BREAKING
Top Ad
පරිසර

ජනාධිපතිවරයාගේ අලි-මිනිස් ගැටුම් කළමනාකරණ අයවැය යෝජනා යථාර්ථවාදී ද? | සුපුන් ළහිරු ප්‍රකාශ්

T

The Leader

November 12, 2025 • 2:29 AM

ජනාධිපතිවරයාගේ අලි-මිනිස් ගැටුම් කළමනාකරණ අයවැය යෝජනා යථාර්ථවාදී ද? | සුපුන් ළහිරු ප්‍රකාශ්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මුදල් විෂයභාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 07 දින පස්වරුවේ 2026 වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
  • නමුත් එම පොරොන්දු සියල්ලට පයින් ගසමින් වර්තමාන රජය නොදැනුවත්කම සහ මිත්‍යාව මත පදනම්වූ අලි-මිනිස් ගැටුම් අවුළුවන මග තෝරාගෙන ඇති බව අප මීට මාස කීපයකට පෙරද පෙන්වා දුනිමු.
  • එනම් මෙතෙක් භාවිතාකළ අවිද්‍යාත්මක, යල්පැනගිය, අසාර්ථක විසඳුම් කෙරෙහිම මෙම ආණ්ඩුවද විශ්වාසය තබා ඇති බවයි.
  • තවද ඊට අයිසින් තැවරුමක් වශයෙන් වාසස්ථාන සුපෝෂණය සඳහා ද යම් මුදලක් වෙන්කර ඇති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

එහිදී ශ්‍රී ලංකාවේ දැනට බලපවත්නා ඉතා බරපතලම සමාජාර්ථික, පාරිසරික හා දේශපාලන ගැටළුවක් බවට පත්ව ඇති අලි-මිනිස් ගැටුම අවම කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත්කළ අයවැය යෝජනා පිළිබඳව විමසා බැලීම වැදගත් වන්නේ අප රටේ මුළු බිම් ප්‍රමාණයෙන් සියයට හතළිහක පමණ ජීවත්වන ජනතාව මෙන්ම අලි ඇතුන් දහස් ගණනක් එමගින් පීඩාවට පත්ව සිටින බැවිණි.

ජාතික ජන බලවේගය මැතිවරණවලදී පොරොන්දු වූයේ සහ ජනතාව බලාපොරොත්තු වූයේ අප රට දවන මෙම ප්‍රශ්නය විද්‍යාත්මක පදනමක් තුළින් හරි හැටි තෝරා බේරා ගෙන සාර්ථක විසඳුම් සෙවීමය. නමුත් එම පොරොන්දු සියල්ලට පයින් ගසමින් වර්තමාන රජය නොදැනුවත්කම සහ මිත්‍යාව මත පදනම්වූ අලි-මිනිස් ගැටුම් අවුළුවන මග තෝරාගෙන ඇති බව අප මීට මාස කීපයකට පෙරද පෙන්වා දුනිමු.

 



පසුගියදා ප්‍රකාශයට පත් කෙරුණු අයවැය යෝජනා සමාලෝචනයකර බැලීමේදී ද නැවත නැවතත් පැහැදිලිවම පෙනී යන්නේ එම යෝජනා අලි ඇතුන් රක්ෂිත ප්‍රදේශ වලට ගාල් කර විදුලි වැට සකස් කිරීමත්, එම වැට ආරක්ෂා කිරීමට අවශ්‍ය පිරිස් බලය සැපයීමත් කෙරෙහි සම්පූර්ණ අවධානය යොමුකර ඇති බවයි. එනම් මෙතෙක් භාවිතාකළ අවිද්‍යාත්මක, යල්පැනගිය, අසාර්ථක විසඳුම් කෙරෙහිම මෙම ආණ්ඩුවද විශ්වාසය තබා ඇති බවයි. තවද ඊට අයිසින් තැවරුමක් වශයෙන් වාසස්ථාන සුපෝෂණය සඳහා ද යම් මුදලක් වෙන්කර ඇති බවයි.

වන අලි කළමනාකරණය හා අලි-මිනිස් ගැටුම් අවම කිරීම සඳහා වූ අතීත ප්‍රවේශයන් 1959 දී සකස් කරන ලද ඒවාය. අලි ඇතුන් තෝරා ගත් රක්ෂිත ප්‍රදේශවලට සීමා කිරීමට නිර්දේශ වූයේ එමගිනි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම ඉලක්කය සපුරා ගැනීමට ජීවිත පවා පරිත්‍යාගයෙන් කටයුතුකළ වසර හැටකට වැඩි කාලසීමාවකටත් පසු, අද වන විටත් වන අලින්ගේ වාසභූමි වලින් 70% ක් ව්‍යාප්තව පවතින්නේ මිනිස් ජනාවාස සහිත ප්‍රදේශවලය.

