BREAKING
Top Ad
ඇට මැස්සා

හැඳි මිට දික්කර ගමු...! - ඇටමැස්සා (31)

T

The Leader

September 25, 2020 • 10:36 AM

හැඳි මිට දික්කර ගමු...! - ඇටමැස්සා (31)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අප දැන් ජීවත්වන්නේ විකෘති වූ සමාජයකය.
  • තාක්ෂණය සිතා ගැනීමටත් වඩා නොහැකි ලෙස දියුණු වී ඇත.
  • කොම්පියුටර් තබා රූපවාහිනියක් වත් නොතිබූ යුගයක ඉපදුනු අපි තාක්ෂණය ඉදිරියේ මෝඩ හරකුන් බවට පත්වී සිටිමු.
  • තනිකම් දෝෂ මග හරවා ගන්න ෆේස්බුක් වලින් පටන් ගන්නා චැට් එක අවසාන වන්නේ මහා ඛේදවාචකයකින් බව තවමත් ඔවුන්ට වැටහී නැත.
අකුරු ප්‍රමාණය (Font Size):

අධ්‍යාපන මට්ටම අතින් ඉහළ සමාජයකය.

සාක්ෂරතාව තුන්වන ලෝකයේ සෙසු රටවල් ද ඉක්මවා ගිය සමාජයකය.

මනුස්සකම තුට්ටු දෙකට ගිය සමාජයකය.

තාක්ෂණය සිතා ගැනීමටත් වඩා නොහැකි ලෙස දියුණු වී ඇත.

කොම්පියුටර් තබා රූපවාහිනියක් වත් නොතිබූ යුගයක ඉපදුනු අපි තාක්ෂණය ඉදිරියේ මෝඩ හරකුන් බවට පත්වී සිටිමු.

ඒ මෝඩ කම්වල ප්‍රතිඵල දිනෙන් දින අන්තර්ජාලය ඔස්සේ අසමින් දකිමින් සිටිමු.

පාසල් වයසේ දරු දැරියන්ගේ සිට පාසල් වයසේ දරු දැරියන් සිටිනා අම්මලා පවා දැන් හැසිරෙන්නේ අධ්‍යාපනයක් නොව සාමාන්‍ය දැනුමක්වත් නැති ඔලමොට්ටල පිරිසක් මෙනි.

තනිකම් දෝෂ මග හරවා ගන්න ෆේස්බුක් වලින් පටන් ගන්නා චැට් එක අවසාන වන්නේ මහා ඛේදවාචකයකින් බව තවමත් ඔවුන්ට වැටහී නැත.

ඉස්සර ගමේ ගැහැනුන්ට ගැහුවෙ නානතොට වල රැඳී සිටින කළු කුමාරයා ය.

දැන් කළු කුමාරයා එන්නේ නානතොට හරහා නොව ෆේස්බුක් තොට හරහා ය.

නිසි අධ්‍යාපනයක්, සාක්ෂරතාවයක් නොතිබූ අතීතයේ විසූ අපේ ගැමි කත ඉතා සූක්ෂම ලෙස මෙකී කළු කුමාරයන් ගෙන් ගැලවුණු අන්දම ජන කවියා විසින් අපූරුවට සටහන් කර තිබේ.

එයින් කිහිපයක් මතු සඳහන් කරන්නේ තමන් විසින්ම බඩු කෑලි බවට පත්වෙමින් සිටින කාන්තා පරපුරේ මතු ආරක්ෂාව සඳහා ය.

 හිමියෙක් නැති ගමන් 

එකල ගමන් බිමන් ගියේ බොහෝ විට පා ගමනිනි.

සැමියා නොමැති ව එවැනි ගමනක් ගිය විවාහක කතකට අයුතු යෝජනාවක් ගැමි තරුණයෙකු විසින් කරනු ලබයි.

ඒ මෙසේය.

