The Leader News
BREAKING
ලොස් ඇන්ජලීස් වේදිකාවේ මිලියන 50ක දියමන්ති ආලෝකය මැද ලාංකික සලකුණක්●තායි නියෝජ්‍ය අගමැතිනියට නිසි ගරුසත්කාර නොලැබුණු බවට චෝදනා: විවාදයක් ඉල්ලයි●ගෝලීය වෙබ් අඩවි අඩපණ වීමේ අවදානමක්: PHP හදිසි ආරක්ෂක නිවේදනයක් නිකුත් කරයි●බර අඩුකරන ඖෂධ නිසා රූපලාවණ්‍ය ලෝකයේ නව පෙරළියක්●යුක්රේන සාමයට ට්‍රම්ප්ගෙන් නව යෝජනා: පුටින්ගෙන් සුබවාදී සංඥා●ඛනිජ වැලි ඒකාධිකාරය හමුවේ කාර්මික අනාගතය අර්බුදයකද?●කෘෂි ආයෝජන සූදුව: ඩොලර් මිලියන 65ක රෝම බලාපොරොත්තුව●මාලදිවයින් වෙළෙඳපොළ ජයගැනීමට ශ්‍රී ලංකාවට නව සැලැස්මක්●ගෝඨාභයගේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීම ගැන නීතිපතිගෙන් මානුෂීය ප්‍රතිචාරයක්●සලේගේ නඩුව ලබන මසට: පාස්කු විමර්ශනයෙන් අධිකරණයට නව හෙළිදරව්වක්●
Top Ad
ඇට මැස්සා

අපේ දරුවන්ට අහිමි ඒ ලෝකය : වීඩියෝ පෙළක් - ඇටමැස්සා (91)

T

The Leader Desk

January 8, 2021 • 10:46 AM

අපේ දරුවන්ට අහිමි ඒ ලෝකය : වීඩියෝ පෙළක් - ඇටමැස්සා (91) 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ දරුවන්ට අද ඉන්න දරුවන්ට නැති ළමා කාලයක් තිබුණා.
  • " පේළි පේළි පේළි සැදී ඇත්තු ඇදෙනවා පේළි පේළි පේළි සැදී නැට්ටුවෝ එනවා බෝල බෝල බෝල වගේ එළි කැරකෙනවා පාර දිගේ විහාරයට පෙරහැර යනවා අපේ ගමේ විහාරයට පෙරහැර යනවා" ඩබ්ලිව්.
  • ඒ වුණාත් පුංචි කාලේ අපි දැකපු ගමේ පෙරහැර තාමත් මේ ගීතය ඇතුළේ හැංගිලා තියෙනවා.
  • ප්‍රේමකීර්ති ද අල්විස්ට ඒ හොඳටම ඇති.
අකුරු ප්‍රමාණය (Font Size):
ඒ දරුවන්ට අද ඉන්න දරුවන්ට නැති ළමා කාලයක් තිබුණා.
 
ටියුෂන් නැති ලෝකයක් ඒක.
 
රූපවාහිනී නැති ලෝකයක් ඒ ලෝකය.
 
ගෙදර එන්නේ බඩගිනි වුණාම.
 
කොහේ ගියත් පරිස්සම් වෙලා එන්න තරම් මොළයක් ඒ දරුවන්ට තිබුණා.
 WhatsApp Image 2021 01 08 at 11.44.55 AM
හැන්දෑවට කට්ටියම පොදි ගැහෙන්නේ ගුවන් විදුලිය වටේ.
 
ගුවන් විදුලියේ ප්‍රචාරය වුණු නාට්‍ය රසවින්ඳේ ඒ චරිත, සිද්ධි හිතින් මවාගෙන.
 
අද වගෙ වැඩිහිටියන්ගේ සිංදු කියන ලිට්ල් ස්ටාර්ස්ලා ඒ කාලේ හිටියේ නෑ.
 
ඔවුන්ට ඔවුන්ගේම ළමා ගීත කලාවක් තිබුණා.
 
තමන්ගේ වයසට නොගැලපෙන පෙම් ගීත ගායනා කරන්න ඔවුන් උත්සාහ කළේ නෑ.
 
ඒ දරුවන් තමන්ගේ ළමා විය වෙන්දේසි කරන්න ගියේ නෑ.
 
ඔවුන් තමන්ගේම නැවුම් නිර්මාණ තුලින් රටක් බැබළුවා.
 
