BREAKING
Top Ad
පරිසර

ගැහැනු සතුන් වසඟයට ගැනීමට 'අල්ලස් දෙන' සත්ව ලෝකයේ පිරිමි

T

The Leader

January 10, 2025 • 12:09 PM

ගැහැනු සතුන් වසඟයට ගැනීමට 'අල්ලස් දෙන' සත්ව ලෝකයේ පිරිමි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • | පිරිමි කුරුමිණි කුරුල්ලෙකු කිරිල්ලියට කෘමියෙකු දෙන අයුරු
  • නත්තල් දින උදෑසන, ඔබට තෑගි ලැබී ඇත්තේ අලුත් ම මේස් බව දැක ඔබ බලාපොරොත්තු සුන්වීමක සිටී නම්, අවම වශයෙන් ඔබ ගැහැනු ගෝණුසු මැස්සෙකු (scorpionflies) නොවීම ගැන ඔබට ස්තූතිවන්ත විය හැකි ය.
  • ඔබ එසේ වූයේ නම්, නත්තල් සමයේදී ඔබට අපේක්ෂා කළ හැකි හොඳ ම දේ වන්නේ ඔබේ ආදරවන්තයාගෙන් ලැබෙන කෙළ බෝලයක් වනු ඇත.
  • නිදසුනක් වශයෙන්, අළු සබරිත්තාගේ පිරිමි සත්වයා කටු හෝ අතු මත කුඩා ජීවීන් අමුණා තෑගි ලෙස දීමෙන් සහකාරියන් ආකර්ෂණය කර ගනියි.
අකුරු ප්‍රමාණය (Font Size):

තෑගි දීම තනිකර ම මිනිස් ලක්ෂණයක් යැයි අප සිතුවත්, වෙනත් බොහෝ සතුන් ද ඔවුන්ගේ සහකරුවන්ට සහ සහකාරියන්ට තෑගි ලබා දෙන බව පෙනී ගොස් තිබේ.

නත්තල් දින උදෑසන, ඔබට තෑගි ලැබී ඇත්තේ අලුත් ම මේස් බව දැක ඔබ බලාපොරොත්තු සුන්වීමක සිටී නම්, අවම වශයෙන් ඔබ ගැහැනු ගෝණුසු මැස්සෙකු (scorpionflies) නොවීම ගැන ඔබට ස්තූතිවන්ත විය හැකි ය.

ඔබ එසේ වූයේ නම්, නත්තල් සමයේදී ඔබට අපේක්ෂා කළ හැකි හොඳ ම දේ වන්නේ ඔබේ ආදරවන්තයාගෙන් ලැබෙන කෙළ බෝලයක් වනු ඇත. පුදුමයට කරුණක් නම්, ගැහැනු ගෝණුසු මැස්සන් මෙම සංග්‍රහය භුක්ති විඳින අතර, ආදරවන්තයාට ලිංගිකව එකතුවීමට අවස්ථාවක් ද ලබා දෙයි.

ගොළුබෙල්ලන්, බිම් පණුවන් සහ දැල්ලන් වැනි විවිධ විශේෂවල පිරිමි සත්තු ගැහැනු සත්වයා මිතුරු කරගන්නා අතරේදී සහ ලිංගිකව සක්‍රීය වන කාලයේදී පෝෂ්‍යදායී සංග්‍රහ ලබා දීම සිදු කරති. කුරුල්ලන් ද මෙම හැසිරීමේ නිරත වනු දක්නට ලැබේ. නිදසුනක් වශයෙන්, අළු සබරිත්තාගේ පිරිමි සත්වයා කටු හෝ අතු මත කුඩා ජීවීන් අමුණා තෑගි ලෙස දීමෙන් සහකාරියන් ආකර්ෂණය කර ගනියි.

