BREAKING
Top Ad
පරිසර

අලි මිනිස් සහජීවනයට නව මඟක් තනන ගැටදිවුලේ අලි කුමාර

T

The Leader

September 18, 2025 • 1:57 AM

අලි මිනිස් සහජීවනයට නව මඟක් තනන ගැටදිවුලේ අලි කුමාර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අඩි සිය ගණනක් පළල මහ මාර්ගයක දහවලට දෙපසට දිවෙන රථ වාහන සියල්ල නතර කොට තිබිය දී ඒ ඉදිරිපිටින් වන අලි ඇතුන් සිය ගණනක් පාර පනින දර්ශනයක් ලොව කවර රටකින් හෝ දැක ගත හැකි නම් එය ඉතා දුලබ සිදුවීමක් බව අමුතුවෙන් කිව යුතු නැත.
  •   එමෙන්ම එම වීඩියෝවක් මගින් සුවහසක් දෙනාගේ අවධානයට ලක් වූ එක්තරා සුවිශේෂී බවක් ද තිබේ.
  • එනම් එසේ මාරුවන අලි ඇතුන් අතරේ සිටින එක් සද්දන්ත ඇතෙකු තමන් ඇතුළු පිරිසට ඒ සඳහා ඉඩ සලසා දුන් තැනැත්තාට ස්තුති කරන්නාක් මෙන් එසේ පාර මාරුවන අතරේ සිය හොඬය ඔසවා ආචාර කිරීම ය.
  • මේ වන විට දස වසරකටත් වැඩි කාලයක් මෙලෙස අලි මිනිස් ගැටුම නිරාකරණය කිරීම වෙනුවෙන් “නිල නොලත් සාම විනිසුරුවරයෙකු” ලෙසින් කටයුතු කරන ඔහු අඹන්පොල, ගැටදිවුලේ පී.
අකුරු ප්‍රමාණය (Font Size):


එමෙන්ම රථවාහන රාජකාරියක නියුතු පොලිස් නිලධාරියෙකු මෙන් එම මාර්ගය මැදට පැමිණ මාර්ගයේ දෙපසින් පැමිණෙන රථවාහන හස්ත සංඥාවෙන් නතර කොට එම වන අලි ඇතුනට පාර මාරු වීමට අවස්ථාව සලසා දෙන පුද්ගලයෙකු ද ලොව සුවිශේෂී අවධානයට ලක් විය යුත්තෙකි.

 “රාජධානි පිවිසුම” යනුවෙන් හඳුන්වන පාදෙණිය-අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ අඹන්පොල හා ගල්ගමුව අතර පිහිටි ගැටදිවුල ප්‍රදේශයේ දී ඉහත සඳහන් සිදුවීම් දෙකම එකම අවස්ථාවක සිදුවන ඡායාරූප සහ වීඩියෝ මේ වන විට සමාජ මාධ්‍ය මගින් දෙස් විදෙස් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් නරඹා ඇති බව රහසක් නොවේ.

 

galgamuwa ele

එමෙන්ම එම වීඩියෝවක් මගින් සුවහසක් දෙනාගේ අවධානයට ලක් වූ එක්තරා සුවිශේෂී බවක් ද තිබේ. එනම් එසේ මාරුවන අලි ඇතුන් අතරේ සිටින එක් සද්දන්ත ඇතෙකු තමන් ඇතුළු පිරිසට ඒ සඳහා ඉඩ සලසා දුන් තැනැත්තාට ස්තුති කරන්නාක් මෙන් එසේ පාර මාරුවන අතරේ සිය හොඬය ඔසවා ආචාර කිරීම ය.



ඒ අනුව, මීට දශක කිහිපයකට පෙර සිට සුලබව අසන්නට ලැබෙන අලි මිනිස් ගැටුම යන අර්බුදකාරී වදන වෙනුවට අලි මිනිස් සහජීවනය නම් වන දෙපිරිසටම සහනශීලී නව මානව සංකල්පය මෝදු කිරීමට යත්න දැරෙන වර්තමානයේ අපි ඉහත සඳහන් අලි මිනිස් සහජීවනය පිළිබඳ පුරෝගාමී භූමිකාවක යෙදෙන ඉහත සඳහන් අපූරු මිනිසා සොයා ගියෙමු.

