BREAKING
Top Ad
පරිසර

විල්පත්තු අභය භූමිය හරහා ඉදිකරන බව කී මාර්ගය ඉදිනොකරන බව නීතිපති අධිකරණයට දැනුම් දුන්නේ ඇයි?

T

The Leader

May 9, 2025 • 9:46 AM

විල්පත්තු අභය භූමිය හරහා ඉදිකරන බව කී මාර්ගය ඉදිනොකරන බව නීතිපති අධිකරණයට දැනුම් දුන්නේ ඇයි?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විල්පත්තු ජාතික වනෝද්‍යානය හරහා දිවෙන පොදු ජනයාට විවෘත කර නොමැති මාර්ගයක් විවෘත කරන බවට රජය ගෙන තිබූ තීරණය
  • විල්පත්තු අභය භූමිය හරහා පොදු ප්‍රවාහන මාර්ගයක් ඉදිකිරීමට වසර 15ක් තිස්සේ ගත් උත්සහයක් නවතා දැමීමට පරිසර සංවිධාන මැදිහත් වී අධිකරණය හමුවට යාමෙන් පසුව ය.
  • යුද සමයේදී ආරක්ෂක අංශ සිය ප්‍රවාහන කටයුතු සඳහා විල්පත්තු ජාතික වනෝද්‍යානය හරහා ඉදිකර තිබූ මාර්ගයක් 2010 වසරේදී පුත්තලම හා මන්නාරම අතර පොදු ප්‍රවාහන මාර්ගයක් ලෙස විවෘත කිරීමට එවක පැවති රජය තීන්දු කර තිබිණි.
  • පෙත්සම්කරුවන් ඉල්ලූ සහනවලට රජය එකඟ වෙයි දීර්ඝ කාලයක් තිස්සේ විභාග වූ එම නඩුකරය මැයි 07 වන දා අවසන් වූයේ නීතිපති දෙපාර්තුමේන්තුව නියෝග කිහිපයක් ක්‍රියාත්මක කිරිමෙහි වගකීමට යටත් කරමින් බව සීමාසහිත පාරිසරික පදනම පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ක්‍රියාත්මක නොකරන බවට නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබිණි.

විල්පත්තු අභය භූමිය හරහා පොදු ප්‍රවාහන මාර්ගයක් ඉදිකිරීමට වසර 15ක් තිස්සේ ගත් උත්සහයක් නවතා දැමීමට පරිසර සංවිධාන මැදිහත් වී අධිකරණය හමුවට යාමෙන් පසුව ය.

යුද සමයේදී ආරක්ෂක අංශ සිය ප්‍රවාහන කටයුතු සඳහා විල්පත්තු ජාතික වනෝද්‍යානය හරහා ඉදිකර තිබූ මාර්ගයක් 2010 වසරේදී පුත්තලම හා මන්නාරම අතර පොදු ප්‍රවාහන මාර්ගයක් ලෙස විවෘත කිරීමට එවක පැවති රජය තීන්දු කර තිබිණි.

ඊට එරෙහිව සීමාසහිත පාරිසරික පදනම (EFL), වනාන්තර හා ආරක්ෂිත ප්‍රදේශ පදනම (WPAF), වන සත්ත්ව හා ස්වභාව ආරක්ෂණ සංසදය (WNPS) සහ පරිසරවේදී තිලක් කාරියවසම් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කරනු ලැබීය.

පෙත්සම්කරුවන් ඉල්ලූ සහනවලට රජය එකඟ වෙයි

දීර්ඝ කාලයක් තිස්සේ විභාග වූ එම නඩුකරය මැයි 07 වන දා අවසන් වූයේ නීතිපති දෙපාර්තුමේන්තුව නියෝග කිහිපයක් ක්‍රියාත්මක කිරිමෙහි වගකීමට යටත් කරමින් බව සීමාසහිත පාරිසරික පදනම පවසයි.

විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළ ඇති මාර්ගය "පොදු ප්‍රවාහන කටයුතු සඳහා" භාවිත කළ නොහැකි බවටත්, ආරක්ෂක හේතු මත සිය රාජකාරි කටයුතු සඳහා පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවලට හැර සෙසු පුද්ගලයන්ගේ ඇතුළුවීම වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතට අනුකූල විය යුතු බව මෙන් ම මෙම නඩුකරයට වස්තු විෂය වූ මාර්ගය තත්ත්වාකාරයෙන් ම බොරලු මාර්ගයක් ලෙස පැවතිය යුතු බව ආදී පෙත්සම්කරුවන් ඉල්ලා සිටි සහන එලෙස ම ක්‍රියාත්මක කරන බවට නීතිපති දෙපාර්තුමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ආචාර්ය අවන්ති පෙරේරා අධිකරණය හමුවේ ප්‍රතිඥා දුන්නා ය.

