BREAKING
Top Ad
ඇට මැස්සා

මල්වත්ත පාරේ රසවතා (20) - ඇටමැස්සා

T

The Leader

September 10, 2020 • 3:02 AM

 මල්වත්ත පාරේ රසවතා (20) - ඇටමැස්සා 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පිටකොටුවේ මල්වත්ත පාර යැයි කී සැණින් අපේ මතකයට නැගෙන්නේ අව්වෙන් කර වී ගිය, දූවිලි පිරුණු ,දහඩිය පෙරා ගත් හෙම්බත් මුහුණුවලින් යුතු පරිසරයකි.
  • විජිත පරණවිතාන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ 1978 දී පමණ ලුවිස් බ්‍රවුන් තැටි යුගයේ අවසානයත් සමග ය.
  • ශ්‍රී ලංකාවේ ප්‍රථම කැසට් පටය, මිල්ටන් මල්ලවආරච්චි ගේ ගීත 12 ක් සමගින් 'එනිටයිම් එනිවෙයාර්' නමින් විජය  රාමනායක විසින් තරංගා ලේඛනය යටතේ නිකුත් කරන්නේ මේ අවධියේය.
  • හන්තානේ කතාව (1969 )චිත්‍රපටයේ එන 'අනන්ත වූ දෙරණ සරා ' ගීතයේ දෙවැනි පටිගත කිරීම සිදුකරන්නේ විජිතගේ සීඩී පටයක් සඳහාය.
අකුරු ප්‍රමාණය (Font Size):

කොටුව ස්ටේෂන් එක ඉදිරීයෙන් වැටී ඇති මල්වත්ත පාරේ දිගටම ඇවිදගෙන ගොස් වමට හැරී මද දුරක් ගිය විට අච්චාරු කරත්තයක් හමුවේ.

එයද පසු කර ඉදිරියට ගිය විට පුංචි කඩ පොඩ්ඩක් හමුවෙයි.

මේ පුංචි කඩයේ පුංචි මිනිසෙකු සිටියේය.

පුංචි වුවත් ඔහුට ලොකු රසිකත්වයක් තිබුණි.

ඔහු නමින් විජිත පරණවිතානය.

විජිත ට්‍රෙඩි සෙන්ටර් නමින් තිබුණු පුංචි කැසට් කඩේ හිමිකරු ඔහුය.

අද කිසිවකුටත් මතක නැති මේ පුංචි මිනිසා ගැන මතකය අලුත් කරන්නේ එවැනි සරල සුන්දර මිනිසුන් අපේ සමාජයෙන් දුරස් වෙමින් පවතින නිසාය.wijitha Pranawithana 2020.09.10

විජිත පරණවිතාන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ 1978 දී පමණ ලුවිස් බ්‍රවුන් තැටි යුගයේ අවසානයත් සමග ය.

එය තැටියෙන් පටියට එන සංක්‍රාන්ති සමය විය.

ශ්‍රී ලංකාවේ ප්‍රථම කැසට් පටය, මිල්ටන් මල්ලවආරච්චි ගේ ගීත 12 ක් සමගින් 'එනිටයිම් එනිවෙයාර්' නමින් විජය  රාමනායක විසින් තරංගා ලේඛනය යටතේ නිකුත් කරන්නේ මේ අවධියේය.

මහා පරිමාණයෙන් නොව පුංචියට විජිතත් කැසට්  ව්‍යාපාරයටත් ඉන්පසුව සීඩී ව්‍යාපාරයටත් එළැඹෙන්නේ ය.

විජිත ගැන කියද්දී පිටකොටුව පරිසරය හා මල්වත්ත පාර ගැන කිව්වේ විශේෂ හේතුවක් නිසාය.

ඔහු කිසි විටෙක ජරාව විකුණන කොළඹ කාක්කෙක් නොවුණි.

ඔහු වෙළෙඳ පොළට කැසට් හා සීඩී මගින් නිකුත් කළ සියලු නිර්මාණ පෙර කී කර්කශ පරිසරයේ අඳෝනාව මකා දමන අතිශය සුන්දර ගීත නිර්මාණ විය.

අතීතයේ අපට ඇසුණු රසවත් ගීත නිර්මාණ විකෘති නොකර ප්‍රතිනිර්මාණය කොට ශ්‍රාවකයින් අතට පත් කිරීම ඔහුගේ කාර්යභාරය  විය.

