BREAKING
Top Ad
ඇට මැස්සා

ගීතා හා සීතා -ඇටමැස්සා (18)

T

The Leader

September 6, 2020 • 11:29 PM

ගීතා හා සීතා -ඇටමැස්සා (18)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගීතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකි.
  • සීතාට ඇත්තේ එක් පුරවැසිභාවයක් පමණි.
  • ගීතා අවුරුදු 10 ක් සීනියර් ය.
  • රෝග නිධානය ඇත්තේ වෙන කොතැනවත් නොව එතැන ය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

සීතා වෛද්‍යවරියකි.

ගීතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකි.

සීතා ද පාර්ලිමේන්තු මන්ත්‍රිවරියකි.

ගීතා පාර්ලිමේන්තු ‍එන්නේ මහජන ජන්දයෙනි.

සීතා පාර්ලිමේන්තු ‍එන්නේ ජාතික ලැයිස්තුවෙනි.

ගීතාට ද්විත්ව පුරවැසිභාවයක් ද තිබුණි.

සීතාට ඇත්තේ එක් පුරවැසිභාවයක් පමණි.

ඒ අතින් ගීතා සීතාට වඩා ඉහළ යැයි යමෙකුට පැවසිය හැකිය.

ගීතා අවුරුදු 10 ක් සීනියර් ය.

සීතා ජූනියර් ය.

වයස ගත්තත් ගීතා සීනියර් ය.

සීතා ජූනියර් ය.

ගීතාට හොඳ කටක් ඇත.

සීතාටත් හොඳ කටක් ඇත.

එනමුත් ගීතාට මළ පැන්න විට එන කට හමුවේ සීතා පරාදය.

ගීතාට ධීවර අමාත්‍යයාංශය බාර දුන්නේ නම් මාලු කාරයොත් සරෙන්ඩර් ය.

ගීතා නිකංම මන්ත්‍රිවරියකි.

සීතා රාජ්‍ය ඇමැතිනියකි.

රෝග නිධානය ඇත්තේ වෙන කොතැනවත් නොව එතැන ය.

ගීතා ලොකු ආඩපාලියක් කියා තිබේ.

එහි සමස්ත අර්ථය වචන 3 කට කැටි කළ විට කියවෙන්නේ මෙසේය.

" සේරම සැලකිලි සීතාලට "

ඒ කියන්නේ ගීතාලට සලකා නැති බවය.

ගීතාව දන්නේ 1991,1996,2000,2004 යන වසරවල සිවි වතාවක් ජනප්‍රිය සම්මානය දිනාගත් ආකර්ෂණීය නිළියක වශයෙනි.

සීතාව දන්නේ වියත්මගේ ආකර්ෂණීය කථිකයකු ලෙසිනි.

ලංකාවේ ඕනම ගොනෙකුට නිළියක විය හැකිය.

එසේ වුවත් හැම නිළියකම ගොනෙකු නොවේ.

ලංකාවේ ඕනම ගොනෙකුට වෛද්‍යවරයෙක් විය නොහැකිය . ( සයිටම් එක දැම්මෙ ඒ නිසාය.)

එසේ වුවත් ලංකාවේ වෛද්‍යවරුන් අතර ගොන්නු ද සිටිය හැකිය.

මේ වාක්‍යය ලිව්වෙ ‍රාජිත මතක් වූ නිසාය.

ගීතාව හදුනන්නේ නීල් රූපසිංහ ගේ ' ලස්සන කෙල්ල ' චිත්‍රපටිය නිසාය.

සීතාව හදුනන්නේ වාල්මිකී ලියූ රාමායණය නිසාය.

මේ ඉන්නේ ඒ සීතාමදැයි තාම සොයාගෙන නැත.

සීතා වෛද්‍යවරියක වශයෙන් කරන සේවය ගැන විචාර පළවන්නේ නැත.

ඇය කරන හොඳ හෝ නරක  රෝගීන් ගේ කටින් කට පැතිරී යයි.

ගීතාට එහෙම  නොවේ.

ගීතා රගපාන චිත්‍රපටි ගැන විචාර පළවෙයි.

ස්වාධීන විචාරවල ( එහෙම එකක් ලංකාවේ ඇත්නම් ) ගීතා ගේ රංගනය ගැන ගුණ දොස් විචාරය කරයි.

ගීතා ගේ ඇක්ටිං හොඳයි කියා විතරක්ම කියාගන්න ඕන නම් සල්ලි දීලත් කරගත හැකිය.

එසේත් නැතිනම් විචාර ලියන්නෙකුගේ ගෙදර වහල ගහන්න උළු අරන් දීමෙන් හෝ පොළොවට ටයිල් අරන් දීමෙන් හෝ කරගන්න පුළුවන.

ගීතා ගැන මරු කතාවක් ඇත.

ඒ උදයකාන්ත 'බහුබූතයෝ' චිත්‍රපටිය සැලසුම් කරමින් සිටි අවධියයි.

ගීතා ගේ උපන්දින සාදයට පැමිණි උදයකාන්ත තම නව නිර්මාණය ගැන ගීතා ට පැවසුවේ ය.

උදයකාන්ත නික්ම ගිය පසු එහි පැමිණියේ ඇන්ඩෘ ජයමාන්න ය.

" ඇන්ඩෘ අයියේ, මරු කොන්සෙප්ට් එකක් තියෙනවා .. මාව දාලා ෆිල්ම් එකක් ගහන්නකෝ..."

ගීතා  එලෙස ඇන්ඩෘට රහස හෙළි කළා ය.

ඇන්ඩෘ කළේ ගීතා දුන් අදහස් උඩ ටෙලි නාට්‍යයක් නිර්මාණය ය.

