BREAKING
Top Ad
ඇට මැස්සා

පන්සලේ පියතුමා - ඇටමැස්සා (84)

T

The Leader

December 25, 2020 • 3:48 AM

පන්සලේ පියතුමා - ඇටමැස්සා (84)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නත්තල් දවසේ කතා කළ යුතු හොඳම පුද්ගලයකු ගැනයි අද කතිකාව.
  •   1998 වසරේ එතුමා නික්ම ගියත් අදටත් අපට කතා කරන්න බොහෝ දේ ඉතිරි වෙලා තියෙනවා.
  • ජයවර්ධන යුගයේදී අර්නස්ට් පෝරුතොට පියතුමා කළ ප්‍රකාශයක්.
  • ගේ යුගය අරබයා පෝරුතොට පියතුමා කියනවා    " මේ තරම් සශ්‍රීක යුගයක් මා දැක නෑ..සතියකට නව නිවාස තුන හතරක් ආශීර්වාද ගන්වන්නට අප යනවා...."   කතෝලික පල්ලිය හා මර්සලින් ජයකොඩි පියතුමා අතර පරතරය තේරුම් ගැනීමට මෙය හොඳටම ඇති.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
ඒරොප්පෙන් මේ රටට ගොඩබැස්ස ආගමක්, ඊට බද්ධ වුණු සිරිත් විරිත් රටාවක් අපට සමීප කළේ එතුමා යි.
 
ගරු මර්සලින් ජයකොඩි පියතුමා.
 
මෙරට කතෝලිකයන්ටත් වඩා බෞද්ධයන් ආදරය කරන පියතුමා.
 
1998 වසරේ එතුමා නික්ම ගියත් අදටත් අපට කතා කරන්න බොහෝ දේ ඉතිරි වෙලා තියෙනවා.
 
 මීට දශක ගණනකට උඩදි මර්සලින් ජයකොඩි පියතුමා විශ්‍රාම සුවයෙන් සිටියදී එතුමා බැහැදැකීමට ඇටමැස්සා ගියා.
 
එතුමා වැඩ සිටි පුංචි කුටිය අල්පේච්ඡතාවය යනු කුමක්ද කියා වටහා දීමට කදිම නිදසුනක්.
 
එහි දොරකඩ එල්ලෙමින් තිබුනේ කුඩා වෙසක් කූඩුවක.
 
" මාව බලන්න ආපු කෙනෙක් දීලා ගියා"
 
මා එදෙස බලා සිටිනු දුටු ජයකොඩි පියතුමා පැවසුවා.
 
මර්සලින් ජයකොඩි පියතුමා නත්තල ගැන ලියුවේ මේ අයුරින්.
 
" මගෙ නත්තල
දුගියා බත් කන දාය
 
මගෙ නත්තල
වැරහිලි නැති  දාය
 
මගෙ නත්තල
ඔබෙ දුක සැනසෙන දාය
 
මගෙ නත්තල
පව පල්ලි යන දාය"
 
ජයකොඩි පියතුමන් හඳුනාගැනීමට මේ පද කිහිපය හොඳටම ප්‍රමාණවත්.
 
 
මේ කවි කියවන විට ඇටමැස්සාට සිහිපත් වෙන්නෙ ජේ.ආර්. ජයවර්ධන යුගයේදී අර්නස්ට් පෝරුතොට පියතුමා කළ ප්‍රකාශයක්.
 
ජේ.ආර්. ගේ යුගය අරබයා පෝරුතොට පියතුමා කියනවා 
 
" මේ තරම් සශ්‍රීක යුගයක් මා දැක නෑ..සතියකට නව නිවාස තුන හතරක් ආශීර්වාද ගන්වන්නට අප යනවා...."
 
කතෝලික පල්ලිය හා මර්සලින් ජයකොඩි පියතුමා අතර පරතරය තේරුම් ගැනීමට මෙය හොඳටම ඇති.
 
 
මෑත කාලයේ ආගමික සහජීවනය පිළිබදව අවංකකම කිසියම් යතිවරයකු වැඩ කළා නම් ඒ ජයකොඩි පියතුමා.
 
එතුමා ආගමික සහජීවනයේ මහා තානාපතිවරයායි.
 
බෞද්ධ හිමිනමක විසින් කතෝලික පල්ලියේ පියතුමකු වෙනුවෙන් ලියන ලද පළමු කෘතිය ලියැවෙන්නේ එතුමා නමින්.
 
කෘතිය ' මල් පැලේ උපන් පන්සලේ පියතුමා '
 
කර්තෘ ඉත්තෑපාන ධම්මාලංකාර හාමුදුරුවෝ.
 
කිතුනු දහමට සිංහල ලකුණ හඳුන්වා දෙන්නේ මර්සලින් ජයකොඩි පියතුමා.
 
අපේ ජාතිකත්වය සොයාගිය එතුමා ජන සංස්කෘතිය පදනම් කරගෙනයි නිර්මාණකරණයේ යෙදුණේ.
 
පළමු සිංහල ලකුණ රැගත් රේඛාව චිත්‍රපටිය ජයකොඩි පියතුමාගේ කලා ජීවිතයේ සංධිස්ථානයක්.
 
රේඛාව චිත්‍රපටියේ එන ගීත 6 ක්ම පබැඳුවේ එතුමා.
 
ඒ අතරේ එන ' ඕලු නෙළුම්', 'වෙසක් කැකුළු', ' සුදු සඳ එළියේ' ගීත අදටත් එක ලෙස ජනප්‍රියයි.
 