'ඒ පැරණි මන්නාරම් පාර නෙමෙයි'

විල්පත්තු වනෝද්‍යානයට අයත් වනාන්තර කැබලි 05 ගැසට් කරන ලද 1938 සිට 1973 අතර කාලයේ නොපැවති ප්‍රශ්නගත මාර්ගය, රටේ පැවති යුදමය වතාවරණය හමුවේ ආරක්ෂක අංශවල භාවිතය සඳහා ඉදිකරන ලද්දක් බව සීමාසහිත පාරිසරික පදනම පවසයි.

"සමහර අය කියනවා ඕක පැරණි මන්නාරම් පාර කියලා, හැබැයි ඒ පැරණි මන්නාරම් පාර නෙමෙයි ඕක. ඉස්සර තව පාරක් තිබිලා තියෙනවා. ඒක කරත්ත පාරක් වගේ එකක්. යුද්ධ කාලේ ඔය පැත්ත අතඇරණට පස්සේ ඒ පාර දැන් කැලෙන් වැහිලා තියෙන්නේ. මේ කියන පාර ඒක නෙමෙයි. මේක යුද්ධ කාලයේ හමුදාවට ඉක්මනට බඩු ප්‍රවාහනය කර ගන්න ඕන නිසා හමුදාවෙන් වෙන ම පාරක් කැපුවා එළුවන්කුලම ඉඳන් මරිච්චකට්ටිවලට," එම පදනමේ විද්‍යා අංශ ප්‍රධානී මාධව බොතේජු බීබීසි සිංහල සේවය වෙත කියා සිටියේ ය.

හමුදාව විසින් සිය භාවිතය සඳහා ඉදිකරන ලද වනෝද්‍යානයේ නැගෙනහිර දෙසට දිවෙන කිලෝමීටර් 35ක පමණ දිගකින් යුත් මාර්ගය, යුද්ධය හමාර වීමෙන් පසුව පොදු ප්‍රවාහනය සඳහා විවෘත කිරීමට සහ සංවර්ධනය කිරීමට එවක රජය ගත් උත්සහයට විරුද්ධව මෙසේ අධිකරණයේ පිහිට පැතූ බව ද ඔහු සඳහන් කළේ ය.

මරිච්චකට්ටි ප්‍රදේශය හා එළුවන්කුලම ප්‍රදේශ යා කරමින් මෙම ප්‍රශ්නගත මාර්ගය වෙනුවට දැනටමත් හොඳින් නඩත්තු කරන විකල්ප මාර්ග ඇති බව සහ එම මාර්ග පොදු ප්‍රවාහන කාර්යයන් සඳහා දැනටමත් ප්‍රධාන මාර්ග ලෙස භාවිත කරන බවට නීරික්ෂණය වී ඇති බව පෙත්සම්කරුවෝ පවසති.

පුත්තලම - මන්නාරම මාර්ගය ගැන ජනපති සහ අගමැති කී කතා

විල්පත්තුව හරහා දිවෙන මාර්ගය පොදු ප්‍රවාහනය සඳහා විවෘත කිරීම පිළිබඳව ජනාධිපතිවරයා සහ අගමැතිවරිය ද මීට ඉහතදී අදහස් පළ කර තිබේ.

"මම දන්නවා කාලයක් තිස්සේ මෙහෙත් පුත්තලම විල්පත්තු හරහා යාපනයට යන්න තියෙන පාර වහලා තියෙන්නේ. ඒක ගැනත් අපි හොයනවා. ඉදිරියට ඒක කොහොම ද විවෘත කරන්න පුළුවන් කියලා අපි හිතනවා. හදිස්සි නෑ, අපි ක්‍රමානුකූලව ඒ සියලු පාර්ශව එක්ක කතා කරලා ඒකත් නිදහස් කරන්න අපි බලමු," යැයි අගමැති ආචාර්ය හරිනි අමරසූරිය පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ මන්නාරමේ පැවති ජන හමුවකදී කියා සිටියා ය.

මේ අතර, පසුගිය අප්‍රේල් 17 වන දා පළාත් පාලන ඡන්දය වෙනුවෙන් මන්නාරමේ පැවති ජන රැලියකදී ජනපති අනුර කුමාර දිසානායක මෙසේ පැවසීය.

"තමුන්නාන්සෙලා දන්නවා, මේ මන්නාරම සහ පුත්තලම යා කරන පාර දීර්ඝ කාලයක් තිස්සේ වහලා තිබෙනවා. ඒ පාර විවෘත වුණොත් පුත්තලමට යන්න කිලෝ මීටර් 90ක් විතර අඩු වෙනවා. නමුත් පාරිසරික ප්‍රශ්න කිහිපයක් තියෙනවා. අපි ඒ පිළිබඳ සාකච්ඡා කරලා දැනට ඉදිකෙරෙමින් තිබෙන පාරට විකල්ප යෝජනාවන් සහිතව, නව ආකාරයෙන් මේ මන්නාරම සහ පුත්තලම යා කරන්න අපි බලාපොරොත්තු වෙනවා."

