BREAKING
Top Ad
පරිසර

වන අලි දුම්රියේ ගැටීම වලක්වන ඉන්දීය ක්‍රමවලට හැරෙමුද?

T

The Leader

February 27, 2025 • 2:42 AM

වන අලි දුම්රියේ ගැටීම වලක්වන ඉන්දීය ක්‍රමවලට හැරෙමුද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මීනගයා දුම්රියේ ගැටීමෙන් ගල්ඔය ප්‍රදේශයේ දී වන අලි සය දෙනෙකු මිය යාමේ ඛේදවාචකය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අදහස් දැක්වීමක දී ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක
  • දේශපාලන මතිමතාන්තර පසෙකින් තැබුවහොත් සජිත් ප්‍රේමදාස යනු වන සත්ත්ව ලෝලියකු වන අතර අලි ඇතුන් ඇතුළු සියලු වන සතුන් පිළිබඳ සංවේදී පුද්ගලයෙකි.
  • අද අප නමින් හඳුනන බොහෝ අලින් සඳහා නම් යෝජනා කර තිබෙන්නේ ද ඔහු බව බොහෝ දෙනෙකු දන්නේ නැත.
  • ඔහු මේ යෝජනාව සිදු කරන්නට ඇත්තේ අලි ඇතුන් කෙරෙහි වූ සංවේදී බව නිසාම බව පෙනෙන්නට තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ සඳහා විසඳුමක් ලෙස නව තාක්ෂණික ක්‍රමවේදයන් නොව මහජනතාව ඔස්සේ වන අලි ගැවසෙන ස්ථාන දුරකතන ඔස්සේ දැනුම් දීමේ ක්‍රමයක් යෝජනා කළ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ සඳහා ඉන්දියාවෙන් ආදර්ශ ගත යුතු යැයි යෝජනා කරනු අසන්නට හැකි විය.

මහජනතාව ඔස්සේ තොරතුරු ලබාගැනීම වැනි ප්‍රාථමික උපක්‍රමයක් සමග සැසඳීමේ දී විපක්ෂ නායකවරයාගේ යෝජනාව සාධනීය බවකින් යුක්ත වූවක් බව පෙනෙන අතර එයට හේතුව වන්නේ ඉන්දියාවේ ද ශ්‍රී ලංකාවේ මෙන්ම වන අලි දුම්රියේ ගැටීම් වාර්තා වීමත්, එරට බලධාරීන් මේ තත්ත්වය වළක්වා ගැනීම සඳහා කල්පවත්නා, ස්ථිර, සාධනීය පියවර ගණනාවක්ම රැගෙන තිබෙන බව පෙනෙන්නට තිබීමත්ය.

දේශපාලන මතිමතාන්තර පසෙකින් තැබුවහොත් සජිත් ප්‍රේමදාස යනු වන සත්ත්ව ලෝලියකු වන අතර අලි ඇතුන් ඇතුළු සියලු වන සතුන් පිළිබඳ සංවේදී පුද්ගලයෙකි. අද අප නමින් හඳුනන බොහෝ අලින් සඳහා නම් යෝජනා කර තිබෙන්නේ ද ඔහු බව බොහෝ දෙනෙකු දන්නේ නැත. ඔහු මේ යෝජනාව සිදු කරන්නට ඇත්තේ අලි ඇතුන් කෙරෙහි වූ සංවේදී බව නිසාම බව පෙනෙන්නට තිබේ.




ඉන්දියාව සැලකිල්ලට ගතහොත් 1987 සිට 2021 වසර දක්වා වූ වසර 34 ක කාලය තුළ දුම්රියේ ගැටීමෙන් මිය ගිය වන අලි සංඛ්‍යාව 329 කි. මේ අතරින් 2/3 ක්ම වාර්තා වී ඇත්තේ ඇසෑමයෙන් සහ බටහිර බෙංගාලයෙනි. 2018 සහ 2023 දක්වා වූ 4 ක කාලය තුළ දුම්රියේ ගැටීමෙන් වන අලි 75 ක් මරණයට පත් ව තිබේ.