 
 

 

 
 බෞද්ධ චින්තාව පදනම් කරගෙන ජයකොඩි පියතුමා පබැඳූ ඇතැම් ගීතවලට මුල් කාලයේ පල්ලිය තුලින්ම විරෝධය මතු වුණා. 
 
මර්සලින් ජයකොඩි පියතුමා තම පළමු නත්තල් කැරොල් ගීතය ලියන්නේ 1949 අවුරුද්දේ.
 
ඒ 'රැය තරු බබලනවා' ගීතයයි.
 

 
1949 අවුරුද්දේම තවත් විශේෂ දෙයක් වෙනවා.
 
එම වසරේ නිදහස් උත්සවය වෙනුවෙන් මියුසියස් විදුහලේ දැරියන් 100 ක් යොදාගෙන ජාතික ගීය ගායනා කරන්නට පුහුණු කරවන්නේ ජයකොඩි පියතුමා.
 
යටගියාව අවුස්සන කොට මර්සලින් ජයකොඩි පියතුමා විසින් කරනු ලැබූ අපූරු නිර්මාණ රැසක් හමුවෙනවා.
 
කේමදාසයන්ගේ සංගීතයට ' මනමාලයෝ' චිත්‍රපටියට කළ ' සුලලිත සුළඟේ' ගීතය ඉන් එකක් .
 

 
 ෂෙල්ටන් ප්‍රේමරත්න සංගීතවත් කළ 1972 තිරගත වූ ' හිතක පිපුණු මල්' චිත්‍රපටියට මර්සලින් ජයකොඩි පියතුමා හා ධර්මසිරි ගමගේ එක්ව අපූරු නිර්මාණයක් කරනවා. 
 
'No East No West’ නම් වූ එය සිංහල හා ඉංග්‍රීසි සම්මිශ්‍රණය වූ ගීතයක්.
 
ගායනා කළේ නන්දා මාලිනි හා ඩැල්රින් ආර්නෝල්ඩා.
 

 
කේමදාසගේ සංගීතයෙන් ඔපවත් වුණු 'ආදරවන්තයෝ' චිත්‍රපටියට නන්දා මාලිනි ගායනා කළ ' දවසක මුතුවැල්' ගීතයත් රචනා වුණේ මර්සලින් ජයකොඩි පියතුමා අතින්.
 

 
සුනිල් ශාන්ත ගායනා කළ එකම ඉංග්‍රීසි ගීතය එන්නේ ' රොමියෝ ජුලියට්' චිත්‍රපටියේයි.
 
' My Dreams are Roses’  නම් වූ ඒ ගීතයත් ජයකොඩි පියතුමාගේ පබැඳුමක්.
 

 
පී. ඩන්ස්ටන් ද සිල්වා සංගීතවත් කළ නාලිනි රණසිංහ ගායනා කළ 'කහවන් ගොයමට' ගීතයක් ජයකොඩි පියතුමාගේ ගීත අතර සුවිශේෂයි.
 

ඇටමැස්සා මේ ගීත සිහිපත් කරන්නේ මර්සලින් ජයකොඩි පියතුමාව නැවත කියවීම පිණිස යි.
 
අද අප ජීවත් වෙන්නෙ විකෘති වුණු සමාජයක.
 
විද්‍යාවට හසු නොවන දෙවි කෙනෙක් අදහන මිනිසුන් අද කොරෝනාවලින් මියගිය උදවියගේ මළ සිරුරු භූමදානය කිරීම සදහා විද්‍යාවේ පිහිට පතනවා.
 
බේරුවලදි මුස්ලිම්වරුන්ට එරෙහිව සිවුර උස්සපු ඥානසාර, හලාල් වර්ජනය කරමු කියපු ඥානසාර දැන් මුස්ලිම් මළ සිරුරු භූමදානය කරන්න කතා කරනවා. 
 
මේ සියල්ලම අස්සේ තියෙන්නේ ගඳ ගහන දේශපාලනය .
 
මර්සලින් ජයකොඩි පියතුමා වෙනස් වෙන්නෙ එතැනින්.
 
මර්සලින් ජයකොඩි පියතුමා ළඟ තිබුනේ කරුණාව, දයාව, මානව ප්‍රේමය, අවිහිංසාව, මනුස්සකම, සංහිඳියාව වැනි දේ යි.
 
එතුමා ළග නොතිබ්බේ එකම දෙයයි.
 
ඒ දේශපාලනය යි.
 
මේ ගඳ ගහන සමාජ මඩ ගොහොරුවේ පිපුණු සුදු නෙළුමක් වගෙ මර්සලින් ජයකොඩි පියතුමා තව අවුරුදු 100 ක් ගත වුණත් බබලන්නේ ඒ නිසයි.
 
මේ රටේ කතෝලිකයන් මේ රටේ උදවිය නොවන ලෙස සිතූ සිතිවිල්ල වෙනස් කළ ....,
 
මේ රට බහුජාතික, බහු ආගමික රටක් නොවන බව පැහැදිලිවම පැවසූ....,
 
කවර ජාතියකට, ආගමකට අයිති වුවත් ජීවත් විය යුත්තේ මේ රටේ සංස්කෘතිය තුල බව  ඇදහූ...,
 
එතුමා ,
 
පන්සලේ පියතුමා,
 
ගරු මර්සලින් ජයකොඩි පියතුමා.
 
 
(ඇටමැස්සා)
 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...