රටක් සැනසුවා.
 
 
 
ඇටමැස්සා එදා ඇසුණු ගීත සමුච්චයක් සොයාගෙන යන්නේ ඒ සුන්දර අතීතය යලි ආවර්ජනය කරනු පිණිසයි.
 
මේ දරුවන්ට එදා තම හැකියාවන් ප්‍රදර්ශනය කළේ ඒ කාලේ හිටි ප්‍රවීණයන් සමග යි.
 
කරුණාරත්න අබේසේකර, ප්‍රේමකීර්ති ද අල්විස්, මහින්ද අල්ගම, ඩබ්ලිව්. ඒ. අබේසිංහ, අජන්තා ‍රණසිංහ සුනිල් සරත් පෙරේරා, සරත් දසනායක, වික්ටර් ‍රත්නායක, නන්දා මාලිනි, මෙල්‍ රෝයි ධර්මරත්න, ක්ලැරන්ස් විජේවර්ධන, මොහොමඩ් සාලි, ක්ලෝඩ් ද සොයිසා, ඩී. ඩී. ඩැනී, ඩී. ආර්. පීරිස්, කුලරත්න තෙන්නකෝන්, සෝමපාල රත්නායක, සුනිල් ආරියරත්න වැනි දැවැන්තයින් සමගයි ඒ කාලේ දරුවන් තම නිර්මාණකරණයේ යෙදුනේ.
 
මේ පුංචි පැටවුන් කිසිම බයක්, සැකක්, සබකෝලයක් නැතිව වැඩ කළා.
 
අමරදේව, මිල්ටන් පෙරේරා, මෙල්‍ රෝයි ධර්මරත්න, ක්ලැරන්ස් විජේවර්ධන, ඇනස්ලි මාලේවන සමග ඔවුන් හරි හරියට යුග ගීත ගායනා කළා.     WhatsApp Image 2021 01 08 at 11.44.57 AM
 
 
මතක තබාගන්න!
 
ඒ කාලේ ගීත පටිගත කළේ අද වගෙ කෑල්ල කෑල්ල අරගෙන නෙවෙයි.
 
පටිගත කිරීම් කළේ වාද්‍ය වෘන්දය වාදනය කරන විටම ගායකයා හෝ ගායිකාව ගායනයේ යෙදෙද්දීයි.
 
මේ දේ කරන්නට නම් අසාමාන්‍ය දක්ෂතාවයක් තියෙන්න ඕනේමයි.
 
රූපවාහිනීය අරක්ගෙන ටික කාලයකින් මේ ළමා ගායක පරපුර නැති වෙලා යනවා.
 
ඒත් ඔවුන් ගැයූ ගීතවල සුන්දර මතකය තාමත් රැව් දෙනවා.
 
" පේළි පේළි පේළි සැදී
  ඇත්තු ඇදෙනවා
  
පේළි පේළි පේළි සැදී
නැට්ටුවෝ එනවා
 
බෝල බෝල බෝල වගේ 
එළි කැරකෙනවා
 
පාර දිගේ විහාරයට
පෙරහැර යනවා
 
අපේ ගමේ විහාරයට
පෙරහැර යනවා"
 
 
 

 
 
ඩබ්ලිව්. ඒ. අබේසිංහයන් රචනා කළ මේ ගීතය සංගීතවත් කළේ ලීලානන්ද රත්නායකයි.
 
එය ගායනා කළේ ආර්. පී. ආරියරත්න විසින්.
 
සහාය ගායනාව ගුරුකුලයේ දරු කැළ වෙතිනි.
 
'පේළි පේළි පේළි සැදී' ගීතය එම වකවානුවේ නිර්මාණය වූ සාර්ථකම ළමා ගීතය වශයෙන් හඳුන්වනු ලැබීය.
 
අද ද මේ ගීතය පෙර පාසල්වලට නැතිවම බැරි ගීතයකි.
 
මේ ගීතය ඇහෙද්දී පෙරහැර හිතේ ඇඳෙනවා.
 
ගමේ විහාරයට ගිය ඒ සරල සුන්දර පෙරහැර අද LED ලයිට් විසින් ගිලගෙන.
 
ඒ වුණාත් පුංචි කාලේ අපි දැකපු ගමේ පෙරහැර තාමත් මේ ගීතය ඇතුළේ හැංගිලා තියෙනවා.
 