කෙසේ වෙතත් මෙම හැසිරීම සුලභ වන්නේ කෘමීන්, ගෝනුසු සහ මකුළු කාණ්ඩයේ සතුන් අතර ය. නිදසුනක් වශයෙන්, තිත් හයක් සහිත බර්නෙට් සලබයන්ගේ (six-spot burnet moths) පිරිමි සත්තු ඔවුන්ගේ ශුක්‍රාණු හරහා ඔවුන්ගේ සහයිකාවන්ට සයනයිඩ් ලබා දෙති. ළදරු තොටිලි මකුළුවෝ (nursery web spiders) තමන් කැමති සහකාරියට සිල්ක්වලින් ඔතා ඇති ගොදුරක් ලබා දෙති. ඔවුන් එය වඩාත් ආකර්ෂණීය කිරීම සඳහා එයට රසායනික ද්‍රව්‍ය ද එකතු කර තිබේ. ගැහැනු සතා එය ප්‍රතික්ෂේප කළහොත් පිරිමි සත්ත්වයා තවත් සිල්ක් එකතු කර නැවතත් එම තෑග්ග පිරිනමයි.

ඇතැම් අවස්ථාවලදී පිරිමි සත්තු ගුණාත්මක බවින් අඩු හෝ අඩක් පරිභෝජනය කරන ලද ගොදුරක් ඔතා දී ගැහැනු සතුන් රවටා ගැනීමට උත්සහ කරති. ගැහැනු සතා එය හොඳ තෑග්ගක් යැයි සිතා විවෘත කරන අතරවාරයේ පිරිමි සතා ඇය සමග ලිංගිකව එකතු වී තෑග්ග ව්‍යාජ එකක් බව ගැහැනු සත්වයා තේරුම් ගැනීමට පෙර පළා යයි. එක් අධ්‍යනයකින් හෙළි වූයේ, පිරිමි ළදරු තොටිලි මකුළුවන් විසින් ලබා දෙනු ලබන තෑගිවලින් 70%ක් ම ව්‍යාජ ඒවා බව ය.

xdfgert| ළදරු තොටිලි මකුළුවෝ තමන් කැමති සහකාරිය වෙත සිල්ක්වලින් එතූ ගොදුරක් ලබා දෙන අතර එය වඩාත් ආකර්ෂණීය කිරීම සඳහා එයට රසායනික ද්‍රව්‍ය ද එකතු කරති
"පිරිමි සත්තු වංචා කරන්න හදනවා. ඔවුන් පැරණි, වියළී ගිය පළඟැටි කකුලක් හෝ වෙනත් දෙයක් ඔතලා දෙනවා," යයි කැනඩාවේ ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ චර්යාත්මක පරිසරවේදියෙකු වන ඩැරිල් ග්වින් පවසයි.

වෙනත් කෘමීන් ද තෑගි දී සබඳතා ගොඩනගා ගැනීමට උත්සහ කිරීම දක්නට ලැබේ.

"වසන්ත කාලයේදී මගේ ගෙදර ඉස්සරහ පාරේ, කෘමීන් අල්ලන මැස්සෝ පියඹනවා දකින්න පුළුවන්. උන් ගඟට ඉහළින් ගිහින් ජලජ කෘමීන් අල්ලා ගන්නා දර්ශනය ඇත්තට ම ලස්සනයි," ග්වින් පවසයි.

"පිරිමින් ගොදුර එද්දී ගැහැනු සතා ඒ සඳහා තරග කරන්නේ ඔවුන්ට තමන්ට ම ආහාර සොයාගත නොහැකි නිසා සහ බිත්තර නිපදවීමට පෝෂණය අවශ්‍ය වෙන හින්දා. එක සැරයක් මම දැක්කා පිරිමි සතෙක් විලෝ බීජයකින් කොටසක් තෑග්ගක් විදිහට දෙන්න හදනවා."

වටිනාකමක් නැති තෑග්ගක් ලබා දීමෙන් පිරිමි සත්වයෙකුට කෙටිකාලීන ප්‍රතිලාභ ලබා ගත හැකි නමුත් ගැහැනු සතා තමන් රැවටීමට ලක් වූ බව දැනගත් පසු ඇය ඔහුව ප්‍රතික්ෂේප කරයි. මෙය ඔවුන්ගේ ලිංගික එකතුවීමේ කාලය සීමා කරයි. ගැහැනු සතා බොහෝ විට පිරිමි සතුන් රැසක් සමග සංසර්ගයේ යෙදෙන බැවින්, වංක පිරිමියාගේ ශුක්‍රාණු සමග ඇගේ බිත්තර සංසේචනය වීමේ ඉඩ ඉතා අඩු වේ. එමගින් ඔහුට දිගු කාලීන අවාසිවලට මුහුණ දීමට සිදු වේ.

