BREAKING
Top Ad
ඇට මැස්සා

රාජාලියකුගේ ගමන් විලාශය - ඇ‌ටමැස්සා (10)

T

The Leader

August 26, 2020 • 5:31 AM

 රාජාලියකුගේ ගමන් විලාශය - ඇ‌ටමැස්සා (10)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහපො‌ළ ශිෂ්‍යත්වය ඇ‌ති කළේ කවර හේතුවක් නිසාදැයි එදා සිට අද දක්වාම මහපො‌ළ ශිෂ්‍යත්වය ලබාගත් කිසිම සරසවි සිසුවකු දන්නේ නැත.
  • අනෙක් අතට විශිෂ්ට බුද්ධිමතකු වූ ලලිත් කිසි දිනෙක කාටවත් පෙන්වන්නට බැරි බොරු සෝ‌බෝ‌න් උපාධියක් නො‌ගන්නා බව බණ්ඩාරනායක මහතාට ඉවෙන් මෙන් වැටහෙන්නටත් ඇ‌ත.
  • ලලිත් 1981 වසරේ මහපො‌ළ ශිෂ්‍යත්වය අරඹන්නේ එබැවිනි.
  • තමාට ඇති වූ ප්‍රශ්නය තවත් සරසවි සිසුවකුට උරුම කර නොදීමට ය.
අකුරු ප්‍රමාණය (Font Size):

එසේ දන්නවා නම් දේශපාලන ව්‍යාපෘති සදහා සරසවියට පැමිණෙන ශිෂ්‍ය නායකයින්ගේ ඇ‌ම කා කට්ට අව්වේ වේලි වේලි පිකට් කරන්නට යන්නේ ද නැත.

මේ කියන්ට යන්නේ මහපොළ ශීෂ්‍යත්වය ආරම්භ කළ එම රාජාලියාගේ කතාවයි.

වසර 1959 යි.

ඒ‌, ලලිත් ඇ‌තුලත්මුදලි ඔක්ස්ෆර්ඩ් සරසවියේ සිය පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු කරමින් සිටි අවධියයි.
ලලිත්ගේ පියා මියයන්නේ හරියටම  එම වසරේදී ය.

බලවත් ආ‌ර්ථික දුෂ්කරතා හමුවේ පරාජය බාරගත් ලලිත්ට අධ්‍යාපන කටයුතු අතහැර දමා ලංකාව බලා පැමිණෙන්නට සිදුවිය.

මේ පුවත එවකට අග්‍රාමාත්‍යවරයා වූ එස්.ඩබ්ලිව්.ආ‌ර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ සවනත වැකුණි.

බණ්ඩාරනායක මහතා ලලිත්ට සිය අධ්‍යාපන කටයුතු අවසන් කරන්නට රජයේ ශිෂ්‍යත්වයක් පිරිනැමුවේ පවතින නීති ද කඩමිනි.

ඒ‌, ඔහුගේ තීක්ෂණ බුද්ධියට ලලිත් යන දුර පෙනුන නිසාවෙනි.

අනෙක් අතට විශිෂ්ට බුද්ධිමතකු වූ ලලිත් කිසි දිනෙක කාටවත් පෙන්වන්නට බැරි බොරු සෝ‌බෝ‌න් උපාධියක් නො‌ගන්නා බව බණ්ඩාරනායක මහතාට ඉවෙන් මෙන් වැටහෙන්නටත් ඇ‌ත.

ලලිත් 1981 වසරේ මහපො‌ළ ශිෂ්‍යත්වය අරඹන්නේ එබැවිනි.

තමාට ඇති වූ ප්‍රශ්නය තවත් සරසවි සිසුවකුට උරුම කර නොදීමට ය.

අගහිගකම අධ්‍යාපනය කඩා ඉහිරවීමට හේතුවක් නො‌විය යුතුය යන සිතිවිල්ලෙනි.

එහෙත් ඉගෙනීම වෙනුවට සරසවි සිසුන් කරන්නේ මහපො‌ළත් රැගෙන කො‌ටුව ඉස්ටේසමේ සිට ජනාධිපති මන්දීරය දක්වා පා ගමන් යෑම පමණක් බව දැනගත්තේ නම් ලලිත් කිසි දිනෙක මහපො‌ළ ශිෂ්‍යත්වය අරඹන්නේ නැත.

ලංකාවට පැමිණි ලලිත් හො‌ද ශ්‍රී ලංකාකාරයකු විය යුතුව තිබුනත් එසේ නො‌වී ඔහු දරුණු යූ.එන්.පී. කාරයකු විය.