"අල්ලාගෙන නෙරිය පොටකින් කිම්ද නගෝ 
වසා ගෙන දෙතන අතකින් කිම්ද නගෝ 
හිමියෙක් නැති ගමන් තනි මග කිම්ද නගෝ
අම්බලමේ ඉඳලා අපි යම්ද නගෝ "

තම හිමියාත් නොමැතිව පාළු මග ගිය මේ තරුණිය කළුකුමාරයාට හසුවන්නේ නැත.

 ඒ වෙනුවට ඇය අපූරු පිළිතුරක් කවියෙන්ම සපයන්නීය.

"අල්ලාගෙන නෙරිය මඩ තැවරෙන හන්දා 
වසාගෙන දෙතන බිලිඳුගෙ කිරි හන්දා
බාල මස්සිනා පස්සෙන් එන හන්දා
යඤ්ඤම් අයියණ්ඩි අපේ ගම දුර හින්දා"

ඇය ඉතා අපූරුවට අනතුරෙන් ගැලවෙන්නීය.

ඒ සඳහා අවශ්‍ය වූ තැනේ හැටියට ඇණේ ගැසිය හැකි උපාධි සීයකින්වත් ලබාගත නොහැකි මොළයක් ඇයට තිබිණි.

එහෙත් වර්තමානයේ මේ කතාව සිදු වූවා නම් එය අවසන් වන්නේ හෝටල් කාමරයක් තුළදී ය.

ලෝක රටාව දැන් එයයි.

"එයත් එක්ක ගිහින් මට මොනා උනත් කම් නෑ "

මේ බොහෝ යුවතියන්ගේ ආකල්පයයි.

එහි සැබෑ ප්‍රතිඵල දකින්නට එයා එක්ක තරහ විය යුතුය.

ප්‍රතිඵල පසුවදාම අන්තර්ජාලයේ පළවන්නේ තිලංගගේ race by race ප්‍රතිඵල වලටත් වඩා වේගයෙනි.

දිව සළු මොටද...!

ජන කවියා ගැමි ලියන්ගේ බුද්ධිමත්භාවය නිරතුරුව කවියට නගා ඇත.

ඒ ගැමි ලිය ඉන්නේ අද වෙසෙන මේක් අප් ලියන්ට වඩා ගව් ගණනක් ඉදිරියෙනි.

මේ තවත් එවැනිම සංසිද්ධියකි.

ඇරයුම එන්නේ මේ අයුරිනි.

"බුලත් දෙමැයි නුඹෙ කට තුල පෙවෙන්නට
නාමල් දෙමැයි නුඹෙ වරලස  ගොතන්නට 
දිවසළු දෙමැයි  නුඹෙ තුනු ඉග වසන්නට 
එනවද ළදේ මා වෙත කල් බඳින්නට "

මේ දෙනවා යැයි කියූ දේවල් අතීතයට අදාළ කරගත යුතුය.

සිදුවීම සදාකාලිකය.

මොනවා දෙනවා කීවත් ඇය අපේ ඡන්දදායකයා තරම් මෝඩ නැත.

මේ ඇගේ පිළිතුරයි.

"බුලත් මොටද කස්තුරි කපුරු කන මට 
නාමල් මොටද රන්මල් පළඳිනා මට
දිවසළු මොටද රන්සළු පළදිනා මට 
අන් හිමි මොටද මගෙ රන්කඳ ගෙදර කොට"

ගැමි කාන්තාව සතු හැඳි මිටට එහා ගිය නුවණ නිසා තම නම්බුවත් පවුලත් රැකගැනීමට ඇය සමත් වන්නීය.

 අවාසනාව නම් ඇයට පෙනෙන දුරින් කාලක්වත් අද කාන්තාවන්ට නොපෙනීමයි.

අන්තර්ජාලයට ගිය විට ශ්‍රී ලංකාව වෙනුවෙන් පිටු ගණන් වෙන් වී ඇත්තේ ස්මාට් ෆෝන් ඉදිරියේ සළු පිළි උනා දැමීමට තරම් මුළා වූ කතුන් නිසාය.

