BREAKING
Top Ad
පරිසර

කළුගල් අපනයනයට අවසර දීම: 'අර්බුද රැසකට හේතුවක්'; 'කිසිසේත් ඉඩ නොදිය යුතුයි'

T

The Leader

February 4, 2024 • 11:34 PM

කළුගල් අපනයනයට අවසර දීම: 'අර්බුද රැසකට හේතුවක්'; 'කිසිසේත් ඉඩ නොදිය යුතුයි'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මීට වසර ගණනාවකට පෙර මහාචාර්ය සුනිල් ආරියරත්න රචනා කර, විශාරද නන්දා මාලිනී ගායනා කළ "රට කරවන්න නම්" නමැති ගීතයේ "කළුගල්වලට විකුණා‌ගෙන සීගිරිය" යනුවෙන් පද්‍ය ඛණ්ඩයක් තිබේ.
  • කළුගල් විකුණා විදේශ විනිමය ඉපයීම සීමාවන්ට යටත්ව කළුගල් අපනයනය කිරීම සඳහා ජනවාරි 29 වන දා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී කැබිනට් අනුමැතිය හිමි වී තිබිණි.
  • මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් සීමාකාරී තත්ත්වයන්ට යටත්ව කළුගල් අපනයනය කිරීම මගින් විදේශ විනිමය ඉපයීමේ වැඩපිළිවෙළක් කෙටිකාලීනව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව රජය නිවේදනය කළේ ය.
  • කෙසේ වෙතත්, කළුගල් අපනයනය කිරීම හරහා ක්ෂේත්‍ර රැසක අර්බුදකාරී තත්ත්වයක් ඇති වන බවට විවිධ පාර්ශව චෝදනා එල්ල කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ, සීගිරිය ගැන කතාවක් නොවේ, කළුගල් ගැන කතාවකි.

කළුගල් විකුණා විදේශ විනිමය ඉපයීම


සීමාවන්ට යටත්ව කළුගල් අපනයනය කිරීම සඳහා ජනවාරි 29 වන දා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී කැබිනට් අනුමැතිය හිමි වී තිබිණි.

එම අනුමැතිය දීම සාධාරණීකරණය කරමින් රජය ප්‍රකාශ කළේ, "රට තුළ මේ වන විට ඉදිකිරීම් හා සංවර්ධන කටයුතු සඳහා කළුගල් අවශ්‍යතාව සාපේක්ෂ වශයෙන් පහළ මට්ටමක පැවතීම නිසා කළුගල් කැණීම් කර්මාන්තයේ නිරත කැණීම්කරුවන් හා ඒ හා සම්බන්ධිත ප්‍රජාවන්ගේ ජීවනෝපාය මාර්ගයන්ට දැඩි බලපෑමක් එල්ල වී තිබීම හේතුවෙන් මෙලෙස කළුගල් අපනයනයට තීරණය කළ," බව ය.

මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් සීමාකාරී තත්ත්වයන්ට යටත්ව කළුගල් අපනයනය කිරීම මගින් විදේශ විනිමය ඉපයීමේ වැඩපිළිවෙළක් කෙටිකාලීනව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව රජය නිවේදනය කළේ ය.
 
 
එසේ ම, පරිසර ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගනිමින්, දැනට මාගම්පුර වරාය භුමියේ පරිපාලන ගොඩනැගිල්ල අසල හා හම්බන්තොට නව රෝහල් පරිශ්‍රයේ ගොඩ ගසා ඇති හම්බන්තොට මාගම්පුර වරාය ඉදි කිරීමේදී ඉවත් කරන ලද කළුගල් තොගයක්, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධීක්ෂණය යටතේ කඩිනමින් අපනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.
 
 
ඒ අනුව රජය පවසන්නේ, කළුගල් මෙට්‍රික්ටොන් මිලියනයක් දක්වා අපනයනය කිරීමේ හැකියාව සහ යෝග්‍යතාව පිළිබද කරුණු අධ්‍යයනය කර නිර්දේශ සහිත වර්තාවක් ඉදිරිපත් කිරීම පිණිස කමිටුවක් පත් කිරීමටත්, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ යෝජනාවලියට අනුමැතිය ලබා දීමටත් අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව ය.

කෙසේ වෙතත්, කළුගල් අපනයනය කිරීම හරහා ක්ෂේත්‍ර රැසක අර්බුදකාරී තත්ත්වයක් ඇති වන බවට විවිධ පාර්ශව චෝදනා එල්ල කරයි.
 
පාරිසරික බලපෑම

කළුගල් අපනයනය කිරීම මගින් පාරිසරික වශයෙන් ගැටලු රැසක් නිර්මාණය වන බව නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන බීබීසී සිංහල සේවයට පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ, මේ හරහා පාරිසරික වශයෙන් ඇති විය හැකි ප්‍රධාන ගැටලු කිහිපයක් ගැන අවධානය යොමු කළ යුතු බව ය.