ශ්‍රී ලංකාවේ 2017 වසරේ දී දුම්රියේ ගැටීමෙන් වන අලි 7 ක් ද, 2018 දී 15 දෙනෙක් මරණයට පත් වූහ. 2023 වසරේ දී 24 දෙනෙක් මරණයට පත් වූ අතර 2024 දී එය වාර්තා වූයේ 9 ක් ලෙසිනි.


ele5ඉන්දියාවේ තත්‍යකාලීනව අලි නිරීක්ෂණය කෙරෙන අතර දුම්රිය රියදුරුගේ ජංගම දුරකතනයට ඒ මොහොතේම ඒ බව දැනුම් දීමක් සිදු වේ

කෙසේ නමුත් අප මෙය සැසඳිය යුත්තේ දුම්රිය මාර්ග පද්ධතියේ විශාලත්වය ද සලකා බැලීමෙනි.

ඉන්දීය දුම්රිය මාර්ග පද්ධතිය ගතහොත් එය ලෝකයේ පවතින විශාලතම පද්ධති අතරින් එකක් වන අතර එය කිලෝමීටර් 67,000කට වැඩි දුරක් ආවරණය කරයි. කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ සමස්ත දුම්රිය මාර්ග පද්ධතිය ව්‍යාප්ත වන්නේ කිලෝමීටර් 1,500 ක පමණ දුරක් දක්වා පමණි. දුම්රිය මාර්ග පද්ධතියේ විශාලත්වය අනුව සලකා බැලීමේ දී ඉන්දියාවේ දුම්රියෙහි ගැටී මිය යන වන අලි සංඛ්‍යාවට සමානුපාතිකව ශ්‍රී ලංකාවේ මිය යන වන අලි සංඛ්‍යාව සැලකිය යුතු ප්‍රමාණයක ඉහළ අගයක් ගන්නා බව පෙනෙන්නට තිබේ.


අනෙක ඉන්දියාවේ අලි ගහනය ද ශ්‍රී ලංකාවට වඩා අධිකය. මෙයින් පෙනෙන්නේ දුම්රියෙහි ගැටී වන අලි මිය යාම කෙරෙහි වන අලි ගහනය හෝ දුම්රිය මාර්ග පද්ධතියේ ප්‍රමාණයෙහි බලපෑමක් සිදු නොවන බවය. මෙහි ගැටලුව ඇත්තේ මේ තත්ත්වය වළක්වා ගැනීම පිණිස ගනු ලබන සාධනීය ක්‍රියාමාර්ග මොනවා ද යන්න මතය. ඉන්දියාව එහි දී ඉදිරියෙන් සිටින බව පෙනෙන බැවින් මේ ගැටලුව සඳහා ඉන්දියාවේ උපදෙස් ගැනීමෙහි වරදක් නොමැති බව පෙනෙන්නට තිබේ.


ele4වන අලි සම්බන්ධ දැනුම් දීම පාලක මැදිරියට සහ දුම්රිය ස්ථානාධිපතිවරුන්ට ද ලබා දෙයි.

දුම්රියෙහි ගැටීමෙන් සිදු වන වන අලි මරණ සංඛ්‍යාව අවම කර ගැනීම සඳහා ඉන්දියාව ක්‍රියාමාර්ග කිහිපයක්ම ගෙන තිබේ. 2024 වසරේ දී ඊසාන දිග කලාපයේ දුම්රිය සේවය විසින් දුම්රිය මාර්ග පද්ධතිය ආසන්නයට ඇතුළුවන වන අලි හඳුනා ගැනීම සඳහා කෘත්‍රිම බුද්ධිය පාදක කර ගත් පද්ධතියක් (Artificial Intelligence-based Intrusion Detection System – IDS) ක්‍රියාත්මක කළේය.