දවසක් ළමා පිටියේ ගීතයක් ගායනා කරන්න කුඩා දරුවකු ආවා.
 
ඒත් ඔහු ළඟ ගීතයක් තිබුනේ නෑ.
 
ඔය අතරෙදි තමයි ඔහුට ප්‍රේමකීර්ති ද අල්විස් හමුවෙන්නේ.
 
ප්‍රේමකීර්ති අර දරුවාගෙන් අහනවා " පුතා කාත් එක්කද ආවේ " කියලා.
 
දරුවා උත්තර දෙනවා " තාත්තාත් එක්ක " කියලා.
 
ප්‍රේමකීර්ති ද අල්විස්ට ඒ හොඳටම ඇති.
 
 
සිසිර කුමාර ගායනා කළ මේ ගියට ප්‍රේමකීර්ති පද පෙළ ගැස්සුවේ මෙහෙමයි.
 
" දණ ගාද්දි ඇවිදින්නට
මට අත දුන්න
ගුරුහරුකම් හොඳ නොහොඳත්
කියලා දුන්න
 
මහළුව බැරි වුණාම 
ඔබ හට ඇවිදින්න 
අත දෙන්නම් තාත්තේ
වන්දි ගෙවන්න "
 
මේ අපූරු පිය උපහාර ගීතයට තනු නිර්මාණය කළේ පුණ්‍යසිරි මහවත්ත විසින්.
 
  
 

 
 
දමයන්ති ඒකනායක කියන්නේ ඒ කාලයේ බිහිවූ දක්ෂ ළමා ගායිකාවක්.
 
මිල්ටන් පෙරේරා සමග ඇය යුග ගීයක් ගයන්නේ මිල්ටන් අතිශයින්ම ජනප්‍රිය ව සිටි යුගයකදීයි.
 
ගීතය " මුළු ලොව ලැබුණත් වෙනස් නොවේ"
 
කරුණාරත්න අබේසේකර පබැඳූ මේ ගීතය සංගීතවත් කළේ මොහොමඩ් සාලි විසින්.
 
මේ ගීතයට ජීවය ලැබෙන්නේ දමයන්ති ඒකනායකගේ සුරතල් කට හඬ මගින්.
 
 
 
 

 
මීට වසර කිහිපයකට පෙර භද්‍රජී මහින්ද ජයතිලක ලංකාවට පැමිණි අවස්ථාවක දී කෝට්ටේ මාදිවෙල නිවෙසක සුහද හමුවක් පැවතුණා.
 
දමයන්ති ඒකනායකත් එදා පැමිණ සිටියා.
 
ඈ එදා ගායනා කළේ " අම්මාගේ උකුළේ නැලැවී" ගීතය යි.
 
ගීතය ගායනා කර අවසානයේ ඇගේ අනන්‍යතාව හෙළි කරන තෙක් කිසිවෙක් ඇයව හඳුනාගත්තේ නෑ.
 
ඇගේ ළමා වියේ හඬ නම් තවමත් ශේෂව පවතිනවා.
 
 
 

 
ගහ කොළ, සතා සීපාවා, ඇලදොළ, කුරුම්බැට්ටි මැෂිම ගැන විතරක් නෙවෙයි උප්පැන්න සහතිකය ගැනත් එදා ළමා ගී නිර්මාණ වුණා. 
 
ඔවුන් ගීත ගායනා කළේ ගීතයේ අරුත දැනගෙන.
 
අද ළමා පරපුර  තරු වෙන්න ගායනා කරන වැඩිහිටියන්ගේ ගීතවල තේරුමවත් ඔවුන් දන්නවද දන්නේ නෑ.
 
එදා ගුවන් විදුලිය මේ අහිංසක ළමා විය විකුණාගෙන කෑවේ නැහැ.
 
එහෙත් අද ඒ දේ සිදුවන්නේ දෙමාපියන්ගේ ද ආශීර්වාදය ඇතිවයි.
 
 
 
පේෂලා මෙන්ඩිස් කියන්නේ එදා ළමා ගායනා පරපුරෙන් මතුවුණු තවත් ගායිකාවක්.
 
ලයනල් සිල්වා ‍රචනා කළ, වික්ටර් ‍රත්නායක සංගීතවත් කළ " ටක් ගානවා ටික් ගානවා" ඈ ගැයූ එක් ජනප්‍රිය ගීතයක්.
 