ඇතැම් පුද්ගලයින් විසින් කෙසේ හෝ රවටා ගන්නා කාන්තාවන් ගේ නිරුවත රූගත කරන්නේ ඇයටත් හොරාය.

එහෙත් තමන් රූගත කරගත් දෙය එළියට ගන්නට යන්නේ තුන්වෙනි පාර්ශවයක් වෙත ය.

තුන් වැනි පාර්ශවය වැඩේ ඉටුකර මුදලුත් ලබා ගන්නේ තමන්ට ද කොපියක් තබා ගනිමිනි.

මේවා අප වැඩි දුර නොසිතන කරුණු කාරණාය.

දෙන්නාගේ වෙනස ...!

මේ කතාව අදටත් වලංගු එකකි.

පැරණි පෙම අලුත් කරගන්නට පැමිනි පැරණි පෙම්වතාට පැරණි පෙම්වතිය සලකන්නේ  කෙසේ දැයි මෙහි පිලිතුරු කවිය කියා දෙයි.

"ආදි අපි දෙන්නා දිය පිට මලක් වගේ 
දැනට අපි දෙන්න දිවි දුටු මුවන් වගේ 
ගොඩ නුපුරුදු දිය නුපුරුදු සතුන් වගේ
උඹලගෙ සෙනේ හුණු නැති බුලත් විඩ වගේ"

සැමියා නැති අල්ල පනල්ලේ පැරණි පෙම්වතා එන්නේ රාත්‍රීය ගත කරන්නටත් එක්කය.

එහෙත් එන පොට හොඳ නැති බව තේරුම් ගත් ගෙහිමි කත පිළිතුරු දෙන්නේ මෙලෙසිනි.

"ආදි අපි දෙන්න දෙන්නම තමුන්නේ
දැනට අපි දෙන්නා දෙන්නම අනුන්නේ
නොදැන නොවෙයි පිල පිට පැදුර දුන්නේ 
යතුර දෙන්න මේ ගේ දොර අනුන්නේ"

මෙවන් ඇරයුමක් ලද සැනින් දොරත් හැර ඩබල් බෙඩ් එකත් පිරිනමා මිනිහත් මරාගෙන පවුලත් විනාස කරගත් පුවත් නොසෑහෙන්න පසුගිය වකවානුවේ වාර්තා විය.

ගජමන් නෝනාගේ පිළිතුර..!

ගජමන් නෝනා විවිධ හැල හැප්පිලි මැද ජීවත් වූ කාන්තාවකි.

සිය සැමියාගේ වියෝවෙන් පසු බලවත් දුෂ්කරතා මැද දිවි ගෙවූ ඇයගේ පහස පතා පැමිණි පුරුෂයකු තම ඉල්ලීම ඉදිරිපත් කළේ මෙලෙසිනි.

"පන්නා පත් හිරිදු රිවි උදය වේලක
දෙන්නා සමඟ ගොස් ඉඳ අරණ ගාලක
පන්නා මදන බීතෙන් ඉද  නොවී සැක 
පෙන්නා පන් ළදේ තුණුවිල දවාලක"

හැරෙන තැපෑලෙන් ගජමන් නෝනා ඔහුට පිළිතුරු දුන්නාය.

"තුනුවිල බලන්නට මුගෙ සිත වෙලා දුක 
තුනුවිල බලන්නට සිතුනිය දවාලක
තුනුවිල මැකීලා අඹුගෙ වූ මුලාවක 
තුනුවිල බලාපිය අම්මගෙ දවාලක"

ගජමන් නෝනාට තිබූ මේ පිටකොන්ද වර්තමාන කාන්තා පරපුරේ කී දෙනෙකුට තිබේද ?

වත්මන් කාන්තාව ජීවත්වන්නේ අනතුර ඉදිරියේ ය.

එයින් ගැලවීමට නම් හැඳිමිටේ නුවණ දික් කර ගත යුතුව ඇත.

(ඇටමැස්සා)
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...