මෙහිදී දුම්රිය මාර්ග පද්ධතිය ආසන්නයේ ගැවසෙන වන අලින් මගින් ඇති කෙරෙන කම්පන රටා හඳුනා ගැනීම සඳහා ප්‍රකාශ තන්තු රැහැන් (optical fiber cables) පද්ධතියක් භාවිත කිරීම ආරම්භ කෙරුණි. මේ මගින් තථ්‍ය කාලීනව (real-time), එනම් ඒ මොහොතේදීම දුම්රිය මෙහෙයවන්නන්ට වන අලි ගැවසෙන බව දැනුම් දීමක් සිදු වන අතර එහි දී සැලකිය යුතු මට්ටමකින් වන අලි ගැටීම අවම කර ගත හැකි විය.

ඊට අමතරව, වනාන්තරය මැදින් ඇදී යන කිලෝමීටර් 700 ක පමණ දුම්රිය මාර්ග පද්ධතියක් සඳහා ‘ගජ්රාජ්’ (Gajraj) නමින් කෘත්‍රිම බුද්ධිය පාදක කර ගත් ආරක්ෂණ පද්ධතියක් ඇති කොට තිබේ. එහි දී දුම්රිය මාර්ග පද්ධතිය ආශ්‍රිතව වන අලින්ගේ චලනයන් හඳුනා ගත හැකි අතර එමගින් මේ අනතුරු අවම කර ගත හැකි වේ.


මේ තාක්ෂණයන් භාවිතයෙන් පසු ඒවා සැලකිය යුතු මට්ටමකින් සාර්ථක වී තිබෙන බැව් පෙනෙන්නට තිබේ. නිදසුනක් ලෙස මේ පද්ධතිය ස්ථාපිත කිරීමෙන් පසු ඊශාන දිග ප්‍රදේශයේ දුම්රිය මාර්ග පද්ධතිය අසල ගැවසුණු වන අලි 11 දෙනෙකු එම ප්‍රදේශයෙන් ඉවත් කරන්නට හැකි වූ බව වාර්තා විය.

 

elepha Aiඉන්දියාවේ වන අලි දුම්රිය මාර්ගය අසල ගැවසීම නීරීක්ෂණය කරනු පිණිස පිහිටුවා ඇති නව තාක්ෂණික පද්ධති ක්‍රියාත්මක වන ආකාරය

කෙසේ නමුත් ඊට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳ සලකා බැලුවහොත් අප රටේ මේ සඳහා නවීන තාක්ෂණය භාවිත වන බවක් පෙනෙන්නට නැත. ඒවා ඇත්තේ යෝජනා තුළ පමණි. අනෙක ඒ යෝජනා පවා කරළියට පැමිණෙන්නේ දුම්රියෙහි ගැටී වන අලි මිය යන අවස්ථාවන්හිදී පමණි. එවැනි සිදුවීමකින් පසු දින කිහිපයක් ගත වෙද්දී මේ යෝජනා නැවත අමතකව යනු දක්නට ලැබේ.

 කෙතරම් තාක්ෂණික ක්‍රම පැවතියත් අප රටේ දැනට මේ ගැටලුව විසඳීම සඳහා භාවිත වන්නේ ප්‍රාථමික උපක්‍රමයන්ය. මෑත සිදුවීමෙන් පසු දුම්රිය එන්ජින් සඳහා ප්‍රබල සහ පැති ආලෝක පද්ධති භාවිත කිරීමේ යෝජනාවක් මතු වුව ද එය පවා ක්‍රියාත්මක වේදැයි සැක සහිතය. සැමදා සිදු වන්නේ මෙවැනි සිදුවීමකින් පසු ඒ පිළිබඳ විමර්ශන කිරීම සහ දින කිහිපයකින් එය අමතක කර දැමීමය.

කෙසේ නමුත් ඉන්දියාව මේ කිසිවක් පසුපසට කල් නොදමමින් තාක්ෂණයේ උපරිම සහයෝගය මේ සඳහා ලබාගෙන ඇති බව පෙනෙන්නට තිබේ. ඒ තුළින් ඔවුහු සාර්ථක ප්‍රතිඵල ද අත්කර ගෙන සිටිති. එයින් පෙනෙන්නේ මේ ගැටලුව සඳහා නව තාක්ෂණයේ පිහිට ලබාගැනීම වඩාත් ඵලදායක බවය. සැලකිය යුතු තාක්ෂණික පදනමක් නොමැතිව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සාම්ප්‍රදායික, ප්‍රාථමික උපාය මාර්ගවලින් කිසි දා සැලකිය යුතු මට්ටමේ ප්‍රගතියක් අපේක්ෂා කළ නොහැකිය.