මේ වන විට දස වසරකටත් වැඩි කාලයක් මෙලෙස අලි මිනිස් ගැටුම නිරාකරණය කිරීම වෙනුවෙන් “නිල නොලත් සාම විනිසුරුවරයෙකු” ලෙසින් කටයුතු කරන ඔහු අඹන්පොල, ගැටදිවුලේ පී. එම්. චමින්ද කුමාර ය. ඔහුගේ වයස අවුරුදු හතළිස් හයකි. කලින් ගැටදිවුලේ කුමාර නමින් හැඳින්වුණු ඔහු වෙතින් ඉටු වන මෙම සුවිශේෂ මෙහෙවර මුල් කොට ඔහුගේ නම ද සමාජය විසින් “අලි කුමාර” ලෙසින් යාවත්කාලීන කොට තිබේ.

ගැටදිවුලේ හේන් කුඹුරු ගොවිතැනේ යෙදුණු පී. එම්. පියදාස මහතාගේ සහ මියුලින් පොඩි මැණිකේ මහත්මියගේ මද්දුම දරුවා ලෙසින් උපන් චමින්ද කුමාර තම නිවස ආසන්නයේම පිහිටි අඹන්පොල කාසිකොටේ මහා විද්‍යාලයෙන් හත්වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබා තිබේ. පසුව ජීවත් වීම සඳහා කුමක් හෝ කළ යුතු බැවින් සිය පියා අනුව ගොස් හේන් කුඹුරු වගා කටයුතුවල යෙදුණු ඔහු පසුකාලීනව තම නිවස සමීපයේ ඇති ප්‍රධාන මාර්ගය අද්දර සුළු ව්‍යාපාරයක් ඇරඹීය. ඒ පාපිසි, කොට්ට සහ ධාන්‍ය වර්ග සහිත ඇසුරුම් අලෙවියයි.

මේ වන විට ඉහත සඳහන් ප්‍රධාන මාර්ගය අද්දරින් වැටී ගත් උතුරු දිග දුම්රිය මාර්ගයෙහි මෙම ස්ථානය වන අලි ඇතුන්ට මරු කපොල්ලක් වී ඇති බැවින් ඊට යටින් “ශ්‍රී ලංකාවේ පළමු වන ජීවී උමං මාර්ගය” ඉදිවෙමින් පවතී. එම ස්ථානයට තරමක් මෙපිටින් ප්‍රධාන මාර්ගයේ දකුණු පසට වන්නට පිහිටි කුඩා පාපිසි වෙළෙඳසල කුමාරගේය. මහේෂා දමයන්ති මහත්මියගේ දයාබර සැමියා ලෙසින් දිනිති මලීෂා සහ නෙත්සර චමිඳු යන දරු දෙදෙනාගේ ආදරණීය පියාණන් වන කුමාරට තම සුළු ව්‍යාපාරයෙන් දිනකට උපයා ගත හැකි උපරිම මුදල රුපියල් එක් දහස් පන්සියයක් පමණි. නමුත් ඇතැම් දිනවල ඔහුට සතයකවත් ආදායමක් නැත.

අලි කුමාර4අලි කුමාර
එහෙත්, අපගේ මෙම කතාව ඔහුගේ ආදායම හෝ පෞද්ගලික තොරතුරු පිළිබඳව නොවේ. අද මෙන් සුවිසල් සංඛ්‍යාවක් නොවුණත් දිනපතා උදේ සවස වන අලි ඇතුන් සැලකිය යුතු සංඛ්‍යාවක් පාර මාරුවන මෙම ස්ථානය මිනිසුන්ට සේම වන අලි ඇතුන්ට ද අතිශයින් අනතුරුදායක බව වටහා ගත් කුමාර මීට වසර දහයකටත් ඉහත මෙම “නිල නොලත් අලි මිනිස් සාම විනිසුරුකම” භාර ගත්තේ තමන් ද නොදැනුවත්වම මෙනි.

