BREAKING
Top Ad
පරිසර

ජනපතිගේ ගම්පියසෙන් එලවා දැමූ වනඅලි රැලක් හාමතේ හිරකරගෙන

T

The Leader

January 2, 2025 • 10:18 AM

ජනපතිගේ ගම්පියසෙන් එලවා දැමූ වනඅලි රැලක් හාමතේ හිරකරගෙන

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අලි මිනිස් ගැටුමින් අහිමි වු මිනිස් හා අලි ප්‍රමාණය පිළිබදව සංඛ්‍යාලේඛන ගෙන හැර දක්වමින් පරිසර පද්ධතිය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ
  • “ක්ලීන් ශ්‍රී ලංකා” ආරම්භ කිරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ 2025 ජනවාරි 1 වැනිදා පැවති උත්සවයට එක් වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා තිබුනේ පරිසර පද්ධතිය ප්‍රතිෂ්ඨාපනය කිරීම එම වැඩසටහනේ එක් ප්‍රධානම වැඩ කොටසක් ලෙස සලකන්නට අවශ්‍ය බවයි.
  • මේ ආකාරයෙන් විශාල වන අලි රංචුවක් ඉතා කුඩා ප්‍රදේශයක දීර්ඝ කාලයක් සිරවී සිටීම හේතුවෙන් එම සතුන් කුසගින්නේ පීඩා විඳීමට සහ විශේෂයෙන් කුඩා පැටවුන් මරණයට පත්වීමට ඇති අවදානම සම්බන්ධයෙන්ද හුස්ම සංවිධානයේ සභාපති කැලුම් මහේෂ් අමාත්‍යවරයාට අනතුරු අඟවා තිබේ.
  •   එම ලිපිය මගින් කැලුම් මහේෂ් පරිසර අමාත්‍ය ධම්මික පටබැදි ට වැඩි දුරටත් දැනුම් දී ඇත්තේ එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට ප්‍රදේශයේ ජනාධිපති නියෝජිතයා ඇතුළු ඉහළ රාජ්‍ය නිලධාරීන් උනන්දු නොවීමෙන් සතුන්ට නිරාහාරව සිරවී සිටීමට සිදුව ඇති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

අවශ්‍යතාවය නව වසරේ ආරම්භක දිනයේම ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කරද්දී, නිජබිම්වලින් මෑතදී පළවා හරින දරන ලද අලි රංචුවක් රාජ්‍ය ආයතනයක් විසින් කුස ගින්නේ සිරකොටගෙන සිටීම පිළිබදව පරිසර සංවිධානයක් ආණ්ඩුවට දැනුම් දී තිබේ.

සියයකට අධික සද්දන්තයන් අතර ජනාධිපතිවරයාගේ ගම්පලාතෙන් පලවා හරින ලද වන අලින් ද ඉන්නා බව හෙළි කරන 'හුස්ම' සංවිධානය “මෙම තත්වය පිළිබඳව යම් හෙයකින් ජාත්‍යන්තර අවධානය යොමු වුවහොත් එය මෙරට වනජීවී සංරක්ෂණය සහ සත්ව ශුභසාධනය සම්බන්ධයෙන් කළු පැල්ලමක් වන බව නොඅනුමාන වන අතර එය මෙරට සංචාරක කර්මාන්තයටද අහිතකර ලෙස බලපෑම් ඇතිකළ හැකි” බවටත් පරිසර අමාත්‍යවරයාට අනතුරු අඟවයි.


“ක්ලීන් ශ්‍රී ලංකා” ආරම්භ කිරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ 2025 ජනවාරි 1 වැනිදා පැවති උත්සවයට එක් වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා තිබුනේ පරිසර පද්ධතිය ප්‍රතිෂ්ඨාපනය කිරීම එම වැඩසටහනේ එක් ප්‍රධානම වැඩ කොටසක් ලෙස සලකන්නට අවශ්‍ය බවයි. සංචාරක කර්මාන්තය නගා සිටුවීම ඒ හා බැඳී පවතින ආකාරයද ජනාධිපතිවරයා අවධාරණය කළේය.


හුස්ම සංවිධානය 2025 ජනවාරි 2 වැනිදා පරිසර අමාත්‍ය ධම්මික පටබැදි වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ අලි-මිනිස් ගැටුම් අවම කරගැනීම සඳහා බව පවසමින් විල්පත්තුව ජාතික උද්‍යානය දක්වා පළවා හැරීමට අසාර්ථක උත්සාහයක් දරා ඇත්තේ ශ්‍රාවස්තිපුර, තඹුත්තේගම, විලච්චිය, මොරගොඩ සහ තන්තිරිමලේ යන ප්‍රදේශවල ජීවත්වූ ගැහැණු සතුන් සහ පැටවුන් ඇතුළු අලි ඇතුන් 150 ක පමණ රංචුවකි.

එම සතුන් සතියකට වැඩි කාලසීමාවක් තිස්සේ හිරවී සිටින්නේ ඔයාමඩුව ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩල ගොවිපොළ පරිශ්‍රය තුලයි.