අධිකරණයේදී සිදුවූ දේ

විල්පත්තු අභයභූමි කලාපය හරහා මීට පෙර යෝජනා කළ පරිදි මාර්ගයක් ඉදි නොකිරීමට බලධාරීන් තීරණය කර ඇතැයි නීතිපතිවරයා මැයි 07 වන දා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය.

එම මාර්ගය ඉදිකිරීමට එරෙහිව පාරිසරික පදනම විසින් ගොනු කරනු ලැබ තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අවන්ති පෙරේරා එය දැනුම් දුන්නා ය.

මෙම පෙත්සම ජනක් ද සිල්වා, මහින්ද සමයවර්ධන සහ සම්පත් අබේකෝන් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි.

එහිදී අදාළ මාර්ගය ඉදි නොකරන බවට රජයේ පාර්ශවය දැනුම් දීමෙන් අනතුරුව අදාළ පෙත්සම සමථයට පත්කර ගැනීමට දෙපාර්ශ්වය ම අධිකරණය හමුවේ එකඟ වූ බව අපගේ අධිකරණ වාර්තාකරු පැවසීය.

ඒ අනුව මෙම සමථය සටහන් කර ගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම් විභාගය අවසන් කිරීමට ද තීන්දු කළේ ය.

මෙම පෙත්සම තුළින් පෙත්සම්කාර පාර්ශවය සඳහන් කර තිබුණේ, විල්පත්තු අභය භූමි කලාපය හරහා මාර්ගයක් ඉදි කිරීමට සූදානම් වන බවට තමන්ට තොරතුරු දැනගන්නට ලැබුණු බව ය.

එවැනි මාර්ගයක් ඉදි කළහොත් එය හරහා අභය භූමියේ පරිසර පද්ධතියට දැඩි හානියක් සිදුවන ආතර වන සතුන්ට ද අනතුරු සිදුවිය හැකි බව පෙත්සමෙන් පෙන්වා දී තිබිණි.

ඒ අනුව, අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

විල්පත්තු වනය වැදගත් ඇයි?

ශ්‍රී ලංකාවේ පැරණිතම හා විශාලතම ජාතික වනෝද්‍යානය ලෙස සැලකෙන විල්පත්තු ජාතික වනෝද්‍යානය එය අත්කරගෙන ඇති ජෛව විවිධත්ව සහ පුරාවිද්‍යාත්මක වටිනාකම හේතුවෙන් ගෝලීය වශයෙන් අවධානයට ලක්ව තිබේ.

කොටියන්, අලින් ඇතුන් ඇතුළු ලංකාවේ නේවාසික හා සංක්‍රමණික සතුන්ගේ පැවැත්ම සඳහා සහය වන එහි ඇති සුවිශේෂි විල්ලු පද්ධතිය හේතුවෙන් 2013දී එය රැම්සා තෙත් බිමක් ලෙස නම් කරන ලදී.


සිංහරාජය හරහා ඉදිකිරීමට ගිය මාර්ගයට සිදුවුණු දේ

යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම් කරනු ලැබ ඇති සිංහරාජය හරහා ලංකාගම දක්වා දිවෙන මාර්ගය පුළුල් කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් එවකට ජනාධිපති ධූරය දැරූ ගෝඨාභය රාජපක්ෂට ඒ පිළිබඳව දැඩි විරෝධයක් එල්ල විය.

ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම මත නෙළුව සිට ලංකාගම දක්වා කිලෝමීටර 18ක මාර්ගය සංවර්ධනය කරන බව මහා මාර්ග අමාත්‍යංශයේ ලේකම් ආර්.ඩබ්ලව්.ආර් ප්‍රේමසිරි පැවසූ අතර, පරිසර සංවේදී කලාපය ඔස්සේ වැටී ඇති කිලෝමීටර 1.1ක් වන කොටසේ කිසිදු ඉදිකිරීමක් නොකරන බවත් ඔහු නිකුත් කළ නිවේදනයක සඳහන් විය.

පසුව එහි සංචාරයක නිරත වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියා සිටියේ පරිසරයට හානියක් නොවන සේ මාර්ගයේ සංවර්ධන කටයුතු සිදු කිරීමට උපදෙස් දී ඇති බව ය.

කෙසේ වෙතත්, පරිසරවේදීන් සහ පරිසර සංගම් විසින් අධිකරණයේ ඊට එරෙහිව පෙත්සම් ගොනු කළ අතර එය ඉදිකිරීම නතර කිරීමට සිදුවිය.

| BBC සිංහල සේවය


මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

විල්පත්තු "අනවසර ඉදිකිරීම්": තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ප්‍රතික්‍ෂේප කරයි

විල්පත්තුව: අලුතින් සංරක්ෂිත වනාන්තරයක්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...