BREAKING
Top Ad
ඇට මැස්සා

ලංකාවේ එල්විස් ප්‍රෙස්ලි ! -ඇටමැස්සා (75)

T

The Leader

December 11, 2020 • 1:48 AM

 ලංකාවේ එල්විස් ප්‍රෙස්ලි ! -ඇටමැස්සා (75)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජීවිතය කියන්නේ සබඳතා ගොන්නකට.
  •   ක්ලැරන්ස් " මූන්ස්ටෝන්ස්" සංගීත කණ්ඩායම ආරම්භ කරන කොට ඔහුගේ  වයස අවුරුදු 21 යි.
  •   1968 අවුරුද්දේ ඔවුන්ගේ පළමු  EP තැටිය,    'මංගො නැන්දා' පිලිප්ස් ලේබලය යටතේ නිකුත් වෙනවා.
  •   ඒ කාලේ පිටපත් 5000 ඉක්මවා එය අළෙවි වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
සබඳතා ඇරඹෙන්නේ මනුස්සයින්ගෙන්.
 
ඒ මිනිසුන් අද අප අතර නැති වුණත් ඔවුන්ගේ මිහිරි මතක තවමත් අප අතර ශේෂව පවතිනවා.
 
ක්ලැරන්ස් විජේවර්ධන කියන්නෙත් ඒ වගේම මිහිරි මතකයක්.
 
සිංහල පොප් සංගීතයේ මුල් පිටුව පෙරළපු මනුස්සයා තමයි ක්ලැරන්ස්.
 
හැබැයි ක්ලැරන්ස්ට වුණෙත් ජෝතිපාලට වෙච්ච දේමයි.
 
අපි ක්ලැරන්ස්ව හොයන්න පටන් ගන්නේ ඔහු මිය ගියාට පසුවයි.
 
ක්ලැරන්ස් " මූන්ස්ටෝන්ස්" සංගීත කණ්ඩායම ආරම්භ කරන කොට ඔහුගේ  වයස අවුරුදු 21 යි.
 
WhatsApp Image 2020 12 11 at 10.17.42 AM
 
ක්ලැරන්ස්ලාට ඉඩ හදලා දුන්නේ ගුවන් විදුලියේ ඉංග්‍රීසි සේවය.
 
"Saturday Star" වැඩ සටහනින් තමයි "මූන්ස්ටෝන්ස්"  කණ්ඩායම එළියට එන්නේ.
 
1968 අවුරුද්දේ ඔවුන්ගේ පළමු  EP තැටිය, 
 
'මංගො නැන්දා' පිලිප්ස් ලේබලය යටතේ නිකුත් වෙනවා.
 
ඒ කාලේ පිටපත් 5000 ඉක්මවා එය අළෙවි වෙනවා.
 
ඊට පස්සේ ක්ලැරන්ස් "සූරිය" ලේබල් අධිපති ජෙරල්ඩ් වික්‍රමසූරිය මහතා සමග එක් වෙනවා.
 
"මූන්ස්ටෝන්ස්"  කණ්ඩායමේ හොඳම ගීත එකතුව එළිදකින්නේ සූරිය ලේබලය යටතේ.
 
1970 අවුරුද්දේ ක්ලැරන්ස් මූන්ස්ටෝන්ස් කණ්ඩායමෙන් සමුගන්නවා.
 
හැබැයි ඒ නිකම් නොවෙයි, " දිලීප පොඩි පුතු" ගායනා කරමින් එතෙක් මෙතෙක් නොඇසූ හඬක් සිංහල සංගීත ක්ෂේත්‍රයට දායාද කරමින්.
 
1970 දි ක්ලැරන්ස් නව සංගීත කණ්ඩායමක් බිහි කරනවා. 
 
ඒ, " ගෝල්ඩන් චයිම්ස්" නමින්.
 
ක්ලැරන්ස් "ගෝල්ඩන් චයිම්ස්" සමගින් වෘත්තීමය ලීඩ් ගිටාර් වාදකයකු රටට හඳුන්වා දෙනවා. 
 
ඔහු, ඩික්සන් ගුණරත්න යි.
 
මීට අවුරුදු ගණනකට පස්සේ වැල්ලවත්තේ රාමක්‍රිෂ්ණා ශාලාවේ " ගෝල්ඩන් චයිම්ස්" ප්‍රසංගයක් පැවැත්වෙනවා.
 
මේක නරඹන්නට "මූන්ස්ටෝන්ස්"  කණ්ඩායමේ ක්ලැරන්ස් ගේ දීර්ඝකාලීන මිතුරා, ඇනස්ලි මාලේවන පැමිණෙනවා.
 