හන්තානේ කතාව (1969 )චිත්‍රපටයේ එන 'අනන්ත වූ දෙරණ සරා ' ගීතයේ දෙවැනි පටිගත කිරීම සිදුකරන්නේ විජිතගේ සීඩී පටයක් සඳහාය.

මේ ගීතය ඇසූ 'තරංගා' අධිපති විජය රාමනායක විජිත ගෙන් අසන්නේ "උඹ කොහෙන්ද මේවා සොයාගන්නේ ..?"යනුවෙනි.

විජිත සොයා ගියේ එවැනි  විරල ගීතයි.

ඔහු කිසි ලෙසකින් වත් කුණු රසයෙන් යුතු ගීත වෙළඳපොළට නිකුත් නොකළේය.

ලාභය තකා ජරා ගීත වෙළඳපොළට නිකුත් කිරීම ඔහුගේ ප්‍රතිපත්තිය නොවීය.

විජිත මුලින්ම ඉදිරිපත් කළේ අබේවර්ධන බාලසූරිය හා නිරංජලා  සරෝජනී ගේ ගීත සමූච්චයකි.

මර්වින් පෙරේරා ගී හොඳම ගීත එකතුව නිකුත් කරන්නේද විජිත යි.

පැරණි සංගීතය නොමරා, පැරණි රසය නොමරා, නව තාක්ෂණය උපයෝගී කර ගැනීම විජිතගේ ක්‍රමවේදය විය.

අතීතයේ අප අසා තිබුණු බොහෝ ගීත දෙවැනි පටිගත කිරීමක් වශයෙන් එළි දැක්වීම විජිතගේ කැසට් හා සිටි වෙළෙඳාමේ මූලික හරය විය.

නාරද දිසාසේකරයන් සොයාගෙන ඔහුගේ මියුරුතම ගී පෙළ යලි දැයට දායාද කරන්නේ ද විජිත විසිනි.

මේ කලාකරුවන් බොහෝ දෙනා පටිගත කිරීම් සදහා රැගෙන ගියේද ඔහුගේ ත්‍රීවිල් රථයෙනි.

මේවායින් ලද ලාභය අල්ප වුවත් හොඳ දෙයක් කිරීමෙන් ලද උපරිම සතුට ඔහු සතුවිය.

විජිතගේ අතට අසු වුණේ වෙනත් නිෂ්පාදකයින් අතට අසු නොවන නිර්මාණයන්ය.

හදේ සුසුමක් (වික්ටර්) 

සැන්දෑ අහසේ ඉරට මුවාවෙන්, බිංදු බිංදු මල්, සරසවියෙදි හෙට විතරයි ( දයාරත්න  රණතුංග)  

දෑතට වලලූ (නීලා) 

පවනට සැලෙනා (ටී එම්) 

ආශා දෑසින් දකිනා සීනේ, මොකද මැණිකේ (දේවානන්ද  වෛ‌ද්‍යසේකර) 

මා මැව්ව පෙම් පෙත, ආදරයේ රන් විමනේ ( ලතා වල්පොල ) 

මා දුර ඈතක, කතරක තනි වී ( මර්වින් පෙරේරා ) 

ඉරා අදුරු පට, නෙත ගිය හැම තැන , සහසක් පැතුමන් ( සනත් නන්දසිරි )

සුළං කුරුල්ලෝ, හංසරාණි ( හරූන් ලන්ත්‍රා) 

ආදර නිල් දෑසේ, මේ භවයෙදි, ගමන නොනිමෙයි ( නාරද දිසාසේකර)

ඔහු විසින්  නිෂ්පාදනය කොට එළිදැක්වූ ගීත අතර විය.

විජිත , සරත් දසනායක, ෂෙල්ටන් ප්‍රේමරත්න, ලයනල් අල්ගම වෙනි සංගීතවේදීන් සමග සමීපව කටයුතු කළේ ය.

විජිත සම්බන්ධව තවත් අපූරු කතාවක් ඇත.

ක්ලැරන්ස් විජේවර්ධන ඔහුගේ අවසන් සීඩී තැටිය කළේ ඔහුගේම මුදල් යොදවමිනි.

එකල සීඩී පිටපත් මුද්‍රණය සිදු කළේ සිංගප්පූරුවේ ය.

