BREAKING
Top Ad
ඇට මැස්සා

ලොකු ප්‍රේමදාසලා හා පොඩි ප්‍රේමදාසලා - ඇටමැස්සා (11)

T

The Leader

August 27, 2020 • 4:00 AM

ලොකු ප්‍රේමදාසලා හා පොඩි ප්‍රේමදාසලා - ඇටමැස්සා (11)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෑතකදී සජිත් ගැන ලියූ ලිපියක ඔහුව හදුන්වා දී තිබුනේ ' පුංචි ප්‍රේමදාස ' යනුවෙනි.
  • ඔහු නම් 1991 සිට 1994 දක්වා කොළඹ පුරපතිව සිටි රත්නසිරි රාජපක්ෂ ය.
  • රත්නසිරි කොළඹ පුරපති සටනට පිවිසියේ 'පුංචි ප්‍රේමදාස ' ලෙස තමන්වම හදුන්වා ගනිමිනි.
  • ඔහු එදා පොල් බෑයක් ද රැගෙන වේදිකාවක් ගානේ යමින් කියා සිටියේ බෑ දෙකම සත 35 ට දෙන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

එය දුටු විට සිනා පහළ වන්නේ සජිත්ට පෙර වෙනත් පුංචි ප්‍රේමදාස කෙනෙකු සිට ඇති බැවිනි.

ඔහු නම් 1991 සිට 1994 දක්වා කොළඹ පුරපතිව සිටි රත්නසිරි රාජපක්ෂ ය.

රත්නසිරි කොළඹ පුරපති සටනට පිවිසියේ 'පුංචි ප්‍රේමදාස ' ලෙස තමන්වම හදුන්වා ගනිමිනි.

එක අතකට එහි වරදක් ද නැත.

මක් නිසා ද යත් රත්නසිරි ගේ ජායාරූපවල නළලෙන් උඩ කොටස කපා දැමූ විට යට ඉන්නේ ලොකු ප්‍රේමදාස බැවිනි.

මොනවා වුවත් ලොකු ප්‍රේමදාස, පොඩි ප්‍රේමදාසලාට වඩා නම් වැඩ්ඩෙකි.

1977 දී යූ.එන්.පී. මැතිවරණ වේදිකාවේ ප්‍රධානම කථිකයා වූයේ ප්‍රේමදාස ය.

ඔහු එදා පොල් බෑයක් ද රැගෙන වේදිකාවක් ගානේ යමින් කියා සිටියේ බෑ දෙකම සත 35 ට දෙන බවයි.
(අන්තිමට යූ.එන්.පී. ආණ්ඩුව කාලේ පොල් ගෙඩියක මිල රුපියල් 35 ද පන්නා ගියේය.)

ඒ කාලේ ප්‍රේමදාස අතේ තිබූ අනෙක් දෙය නම් ප්‍රේමවතී මනම්පේරිගේ ඇදුමක් ලෙස හැදින්වුණු ලේ තැවරුණු රෙදි කඩයි.

අවසානයේ 5/6 ක බලයක් සහිතව ආණ්ඩු බලයට පත් වන යූ.එන්.පී. යේ ප්‍රේමදාස යුගය අවසන් වන්නේ මේ රටේ තරුණ තරුණියන් 60,000 ගේ ජීවිත ලෙයින් නහවමිනි.

කල් යනවිට තමන්ට යූ.එන්.පී. යේ නායකත්වය නොලැබේය යන සිතිවිල්ලෙන් ප්‍රේමදාස පසු විය.

ඔහුට ට මුල පටන්ම ජේ. ආර්. ව ෂුවර් නොවීය.

ඔහු ගම් උදා ව්‍යාපාරය සදහා පාළම් පාට වන තැඹිලි පාට යොදාගන්නේ හදිස්සියක් වුවහොත් පුරවැසි පෙරමුණ හරහා ජන්දය ඉල්ලීමටය.