ඇතැම් කෘමීහු සහකරු හෝ සහකාරිය දිනා ගැනීම සඳහා සිය ජීවිතය පවා කැප කරති. නිදසුනක් වශයෙන්, සංසර්ගය අතරතුර, පිරිමි සේජ්‍බ්‍රෂ් පළඟැටි (male sagebrush cricket) සිය ගැහැනු සතාට ඔහුගේ පසුපස පියාපත් ආහාරයට ගැනීමට මෙන් ම කෘමි සිරුරේ ඇති රුධිරයට සමාන ද්‍රාවණය උරා ගැනීමට පවා ඉඩ දෙති.

එක් අධ්‍යයනයකට අනුව, පිරිමින් මෙම "ආදර සපා කෑම්" විඳදරාගත් පසු, ඔවුන් වෙනත් හවුල්කරුවෙකු සොයා ගැනීමේ සම්භාවිතාව අඩු ය. ඒ, ඔවුන්ට වෙනත් සහකාරියන් සොයා යාමට තරම් ශක්තියක් නොමැති වීමෙන් ය.

පිට රතු මකුළුවන්ගෙන් පිරිමි සත්වයා සංසර්ගයේදී ගැහැනු සතාගේ හකු යුවළ අතරට යන්නේ ඔහුගේ උදරයේ කෙළවර ගැහැනු සත්වයාට සපා කෑමට ඉඩ දෙමිනි. අවසානයේ ගැහැනු සත්වයා විසින් පිරිමි සත්වයා සම්පූර්ණයෙන් ම කා දමනු ලබයි.

"එක් අතකින්, පිරිමි සතාට ඔහුගේ ජීවිතය අහිමි වුණු නිසා ඒ සතාට හානියක් වුණේ කියලා ඔබ කියාවි," යැයි වයින් පවසයි.

xgte46t| යුරේසියානු ජේ කපුටන් (Eurasian jays) සහකරුවන් සොයා ගන්නේ ජීවිත කාලයට ම නිසා එම කපුටන් සහකරුවන්ට ලබා දෙන තෑගි හුදෙක් ම අල්ලස් නොවේ
"ඩාවිනියානු සංකල්පයට අනුව, පිට රතු මකුළුවන්ට සහකාරියක් සොයාගැනීම කොයිතරම් දුර්ලභයි ද කියනවා නම්, තමා ම ආහාරයට ගැනීමට ඉඩ දී ගැහැනු සතාගේ අවධානය වෙනතකට යොමු කරන පිරිමි මකුළුවා සිය සංසර්ගයේ කාලය දිගු කර ගන්නවා. මේක ඔහු වැඩි ශුක්‍රාණු ප්‍රමාණයක් මුදා හැර පැටවුන් බිහි කිරීමේ සම්භාවිතාව සැලකිය යුතු ලෙස වැඩි කරනවා."

2022දී , චීනයේ ජියැන්ග්සු කෘෂිකර්ම විද්‍යා ඇකඩමියේ කීට විද්‍යාඥ චුෆෙයි ටෑන්ග් සහ ඇගේ සගයන් වසර මිලියන 99ක් පැරණි, ඇම්බර්වල සංරක්ෂණය වී තිබුණු කෘමි තෑගි ලබා දීමේ උදාහරණයක් අනාවරණය කරගත්හ. ඇම්බර් තුළ, ඇලවීෂියා ගණයට අයත් පිරිමි මැස්සෙකු ඔහුගේ කකුල් අතර ශ්ලේෂ්මලයෙන් සාදන ලද හිස්, පෙණ සහිත බැලූනයක් ග්‍රහණය කරගෙන සිටියේ ය.