 
 
 

 
 
ඒ දවස්වල ගුවන් විදුලියේ තොරතෝංචියක් නැතිව මේ ගිය ප්‍රචාරය වුණා. 
 
පේෂලා මෙන්ඩිස් වඩාත් ජනප්‍රිය වුණේ ' මිදුලේ වැලි මාළිගාවේ' ගීතයෙන්.
 
මේ ගීතය රචනා කළේ කුමාරදාස සපුතන්ත්‍රි.
 
සංගීතවත් කළේ වික්ටර් ‍රත්නායක.
 
 

 
 
" එපා ඔටුණු මගෙ සිරසට
 එපා සිහසුනක් හිඳිනට
 සිනාසිසී මා එන මඟ හිඳිනු මැනේ
 දුවේ කියා මා අමතන් පියාණනේ"
 
දියණියන් හා පියවරුන් අතර ඇති සදාතනික බැඳීම අපූරුවට සිත්තම් කළ. මේ ගීතය මේ රටේ දූවරුන් කී දාහක් මුමුණන්නට ඇත්ද?
 
 
මේ ගී ඇසෙන විට අද ඉන්න ස්ටාර් දූවරුන් ගායනා කරන ගීත ගැන ඔවුන්ගේ දෙමාපියනුත්, ඔවුන්ව වෙන්දේසි කරන නාලිකාකාරයනුත් සැබැවින්ම ලජ්ජාවට පත්විය යුතු නොවේද ?
 
 
 සුනිල් ආරියරත්න රචනා කළ, ඩී. ආර්. පීරිස් සංගීතවත් කළ  'සීනි බෝල හෝටලේ' ගීතයත් ඒ යුගයේ සුන්දර ළමා විය සිහිගන්වනවා.
 
 
 
 

 
මේ ගීතය ගායනා කළේ පුෂ්පමාලා සුබසිංහ යි.
 
චම්පිකා ගුණවර්ධන ගායනා කළ 'රුං රුං හඬ දීලා' ගීතයත් ඒ දිනවල නිතර ඇසුනු ගීයක්.
 
මේ ගීතයේ පද මාළාව හා සංගීතය ක්ලෝඩ් ද සොයිසා ගෙන්.
 
මේ ගීය අපූරු පරිසර පාඩමක්.
 
 
 
 

 
කුඹලා ගෙයක් හදන ආකාරය හරි අපූරුවට මේ තුලින් කියවෙනවා.
 
කුඹලා විතරක් නෙවෙයි ඒ දවස්වල පුංචි දරුවොත් සෙල්ලම් ගෙවල් හැදුවා.
 
කුඹලා නම් තාමත් ගෙවල් හදනවා.
 
දැන් අපේ දරුවන්ට සෙල්ලම් ගෙවල් හදන්න වේලාවක් නෑ.
 
ඒ වෙනුවට චීනෙන් ගෙන්වූ ප්ලාස්ටික් ‍රෙඩිමේඩ් සෙල්ලම් ගෙවල් තියෙනවා.
 
 
 
ක්ලෝඩ් ද සොයිසා අපූරු ගීත කිහිපයක්ම ළමා ගීත ක්ෂේත්‍රයට එක් කළා.
 
'හිංචි පිංචි හාවා' , ' කොටු වැටිච්ච පුංචි සරම' ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නවා.
 
මේ ගීත දෙකම ගායනා කළේ ශිරෝමාලා ප්‍රනාන්දු යි.
 
 

 
 
 
 

 
 
දමයන්ති ජයසූරිය ( පාට පාට සමනල තටු, හොර පූසෙක් )
 
 මංජුලා නානායක්කාර ( මෝඩ මදුරුවා ), 
 
එල්සි රුද්‍රිගු (කුරුම්බැට්ටි මැෂිමේ), 
 
ශාන්ත සෙනරත් යාපා ( කවට අන්දරේ), 
 
වජිරා බාලසූරිය ( අම්මා මාව දොයි කරන්න ), 
 
රෝහිණි ජයසිංහ ( පොඩි නංගිගේ ලිපිය), 
 
ලංකා රාජිනී ගුණසේකර ( බල්ලා පිදුරු ) 
 
එදා ළමා ගීත සාහිත්‍යය පෝෂණය කළ පරපුරේ කිහිප දෙනෙක්.
 
 
 
මේ ළමා පරපුර අතරින් තවත් දැවැන්තයින් දෙදෙනෙකුගේ සෙවණ ලැබූ ගායිකාවන් දෙදෙනෙකු වඩාත් ජනප්‍රිය වුණා. 
 