ඒ අනුව එම ප්‍රවේශය ඔස්සේම ඉදිරියට යාම යථාර්ථවාදී නොවන බව අමුතුවෙන් කිවයුතු නැත. මෙම රජය බලයට පැමිණි දා සිටි මේ දක්වා විවිධ අවස්ථා වලදී අප ඇතුළු පරිසරවේදීන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ආණ්ඩුවට මේ බව අවස්ථා ගණනාවකදී පෙන්වා දුනිමු. නමුත් ඔවුන් එය කනකට නොගෙන ඇති බව මෙම අයවැය යෝජනා මගින් නැවත නැවතත් පැහැදිලිව පෙනේ.

 

අලි ඇතුන් රක්ෂිත තුළට ගාල්කර විදුලි වැට සකස් කිරීම අසාර්ථක අලි-මිනිස් ගැටුම් කළමනාකරණ උපායක් බවට අතීත සාක්ෂි සාධක ඕනෑ තරම් තිබියදී, වර්තමාන රජය බලයට පැමිණි වහා ද එවැනි උත්සාහයන් ගණනාවක් අනුරාධපුර, පොළොන්නරුව සහ පුත්තලම ප්‍රදේශ වලදී දරනු ලැබිණි. මේ වන විට එවැනි උත්සාහයක් හම්බන්තොට ප්‍රදේශයේද ක්‍රියාත්මක වෙමින් පවතී. ආණ්ඩුව අඩු තරමින් ඒවායේ අසාර්ථකත්වය පිළිබඳව හෝ අයවැය යෝජනා සකස් කිරීමේදී අවධානය යොමු කලානම් මෙවැනි අසාර්ථක, අවිද්‍යාත්මක හා යල්පැනගිය යෝජනා ජනාධිපතිවරයාගේ අයවැය යෝජනා වලට ඇතුලත් නොවෙන්න ඉඩ තිබුණි.

මෙම ක්‍රියාවලිය මගින් අලින්ට කුමන අගතියක් සිදු වුවත් මිනිසුන් හෝ ආරක්ෂාවේයැයි කෙනෙකු සිතනවා නම් එයද යථාර්ථයෙන් ඉතා දුරස් බව අවධාරණය කලයුතුය. ඒ මන්ද යත් ආසියානු අලි ඇතුන් පිළිබඳ ප්‍රකට විද්වතෙකු වන ආචාර්ය පෘතිවිරාජ් ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ සංරක්ෂණ පර්යේෂණ ආයතනය මගින් ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධති (GPS) මගින් අධ්‍යනය කෙරුණු පලවාහැරීම් වලට ලක්කළ අලින්ගේ දත්ත මගින් අනාවරණය වී ඇත්තේ අලි පලවා හැරීම් (Elephant Drive) මගින් ගැටළු ඇති කරන පිරිමි සතුන්ව එම ප්‍රදේශයෙන් පලවා හැරීමට නොහැකි බවත්, සමහර අලි රංචු පවා පලවාහැරීම් සිදුකෙරුණු පඨයේ රැඳී සිටින බවත් සහ නැවත තම වාසභූමි වෙත පැමිණෙන බවත් ය.

elephant fire

 

මෙවැනි අලි පලවාහැරීම් වලදී දහස් ගණන් අලි වෙඩි දැල්වීම සහ අලින්ට වෙඩි තැබීම මගින් අලි ඇතුන් ඉමහත් පීඩාවකට ලක් කෙරෙන අතර එමගින් ඔවුන් තුළ මිනිසා කෙරෙහි වෛරය වැඩි වීමෙන් ඔවුන්ගේ ප්‍රචණ්ඩත්වය වර්ධනය වේ. අලි පලවාහැරීම අසාර්ථකවීමෙන් පසු ඊට තීන්දු තීරණ ගත් දේශපාලන අධිකාරිය සහ බලධාරීන් මෙන්ම පලවාහැරීමට සහභාගීවූ සෙසු පාර්ශව පිටව ගිය පසු මෙසේ කුපිතකරවනු ලැබූ අලින්ට සැමදා මුහුණ දීමට සිදුවන්නේ අහිංසක ගම් වැසියන්ටය, වන්දි ගෙවීමට සිදු වන්නේ ජීවිත වලින්ය.