ප්‍රසංගය අවසානයේ ක්ලැරන්ස්, ඇනස්ලි, ඩික්සන්  දෙහිවල පර්ලින් බාර් එකේ හමුවෙනවා.
 
ක්ලැරන්ස් ගේ කණ්ඩායම් සංගීත ජීවිතයේ උපරිමය සනිටුහන් කළ "සුපර් ගෝල්ඩන් චයිම්ස්" සංගීත කණ්ඩායමේ උපත එයයි.
 
මේ නම දෙන්නේ "සූරිය" ලේබල් අධිපති ජෙරල්ඩ් වික්‍රමසූරිය මහතායි.
 
ඊට හේතුව වන්නේ "ගෝල්ඩන් චයිම්ස්"  කණ්ඩායමේ අයිතිය ලංකිකා හා චානක පෙරේරා සතුව පැවැතිමයි.
 
 GC
 
1973 ක්ලැරන්ස් කණ්ඩායමෙන් ඉවත් වු පසුව ලංකිකා හා චානක පෙරේරා ප්‍රේමකීර්ති ද අල්විස් ලවා ක්ලැරන්ස්ට ඇනුම් පද එල්ල කරමින් ගීතයක් කරනවා.
 
මේකයි ගීතය.
 
" සුළඟ සමග එකතු වෙලා
කිව්වට සුල මුල
ගසට බැරිය දළු දමන්න 
නැතුව මුදුන් මුළ...."
 

මේක ගායනා කළේ අනිල් භාරතී.
 
ක්ලැරන්ස් රණ්ඩු කරන්න ගියේ නෑ.
 
 
"සුපර් ගෝල්ඩන් චයිම්ස්" කණ්ඩායම හරහා ඔහු  ඊට පිළිතුරු දුන්නේ මෙලෙසින්.
 
" ගහ දන්නා අය හට කොළ පාලා
 සමහරු ගොරවනවා....
 ඒ ගොරවන හඬ ඇසුනත් නොසැලී 
මහ කඳු පවතිනවා...
සතුරන් නොම වී
මිතුරන් සැම වී
පෙරටම පය තබමු...
බොරු බස් හැරදා ගත සිත වෙරදා
පෙරටම පය තබමු..."
 
ක්ලැරන්ස් ඔහුට නැගූ අවලාදවලට අවලාදවලින්ම උත්තර දෙන්න ගියේ නෑ.
 
හැබැයි දුන්නේ කට උත්තර නැති වෙන පිළිතුරක්.
 

 
ලංකාවේ ප්‍රථම කැසට් පටය වූ මිල්ටන් මල්වාරච්චිගේ ' Any Time Any Where' කැසට් පටය 'තරංගා' ලේබලය යටතේ නිකුත් කරද්දී ක්ලැරන්ස් මිල්ටන් වෙනුවෙන් අපූරු නිර්මාණ කිහිපයක්ම කරනවා.
 
සිංග්ලංකා සමාගම උදෙසා ලංකාවේ ප්‍රථම බහුකාර්‍යය ශබ්දාගාරය බිහිවෙන්නේ ක්ලැරන්ස් ගේ මෙහෙයවීමෙන්.
 
ඒ ඔහු සංගීත ඥානයට අමතරව තාක්ෂණික ඥානයෙන් ද සන්නද්ධවී සිටි නිසයි.
 
ක්ලැරන්ස් ස්වත්‍රන්ත නිර්මාණවලට අමතරව ගීත රැසක් ප්‍රතිනිර්මාණය කළා.
 
ඔහු චිත්‍රා සෝමපාල සමගින් ' කුරුළු ගමේ' ගීතයට නව ජීවයක් දුන්නා.
 

' සිරි බුද්ධගයා විහාරේ' ගීතය අමරදේව හා රුක්මණී දේවි ලවා යලි ප්‍රතිනිර්මාණය කළා.
 

 සිළුමිණි සෑය වදිම්' ගීතය අප බයිලා ගායකයකු ලෙස හංවඩු ගසා ඇති නිහාල් නෙල්සන් ලවා අපූරුවට ගැයෙව්වා.
 

 
නන්දා මාලිනි ගැයූ 'මල් මල් හීනය' ගීතය පෝලන්ත ගායිකාවක් වූ ජනීනා ලවා ගායනා කර ඊට වෙනස් වර්ණයක් එක් කළා.
 