එසේ වූයේ ෆීලික්ස් ඩයස් ඔහුට කෙනෙහිළිකම් කළ නිසා යැයි කතාවක් ඇ‌ත.

ප්‍රභාකරන්ගේ ඉරණම අවසන් විය යුතුව තිබුනේ ලලිත් ජාතික ආ‌රක්ෂක ඇ‌මැති අවධියේ වුවත් එය වැළැකී ගියේ ජනාධිපති ජේ.ආ‌ර්.නිවට ලෙස ඉන්දියාව ඉදිරියේ දණ ගැසීම නිසාය.

ජේ.ආ‌ර්. එතෙක් කත් ඇ‌දි බටහිර රටවල් ඔහුව පයිසයකටවත් මායිම් නො‌කළ නිසාය.

ලලිත් ජනතා වීරයකු ලෙස නැගිටින්නේ 1991 ගාමිනී දිසානායක හා එක්ව ප්‍රේමදාසට එරෙහිව ගෙනෙන දෝ‌ෂාභියෝ‌ගයත් සමගය.

දෝ‌ෂාභියෝ‌ගය පරාද වන්නේ වැඩි ජන්ද කෝ‌ටි 5 කිනි.

එසේ වූයේ කෙසේදැයි දන්නෝ දනිති.

හඩ අනුව තීන්දු දුන් ජයසූරියලාත්,
දෝෂාභියෝගය  පාවා දුන් මො‌හමඩ්ලාත් අතර වෙනසක් නැත.

කෙලෙස විග්‍රහ කළද කෙළෙසුනේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයයි.

ලලිත් අධ්‍යාපන ඇ‌මැතිකමෙන් ඉල්ලා අස් වූ දිනට පසු පසු දින කො‌ල්ලුපිටිය මහානාම විදුහලේ දී ඇ‌රඹෙන මහපො‌ළ ශිෂ්‍යත්ව අරමුදල වෙනුවෙන් පැවැත්වෙන වෙළෙද සල්පිල හා සැණකෙළියට සියල්ල සූදානම් ව තිබිණ.

එහෙත් ප්‍රධාන අමුත්තා ඉල්ලා අස්වී ගො‌සිනි.

එය නිකම් අස්වීමකුත් නො‌ව මේ රටේ පහළ වූ මරුමූස්ම ජනාධිපතිවරයාට අභියෝ‌ග කරමින් කළ ඉල්ලා අස්වීමකි.

මහපො‌ළ වෙළෙද සල්පිල හා සැණකෙළිය විවෘත විය යුතු දිනය එළැඹිණ.

මොහොතද එළැඹිණ.

හරියටම සවස 5 ට එම ස්ථානයට පැමිණි ලලිත් රුපියල් 5.00 ටිකට් පතක් ගෙන මහපො‌ළ වෙළෙද සල්පිල හා සැණකෙළිය විවෘත කළේ ජනාධිපති ප්‍රේමදාසට හීන් දාඩියට අමතරව මහ දාඩියද දම්මවමිනි.

ප්‍රේමදාසට එරෙහිව ලලිත් සංවිධානය කළ රැස්වීම් නාට්‍යමය ගුණයක් ද ඉසිලීය.

එකල ප්‍රේමදාස පාසල් දරුවන් ගේ දිවා ආ‌හාරයට රුපියල් 3.00 ක් ලබා දෙයි.

වේදිකාවට ගො‌ඩවන ලලිත් සභාව දෙස විමසුම් බැල්මක් හෙළයි.

ඉන්පසු ඔහු සභාවේ සිටින පො‌ඩි එකෙකු වේදිකාවට නංවා ගනී.

ඉන් පසු ලලිත් හා පො‌ඩි දරුවා අතර ඇ‌ති වන්නේ මෙවන් සංවාදයකි.

" පුතා මො‌න පංතියේ ද?"

"දෙක වසරෙ"

" පුතාට දිවා ආ‌හාරයට කීයක් ලැබෙනවද?"

"රුපියල් 3 යි"

"ඔය රුපියල් 3.00ට රුපියලේ ටො‌ෆි කීයක් කන්න පුළුවන් ද?"

"ටො‌පි 3 යි"

"ඔය ටො‌ෆි 3 කෑවම පුතාගේ බඩ පිරෙනවද?"

" නෑ...!"

"අන්න දැක්කද, මේ දෙක වසරේ දරුවට තියෙන මො‌ළේ ප්‍රේමදාසට නෑ...."

ජයඝෝෂා මධ්‍යයේ ලලිත් සිය කතාව අරඹන්නේ එතැනිනි.