මෙම සියලු උදාහරණ, 'විවාහ තෑගි' වන අතර, පිරිමි සතුන් විසින් ගැහැනු සතුන් ලිංගික කාර්යයට පොළඹවා ගැනීම සඳහා දෙනු ලැබ ඇත. බොහෝ විට මෙම තෑගිවල පෝෂණ ගුණයක් ඇති බැවින් ගැහැනු සත්තු ද ඒවායෙන් ප්‍රතිලාභ ලබති. කෙසේ වෙතත් ඇතැම් විට සතුන්, ලබන්නා සතුටු කිරීම සඳහා තෑගි ලබා දෙන බව ද නිරීක්ෂණය වී තිබේ. නිදසුනක් වශයෙන්, ඩොල්ෆින් සතුන්, මිනිසුන්ට ආඳා, බලයා වැනි මාළු සහ බූවල්ලන් වැනි ආහාරයට ගත හැකි සතුන් තෑගි දෙනු දක්නට ලැබේ. එමෙන් ම කපුටන්, අතීතයේදී තමන්ට උපකාර කළ මිනිසුන්ට තෑගි ලබා දුන් බවට ද වාර්තා තිබේ.

එක්සත් රාජධානියේ කේම්බ්රිජ් විශ්වවිද්‍යාලයේ සංසන්දනාත්මක සංජානනය පිළිබඳ මහාචාර්ය නිකොලා ක්ලේටන් පවසන්නේ, "වොල්නට්, ඔලිව්, බියර් බෝතල් මූඩි සහ වයින් බෝතල් ඇතුළු තෑගි කපුටන්ගෙන් මට ලැබිලා තියෙනවා," යනුවෙනි.

"වාසනාවකට වගේ, උන් මට මැරුණු සත්තු දීලා නැහැ. මම නිර්මාංශිකයෙක්. මට මැරුණු සතෙක් ලැබෙනවට වඩා ආභරණයක් ලැබීම ගැන සතුටුයි."

කපුටු පවුලේ සාමාජිකයන් වන යුරේසියානු ජේ කපුටන් ද ඔවුන්ගේ සහකරුවන්ට තෑගි ලබා දෙන්නේ හුදෙක් තෑගි දීමේ සතුට සඳහා බව පෙනී යයි. ක්ලේටන් සහ ඇගේ කණ්ඩායම විසින් කරන ලද එක් අත්හදා බැලීමකදී, පිරිමින් සතුන් තම සහකාරියන් සලබයන් හෝ පණුවන් අනුභව කරන ආකාරය නැරඹූහ. තම සහකාරියට හොඳ ආහාරයක් ලබා දීමට අවස්ථාව ලබා දුන් විට, පිරිමි සත්වයා නිරතුරුව ම තම සහකාරියට විවිධ ආහාර ලබා දීමට තීරණය කළේ ය. වෙනත් වචනවලින් කිවහොත්, ගැහැනු සත්වය එක ම ආහාරයට නැවතත් ලැබීමට වඩා, අලුත් දෙයක් ආහාරයට ගැනීමට කැමති බව පිරිමි සත්වයා තේරුම් ගෙන තිබිණි.

"ඒක හරියට ඔබ රාත්‍රී භෝජන සංග්‍රහයකට එළියට ගිහින් හොඳ ස්පෙගැටි පිඟානක් ගත්තා වගේ." ක්ලේටන් පවසයි.

"කවුරු හරි කිව්වොත්, 'ඔයාට තව එකක් ඕන ද?' කියලා. ඔබ ඒක ප්‍රතික්ෂේප කරනවා. නමුත් ඔබ අතුරුපසක් සඳහා කැමැත්ත ප්‍රකාශ කරන්න ඉඩ තිබෙනවා. ජේ කපුටන් ඔවුන්ගේ හවුල්කරුවන්ට අවශ්‍ය දේ දැන සිටි බව පෙනෙන්නට තිබුණා වගේ ම ඔවුන් ඒවා ස්වාධීනව තෝරාගන්නවා."

