BREAKING
Top Ad
පරිසර

හීනුග්ගල සොබ දම් විරුවාණෙනි, ඔබට අපගේ ආචාරය

T

The Leader

July 27, 2025 • 4:34 AM

හීනුග්ගල සොබ දම් විරුවාණෙනි, ඔබට අපගේ ආචාරය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගල්කිරියාගම, හීනුග්ගල රක්ෂිතයේ දී ගැබිනි මුවදෙනක අමානුෂික ලෙස ඝාතනය කිරීමේ හද සසල කරවන සිද්ධියත් සමග සැනසුම් දායක සිද්ධියක් ද අපට එකවර අසන්නට ලැබුණි.
  • මෙම සිද්ධියට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු සම්බන්ධ වීමත්, ප්‍රදේශවාසී තරුණයන්ගේ නිර්භීත ක්‍රියාකලාපයත්, පසුව වනජීවි සහ පොලිස් නිලධාරීන් අතර ඇතිවූ උණුසුම් තත්ත්වයත් හේතුවෙන් මෙය සමාජයේ දැඩි කතාබහට ලක්වී ඇත.
  •   මේ අපරාධකරුවන් අල්ලා ගැනීමට හැකි වූයේ මේ අවට ජීවත් වූ එක් නිර්භීත මෙන්ම අයුක්තිය නොඉවසන එක් පුද්ගලයකුගේ විමසිලිමත් බව නිසාය.
  • ඔහු පවසන පරිදි මෙය සිදුව තිබුණේ අලුයම 3.45 – 4.00 අතරය.
අකුරු ප්‍රමාණය (Font Size):


සැනසුම්දායක සිදුවීම වන්නේ වන සතකු වෙනුවෙන්, විශේෂයෙන් ගැබ්බර සතකු පිළිබඳ ගැමියන් තුළ එදා සිට පැවති සහානුකම්පිත බව තවත් වරක් තහවුරු වීමය.

ගැබිනි මුවදෙනක අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය මේ වන විට මුළු රටේම අවධානය දිනාගෙන තිබේ. මෙම සිද්ධියට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු සම්බන්ධ වීමත්, ප්‍රදේශවාසී තරුණයන්ගේ නිර්භීත ක්‍රියාකලාපයත්, පසුව වනජීවි සහ පොලිස් නිලධාරීන් අතර ඇතිවූ උණුසුම් තත්ත්වයත් හේතුවෙන් මෙය සමාජයේ දැඩි කතාබහට ලක්වී ඇත. මෙම සිදුවීම හුදෙක් සතෙකු ඝාතනය කිරීමක් පමණක් නොව, නීතියේ ආධිපත්‍යය, වනජීවි සංරක්ෂණය සහ පොලිස් සේවයේ විනය පිළිබඳ බරපතළ ප්‍රශ්න මතු කරයි.

 

der1

මේ අපරාධකරුවන් අල්ලා ගැනීමට හැකි වූයේ මේ අවට ජීවත් වූ එක් නිර්භීත මෙන්ම අයුක්තිය නොඉවසන එක් පුද්ගලයකුගේ විමසිලිමත් බව නිසාය. ඔහු තමා දුටු සම්පූර්ණ සිදුවීම මාධ්‍ය හමුවේ හෙළි කර සිටියේය. ඔහු පවසන පරිදි මෙය සිදුව තිබුණේ අලුයම 3.45 – 4.00 අතරය. වෙඩි හඬ ඇසුණු සැනින් ඔහු සිය නිවසේ දොර විවෘත කරගෙන පිටතට පැමිණ තිබේ. ඔහු පවසන පරිදි වෙඩි තබා තිබුණේ කැබ් රථයකින් පැමිණි පිරිසකි. ඔහු දොර විවෘත කරන ශබ්ද ඇසුණු සැනින් ඔවුහු එතැන නොසිට පිටව ගොස් තිබේ. ඉන්පසු නැවත 4.30 ට පමණ නිල් පැහැති යතුරු පැදියකින් තුන් දෙනෙකු පැමිණ තිබේ. එයින් එක් අයකු එතැනින් බස්සවා අනෙක් දෙදෙනා පිටත්ව ගොස් තිබේ. ඉන් පසු මේ අසල්වැසියා තවත් කිහිප දෙනෙකු සමග එක්ව කැලෑවට ගොස් මේ පැමිණි පුද්ගලයා අල්ලාගෙන තිබේ. ඉන් විනාඩි 10 කට පමණ පසු නැවත පෙර කී යතුරු පැදිය පැමිණ ඇති අතර,