(මෙසේ වේදිකාවට නංවා ගත් පො‌ඩි එකා වෙනත් වාහනයකින් ඊළග රැස්වීමටත් ගෙනයන බව සමහර විට ඒ‌ පො‌ඩි එකාගේ අම්මාවත් නො‌දැන ඉන්නට ඇ‌ත.)

කො‌තරම් උගතෙක්, බුද්ධිමතෙක් වුවත් ලලිතුත් ඇ‌න්දුනු අවස්ථා ඇ‌ත.

එවක තහනම් ව පැවැති ජ.වි.පෙ. සමග ගිවිසුමක් අත්සන් කරන්නට ගො‌ස් තිස්ස බාලසූරිය පියතුමාත්, ලලිතුත් එකවර අන්දවන්නේ කෙලී සේනානායක නම් වූ අණ්ඩපාලයෙකි.

ලිස්ට් එකේ අංක 1 ලබා ගැනීම සදහා ඇ‌තුලත්මුදලි යන පෙළපත් නාමය 'අතුලත්මුදලි' යනුවෙන් දිව්රුම් ප්‍රකාශයකින් වෙනස් කරගැනීම වැටෙන්නේ ද ලලිත් ගේ ගො‌ංපාට්වලින් එකක් හැටියට ය.

1993 දී ලලිත් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ධූරයට තරග වැද ඉහළින්ම ජයගත්තත් ප්‍රතිඵල බලන්නට ඔහු ජීවතුන් අතර සිටියේ නැත.

නැතිනම් ප්‍රේමදාස රජය ඔහුට ජීවත්වීමට ඉඩ තැබුවේ නැත.

අද පවා යූ.එන්.පී. යට ගො‌ඩවීමට නො‌හැකි වී ඇ‌ත්තේ ලලිත් හා ගාමිනී එකතුව 1991 දී ගෙනා දෝ‌ෂාභියෝ‌ගය නිසාය.

දෝ‌ෂාභියෝ‌ගය යූ.එන්.පී. යට එරෙහිව කළ කො‌ඩි විනයක් විය.

1995 දී සිදුවූයේ කො‌ඩි විනය පක්ෂ නායකත්වයට පත්වීමයි.

ඒ‌ කො‌ඩිවිනය නම් ලලිත් වලෙන් යලි නැගිට ආ‌වත් කපන්නට හැකි වේ දැයි සැක සහිතය.

1977 රජය බලයට පත් වූ පසු වෙළෙද හා නාවුක අමාත්‍ය ධූරයට පත් වූ ලලිත් සිය උපන් දිනය දා රත්මලාන මල්ලිකාරාමයට ගියේ ආරක්ෂක නිලධාරින් ද පිරිවරා ගෙනය.

මල්ලිකාරාමයේ නායක හාමුදුරුවෝ එසේ මෙසේ කෙනෙක් නො‌වෙති.

උන් වහන්සේ වැලිගම ඥානරතන නායක හිමිපානෝ‌ය.

එදින ලලිත් පන්සලෙන් පිටව යනතුරු 
ආ‌වාස ගෙයින් එළියට බැස්සේ වැලිගම ඥානරතන හිමියන් නො‌වේ.

ඊළඟ අවුරුද්දේ ද උපන් දිනයට ලලිත් 
රත්මලාන මල්ලිකාරාමයට පැමිණියේය.

ඒ‌, තම බිරිද හා දියණිය සමගිනි.

ආ‌රක්ෂක නිලධාරින් සිටියේ පන්සලේ  ගේට්ටුව ළඟය.

එදින වැලිගම ඥානරතන හිමියෝ‌ වැඩම කො‌ට පිරිත් කියා ලලිත්ට ආ‌ශීර්වාද ද කළහ.

"ඔබ වහන්සේ ගිය අවුරුදේ මට ආ‌ශීර්වාද කරන්නට නො‌වැඩියේ මන්දැ"යි ලලිත් එහිදී විමසීය.

" ඔබතුමා ගිය අවුරුද්දේ ආ‌වේ දේශපාලකයකු හැටියට..අද ආ‌වේ බෞද්ධයකු හැටියට..."
ඥානරතන හාමුදුරැවෝ‌ එසේ පිළිතුරු දුන්හ.

එතැන් පටන් ලලිත් මියයන තුරු රත්මලාන මල්ලිකාරාමයට ගියේ බෞද්ධයකු හැටියට පමණකි.
ලලිත් කියන්නේ එවැනි මිනිසෙකි.

ඛේදවාචකය නම් එවැනි විශිෂ්ටයන් අසුන් ගත් තැන්වලට අද මිරිස් කුඩු කාරයින් අරක් ගෙන සිටීමයි.
(ඇටමැස්සා ) 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...