BREAKING
Top Ad
පරිසර

කටුනායක ගුවන්තොටුපළ දෙවන අදියරටත් තර්ජනයක් වූ ලියනගෙමුල්ලේ සිමෙන්ති කම්හල ගැන පාර්ලිමේන්තුවේදීත් හෙළිදරව්වක්

T

The Leader

August 20, 2026 • 7:06 AM

කටුනායක ගුවන්තොටුපළ දෙවන අදියරටත් තර්ජනයක් වූ ලියනගෙමුල්ලේ සිමෙන්ති කම්හල ගැන පාර්ලිමේන්තුවේදීත් හෙළිදරව්වක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හෝටල් ව්‍යාපෘතියක මුවාවෙන් සිදුවන ඉදිකිරීමක් බවට ප්‍රදේශවාසීන් සහ විපක්ෂයෙන් චෝදනා; එන්ජින් ක්‍රියාකාරීත්වයට සහ ගුවන් මගීන්ට සිදුවන බලපෑම් ගැන විශේෂඥ අනතුරු ඇඟවීම්
  • එම ක්ෂුද්‍ර අංශු ගුවන් යානා එන්ජින් ටර්බයින තල මත තැන්පත්වී අධික තාපය හමුවේ දියවීමෙන් එන්ජින් අභ්‍යන්තරයේ ක්‍රියාකාරීත්වයට බරපතළ යාන්ත්‍රික හානි සිදුවිය හැකි බවට ජාත්‍යන්තර ගුවන් ප්‍රමිතීන් පදනම් කරගනිමින් විශේෂඥයෝ පෙන්වා දෙති.
  • තවද, ධාවන පථය අවට වායුගෝලයේ පවතින දෘශ්‍යතාව (Visibility) අඩපණ වීම මෙන්ම ඉදිරියේදී විවෘත වන දෙවන අදියරේ පර්යන්තය හරහා ගමන් ගන්නා දෙස් විදෙස් මගීන්ගේ සෞඛ්‍යයටද මෙය ඍජු තර්ජනයක් එල්ල කරන බවට අනතුරු අඟවා ඇත.
  • කෙසේවෙතත්, අදාළ නිලධාරීන්ගෙන් මාධ්‍ය කළ විමසීම්වලදී මෙවැනි අනුමැතියක් ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බැවින්, ලිපි ලේඛනවල නීත්‍යානුකූලභාවය පිළිබඳව පුළුල් විමර්ශනයක් අවශ්‍ය බවට පාර්ශ්ව රැසක් පෙන්වා දෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):


මීගමුව කළපු රක්ෂිතය, පාසල් සහ මුතුරාජවෙල සංවේදී කලාපය මුල්කරගනිමින් රාජ්‍ය ආයතන වෙත එන්තරවාසි යොමු කෙරේ



ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ (JICA) මූල්‍ය ආධාර යටතේ ඉදිරි මාස කිහිපය තුළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පුළුල් කිරීමේ දෙවන අදියරේ (Terminal 2) ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කිරීමට සැලසුම් කර තිබියදී, ගුවන්තොටුපළ පරිශ්‍රයට නුදුරින් පිහිටි ලියනගෙමුල්ල ප්‍රදේශයේ ඉදිකෙරෙන මහා පරිමාණ සිමෙන්ති කර්මාන්තශාලාවක් හේතුවෙන් බරපතළ මෙහෙයුම්, පාරිසරික සහ සෞඛ්‍යමය අවදානමක් මතුව ඇතැයි වාර්තා වේ.

කටුනායක 18 කණුව මංසන්ධිය ආසන්නයේ පිහිටි අක්කර 6කට අධික භූමි භාගයක "මෙල්වා සිමෙන්ති" (Melwa Cement Pvt Ltd) ආයතනය විසින් මෙම ඉදිකිරීම සිදු කරනු ලබන්නේ තරු පන්තියේ හෝටල් සංකීර්ණයක් සඳහා ලබාගත් අනුමැතීන් උපයෝගී කරගනිමින් බවට ප්‍රදේශයේ ආගමික නායකයන්, පාරිසරික සංවිධාන, ධීවර ප්‍රජාව මෙන්ම සිවිල් ක්‍රියාකාරීන් එක්ව දැවැන්ත විරෝධතාවක් දියත් කරමින් චෝදනා කරමින් සිටිති.

 

WhatsApp Image 2026 08 20 at 16.41.40 1
ගුවන් මෙහෙයුම් ආරක්ෂාව සහ සිමෙන්ති අංශුවල විද්‍යාත්මක අවදානම

මෙම ගැටලුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ කරුණු අනාවරණය කිරීමක් සිදුකළ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පෙන්වා දුන්නේ, ජාත්‍යන්තර ගුවන් ගමන් කේන්ද්‍රස්ථානයක් මෙන්ම නාගරික හා අධි-සංවේදී පාරිසරික කලාපයක් ආසන්නයේ නිසි පාරිසරික බලපෑම් තක්සේරුවකින් (EIA) තොරව මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වීම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි. මෙම අනවසර ඉදිකිරීම් කටයුතු වහාම අත්හිටුවා අදාළ අනුමැතීන් සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස මන්ත්‍රීවරයා සභාවේදී ඉල්ලා සිටියේය.