524322052 1162794222537261 366096247288144835 n

“අපි පොලිසියේ. මේ වැඩේ ෂේප් කරන්න”

යැයි පවසා තිබේ. එවිට මේ අසල්වැසියා මෙසේ පවසා තිබේ:

“මම රජයේ නිලධාරියෙක්. ඔයා පොලිසියෙන් වෙන්න පුළුවන්. මට කරුණාකරලා ඔයාගේ හැඳුනුම්පත දෙන්න.”

ඔහු ඒ ආකාරයෙන් හැඳුනුම්පත ගෙන පරීක්ෂා කර බලද්දී ඔවුන් පොලිසියේ බව තහවුරු වී තිබේ. මේ අසල්වැසියා මෙයට පෙර යුද හමුදාවේ සේවයේ නිරත වූවකු වූ අතර වනජීවි දෙපාර්තමේන්තුවේ ද සේවය කළ අයෙකි. දැනට මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සේවය කරන්නෙකි. යුද හමුදාවේ සේවය කළ බැවින් ගිනි අවි පිළිබඳ ඔහුට ප්‍රාමාණික දැනුමක් තිබේ. වෙඩි තැබීම සඳහා යොදා ගත් අවිය පිළිබඳ ඔහු පවසා සිටින්නේ මෙවැන්නකි:

wana2
“වෙඩි තියලා තියෙන්නේ බෙහෙත් තුවක්කුවකින් නෙවෙයි. බෝර දොළහකිනුත් නෙවෙයි. එක්කෝ රාජකාරී අවියකින්. එක්කෝ ඊට ආසන්න අවියකින්. මීටර් 50 – 70 අතර දුරක ඉඳන් තමයි වෙඩි තියලා තියෙන්නේ.”

මේ අසල්වැසියන්ට අදාළ ගිනි අවිය ඒ අවස්ථාවේ දී සොයා ගන්නට නොහැකි වී ඇති අතර, එකී පුද්ගලයා පවසන්නේ එය සඟවන්නට ඇති බවය. මේ ගැබ්බර මුව දෙන මේ අවට නිතර ගැවසී තිබෙන අතර ගැමියන් ඇයට පානයට ජලය ආදිය ලබා දෙමින් ඇය රැක බලා ගැනීමට පියවර ගෙන තිබෙන බව ද ඔහුගේ කතාවෙන් හෙළි විය.

මෙම අමානුෂික ක්‍රියාවට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ තවත් සිවිල් පුද්ගලයකු (මුලින්ම අත්අඩංගුවට පත් වූ සිවිල් පුද්ගලයාට අමතරව බෝර 12 ගිනි අවියක් සන්තව තිබුණු තවත් පුද්ගලයකු පසුව අත්අඩංගුවට ගනු ලැබිණි) අත්අඩංගුවට ගත් තරුණයන්, ඔවුන්ව ගස් බැඳ තැබීමට තීරණය කළේ නීතිය ක්‍රියාත්මක වන තෙක් ඔවුන්ට පළා යාමට ඉඩ නොදීමේ අරමුණෙනි.