වන අලි දුම්රියේ ගැටීමෙන් සිදු වන අනතුරු වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ඉදිරියේ අභියෝග කිහිපයක්ම පවතී. ඉන් එකක් වන්නේ වන අලින්ගේ වාස භූමි ගැටලුවට විසඳුම් ලබා දීමය. ශීඝ්‍රයෙන් නාගරීකරණය වීම සහ කෘෂිකාර්මික භූමි ව්‍යාප්ත වීම හේතු කොට ගෙන වන අලින්ගේ වාස භූමි අහිමි වීම නිසා ජලය සහ ආහාර සොයා දුම්රිය මාර්ග හරහා නිතර ගමන් කිරීමේ තත්ත්වයක් දක්නට ලැබේ.

ele3ඉන්දියාවේ වන අලි දුම්රිය මාර්ගය අසල ගැවසීම නීරීක්ෂණය කරනු පිණිස පිහිටුුවා ඇති නව තාක්ෂණික පද්ධති ක්‍රියාත්මක වන ආකාරය

තවත් අභියෝගයක් වන්නේ තාක්ෂණික අපරව්‍යුහ පහසුකම් සීමිත වීමය. වන අලි නිරීක්ෂණය කිරීම සඳහා නව තාක්ෂණික ක්‍රම භාවිත නොකිරීම නිසා දුම්රිය මාර්ග පද්ධති ආසන්නයේ ඔවුන්ගේ හැසිරීම් තථ්‍යකාලීනව හඳුනා ගැනීමේ හැකියාව අහිමි වී ගොස් තිබේ. මෙතරම් වන අලි මරණ සංඛ්‍යාවක් සිදු වන්නට එය බලපා තිබේ.


රටෙහි පවතින දුර්වල සහ පසුගාමී ආර්ථිකය නිසා මෙවැනි ගැටලුවකට මහා පරිමාණ තාක්ෂණික විසඳුම් සෙවීම සඳහා මූල්‍ය පහසුකම් සැලසීමේ දුෂ්කරතාව ද විශාල ගැටලුවක් බවට පත්ව තිබේ.

ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ අලි-දුම්රිය ගැටුම් පිළිබඳ ගැටලුවේ දී වනජීවි සංරක්ෂණය සහ යටිතල පහසුකම් සංවර්ධනය සම්බන්ධව මේ දෙරට ගෙන ඇති ප්‍රවේශයන් හාත්පසින්ම වෙනස්ය.


ele2කම්පන ලෙස ලබා ගන්නා දත්ත පරිගණක පද්ධතිය වෙත සම්ප්‍රේෂණය කෙරේ.

ඉන්දියාවේ දියුණු තාක්ෂණයන් ඒකාබද්ධ කිරීම මගින් ධනාත්මක ප්‍රතිඵල ලබා ඇති අතර, එහි ඉදිරි ගමනක් පෙන්නුම් කරයි.

ශ්‍රී ලංකාව අසල්වැසි ඉන්දියාවෙන් සහාය ලබා නවීන තාක්ෂණික පියවර ගැනීම සඳහා අවංකවම වැඩසටහන් දියත් කරන්නට උත්සාහ ගන්නේ නම් මේ මහේශාඛ්‍ය සොඳුරු දැවැන්තයන්ගේ ජීවිත ද සුරක්ෂිත කරමින් දුම්රිය සේවය ද බාධාවක් නොමැතිව පවත්වාගෙන යන්නට අවස්ථාව උදා කර ගත හැකිය.

chaminda karu 1
(සටහන | නිරංජන් චාමින්ද කරුණාතිලක)
hnckcreations@gmail.com

උපුටා ගැනීම -vinivida.lk

සබැඳි ලිපියක් :
අලි දුම්රියේ ගැටීමට විසඳුමක් ලෙස ඉන්දීය දුම්රිය සේවය 'කවක්' නම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා - සජිත් ප්‍රේමදාස

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...