ඉන් එක් අයෙකු ශිරෝමි ප්‍රනාන්දු යි.
 
ඇය බිහිවන්නේ මෙල්රෝයි ධර්මරත්න ප්‍රමුඛ ධර්මරත්න සහෝදරයෝ ගායක කණ්ඩායම හරහායි.
 
ශිරෝමි ගායනා කළ ගීත බොහෝමයක් ගීතවල පද රචනය හා තනු නිර්මාණය මෙල්රෝයි ධර්මරත්න ගෙනි.
 
හඳහාමි, රුවට රුවක් ඇත, සකල බුජං, පොඩි කාලේ දඟ කෙරුවාම, කොන්ද නමාගෙන වැනි ගීත එදා වගේම අදටත් එක ලෙස ජනප්‍රියයි.
 
 
 

 
 
ශිරෝමි 'ආදරේ හිතෙනවා දැක්කම ' චිත්‍රපටියේ ගීතමය ජවනිකාවකත් පෙනී හිටියා.
 
ඒ ' ආකාසේ රැස් විහිදා' ගීතය ගායනා කරමින්.
 
 
 

 
 
' බොරුවට අඬ අඬ' ගීතය ඇය ධර්මරත්න සහෝදරයෝ සමග ගායනා කළා.
 
 
 
 
 

 
 
 
ඒ වගේම ජනප්‍රිය වුණු අනෙක් ළමා ගායිකාව තමයි ලිලන්ති කරුණානායක.
 
ඇය මතුවන්නේ ක්ලැරන්ස් විජේවර්ධන හා සුපර් ගෝල්ඩන් චයිම්ස් ගායක කණ්ඩායම හරහායි.
 
ක්ලැරන්ස් ‍රචනා කොට සංගීතවත් කළ ටීචර්, තාත්තා, පුංචි පුංචි බෝනික්කෝ ඉතා ජනප්‍රිය වුණා. 
 
 
 
 
 

 
 
 
කරුණාරත්න අබේසේකරයන් රචනා කළ ක්ලැරන්ස් සංගීතවත් කළ ' කියන්න සුළඟේ' ගීතය අදටත් ප්‍රසංග වේදිකාවේ ගැයෙනවා.
 
ඒ කාලේ උත්සවයක් තියෙද්දි ගස්වල බැඳපු තඩි ලවුඩ්ස්පීකර් ඔස්සේ මේ ගීත නිතරම වාදනය වුණා. 
 
 
 
 

 
 
ශිරෝමි ප්‍රනාන්දු වගේම ලිලන්ති කරුණානායකත් ' සූරිය ' හා 'ලෝටස්' ලේබල යටතේ තැටි කිහිපයක්ම නිකුත් කළා.
 
ක්ලැරන්ස්ලා, මෙල්රෝයිලා කොච්චර දැවැන්තයින් වුණත් ළමා ගායිකාවන් කියලා ඔවුන්ව පැත්තක තැබුවේ නෑ.
 
ඒ නිසා තමයි අපේ රටේ ළමා ගීත සාහිත්‍යය තවත් කලඑළි වුණේ.
 
 

WhatsApp Image 2021 01 08 at 11.44.58 AM

 
 
ඇටමැස්සාට මතක විදියට මේ ළමා ගීත මතක් කළේ අපට මෙහෙම යුගයකුත් තිබුණා කියලා කියන්න ‍යි.
 
අතීතය වර්ණවත් කළ මේ ළමා පරපුර අද රියැලිටි වේදිකාවලින් කඩා වැටෙන උල්කාපාත වගෙ නෙවෙයි.
 
ඔවුන් හැමදාම දිදුලන තරු.
 
තව අවුරුදු 100 ක් ගියත් ඒක වෙනස් වෙන්නෙ නෑ.
 
(ඇටමැස්සා)
 
 
 
 
 

 

 
 

 
 
 
################
 
 
'ද ලීඩර්' පුවත් විශේෂාංගය 
 
වීඩියෝ ආණ්ඩුවේ පහක් 'ස අන්න ලා ? - සජිත්ගේ පහක් චම්පිකට අන්නයි ද ?
 
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අපේ දරුවන්ට අහිමි ඒ ලෝකය : වීඩියෝ පෙළක් - ඇටමැස්සා (91) | The Leader