එම සතුන් රාත්‍රී කාලයේ ආහාර සොයා ගම්වැදීම හෝ ඔවුන්ගේ ස්වභාවික සංක්‍රමණ මාර්ග ඔස්සේ උක්ත ගොවිපොළ පරිශ්‍රයෙන් පිටව යාම වළක්වාලමින් ප්‍රදේශයේ ජනතාව මේ වනවිට එම අලි රංචුව ගොවිපොළ පරිශ්‍රයේ සිරකර තබාගෙන ඇති බවයි හුස්ම සංවිධානයේ සභාපති කැලුම් මහේෂ් පවසන්නේ.


මේ ආකාරයෙන් විශාල වන අලි රංචුවක් ඉතා කුඩා ප්‍රදේශයක දීර්ඝ කාලයක් සිරවී සිටීම හේතුවෙන් එම සතුන් කුසගින්නේ පීඩා විඳීමට සහ විශේෂයෙන් කුඩා පැටවුන් මරණයට පත්වීමට ඇති අවදානම සම්බන්ධයෙන්ද හුස්ම සංවිධානයේ සභාපති කැලුම් මහේෂ් අමාත්‍යවරයාට අනතුරු අඟවා තිබේ.


මෙම තත්වය කළමනාකරණය කරගැනීම සඳහා එම සතුන්ට ඔවුන්ගේ ස්වභාවික සංක්‍රමණ මාර්ග ඔස්සේ උක්ත ගොවිපොළ පරිශ්‍රයෙන් පිටව යාමට අවස්ථාව සලසා දීමටත්, එම සංක්‍රමණය නිරීක්ෂණය කරමින් එම ගමන් මාර්ගයේ සිදුවන දේපොළ සහ භෝග හානි සඳහා වන්දි ගෙවීමටත් රජය මගින් කටයුතු කිරීම සුදුසු බවත්  හුස්ම සංවිධානය අමාත්‍යවරයාට යෝජනා කර ඇත.  

එම ලිපිය මගින් කැලුම් මහේෂ් පරිසර අමාත්‍ය ධම්මික පටබැදි ට වැඩි දුරටත් දැනුම් දී ඇත්තේ එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට ප්‍රදේශයේ ජනාධිපති නියෝජිතයා ඇතුළු ඉහළ රාජ්‍ය නිලධාරීන් උනන්දු නොවීමෙන් සතුන්ට නිරාහාරව සිරවී සිටීමට සිදුව ඇති බවයි.

“ ප්‍රදේශයේ වනජීවී සංරක්ෂණ නිලධාරීන් මෙන්ම ගම්මුන් පවා මෙම යෝජනාවට එකඟවන නමුත් ප්‍රදේශය භාර ආණ්ඩුකාර තැන, දිස්ත්‍රික් ලේකම්, සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වැනි රජයේ උසස් පරිපාලන නිලධාරීන් එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට උනන්දු නොවීම නිසා තව දුරටත් එම සතුන්ට නිරාහාරව දැඩි මානසික ආතතියකින් එම ප්‍රදේශයේ සිරවී සිටීමට සිදුවී ඇත.”


පරිසර අමාත්‍ය ධම්මික පටබැදිගෙන් හුස්ම සංවිධානය අවසානයේ ඉතා ඕනෑ කමින් ඉල්ලා ඇත්තේ මේ පිළිබඳව කාරුණික අවධානය යොමුකර මෙසේ සිරවී සිටින අලි ඇතුන්ට ගොවිපොළ පරිශ්‍රයෙන් මිදී වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වීමටත් එය සමීපව නිරීක්ෂණය කරමින් ජනතවට සිදුවන යම්කිසි හානියක් වෙතොත් ඒ සඳහා වන්දි ගෙවීමටත් සුදුසු වැඩපිළිවෙලක් කඩිනමින් සකස්කරන ලෙසයි.


“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ආරම්භ කරමින් ජනාධිපතිවරයා 2025 ජනවාරි 1 වැනිදා ප්‍රශ්න කර තිබුනේ ලස්සන රටක් ලෙස විදේශිකයන්ගේ පවා අගය කිරීමට ලක්වන ශ්‍රී ලංකාව තුළ අද සිදුවී ඇත්තේ කුමක්ද යන්නයි.

මාතෘ භූමියේ පරිසර පද්ධතිය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ අවශ්‍යතාවය පැහැදිලි කර දීම වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රධානතම නිදසුනක් ගෙන හැර දැක්වුයේ 2023 වසර තුළ මෙරට සිදුව ඇති අලි මිනිස් මරණයි.

“මේ යහපත් පරිසර පද්ධතියක් තිබෙන රට ඇතුළේ 2023 වසරේ අලි මිනිස් ගැටුමින් මිනිසුන් එකසිය අසූ එකක් මරා දමා තිබෙනවා. ඒ වගේම 2023 වසරේ මිනිසුන් විසින් අලි 484ක් ඝාතනය කොට තිබෙනවා. හොඳ සෞන්දර්යාත්මක අලංකාරයෙන් යුතු පරිසර පද්ධතියක් තිබුණත් වසරකට අලි 484 ක් මිය යන රටක් අපිට තියෙන්නේ. අලි විසින් මිනිස්සු ඝාතනය කොට තිබෙනවා 182ක්. ”

ඒ නිසා  යළි මේ පරිසර පද්ධතිය ප්‍රතිෂ්ඨාපනය කිරීම “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනෙන් එක් ප්‍රධානම වැඩ කොටසක් ලෙස සලකන්නට අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක රට වැසියන්ට අවධාරණය කර තිබුනි.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...