නමුත් දිනපතාම නොවුණත් සතියකට දින කිහිපයක් වශයෙන් මෙලෙස පාර මාරුවන වන අලි ඇතුන් සංඛ්‍යාව දහය පහළොවේ සිට දෙසිය පනහ, තුන්සියය දක්වා ඉහළ යත්ම තම රාජකාරී විෂය පථය ද ඊට සාපේක්ෂව පුළුල් කර ගැනීමට කුමාරට සිදු විය.

elephant galgamuwa

“ඔය අලි පාර පනින එක හරියටම කියන්න බෑ. පාර පනින දාට හැන්දෑවේ හය හමාරට හතට වගේ පාරේ වම් පැත්තේ තිබෙන ගැටදිවුල රක්ෂිතයෙන් එළියට එන එක එක ප්‍රමාණවල අලි රංචු පාරෙන් දකුණු පැත්තේ තිබෙන ගම්මාන පැත්තට යනවා. ඒ වගේම ඊට පසු දින උදේ හය හමාර හත වෙනකොට ඒ අලි රංචුව නැවත දුම්රිය මාර්ගය මත පාර පැනලා වම් පැත්තේ තිබෙන ගැටදිවුල රක්ෂිතයට ඇතුල් වෙනවා. ඒ හින්දා ඉතින් මම ඒ වෙලාවල්වලට මොන වැඩ තිබුණත් ඒ සේරම නතර කරලා පාරට යන්න සූදානමින් තමයි ඉන්නේ” කුමාර තම රාජකාරිය කෙටියෙන් විස්තර කළේ එලෙසිනි.

ඔහු වැඩිදුරටත් පැවසූ අන්දමට සවස් යාමයට හෝ උදේ කාලයට වන අලින් පාර මාරුවීමට පැමිණෙන බවට සියුම් ඉඟියක් හෝ ලැබුණ හොත් තමන්ට මොහොතක්වත් පමාවීමට කාලයක් නොමැති බවකි. මෙම කාරිය සඳහා තමන් හට අයි. බී. පියරත්න, එච්. එම්. තිලක් රත්නායක ඇතුළු තවත් ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකුගේ නොමඳ සහාය හිමි වන බව ද ඔහු කීය.

“නමුත් මම නම් හිතන්නේ තාමත් අපේ හුඟ දෙනෙක් අලි ඇත්තු ගැන දන්නේ නෑ. කොහොමත් ඒ අය වැඩිපුරම කුපිත වෙන්නේ තමන්ගේ නිදහසට බාධා කරන කොට, කවුරු වුණත් පැත්තකට වෙලා තමන්ට තමන්ගේ පාඩුවේ යන ගමන යන්න ඉඩ දෙනවා නම් ඒ අය හුඟක් කැමතියි.” කුමාර එසේ කීවේ මේ වන විට සමාජ මාධ්‍ය මගින් සුවිසල් ප්‍රසිද්ධියක් උසුලන කාවන්තිස්ස නම් සද්දන්ත ඇතා තමන්ට පාර මාරුවීමට ඉඩ දුන් කුමාරට හොඬය ඔසවා ආචාර කිරීම සම්බන්ධයෙන් මා ඔහුගෙන් විමසූ විට ය.

Wild elephant crossing main road while red tuk tuk gives him the right of way. Habarana in Sri Lanka.

හොඬය යනු මේ මිහිතලයේ අන් කිසිදු ක්ෂීරපායී සතෙකුට උරුම නොවූ සුවිශේෂ ශරීරාංගයකි. ශ්වසනයට, ආහාර පාන ගැනීමට, ඉව හෙවත් තීව්‍ර ආඝ්‍රාණ සංවේදීතා ලබා ගැනීමට, මිනිසෙකුට දෑතින් කරන කටයුතු සිදු කිරීමට, විවිධ සංවේදනයක් කිරීමට සේම ප්‍රහාර එල්ල කිරීමට අලි ඇතුන් යොදා ගන්නා හොඬය නම් වන බහුකාර්ය අවයවය මේ වන විට මිනිසුන් සම්බන්ධයෙන් අලි ඇතුන් වැඩිපුරම භාවිත කොට ඇත්තේ මිනිසුන්ට පහර දීමට හා මිනිසුන් ඔසවා පොළොවේ ගැසීමට විය යුතු ය. නමුත් එවන් පසුබිමක් යටතේ මෙම සද්දන්තයන්ට වාහන නතර කොට තමන්ට ආරක්ෂිතව පාර මාරුවීමට ඉඩ සලසා දෙන කුමාරට අලි ඇතුන් සිය හොඬය ඔසවා ආචාර කිරීම අලි මිනිස් සහජීවනය සම්බන්ධ කෙතරම් අනගි පණිවිඩයක් ද යන්න අප යළි යළිත් සිතා බැලිය යුතු ය.