අලි රංචු තම වාසභූමි වල සිට රක්ෂිත ප්‍රදේශ වෙත පලවාහැර විදුලි වැට මගින් ආවරණය කර ඇති අවස්ථා නිරීක්ෂණය කිරීමෙන් ද පෙනී යන්නේ ඔවුන්ගෙන් බොහෝ දෙනෙක්, විශේෂයෙන් පැටවුන් සාගින්නෙන් මිය යන බවය. මෙම ඉරණම අත්විඳින්නේ පිටතින් පැමිණෙන අලි ඇතුන් පමණක් නොවන අතර සම්පූර්ණයෙන්ම රක්ෂිත ප්‍රදේශය තුළ වාසභූමි පවත්වාගෙන ගිය රංචු වල අලි ඇතුන් ද මෙම ඉරණමට මුහුණ දෙති.

ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා එදා මෙදා තුර සකස් කෙරුණු ඉතාම සාධනීය සහ සමෝදානිත විද්‍යාත්මක ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම කෙරෙහිද වර්තමාන රජයේ කැමැත්තක් නැති බව මේ වන විට පැහැදිළිය. එම සැලැස්ම ක්‍රියාවට නැංවීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පත්කළ යුතු බව එහිම සඳහන්වී තිබුණද මේ දක්වා එවැන්නක් පත් කිරීමට කිසිඳු රජයක් කටයුතුකර නැත.

 

elephant galgamuwa

ජනාධිපති කාර්ය සාධක බලකායක් වෙනුවට, පූර්වගාමී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, 2022 නොවැම්බර් මාසයේදී ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සැලසීම සහ අධීක්ෂණය කිරීම සඳහා ජනාධිපති කමිටුවක් පත් කළේය. අපේක්ෂිත අධිකාරී බලය සහ අරමුදල් නොමැතිකම නොතකා 2024 වසර තුළ මෙමගින් ජාතික ක්‍රියාකාරී සැලැස්ම යම් මට්ටමකින් ක්‍රියාත්මක වීමෙන් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ප්‍රජා මූලික විදුලි වැට 300 ක් පමණ ස්ථාපනය කෙරිණි. තවද එම වසරේදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අලි පලවාහැරීම් සහ අලි පරිස්ථාපනය කිරීම් අවම කිරීමද සිදු විය. අඛණ්ඩව වසර නවයකට පසු 2024 වසරේ දී වාර්තා වූ අලි-මිනිස් ගැටුමේ වින්දිතයින් වන මිනිස් සහ අලි මරණ සංඛ්‍යාව අඩුවීමට එම ක්‍රියාකාරකම් හේතු වූ බව අපගේ විශ්වාසයයි.

කෙසේ වෙතත්, බල පෙරළියත් සමග කමිටුවේ ධුර කාලය ද ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමද මේ වන විට අවසන්ව ඇත. වර්තමාන රජයට ජාතික ක්‍රියාකාරී සැලැස්ම සම්පූර්ණයෙන් හා නිසි ලෙස ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය අප මුල සිටම අවධාරණය කළෙමු. නමුත් ඒ සියල්ල අළුමය හෙලූ කෙල පිඩක් සේ බැහැර කල ජනාධිපතිවරයා ඉකුත් ජුනි 20 වැනිදා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේ අලි-මිනිස් ගැටුම් බලපවත්නා දිස්ත්‍රික්කවල වගකිව යුතු නිලධාරීන්ගෙන් සමන්විත කමිටු ඉදිරි මාසය තුළ පත් කර, දිස්ත්‍රික් ක්‍රියාකාරී සැලසුම් සකස්කරන ලෙසය.

image 53664da551
ඊට අදාලව ජූලි හත්වැනි දාතමින්,PS/DASA/Circular/5/2025 අංක දරන “අලි-මිනිස් ගැටුම් කළමනාකරණය සඳහා දිස්ත්‍රික්ක මට්ටමේ කමිටු පිහිටුවීම” මැයෙන් වන චක්‍රලේඛය ද ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් නිකුත් විය. ඒ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී ජනාධිපති ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරියා සඳහන් කළේ ඉකුත් ඔක්තෝබර් 31 වැනිදා වන විටද එම සැලසුම් තවමත් ලැබෙමින් පවතින බවය. ඒ අනුව පැහැදිලි වන්නේ ජනාධිපතිවරයාගේ අයවැය යෝජනා සකස් කිරීමේදී එම ලේඛන කෙරෙහිවත් අවධානය යොමුව නැති බවය.