 

wana1
මෙය නීතිය අතට ගැනීමක් ලෙස පෙනුණ ද, සිද්ධියේ බරපතළකම සහ සැකකරුවන්ගේ අනන්‍යතාවය පිළිබඳ වූ සැකය හේතුවෙන් ඔවුන් එලෙස ක්‍රියා කරන්නට ඇත.

පසුව, ඔවුන් වහාම ගල්කිරියාගම වනජීවි කාර්යාලයට සහ මකුළුගස්වැව පොලිසියට සිද්ධිය පිළිබඳ දැනුම් දුන්හ. ප්‍රදේශවාසීන්ගේ මෙම ක්ෂණික සහ නිර්භීත ක්‍රියාකලාපය නිසාම, මෙම අමානුෂික ඝාතනයට සම්බන්ධ පුද්ගලයන් නීතිය හමුවට පමුණුවා ගැනීමට හැකි විය. විශේෂයෙන්ම, එම නිර්භීත අසල්වැසියාගේ ක්‍රියාකලාපය අගය කළ යුතුය.  ඔහු පවසන පරිදි,

“අපි මේ සත්තුන්ට ගෙවල් පිටිපස්සේ භාජනවලට වතුර දිදී බලා ගත්තේ. මම මේ හරියේ කාටවත් වෙඩි තියන්න දෙන්නේ නෑ. මම වනජීවි කියලත් දන්නවා. වෙඩි තියන්න එන්නෙත් නෑ ඒ හින්දා. මේ වෙඩික්කාරයොත් කියනවා ඔයා වනජීවි එකේ හින්දා තමයි අපි ගියේ කියලා. පස්සේ ඇවිත් තියෙන්නේ අපි නිදි ඇති කියලා හිතාගෙන. ඒ වගේ දෙයක් වෙන්නේ දෙන්නේ නෑ මේ හරියේ. මම මැරුණත් ඒ වගේ දෙයක් සතෙකුට වෙන්නේ දෙන්නේ නෑ.”

ඔහුගේ මෙම ප්‍රකාශය, එනම්, “මම මැරුණත් ඒ වගේ දෙයක් සතෙකුට වෙන්නේ දෙන්නේ නෑ” යන්න සත්ව අවිහිංසාව පදනම් කරගත් සොබා දහමේ පැවැත්ම සම්බන්ධ අති උදාර ප්‍රකාශයකි. එම ප්‍රකාශය කළ විරුවාට අපගේ ගෞරවාදරය හිමි විය යුතුය.

සිද්ධිය වාර්තා වීමත් සමඟම ගල්කිරියාගම වනජීවි කාර්යාලයේ වන සත්ව නියාමක සඳුන් හේමනායක මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සහ පොලිස් නිලධාරීන් පිරිසක් සිද්ධි ස්ථානයට පැමිණියහ. මෙහිදී, විමර්ශන භාර ගැනීම සම්බන්ධයෙන් වනජීවි සහ පොලිස් නිලධාරීන් අතර දැඩි මතභේදයක් හටගෙන ඇත. වනජීවි නිලධාරීන් තර්ක කළේ, මෙය වනජීවි පනත යටතේ සිදු වූ වරදක් බැවින් සහ සැකකරුවන් පොලිස් නිලධාරීන් වන බැවින්, විමර්ශනය තමන් වෙත භාර දිය යුතු බවයි. ඔවුන්ගේ තර්කය වූයේ, පොලිස් නිලධාරීන් සම්බන්ධ සිද්ධියක් පොලිසිය විසින්ම විමර්ශනය කිරීමේ දී අපක්ෂපාතීත්වයට හානි විය හැකි බවයි.