“ඉස්සර ඉඳලම මෙතනින් මාරුවෙන අලි ඇත්තු බලන්න උදේට හවසට එක එක පිරිස් එනවා. ඒත් ඒ හුඟ දෙනෙකුට ඒ ගැන කිසිම වැටහීමක් නෑ, පිට පළාත්වලින් එන සමහරු අලි බලන්න කියලා තමන්ගේ වාහනේ නතර කරන්නේ ඔය අලි පනින තැන හරස් වෙන විදිහට. ඒක හරිම අනතුරුදායකයි. තවත් පාරේ යන සමහරුන්ට මම වාහනේ පොඩ්ඩක් නතර කරන්න කියලා සංඥාවක් දුන්නත් ‘අපිට අලි ලොකු නෑ හරිද?’ කියනවා වගේ අපේ කීම නොඅහා අලි අස්සෙන්ම වාහනේ එහා පැත්තට දා ගන්න උත්සාහ කරන වෙලාවලුත් තියෙනවා. හුඟක් වෙලාවට එහෙම කරන්නේ මේ පළාත්වල ඉන්න වන අලි පුරුදු අය තමයි. නමුත් මේ වගේ දේකින් කුපිත වෙන අලි ඒ කෙනාට වගේම වෙනත් කෙනෙකුට පහර දෙන්නත් පුළුවන්. නමුත් අලි ඇත්තු කියන්නේ මිනිස්සු වගේ හිතන්න නොදන්න තිරිසන් සත්ව කොට්ඨාශයක් කියලා සමහර මිනිස්සු නොහිතන එකයි ප්‍රශ්නේ. හැබැයි එහෙම දෙයක් සිදු වූ හැටියේ ඒකේ සම්පූර්ණ වරද පැටවෙන්නේ අලි ඇත්තුන්ට.” ඔහු කීය.

අඹන්පොල ගැටදිවුල ප්‍රදේශයේ දී කුමාර මෙලෙස අලි ඇතුන් හට පාර මාරුවීමට ඉඩ සලසන ඡායාරූප සහ වීඩියෝ සේම කාවන්තිස්ස වැනි සද්දන්තයන් එක් කොට ඔහු ගත් ‘සෙල්ෆි’ ඡායාරූප තොගයක් ඔහු සතුව ඇතැයි මෙම හමුවීමේ දී මට සිතිණ. එහෙත්, තම මෙහෙවර සම්බන්ධ සාක්ෂියක් වශයෙන් යොදා ගත හැකි එකම ඡායාරූපයක් හෝ වීඩියෝවක් ඔහු සතුව නොතිබිණ. එමෙන්ම ඒ වන විටත් සමාජ ජාල මතින් ලබා ගෙන තිබූ ඡායාරූප හා වීඩියෝ පරීක්ෂා කිරීමේ දී ද අපට මනා සේ පෙනී ගිය එක් කරුණක් විය. එනම් ඒ කිසිම සේයාරුවකට හෝ වීඩියෝවකට කුමාර උනන්දුවෙන් මුහුණ දී නොමැති බවකි.

අලි කුමාර2

“මම මෙතන කරන්නේ වාහන අනතුරු නතර කරලා මිනිස්සුන්ටත් ආරක්ෂාවක් ලැබෙන විදිහට මේ සතුන්ට පරෙස්සමෙන් පාර මාරු වීමට උදව් කරන එකනේ. ඒ වගේම සමහර සතුන් ගම්මාන පැත්තේ ඉඳන් ඇවිත් දුම්රිය මාර්ගය පැනලා මම ‘හරි දැන් පලයන් පුතේ’ කියනකම් බලා සිටිනවා. ඊළඟ සතුන් පාර මාරු වෙනකොට මට ඉබේටම වගේ ‘බුදු සරණයි පුතේ’ කියවෙනවා. එතකොට තමයි සමහර සතුන් හොඬවැල උස්සලා මටත් ආචාර කරන්නේ. අන්න ඒ වෙලාවට මට අනික් දේවල් සේරම අමතක වෙනවා.” කුමාර කීය.