ජනාධිපතිවරයාගේ අයවැය යෝජනා වලියේ ඇති ආකර්ෂණීය අංගයක් වන්නේ වාසස්ථාන සුපෝෂණයයි. නමුත් එයද දවල් හීනයක් මිස සැබෑවක් නොවන බව කණගාටුවෙන් නමුත් සඳහන් කළයුතුය. ස්වාභාවික වාසභූමිවලින් වැඩිම ඝනත්වයකින් අලි -ඇතුන් වාර්තා වන්නේ උඩවලව ජාතික උද්‍යානය වැනි කටු පඳුරු සහිත ලඳු කැලෑ, තෘණ බිම් සහ සැවානා පරිසර පද්ධතිවලය. ඒවායේ වර්ග කිලෝමීටරයකට අලි -ඇතුන් 3ක් පමණ ජීවත්වේ. නමුත් විල්පත්තුව සහ වස්ගොමුව වැනි ජාතික උද්‍යානවල බාධා නොවූ මේරූ වනාන්තරවල එම අගය වර්ග කිලෝමීටරයකට අලි ඇතුන් 0.1ක් පමණ වේ. මේ අනුව, න්‍යායාත්මකව, බාධා නොවූ මේරූ වනාන්තර වර්ග කිලෝමීටරයක ප්‍රමාණයක් කටු පඳුරු සහිත ලඳු කැලෑ, තෘණ බිම් සහ සැවානා වනාන්තරයක් බවට පරිවර්තනය කිරීමෙන් අලි- ඇතුන්ගේ ඉසිලුම් ධාරිතාව 0.1 සිට 3 දක්වා වැඩි කළ හැකිය.

wild ele1

 

එවැනි වාසස්ථාන කළමනාකරණ ක්‍රමවේදයක් මඟින් න්‍යායාත්මකව රක්ෂිත ප්‍රදේශවලට පලවාහරින අලි – ඇතුන්ට ආහාර සැපයිය හැකිය. කෙසේ වෙතත්, මේ සඳහා එක් අලියෙකුට අක්කර 80ක පමණ බාධා නොවූ මේරූ වනාන්තරයක් කටු පඳුරු සහිත ලඳු කැලෑ, තෘණ බිම් සහ සැවානා වනාන්තරයක් බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය වේ. මේ ආකාරයෙන් අක්කරයක භූමි ප්‍රමාණයක් කපා පුලුස්සා සකස් කිරීමට දළ වශයෙන් ඇස්තමේන්තුගත පිරිවැය රු. 30,000කි. ඒ අනුව එක් අලියකු සඳහා රක්ෂිත ප්‍රදේශයක ඉසිලුම් ධාරිතාව වැඩි කිරීම සඳහා වසරකට රු. මිලියන 2.4ක් වැය වේ.

ශ්‍රී ලංකාවේ වන අලි ඇතුන් 6,000ක් පමණ ජීවත්වන අතර එම වන අලි ඇතුන්ගේ වාසභූමිවලින් 70%ක්ම සාමාන්‍ය ජනතාව පදිංචි ප්‍රදේශවල පිහිටා ඇති බැවින් අවම වශයෙන් අලි – ඇතුන් 4,000ක් මිනිසුන් සමඟ පොදු භූමියක ජීවත්වේ. අලි 4,000ක් සඳහා වාසස්ථාන කළමනාකරණයට රු. මිලියන 9,600ක් වැය වේ. ඒ අනුව ජනාධිපතිවරයාගේ අයිසින් තවරුමද හුදෙක් දවල් හීනයක් බව පැහැදිලිවේ.

ඒ අනුව පෙනී යන්නේ වර්තමාන ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පැමිණීම සඳහා ඉදිරිපත්කල ‘මිහිකත’ ඊනියා පරිසර ප්‍රතිපත්තියේ සඳහන් ‘අලි මිනිස් ගැටුම පාලනය කිරීමට වන අලි ගහනය, සංචරණ රටා හා වාසස්ථාන පිළිබඳ නිසි අධ්‍යයනයක් සිදුකර, ජීව විද්‍යාත්මක හා නව තාක්ෂණික ක්‍රමවේද භාවිත කරමින් ජන සහභාගිත්ව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම’ ද ප්‍රෝඩාකාරී ඡන්ද පොරොන්දුවක් පමණක් බව යන්න කණගාටුවෙන් ලියා තබමි.


lahiru supun(සටහන | සුපුන් ළහිරු ප්‍රකාශ්)
(අලි-මිනිස් ගැටුම සම්බන්ධ විධිමත් පර්යේෂණ ගණනාවකට සක්‍රිය දායකත්වයක් දැක්වු පරිසරවේදියෙකි)

උපුටා ගැනීම - vinivida.lk

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...