1989 ජනාධිපතිවරණය එළැඹෙන විට යූ.එන්.පී. අපේක්ෂකයා සදහා තුන් කොන් සටනක් ඇති විය.

ඒ, ලලිත් , ගාමිණී හා ප්‍රේමදාස අතරයි.

මේ වන විටත් ප්‍රේමදාස පාර ක්ලියර් කරගෙන සිටියේය.

යූ.එන්.පී. සභාපති වූ හර්ෂ අබේවර්ධන මෙන්ම ලේකම් වූ නන්දලාල් ප්‍රනාන්දුත් මේ මොහොත වන විට මරා දමා තිබිණ.

ඔවුන් දෙදෙනාම ජේ. ආර්. ගේ මිනිස්සුත් ය.

ජේ. වී.පී. ගිණුමට බැර කළද මේ මරණ දෙක සිදු කළේ මොන ජේ. වී.පී. යෙන් ද යන්න තාමත් රහසකි.

කෙසේ වෙතත් යූ.එන්.පී. ය තම පංතියෙන් පිට වුවත් කුණු ගොඩේ සිටි හොදම කුණ තෝරා 1989 ජනාධිපතිවරණයට ඉදිරිපත් කළේය.

ප්‍රේමදාස ජනාධිපතිවරණ සටනට පිවිසියේ 
' මේ කවුද ..?මොනවද කරන්නේ ..? ' යනුවෙන් සදහන් දැවැන්ත පෝස්ටර් ව්‍යාපාරයක් ද සමගිනි.

එම පෝස්ටරය ඇලවූ දාට පසුදාම ' මූ මූය...මූ  කරන්නේ මේකය..' කියා පෝස්ටරයක් ඇලෙව්වා නම් ඔහුගේ ජන්ද ව්‍යාපාරය එතැනින්ම වැනසිය හැකිව තිබුණි.

එහෙත් ඒ සදහා ධෛර්‍ය්‍යක් ඇත්තෙක් විපක්ෂය තුල සිටියේ නැත.

ප්‍රේමදාස එදා යන්තමින් දින්නේ ජනතා  ජන්දයෙන් නොව ජේ.වී.පී. ය ජන්දය වර්ජනය කළ නිසාවෙනි.

වර්තමාන ජේ. වී. පී. නායකයන් මෙන්ම අතීත 
ජේ. වී. පී. නායකයන් ද වැඩ කළේ තකතීරු තක්සේරු පදනම් කරගෙනය.

ප්‍රේමදාසට මාස 6 යි කියා පෝස්ටර් ගසා ජය පැන් බොන්නට බලා සිටි ජේ. වී.පී. ය අතුගා දැමීමට ප්‍රේමදාසට ගත වූයේ මාස 6 ක් පමණි.

කරගත් ගොංකමට විජේවීර ජීවිතයෙන් වන්දි ගෙවූ අතර 2015 යහපාලන මළකුණට කර ගැසූ වත්මන් ජේ.ජේ.වී.පී. නායකයන් සිය ආත්මවලින් වන්දි ගෙවමින් සිටී.

ජනාධිපති ප්‍රේමදාසට පට බැද තිබූ විසුළු නාමය වූයේ ' ටේලර් අප්පුහාමිලාගේ වේලාරත්න දොන් පුෂ්පකුමාර ‍' ය.

මේ තුල ප්‍රේමදාස ගේ රට නංවන ආර්ථික සැලැස්ම ගැබ්ව තිබිණ.

එනම්, ජුකී ගාමන්ට් හා හන්දියක් ගානේ සිට වූ ඔර්ලෝසු කණු ය.

ඊට අමතරව ඔහු අත මල් වට්ටියක් ද විය.

ඒ යුගයේ හාමුදුරුවන් ට නම් ලැබුනේ විශාල විවේකයකි.