කෙසේ වෙතත්, පොලිස් නිලධාරීන් මෙම ඉල්ලීමට දැඩි අකමැත්තක් පළ කර ඇති අතර, අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන බවට ප්‍රකාශ කර ඇත. අවසානයේ දී, ප්‍රදේශවාසීන්ගේ සහ වනජීවි නිලධාරීන්ගේ දැඩි බලපෑම හමුවේ, සැකකාර පොලිස් සැරයන්වරුන් දෙදෙනා සහ අනෙක් පුද්ගලයා, ඔවුන් පැමිණි යතුරුපැදිය සහ ඝාතනයට ලක්වූ මුවදෙනගේ සිරුර ද සමඟ මකුළුගස්වැව පොලිසිය වෙත රැගෙන යාමට පියවර ගැනිණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරු දෙදෙනා සහ අනෙක් සිවිල් පුද්ගලයන් දෙදෙනා අගෝස්තු 1 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට දඹුල්ල වැඩබලන මහේස්ත්‍රාත් දුලාංජලි සිතුමිණි මහත්මිය නියෝග කර තිබේ.

WANA3

 

මෙම සිදුවීම නීතියේ රැකවලුන් ලෙස කටයුතු කරන පොලිස් නිලධාරීන්ගේ වගකීම සහ විනය පිළිබඳ බරපතළ ප්‍රශ්න මතු කරයි. රටේ නීතිය ආරක්ෂා කිරීමට සහ වනජීවීන් ඇතුළු ස්වාභාවික සම්පත් සුරැකීමට බැඳී සිටින නිලධාරීන්ම මෙවැනි අමානුෂික ක්‍රියාවලට සම්බන්ධ වීමෙන්, පොලිස් සේවය පිළිබඳ මහජනතාව තුළ ඇති විශ්වාසය බිඳී යා හැකිය. වනජීවි සංරක්ෂණය යනු රටේ අනාගතය සඳහා අත්‍යවශ්‍ය කාරණාවකි. වනජීවි පනත මගින් සතුන් ආරක්ෂා කිරීමට දැඩි නීති රීති පනවා තිබියදීත්, නීතිය ක්‍රියාත්මක කරන්නන්ම එය කඩ කිරීම ඉතා කණගාටුදායක තත්ත්වයකි.

මෙම සිද්ධිය හුදෙක් එක් සිදුවීමක් ලෙස නොසලකා, එයින් උගත යුතු පාඩම් බොහොමයක් තිබේ. ප්‍රදේශවාසී තරුණයන්ගේ ක්‍රියාකලාපය මෙහි දී අගය කළ යුතුය. ඔවුන්ගේ නිර්භීතකම සහ පරිසරය කෙරෙහි වූ කැපවීම නිසාම, මෙම අපරාධයට සම්බන්ධ පුද්ගලයන් නීතිය හමුවට පමුණුවා ගැනීමට හැකි විය. මෙය, වනජීවි අපරාධ වැළැක්වීමේ දී මහජනතාවට ඇති වගකීම සහ ඔවුන්ගේ දායකත්වයේ වැදගත්කම කියාපායි. මේ ගැබ්බර මුවදෙනට සිදු වූ අපරාධය වෙනුවෙන් කතා කරන්නට පෙරට පැමිණි මේ ගම්වාසීන්ට අපගේ ගෞරවාදරය සැබවින්ම හිමි විය යුතුය.

අනාගතයේ දී මෙවැනි සිදුවීම් වළක්වා ගැනීම සඳහා, පොලිස් සේවය තුළ විනය සහ ආචාර ධර්ම පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතුය. නීතියේ රැකවලුන් ලෙස ඔවුන්ට පැවරී ඇති වගකීම පිළිබඳ ඔවුන්ට නිරන්තරයෙන් සිහිපත් කළ යුතු අතර, වනජීවි සංරක්ෂණයේ වැදගත්කම පිළිබඳ ඔවුන් දැනුවත් කළ යුතුය. තවද, වනජීවි අපරාධ සම්බන්ධයෙන් පවතින නීති තවදුරටත් ශක්තිමත් කළ යුතු අතර, ඒවා දැඩිව ක්‍රියාත්මක කළ යුතුය.