 

 මේ ගායනා කරන්නේ ජනීනා නම් පෝලන්ත ගායිකාවයි.
 
සූරිය ලේබලය යටතේ නිකුත් වූ මේ ගීතය සංගීතවත් කළේ ක්ලැරන්ස් .
 
ක්ලැරන්ස්, ඉන්ද්‍රානි පෙරේරා සමගින් ' ඕලු මලේ සුදෝ සුදෝ' ගීතය නවීකරණය කළා.
 
පැරණි රසයත්, තනුවත්, සංගීතයත් නොමරා මේ ගීත නව පරපුර වෙත ඔහු දායාද කළේ අපූරු කුසලතාවයකින්.
 
දැන්වීම් ක්ෂේත්‍රය තුලත් ක්ලැරන්ස් පෙළහර පෑවා.
 
ඩොට් ටොෆි, බාටා, බ්‍රිස්ටල්  සිගරැට් , තුල්ටෙක්ස්,හැක්ස් , දසුන චිත්‍රකතා පත්තරය, සංවර්ධන ලොතරැයි මණ්ඩලය, ඉලාස්ටෝ, සිංගර් ඔහු නිර්මාණකරණයෙන් දායක වූ භාණ්ඩ හා සමාගම් කිහිපයක්.
 
ඉස්සර අපි හැම ඉරිදාම රෑ 8.15 ට ගුවන් විදුලියේ දෙවැනි සේවයට කණ තියාගෙන ඉන්නේ ප්‍රේමසර ඈපාසිංහ ඉදිරිපත් කරන ක්‍රීඩා තොරතුරු අහන්න.
 
ඒ කාලේ රූපවාහිනී කියන වචනයවත් අහලා නෑ.
 
වැඩ සටහන ඇරඹෙන්නේ ක්ලැරන්ස් ගේ මේ ජිංගල් එකෙන්.
 
" නවලොව කවදත් කාගෙත් කොහිදිත්
සිත්ගත් සිගරැට් බ්‍රිස්ටල් ...
ගෙය දොර තැබු කල් මල් මල් හසරැල්
බිහිවෙයි හැමකල් බ්‍රිස්ටල් ....
 රසෙනුත් ඉහළයි  පදමත් කදිමයි 
මිලෙනුත් නියමයි බ්‍රිස්ටල් ....
හොඳටම වැල්මයි සිත සැනසිල්ල ‍යි
කවුරුත් ඉල්ලයි බ්‍රිස්ටල් ...."
 
ඇටමැස්සාට ඒ වචන තාමත් මතකයි.
 
ක්ලැරන්ස් කියන්නේ බහුවිධ දක්ෂතාවලින් පිරිපුන් මනුස්සයෙක්.
 
සංගීතය ඔහු උපතින්ම රැගෙන ආ දායාදයක්.
 
ක්ලැරන්ස් ගේ අහලා පුරුදු ගීතවලම එල්ලී ඉන්නේ නැතිව වැඩිපුර අහලා නැති සිංදු ගැන හොයලා බලන්න.
 
ඒ සිංදු ඔහුගේ ජනප්‍රිය ගීත තරම්ම ලස්සනයි.
 
ක්ලැරන්ස් තම එකම දියණිය වෙනුවෙන් නිර්මාණය කළ මේ ගීතය එවැන්නක් .
 
" ඔබ පරදා මගෙ සිත ගන්නට හැකි
මෙළොව පහළ වූ කෙනෙක් නැති 
සම කළ හැකි වෙන කිසිම කෙනෙකු නැත
ඔබෙ ආදරයට මෙළොව දුවේ..."
 

  
කලාතුරකින්වත් නෑසෙන  මේ තවත් එක් ගීතයක්.
 
" පාරෙන් එහා පටු මාවතේ
නිවසේ විසූ මගෙ ආදරේ 
වෙන් වී ගමෙන් වෙන් වී මගෙන්
‍යලි නේන සේ කොහිදෝ ගිහින්..."
 
 

ඇත්තටම ක්ලැරන්ස් කළ දේ ක්ලැරන්ස්වත් දන්නේ නෑ.
 
ඔහු තමන්ට කළ හැකිව තිබූ දේ කළා.
 
පොප් ගීතයට සිංහල මුහුණුවරක් දුන්නා.
 
ක්ලැරන්ස් කියන්නේ සදාකාලික තරුණයෙක් .
 
සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමට නම් තබන්නෙත් ඔහු.
 
ඒත් ක්ලැරන්ස් ජීවත්ව සිටියා නම් කවමදාවත් සන්ෆ්ලවර් සංගීතයට ගීත ගයන්නේ නෑ.
 