අනෙකා ගැන සිතා තෑගි ලබා දීම, මිනිසාට ජාන අතින් 99%ක් ම සමාන බොනෝබෝ වානරයන් අතර බහුලව දක්නට ලැබේ. 2013දී කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ, මිනිසුන් මෙන් ම බොනෝබෝ වානරයන්, ආගන්තුකයන්ට තෑගි ලබා දෙන බව ය. ඔවුන්ගේ කණ්ඩායමෙන් පිටත බොනෝබෝ වානරයන් සමග ඔවුහු ඇපල් සහ කෙසෙල් වැනි ආහාර බෙදා ගත් අතර, ආගන්තුකයා සමග සබඳතාව ගොඩනගා ගැනීම වෙනුවෙන් ඔවුන්ගේ ම ආහාර පවා අතහැර දැමූහ.

මේ සියල්ලෙන් ම නැගෙන ප්‍රශ්නයක් තිබේ. සතුන් එකිනෙකාට තෑගි දෙන්නේ ඇයි? සතුන්ගේ හැසිරීම විවිධ විශේෂයන් හරහා කිහිප වතාවක් පරිණාමය වී ඇති බැවින්, පිරිමි සහ ගැහැනු යන දෙඅංශයේ ම ප්‍රජනන යෝග්‍යතාවය ඇත්තේ වැඩි දියුණු වූ මට්ටමක ය. එක් පාර්ශවයක් වංචා කරන විටදී හැරෙන්නට කෘමීන් සහ ගෝනුසු සහ මකුළු විශේෂ සම්බන්ධයෙන් මෙය සත්‍යයකි. "පිරිමි සතා ගැහැනු සතාට ආහාර වේලක් ලබා දෙනවා. ගැහැනු සතා පිරිමි සතාට ප්‍රජනන ක්‍රියාවලියට ඉඩ ලබා දෙනවා," ග්වින් පවසයි.

zdgw4| මානවයාගේ ළඟ ම ඥාතියා වන බැබුංලා ඇතැම්විට වෙනත් කණ්ඩායම්වල සාමාජික බැබුංලාට තෑගි ලබා දෙති
නමුත්, ඔබට මෙහි විශේෂයෙන් ආදරණීය බවක් නොපෙනේ නම්, කපුටන් සහ බොනෝබෝ වානරයන් වැනි වෙනත් සතුන්, අනෙකා සතුටු කිරීමට තෑගි ලබා දීමෙන් සතුටක් ලබන බව දැක ඔබට සතුටු විය හැකියි.

"කෘමි ලෝකයේ පිරිමියා තෑග්ග ලබා දෙන්නේ ගැහැනු සතා සමග ලිංගික සබඳතාවයක් පැවැත්වීම වෙනුවෙන්. නමුත් ජේ කපුටන් ඔවුන්ගේ සහකාරිය සොයාගන්නේ මුළු ජීවිතය ම ඔවුන් සමග ඉන්න. ඒ නිසා ඒක අල්ලසක් නොවෙයි, තෑග්ගක්," යැයි ක්ලේටන් පවසයි.

"ජේ කපුටන් යනු ඉතා බුද්ධිමත්, දිගු කාලයක් ජීවත් වෙන සත්තු. අපි කවුරුත් දන්න විදිහට සම්බන්ධතාවයක් ඇති කර ගැනීම සරල වුණත් වසර ගණනාවක් පුරා එය පවත්වා ගැනීම දුෂ්කරයි. ඒ නිසා තෑගි කියන්නේ අගය කිරීමක්."

එබැවින්, අවම වශයෙන් යුරේසියානු ජේ වැනි කපුටන් තුළ, තෑගි දීම පිටුපස ඇති මූලික හැඟීම මිනිස් හැඟීමකට සමාන විය හැකියි. එය සමාන වන්නේ, අප අපට සමීප අය සමග සමාජ බැඳීම් වැඩි දියුණු කර ගැනීමට ය. මේ නව අවුරුදු සමයේ ඔබට එය සතුටු හැඟීමක් ගෙන නොදේ ද?

(සටහන | ජැස්මින් ෆොක්ස්-ස්කෙලී)
බීබීසී ෆියුචර්

| BBC සිංහල සේවය
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...