එහෙත් බලවත් සේ රෝගාතුර වීම නිසා ක්ලැරන්ස් තම මිතුරෙකු සිංගප්පූරුවට පිටත්කර හැරීය සීඩී පිටපත් ගැසීම සඳහා ය. 

මූලික වටයේදී සීඩී තැටි 1000 පිටපත් කිරීම ඔහුගේ අදහස විය.

මිතුරා සිංගප්පූරුවේ සිටියදී ක්ලැරන්ස් අවසන් ගමන් යන්නේය.

මේ පුවත ආරංචි වුණු ක්ලැරන්ස්ගේ මිතුරා කරන්නේ සීඩී තැටි දාහක් වෙනුවට දෙදහක් මුද්‍රණය කොට තැටි දාහක්  ක්ලැරන්ස් ගේ බිරිඳ අතට දී ඉතිරි ඒවා හොර රහසේම  වෙළඳපොළට නිකුත් කිරීමය.

ක්ලැරන්ස් ගෙන් ගොඩ ආ එක්තරා ප්‍රකට කැසට් නිෂ්පාදකයෙක් ක්ලැරන්ස්ගේ දේහය තලපත්පිටිය පාරේ නිවසේ තිබියදී මේ හොර සීඩී පටය විකුණුවත් විජිත එම ව්‍යාජ සීඩී තැටි විකිණීම භාරගත්තේ නැත.

 ඔහු පැවසුවේ මෙපමණකි.

නීත්‍යානුකූල ලෙස ශීලා විජේවර්ධන (ක්ලැරන්ස් ගේ බිරිඳ) ගෙනාවොත් පමණක් තමන් සීඩී තැටි විකිණීම සඳහා භාරගන්නා බවයි.

විජිත ඒ අන්දමේ අවංක මිනිසෙක් විය.

විජිතගෙ කැසට් හා සීඩී නිෂ්පාදනය අවසන් ගමන් යන්නේ කේමදාසයන්ගේ ' කිලර්' ද සමගිනි.

කේමදාසයන්ගේ 'කිලර්' සීඩී තැටිය නිෂ්පාදනය කිරීමට විජිතට මෙන්ම තවත් සීඩී නිෂ්පාදන ආයතනයකට ලබාදීම මේ අවුලට හේතු විය. 

කේමදාසගේ ඇස්දෙක සනීප කරන්න ඉන්දියාවට රැගෙන ගියේ ද විජිත විසිනි. 

 මහනුවර රැගෙන ගියෙත් විජිත විසිනි. 

ඒ සියල්ල අමතක කර කේමදාස විජිතට එරෙහිව නඩු මගට බැස්සේය.

අවසානයේ විජිත කළේ මල්වත්ත පාරේ ඔහුගේ කැසට් කඩේ විකුණා කේමදාසට වන්දි හා නඩු ගාස්තු ගෙවීමයි.

මේවා සියල්ල පිටුපස සිටිමින් කේමදාසයන්ව මේ තැනට තල්ලු කරන ලද්දේ කේමදාසගේ 'ගේම්දාස' ගෝල 'බාලයකු' බවට එකල රාවයක් පැතිරුණි.

අවසානයේ විජිත පරණවිතාන  නිෂ්පාදනය කොට වෙළඳපොළට නිකුත් නොකල ගීත රැසක් පුස් කන්නට ඉඩ හරිමින් නුවරඑළියේ අල වන්නට ගියේය.

එදායින් පසු ඔහු නැවතත් කලා ක්ෂේත්‍රයේ පස් පෑගුවේ නැත.

අදටත් ඔහු ජීවත් වන්නේ නිහඬවය.

කේමදාස බලවත් සේ අසනීප වූ අවස්ථාවේ විජීත රෝහල වෙත පැමිණියේය.

එහිදී කේමදාස මාස්ටර් විජිතගේ අත අල්ලාගෙන පැවසුවේ මෙපමණකි.

"මට සමාවෙන්න විජිත"


(ඇටමැස්සා)

විජිත විසින් නිෂ්පාදනය කරන ලද සීඩී තැටියක එන වික්ටර් ‍රත්නායකයන් ගැයූ 'හදේ සුසුමක් ' ගීතය.
මෙහි පද රචනය ඩෝල්ටන් අල්විස් ගෙනි.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...