මොකද ඒ ඔහුගේ සංගීත රටාව නොවන නිසා.
 
ක්ලැරන්ස් මිය ගියාම ඔහුගේ දේහය කලාභවනට ගෙනියන්න බලධාරීන් ආවා.
 
ක්ලැරන්ස් ගේ බිරිද ශීලා ඒකට ඉඩ දුන්නේ නෑ.
 
නිවසේ ගරාජය පෙන්වමින් ඇය පැවසුවේ ක්ලැරන්ස් සිංදු හැදුවේ මෙතැන ඉදන්...
 
මේක තමයි ක්ලැරන්ස් ගේ කලාගාරය කියලයි.
 
ඇය හරි.
 
ඒ එක්කම ගායක ගායිකා සංගමයේ එවක සභාපති එඩ්වඩ් ජයකොඩි ශෝක ප්‍රකාශ බැනර් එකකුත් උස්සන් ආවා.
 
ක්ලැරන්ස් ජීවත්ව ඉන්නකන් පැත්ත හැරිලා බලපු නැති සංගම්වල බැනර් එල්ලන්නට ඇය ඉඩ දුන්නේ නෑ.
 
ඒ වෙනුවට  ඇය කළේ රත්නපුරයේ සිට පැමිණි තරුණයෙක් වරුවක් විතර මහන්සි වී ඇඳපු ක්ලැරන්ස් ගේ රුව රැගත් චිත්‍රය නිවස ඉදිරියේම එල්ලා තැබීමයි.
 
ක්ලැරන්ස් ගේ අභිමානය රැක්කේ එලෙසින්.
 
ක්ලැරන්ස් දවසක් අපූරු කතාවක් කිව්වා. 
 
ඔහුගේ මිතුරු ඇනස්ලි මාලේවනගේ උපන්දින සාදයට ඇරයුමක් ලැබී තිබුනා. 
 
ඒ වනවිට ක්ලැරන්ස් ගේ කකුලේ ඇඟිල්ලක් ඉවත් කරලා තිබුනේ.
 
ක්ලැරන්ස් තම බිරිද ශීලාට දියණිය සමග එහි යන ලෙස පවසා ගෙදර නතර වෙන්න උත්සාහ කරලා.
 
එවිට ශීලා ඔහුට එක දිගටම බනින්න පටන් අරන්.
 
ඒ වෙලාවේ තමයි ක්ලැරන්ස් දැනගෙන තියෙන්නේ ඩර්ඩන්ස් රෝහලේ ඔහුගේ බිල ගෙවලා තියෙන්නේ ඇනස්ලි කියලා.
 
වෙන මිනිහෙක් නොකියන කතාවක් ඔහු ඒ කිව්වේ.
 
77 ආණ්ඩුව ගේන්න ක්ලැරන්ස් ‍යම් වැඩ 
කොටසක් කළා.
 
ඒත් ඔහුගෙන් උදව් ගත්තු සමහරු පස්සේ ක්ලැරන්ස්ව මග හැරියා.
( ඒ කාලෙත් දැන් වගේමයි.)
 
ක්ලැරන්ස් එ.ජා.ප.  ආණ්ඩුව බලයට ගේන්න කටයුතු කිරීම ගැන කණගාටු වෙන බව පසුව පැවසුවා.
 
ක්ලැරන්ස් කියන්නේ නමට ඉදිරියෙන් සුන්දර කෑල්ලක් දාගත්තේ නැති සුන්දර මිනිහෙක්.
 
මුළු දවසක් වුණත් ඔහු එක්ක කතා කර කර ඉන්න පුළුවන්.
 
ඔහු දිනෙන් දින අලුත් වුණා. 
 
හැම තිස්සෙම අලුත් අත්හදාබැලීම් කළා.
 
හැම පරපුරක් එක්කම ඔහු හැමදාම ඉන්නේ ඒ නිසයි.
 
තරුණ සංගීත රැල්ලක් බිහිකරමින් තරුණ හදවත්වලටම ගීත  නිර්මාණය කළ ක්ලැරන්ස් නික්මිලා ගියේ 1996 වසරේ සීතල දෙසැම්බර් මාසේ තරුණයකු වශයෙන්මයි.
 
ක්ලැරන්ස් නික්ම ‍යන්නේ නිකම් නෙවෙයි, ලංකාවේ එල්විස් ප්‍රෙස්ලි ඔහුම බව නිහඬවම කියාපාමින්.
 
 

  
(ඇටමැස්සා)
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...