deer2
මෙම අපරාධය පොලිසියේ සේවය කරන්නන් කිහිප දෙනෙකු විසින් සිදු කරන ලද්දක් වුව ද සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවටම මේ සඳහා චෝදනා කිරීම යුක්ති සහගත නැත. සතුන් වෙනුවෙන් අනුකම්පාව දක්වන පොලිස් නිලධාරීන් ඕනෑ තරම් දැක ගත හැකිය. හොරෙන් ප්‍රවාහනය කරන ගවයින් සම්බන්ධව නීතිමය පියවර ගැනීම, මහමග සිටින සතුන්ට කෑම බීම ලබා දෙමින් සත්කාර කිරීම පොලිස් නිලධාරීන් අතින් සිදුවන සුලභ සිදුවීම්ය. එපමණක් නොව සෑම ගැමියකු තුළමත් සතුන් වෙනුවෙන් සහානුකම්පාවක් දැකිය නොහැකිය. වන සතුන් දඩයම් කරන ගැමියන් ද නැතුවාම නොවේ. කෙසේ නමුත් ඒ සියලු සිදුවීම් අභිබවා මෙය සුවිශේෂ සිදුවීමක් ලෙස ඉස්මතු වී තිබේ. මෙය ස්වාභාවික යුක්තිය වෙනුවෙන් සටන් කළ ජනතා ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැකිය.

ගැබිනි මුවදෙනගේ ඝාතනය හුදෙක් සතෙකුගේ ජීවිතය අහිමි කිරීමක් පමණක් නොව, එය සමස්ත පරිසර පද්ධතියටම එල්ල වූ ප්‍රහාරයකි. මෙම සිදුවීම හරහා, මිනිසා සහ සොබාදහම අතර ඇති සියුම් සමබරතාවය පිළිබඳ අප නැවත සිතා බැලිය යුතුය. අහිංසක සතුන්ගේ ජීවිතවලට ගරු කරමින්, සොබාදහම සමඟ සහයෝගයෙන් ජීවත් වීමට අපට හැකි විය යුතුය. මෙම සිද්ධියට වගකිවයුත්තන්ට නිසි දඬුවම් ලබා දීමත්, මෙවැනි අපරාධ නැවත සිදු නොවීම සඳහා අවශ්‍ය පියවර ගැනීමත්, බලධාරීන්ගේ වගකීම වේ.

අවසාන වශයෙන්, නීතිය ක්‍රියාත්මක කරන්නට සිටිනවුන් අවනීතිය ක්‍රියාත්මක කරන්නේ නම්, ඊට එරෙහිව නැගී සිටීම සඳහා ජනතාව තවතවත් දිරිගැන්වීම සඳහා මේ සිදුවීම් පූර්වාදර්ශයක් බවට පත් කර ගත යුතුය. ජාතියක ශ්‍රේෂ්ඨත්වය විනිශ්චය කළ හැක්කේ එහි සතුන්ට සලකන ආකාරය අනුවය. මහත්මා ගාන්ධි වරෙක මෙසේ පවසා තිබේ:

“ඕනෑම සමාජයක ප්‍රෞඪත්වය මැනිය හැක්කේ එහි අවදානමට ලක්විය හැකි පාර්ශ්වයන් වන කාන්තාවන්ට, දරුවන්ට, වැඩිහිටියන්ට සහ සතුන්ට සලකන ආකාරය මතය.”

එබැවින් මේ මුව දෙන වෙනුවෙන් ඉදිරිපත් වූ මේ ගැමි සමාජයේ සියලු දෙනාටම අපගේ ශීර්ෂ ප්‍රණාමයෙන් ආචාර කරන බව සඳහන් කළ යුතුය. සතුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් ජාතියක යහපැවැත්ම සහතික වන්නේ එවිටය.

Niranjan Chaminda(සටහන | නිරංජන් චාමින්ද කරුණාතිලක)
hnckcreations@gmail.com

උපුටා ගැනීම -vinivida.lk

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...