අප හට නිරීක්ෂණය වූ අන්දමට ප්‍රධාන මාර්ගයට පැමිණෙන කුමාර ඉහත සඳහන් ආකාරයට අලි මිනිස් සහසබඳතාවට මුල පුරන ඡායාරූප හා වීඩියෝ බොහොමයක වැඩිපුර දර්ශනය වන්නේ ඔහුගේ සිරුරේ පිටුපස කොටස පමණි.

“හැබැයි ඔයාට ඔය වෙලාවට අඳින්න පිටේ මොකක් හරි වෙළෙඳ ලාංඡනයක් තිබෙන ටී-ෂර්ට් එකක් දීලා, ඒක අඳිනවට ඔයාගේ අතේ ලොකු ගාණක් තියන්න සමහර ලොකු සමාගම් කැමති වෙයි. ඒ වගේම ඔයාගේ මේ කඩේ ඉස්සරහ “අලි කුමාරගේ කඩේ” කියලා ලොකු බෝඩ් එකක් ගහලා ඒකේ අනුග්‍රහය කියලා තමන්ගේ නම ගහන්නත් හුඟක් සමාගම් කැමති වෙයි. මොකද කුමාර කියන්නේ ඒ යෝජනාව ගැන?” කුමාරගෙන් මම ඇසීමි.

“මම ජීවත් වෙන්න මේ පුංචි බිස්නස් එක කළාට මේ සතුන් වෙනුවෙන් කරන වැඩ ටික කීයටවත් බිස්නස් එකක් කරගන්න මම කැමති නෑ අපේ මහත්තයා.” අලි මිනිස් සහජීවනය යන වදනේ අරුත වාචිකව පහදා දිය නොහැකි මුත් එහි දාර්ශනික අරුත ඉතා ගැඹුරින් වටහා ගෙන ඒ අනුව ක්‍රියා කරන අපේ කාලයේ මහා ප්‍රඥාවන්තයෙකු සේ මට හැඟෙන කුමාර කීය.

අලි කුමාර3අලි කුමාර
එමෙන්ම ගැටදිවුල රක්ෂිතයේ සිට පැමිණෙන වන අලි සංඛ්‍යාව තුන්සියයක් පමණ දක්වා ඉහළ නගින විට යම් කාලයක් ගෙන ඔවුන් සැමට ආරක්ෂිතව පාර මාරුවීමට ඉඩ සලසා දීම පිණිස තමන් අඹන්පොල පොලිසියේත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේත් සහාය ලබා ගන්නා අතර එක් දුරකථන ඇමතුමකින් ඔවුන් වහා එහි පැමිණෙන බවත් කුමාර කීය.

“හැබැයි කුමාර ගැටදිවුල රක්ෂිතය පැත්තෙන් එන වන අලි ඇතුන්ට මේ පාරෙන් දකුණු පැත්තේ තිබෙන හේන් කුඹුරු තිබෙන ගම්මාන රාශියකට යන්න ඉඩ සලසන කෙනෙක්. ගම්වල මිනිස්සු ඒ ගැන මොනවද කියන්නේ?” යනුවෙන් මා අවසන් වරට ඇසුවේ ඉන් ඔහු යම් නොසතුටකට පත් වෙතැයි යන අනුමානයෙනි. එහෙත් එවැන්නක අංශු මාත්‍රයක් හෝ ඔහුගේ මුහුණේ ඉරියව්වලින් දක්නට නොලැබුණි.

 

para maru wena ali
“මේ පළාත්වල හැමෝම වගේ මට මේවට උදව් කරනවා. ඒ වගේම මට කුඹුරු නැති හින්දා කුඹුරු තිබෙන සමහරු ගොයම් කැපුවම මට වී උරයක් දෙකක් එහෙමත් ගෙනත් දෙනවා. මගේ වත්කම්වල හැටියට ඒකත් මට ලොකු දෙයක්.” කුමාර දුන් ඒ සරල පිළිතුර අනුව පාර පනින වන අලින් සිය ගණනක් මෙලෙස රැක බලා ගන්නා ගැටදිවුලේ අලි කුමාර රැක බලා ගැනීම සම්බන්ධ වගකීමක්වත් අප හමුවේ නොමැතියි ඔබ නොසිතන බව මම තරයේම විශ්වාස කරමි.

Thilak Senasinghe
(සටහන | තිලක් සේනාසිංහ)
ගවේෂණාත්මක මාධ්‍යවේදී

thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk) 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...