය හදලා අවුරුදු 700 කට විතර පස්සේ.
 
මහා පරාක්‍රමබාහු ‍රජතුමාගේ කාලේ දී.
 
තිවංක පිළිමගෙයි චිත්‍ර තමයි අපට මහා කලා සම්ප්‍රදායයක් තිබුණු බව කියවෙන හොඳම සාධකය.
 
රෝලන්ඩ් සිල්වා හිතාමතාම තිවංක පිළිමගෙයි වහළ හැදුවෙ අර චිත්‍රවලට වැහි වතුර වැටිලා විනාශ වෙලා යන විදියට.
 
මේ ගැන කොයි තරම් පත්තරවල විස්තර පළ වුවත් ඒ කාලේ සංස්කෘතික ඇමැතිව උන්නු 
වි. ජ. මු. ලොකුබණ්ඩාර රෝලන්ඩ් සිල්වා ඉදිරියේ හැසිරුණේ නපුංසකයකු වගේ.
 
මේ ඉතිහාසය ගැන නොදන්නා මහින්ද ඉලේපෙරුමලා තාම රෝලන්ඩ් ගේ පස්ස පැත්ත හෝද හෝද පත්තරේ ෆුල් පේජ් ආර්ටිකල් දානවා.
 
කතුකමටත් ලැජ්ජයි.
 
අවුසදහාමි සටන් කළේ පුරාවස්තු ‍රැකගන්න විතරක් නෙවෙයි.
 
එහි මුහුණුවර වෙනස් නොකර රැකගැනීමටත් ඔහු කැප වුණා. 
 
මේ පුරාවිද්‍යා ස්මාරක අයිති අපට විතරක් නෙවෙයි.
 
අපෙන් පස්සේ එන පරම්පරාවලටත් අයිතියි.
 
අද පරම්පරාව පුරාවිද්‍යා ස්මාරකවල මුහුණුවර වෙනස් කළොත් මතු පරපුරට ඒවා ගවේෂණය කරන්න තියෙන ඉඩ ඇහිරෙනවා.
 
රෝලන්ඩ් කළේ අපේ පුරාවිද්‍යා ස්මාරක මත ඔහුට හිතෙන හිතෙන නව නිර්මාණ ඉඳිකිරීමයි.
 
ඉතිහාසය කොන්ක්‍රීට්වලින් වහන එකයි රෝලන්ඩ් කළේ.
 
තාමත් රෝලන්ඩ්ට මුට්ටිය අල්ලලා ලියන බෝතල් පත්තරකාරයෝ ලියන්න කලින් මේවා ගැන හොයලා ඉන්න ඕන.
 
අපේ පුරාවිද්‍යා ස්ථාන අතරින් සෙසු ඒවාට සාපේක්ෂව පොළොන්නරුවේ පුරාවිද්‍යා ස්මාරක මේ තරමින් හෝ සුරැකී ඇත්තේ එදා අවුසදහාමි කළ අරගලය නිසයි.
 
අවුසදහාමි ගෙන් පසු මාදුරුඔය ධම්මිස්සර හාමුදුරුවෝ සටනට බැස්සා.
 
මෙයට මුල් වූ තවත් පිරිසක් හිටියා.
 
ඔවුන් හෙළි නොකරන්නේ ඔවුන්ගේ ආරක්ෂාවට.
 
මම වරෙක අවුසදහාමිගේ ගෙදරට ගියා.
 
එවකට ඔහු පදිංචිව සිටියේ රොටවැව ප්‍රදේශයේ.
 
ගෙදර බිත්ති පුරාම විතරක් නෙවෙයි පොළොවේත් තිබුනේ ඔහුගේ පුතා ඇඳපු චිත්‍ර.
 
ඔහු ඊට ඉඩ දීලා තම පුතාට කිව්වේ ' කවදාහරි මිනිහෙක් වෙයන් කියලයි...'
 
ඒ අවුසදහාමි කියන්නේ මේ මහ පොළොවේ පය ගහලා ජීවත් වුණු මිනිසෙක් නිසයි.
 
ඉඳ හිට පොළොන්නරුව පූජා භූමියේ සැරිසරන විට මට නිරතුරුවම උදුල බණ්ඩාර අවුසදහාමි සිහිපත් වෙනවා.
 
ඔහුගේ ලේ කකියවන හඬ ඇහෙනවා.
 
ඔහු නොහිටින්න රෝලන්ඩ් සිල්වා පොළොන්නරුවේ පුරාවස්තු මීට වඩා වනසලා.
 
උදුල බණ්ඩාර අවුසදහාමි හෙවත් ' අවුස් '
 
ඔබට ස්තූතියි !
 
(ඇටමැස්සා)
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...