ඔහු පෙන්වා දෙන්නේ, ආත්මීය පාෂාණයක් ලෙස සැලකෙන කළුගල් ක්ෂය වෙමින් පවතින සීමිත සම්පතක් වන හෙයින් ඒවා සීමිත වශයෙන් භාවිත කිරීමට වග බලා ගත යුතු බව ය.

පළමු ප්‍රශ්නය: 
"කළුගල් කියන්නේ ආත්මීය පාෂාණ වර්ගයක්. ඒ කියන්නේ ඒවා බොහොම සීමිත සම්පත් ප්‍රමාණයක් තමයි රටකට තියෙන්නේ. එතකොට රටේ අවශ්‍යතාවකුත් තියෙනවා. රටේ අවශ්‍යතාව ගැන දීර්ඝ කාලීනව හිතන්න වෙනවා. දැනටමත් ජාතික අවශ්‍යතාව සපුරන්නත් ප්‍රමාණවත් කළුගල් නැති අවස්ථා මතු වෙලා තියෙනවා. ආයිත් පුනර්වර්ධනය නොවන ක්ෂය වෙලා ඉවර වෙන්න පුළුවන් සම්පතක් කෙටි කාලීන ලාභයක් ගන්න කටයුතු කරනවා ද? දීර්ඝ කාලීනව රටේ යහපත සඳහා කටයුතු කරනවා ද? කියන එක."

ඊට අමතරව, වග විභාගයකින් තොරව කළුගල් කැණීම් කිරීමේදී සිදුවන වනාන්තර හෙළි කිරීම් සහ පාංශු ඛාදනය වැනි ගැටලු මතු වන බව ආචාර්ය ජගත් ගුණවර්ධන පවසයි.

දෙවන ප්‍රශ්නය: 
"ගොඩක් කළුගල් තියෙන්නේ පස් කඳු ඇතුළේ නැත්නම් භූමිය ඇතුළේ. එතකොට අපනයනය කරන්න අවසර දුන්නා ම ගල් කඩන්න ගත්තා ම ඇති වන ප්‍රශ්නවලට කවුද වග කියන්නේ? ඒවා ගැන සලකලා ද මේ තීරණ ගත්තේ කියන එක ප්‍රශ්නයක්."

වෙළෙඳ පොළ බලපෑම

කළුගල් අපනයනය තුළින් ගොඩනැගිලි ද්‍රව්‍ය ආශ්‍රිතව දේශීය වෙළෙඳ පොළට දැඩි බලපෑම් එල්ල විය හැකි බව ගොඩනැගිලි ඉදිකරන්නන්ගේ සංගමයේ සභාපති සුපුන් අබේසේකර පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, එසේ වුවහොත් ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ අර්බුදකාරී තත්ත්වයක් උද්ගත වනු ඇති බව ය.

"කළුගල් අපනයනය කරන්න පටන් ගත්තොත් දේශීය වෙළෙඳ පොළේ කළුගල් හිඟයක් ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි, දේශීය වෙළෙඳ පොළේ කළුගල් මිල කිහිප ගුණයකින් ඉහළ යන්නත් පුළුවන්. ඒක ඉදිකිරීම් ක්ෂේත්‍රයට දැඩි ලෙස බලපාන්න පුළුවන්."

මේ අතර, ගොඩනැගිලි ඉදිකරන්නන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, රජය ගත් මෙම තීරණයට විරුද්ධව කටයුතු කළ යුතු බව ය.

"මේක පාරිසරික වශයෙනුත් ලොකු ගැටලුවක් බවට පත් වෙනවා. අපි සියල්ල කළ යුත්තේ පරිසරය සමබරව පවත්වාගෙන යන ගමන්. නැත්නම් ලොකු අර්බුදයක් නිර්මාණය වෙන්න පුළුවන්. මේ වැඩපිළිවෙළ නතර කරන්න පියවර ගත යුතු යි. කිසිසේත් මේ දේට ඉඩ නොදිය යුතු යි."
 
 stone 2
 
වර්තමානයේ කළුගල් අපනයනය කරන ප්‍රධාන රටවල් වන්නේ, චීනය, ඉන්දියාව, ඉතාලිය, බ්‍රසීලය, කැනඩාව, ජර්මනිය, ස්වීඩනය, ස්පාඤ්ඤය සහ අමෙරිකාව යි.
 
සමාජයීය බලපෑම

කළුගල් අපනයනය හරහා පාරිසරික සහ ආර්ථික බලපෑම්වලට අමතරව, සමාජයීය බලපෑම් ද ඇති විය හැකි බව ආචාර්ය ජගත් ගුණවර්ධන පෙන්වා දුන්නේ ය.

"ගල් කැඩීම සඳහා පුපුරවන ක්‍රමවේදය තුළදී භූමිය සෙලවිලා, ජල සම්පත් නැති වෙලා, ගොඩනැගිලි කඩා වැටිලා තියෙනවා. ඒවා ගැන සලකලා තියෙනවා ද? මොක ද, දැනටත් තියෙන ගල් වැඩපොළවලින් ගොඩක් වෙලාවට ඔය ප්‍රශ්න එනවා."