මන්ද ‍යත් හැම ඉරිදාම උදේ 8.00 ට රේඩියෝ එකෙන් ප්‍රේමදාස බණ කියන නිසාය.

' හක්කෙ බුදු රැස් බොක්කේ දඩ මස් ' යන කියමන එකල ප්‍රචලිතව ගියේ මේ නිසාම වන්නට ඇත.

ප්‍රේමදාස පොතුත් ලිව්වෙය.

'ජීවන කදුළු ' ඔහු ලිව්වත් ' ගොළු මුහුද' ලිව්වේ ඔහුම දැයි විස්වාස නැත.

' ඇත්ත' පත්තරේ සිරිලාල් කොඩිකාර ගොළු මුහුද ගැන විචාරයක් ලියමින් කියා සිටියේ ප්‍රේමදාස ගේ කෘතිවල අතීත භාෂා ලක්ෂණ සැසදීමේදී එය හරියටම අහුබුදු අනුබුදු වූවාක් වැනි පෙරළියක් බවයි.

වික්ටර් ගායනා කරන ' සීගිරි ගලේ කවි ලිව්වේ නුඹයි පුතේ... ' ප්‍රේමදාස ගේ රචනාවක් ලෙස ගුවන් විදුලි තැටිවල සටහන් ව ඇතත් ' රන්දෝලි' තැටියේ හැටියට කතාව වෙනස් ය.

එවක ගුවන් විදුලියේ සේවය කළ ඩෝල්ටන් අල්විස් මිතුරන් සමග රන්දෝලි යේ මත්පැන් සාදයක් පැවැත්වීය.
බිල ගෙව්වේත් ඩෝල්ටන් ය.

" උඹට සල්ලි කොහෙද ..?" මිතුරෝ ඇසූහ.

ඩෝල්ටන් දුන් පිළිතුර පසුදා ' ඇත්ත ' පත්තරේ
‍' රංචාගොඩ ළමයා' වාර්තා කළේ මෙලෙසිනි.

දාගැබ් මහා වැව් බැන්දේ ඩෝල්ටන්

සීගිරි ගලේ කවි ලිව්වේ ඩෝල්ටන්

නගුලෙන් එදා රජ කෙරුවේ ඩෝල්ටන්

පැදුරේ මෙදා නිදියන්නෙත් ඩෝල්ටන්


ප්‍රේමදාස මියගිය දින රට පුරා රතිඤ්ඤා දැල්විණ.

එය දෙවෙනි වූයේ 
ප්‍රභාකරන්  මියගිය දා දැල්වූ රතිඤ්ඤා හඩට පමණි.

ඔහු නෙළා ගත්තේ ඔහුම වැපිරූ දේ වල අස්වැන්නයි.

ප්‍රේමදාස යූ.එන්.පී. කාරයෙක් වුවත් ඔහු නියෝජනය කළේ යූ.එන්.පී. යට උරුමකම් කියන්නන් ගේ පංතිය නොවේ.

ප්‍රේමදාස එයට විසදුම ලෙස දැක්කේ එම පංතියටම හේත්තු වීම පමණි.

ඒ පංතියට ඇතුළු වීම සදහා තම පරම්පරා කතාව අලුත් කිරීමට අමතරව සිදු කළ
සෙන් ජෝශප් කතාව, තාත්තා සතුව තිබූ රික්ෂෝ ගණන, නෝනා ටෙනිස් ගැසීම ආදිය තුලින් සිදු වූයේ ඔහුව තව තවත් හෑල්ලුවට ලක්වීම පමණි.

ඒ වෙනුවට තමා දුප්පත් දෙමාපියන් යුවළකගේ දරුවකු බවත් , තමා මෙතැනට පැමිණියේ ලැවරියා විකුණා බවත් පවසා සැබෑ ජනතාවාදී වැඩ පිළිවෙළකට ගියේ නම් ප්‍රේමදාස අදටත් වීරයෙකි .

(ඇටමැස්සා)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...