හැබැයි ඒ ගීතා ප්‍රධාන නිළිය ලෙස ගෙන නොවේ, වෙනත් ප්‍රකට නිළියක් ප්‍රධාන නිළිය වශයෙන් තෝරා ගනිමිනි.

ටෙලිය තාවකාලිකව අතරමග නතර වූයේ අදාල නිළිය නිදා සිටියදී ඇදත් සමග බිමට කඩාවැටීම නිසාය.

ඊට පසු ඇන්ඩෘ ‍ජයමාන්නගේ කාර්යාලය තුල සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් හේතුවෙන් ටෙලි නාට්‍යය සදහටම අත් හැර දමනු ලැබීය.

උදයකාන්ත 'බහුබූතයෝ' චිත්‍රපටියේ තිර පිටපත බලන්න දුන්නේත්, ඇන්ඩෘ ජයමාන්න ටෙලි නාට්‍ය පිටපත ලියන්න දුන්නේත් එකම පුද්ගලයකුට නොවන්නට මේ කතාව අදටත් රහසකි.

"...කලාවට දෙන්න තිබුනු දායකත්වය දේශපාලනය වෙනුවෙන් ලබාදුන්නා...

"...මාව බලයට පත් කරපු ජනතාවගේ  ඉල්ලීම් ඉටුකරන්න තාම බැරි වෙලා තියෙනවා ..."

"... නමුත් මම සැලෙන්නේ නෑ..."

මේ ගීතා කියන කතා ය.

සැලෙන්නේ නෑ කිව්වාට හොඳට සැලී ඇති බව නම් මේ කතාවලින් හොදටම තේරේ.

ගීතා ට ජන්දය දුන් ජනතා ජනතාවගේ ඉල්ලීම් මොනවාදැයි කියා නැත.

එහෙත් එක දෙයක් නම් ඕනම කිරි සප්පයකුට වුවත් තේරේ.

ගීතා මේ ඉල්ලා සිටින්නේ ඇමැති ධූරයකි.

ගීතා ට ජන්දය දුන් ජනතාව ගේ පැතුම ඒකය.

ගීතා නොකියා කියන්නේ ඒ ටිකය.

සීතාලට විතරක් සලකනවා කියා ගීතා වහෙන්ඔරෝ බාසාවෙන් කියන්නේ ඒ කතාව ය.

සීතා ජාතික ලැයිස්තුවෙන් පැමිණ රාජ්‍ය අමාත්‍ය ධූරයකින් පිදුම් ලැබීම ගීතා ගේ විස්සෝපයට හේතුව වී ඇත.

ජාතික ලැයිස්තුවෙන් පැමිණි කාට ඇමැතිකම් දුන්නත් ප්‍රශ්නයක් නැත.

සීතා ට දීම ගීතා ට වාවන්නේ නැත.

මීට කලකට ඉහත ' විචිත්‍ර ' නමින් සිනමා කලා පත්තරයක් පළ විය.

ප්‍රේම් දිසානායක, රැලෙක්ස් රණසිංහ වැනි දැවැන්තයින් පිරිසක් එම පුවත්පතට සම්බන්ධ විය.

පත්තරයට සල්ලි ‍යට කළේ සරත් අමුණුගම ය.

'විචිත්‍ර' පත්තර 10 ක් මුද්‍රණය කරන විට ඉන් පත්තර 5 ක වත් මුල් පිටුවල සිටියේ ගීතා ය.

එවිට මාලිනිවත්, ස්වර්ණාවත්, ශ්‍රියානිවත්, අනෝජාවත් 'විචිත්‍ර' පත්තරේ සලකන්නේ ගීතා ට විතරක් යැයි චෝදනා නොකළහ.

ගීතාට ඇතුලෙන් කැපිල්ලක් තිබිය හැකිය.

ගීතා ට පිටතිනුත් කැපිල්ලක් ඇත.

නඩු දමා ගීතා ගේ මන්ත්‍රී පදවිය අහෝසි කරන්නේ එබැවිනි.

සීතාටත් කැපිල්ලක් ඇත.

ඒක එන්නේ පිටතට වඩා ඇතුලෙනි.

සීතා රූපවාහිනී වැඩ සටහනක කළ ප්‍රකාශයක් විකෘති කොට සමාජ ජාල ඔස්සේ වැඩිපුර බෙදා හැරියේ පිට අයට වඩා ඇතුලේම අයයි.

එක් රාජ්‍ය නාලිකාවක දොර කාට විවර වුවත් සීතාට විවර නොවේ.

 කොරෝනා මැඩ පැවැත්වීමට ගෙන ගිය අරගලයේදී සීතා නිහඩව කළ කාර්යභාරය සමහර විට රටේ බහුතරයක් මෙන්ම ගීතා ද නොදන්නවා විය හැකිය.

ගීතාට ඇමැතිකමක් ඕන ගමට වැඩ කරන්නට ය.

සීතා ගේ ඇමැතිකම රටට වැඩ කරන එකකි.

සීතා කරන කටයුත්ත සාර්ථක වුවහොත් එහි ප්‍රතිඵල ගීතා ගේ ගමේ කොල්ලන්ට, කෙල්ලන්ටත් බුක්ති විදිය හැකිය.

රටට අද අවශ්‍යව ඇත්තේ ගමට වඩා රටට වැඩ කරන මිනිසුන් ය.

ඇමැතිවරුන් ය.

ගොඩක් කාලෙකින් පාර්ලිමේන්තු ආ නිසා ගීතාට අමතක ව ඇති කරුණු දෙකක් සිහිපත් කළ යුතුව ඇත.

පළමුවැන්න, දැන් පාර්ලිමේන්තුවේ සරත් අමුණුගම නැත.

දෙවැන්න, දැන් ජනාධිපති මහින්ද නොව ඝෝඨාභය යි.

(ඇටමැස්සා)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...