ඒ අනුව, කළුගල් කැණීම් ඉහළ යාමෙන් නිවාස කඩා වැටීම්, අවතැන් වීම්, පොළොව ඉරිතැලීම් ආදී ගැටලු හේතුවෙන් සමාජයීය ප්‍රශ්න ද ඉස්මතු විය හැකි බව ජගත් ගුණවර්ධනගේ අදහස යි.

"ඔය ප්‍රශ්න උඩ මම කියනවා, කෙටි කාලීන ආර්ථික ලාභය සඳහා තීන්දු ගන්න නෙවෙයි අපි බලන්න ඕන, දීර්ඝ කාලීනව රටේ අවශ්‍යතාව සහ රටේ ස්ථායීතාව දිහා බලලා කටයුතු කරන්න ඕනෙ."

"අවසර දීමට පෙර ගැටලු ගැන අධ්‍යයනය කළ යුතු යි" - භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය

කළුගල් අපනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වුව ද, ඒ සම්බන්ධයෙන් අධ්‍යයන වාර්තාවක් සකස් කරන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය රංජිත් ප්‍රේමසිරි බීබීසී සිංහල සේවයට පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ, ඉන් ඇති වන පාරිසරික, ආර්ථික හා සමාජයීය බලපෑම් පිළිබඳව සමීක්ෂණයක් කළ යුතු බව ය.

"අපි මේ ගැන අධ්‍යයනය කරලා වාර්තාවක් සකස් කරනවා. කොහොමත් මූලිකව අපි හඳුනගෙන තියෙනවා, පාරිසරික බලපෑම්වලට අමතරව, දේශීය වෙළෙඳ පොළට බලපෑම් ඇති වන බව. ඒ ගැන අපි සොයා බලනවා. ඊට අමතරව, රටේ අවශ්‍යතාව කොපමණ ද කියලාත් සොයා බලනවා. ඒ සියල්ල සලකලා තමයි ඒකට අවසර දෙන්නේ."

මහාචාර්ය රංජිත් ප්‍රේමසිරි ප්‍රකාශ කළේ, දැනට සාකච්ඡා වී ඇති අන්දමට වසරක කාලයක් සඳහා කළුගල් මෙට්‍රික් ටොන් මිලියනයක් දක්වා අපනයනය කිරීමට අවසර දීමට අවධානය යොමු වී ඇති බව ය.

"මොනවා වුණත් මේ ගැන ලොකු විමර්ශනයක් කරනවා. මොක ද, සියලු කළුගල් අපනයනය කරන්න පටන් ගත්තොත් දේශීය පාරිභෝගිකයින්ට අසාධාරණයක් සිද්ධ වෙනවා. ඒ වගේ ම, තවත් ගැටලු මතු වෙන්න පුළුවන්. සියලු ප්‍රශ්නවලට ගැටලුවක් නොවන ආකාරයට කළුගල් කර්මාන්තයේ නිරත වන්නන්ට යම් සහනයක් දීම සඳහා යම් අවසරයක් දෙන්නයි දැනට තීරණය කරලා තියෙන්නේ," මහාචාර්ය රංජිත් ප්‍රේමසිරි පැවසීය.

කළුගල් පාෂාණය සහ භාවිතය

කළුගල් යනු වසර දහස් ගණනක් තිස්සේ නිර්මාණය වී ඇති වඩාත් තද පාෂාණ වර්ගයකි. එය ක්ෂය වන සම්පතක් ලෙස සැලකේ.

කළුගල්වල ප්‍රධාන වශයෙන් අඩංගු සංඝටක වන්නේ, සිලිකන් ඩයොක්සයිඩ්, ඇලුමිනියම් ඔක්සයිඩ්, පොටෑසියම් ඔක්සයිඩ්, සෝඩියම් ඔක්සයිඩ්, කැල්සියම් ඔක්සයිඩ් වේ. ඊට අමතරව තවත් සංඝටක රැසක් ඊට අඩංගු වේ.

කළුගල්වල ඇති ඉතා දැඩි සහ නොකැඩෙනසුලු ස්වභාවය හේතුවෙන් ගොඩනැගිලි ඉදිකිරීමේදී අත්තිවාරම් සැකසීම ආදී විවිධ කටයුතු සඳහා කළුගල් භාවිත කෙරේ.

කළුගල් කර්මාන්තය ලෝකයේ පැරණිතම කර්මාන්ත අතරින් එකක් ලෙස සැලකෙන අතර, එහි ඉතිහාසය ඉපැරණි ඊජිප්තු ශිෂ්ටාචාරය දක්වා දිවෙන බව පිළිගැනේ.

වර්තමානයේ කළුගල් අපනයනය කරන ප්‍රධාන රටවල් වන්නේ, චීනය, ඉන්දියාව, ඉතාලිය, බ්‍රසීලය, කැනඩාව, ජර්මනිය, ස්වීඩනය, ස්පාඤ්ඤය සහ අමෙරිකාව යි.

(BBC සිංහල සේවය)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...