ගුවන් සේවා ක්ෂේත්‍රයේ ඉංජිනේරුවරුන් සහ තාක්ෂණික විශේෂඥයන් පෙන්වා දෙන පරිදි, සිමෙන්ති නිෂ්පාදනයේදී සහ ඇසුරුම්කරණයේදී වායුගෝලයට මුදාහැරෙන මයික්‍රෝන 10 ට සහ මයික්‍රෝන 2.5 ට අඩු (PM10 හා PM2.5) අන්වීක්ෂීය ක්ෂුද්‍ර දූවිලි අංශු, ස්ඵටිකරූපී සිලිකා (Crystalline Silica) මෙන්ම කැල්සියම් ඔක්සයිඩ් (CaO) අධික උෂ්ණත්වයකින් ක්‍රියාත්මක වන ජෙට් එන්ජින් තුළට ඇදී යාමේ ඉහළ සම්භාවිතාවක් පවතී.

එම ක්ෂුද්‍ර අංශු ගුවන් යානා එන්ජින් ටර්බයින තල මත තැන්පත්වී අධික තාපය හමුවේ දියවීමෙන් එන්ජින් අභ්‍යන්තරයේ ක්‍රියාකාරීත්වයට බරපතළ යාන්ත්‍රික හානි සිදුවිය හැකි බවට ජාත්‍යන්තර ගුවන් ප්‍රමිතීන් පදනම් කරගනිමින් විශේෂඥයෝ පෙන්වා දෙති. තවද, ධාවන පථය අවට වායුගෝලයේ පවතින දෘශ්‍යතාව (Visibility) අඩපණ වීම මෙන්ම ඉදිරියේදී විවෘත වන දෙවන අදියරේ පර්යන්තය හරහා ගමන් ගන්නා දෙස් විදෙස් මගීන්ගේ සෞඛ්‍යයටද මෙය ඍජු තර්ජනයක් එල්ල කරන බවට අනතුරු අඟවා ඇත.

WhatsApp Image 2026 08 20 at 16.41.41
අනුමැතීන් ලබා ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳ පරස්පරතා

වාර්තා වන තොරතුරු අනුව, 2025 මැයි 09 වන දින නාගරික සංවර්ධන අධිකාරිය (UDA) මගින් වර්ග මීටර 3,857 ක තනි මහල් ගොඩනැගිල්ලක් සඳහා මූලික අවසරය ලබා දී තිබුණද, පසුව එය වර්ග මීටර 12,925 කින් සමන්විත තට්ටු පහක (G+4) මහා පරිමාණ කාර්මික සංකීර්ණයක් දක්වා වෙනස් කිරීමට කටයුතු කර තිබේ. කෙසේවෙතත්, අදාළ නිලධාරීන්ගෙන් මාධ්‍ය කළ විමසීම්වලදී මෙවැනි අනුමැතියක් ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බැවින්, ලිපි ලේඛනවල නීත්‍යානුකූලභාවය පිළිබඳව පුළුල් විමර්ශනයක් අවශ්‍ය බවට පාර්ශ්ව රැසක් පෙන්වා දෙයි.


c 84

ඊට අමතරව, මධ්‍යම පරිසර අධිකාරිය (CEA) විසින් 2020.12.10 දින ලබා දී තිබූ පාරිසරික නිර්දේශය සංචාරක හෝටල් ව්‍යාපෘතියක් සඳහා පමණක් වලංගු වූවකි. 2021 ඔක්තෝබර් 07 දිනැති අංක 2248/44 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව මෙම භූමිය මුතුරාජවෙල සංවේදී පරිසර කලාපයට අයත් වන්නේ නම් අදාළ නිර්දේශය මුළුමනින්ම අවලංගු වන බවට කොන්දේසියක් පනවා තිබියදී, කාර්මික අවශ්‍යතාවක් සඳහා පරිසර නිර්දේශ දීර්ඝ කිරීම පිළිබඳවද නීති විශාරදයන් ප්‍රශ්න කරයි.

c 78


මීගමුව කළපුව, කඩොලාන සහ ජනාවාසවලට වන බලපෑම

ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ අංක GM/KAT/2025/368 දරණ අනුරේඛන සටහන් සහ තොරතුරු දැනගැනීමේ පනත (RTI) යටතේ ලබාගෙන ඇති ලේඛනවලට අනුව, ව්‍යාපෘතියට අයත් බව කියන භූමියෙන් හෙක්ටයාර 0.1956 ක කොටසක් මීගමුව කළපු රක්ෂිතයට සහ කඩොලාන පද්ධතියට අයත් අනවසර අත්පත් කරගැනීමක් බවට තොරතුරු අනාවරණය වී තිබේ. කළපුව ආශ්‍රිත සංවර්ධන කටයුතුවලදී අනිවාර්යයෙන්ම පවත්වා ගත යුතු මීටර් 10 ක රක්ෂිත කලාපයද මෙහිදී උල්ලංඝනය වී ඇති බවට පරිසර සංවිධාන පෙන්වා දෙයි.
c 82
c 83
සිමෙන්ති දූවිලි තෙතමනය සහ ජල වාෂ්ප සමඟ මුසු වූ විට ක්ෂාරීය ස්වභාවයක් ගන්නා අතර, එය ශ්වසන පද්ධතියට අහිතකර ලෙස බලපායි. ඉදිකිරීම් සිදුවන ස්ථානය අවට පිහිටි ජාත්‍යන්තර පාසල් තුනක දරු දැරියන්, කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ නේවාසිකාගාර සේවක සේවිකාවන්, මීගමුව කළපුව ඇසුරින් යැපෙන ධීවර ප්‍රජාව සහ මුතුරාජවෙල සංචාරක බෝට්ටු ව්‍යාපාරිකයන්ගේ ජීවනෝපායට මෙමගින් එල්ල වන බලපෑම දැඩිය.

අධිකරණ ක්‍රියාමාර්ග සහ ඉදිරි පියවර

රාජ්‍ය ආයතන මගින් සිදුව ඇතැයි පැවසෙන මෙම නීතිමය හා පරිපාලනමය පරස්පරතා සැලකිල්ලට ගනිමින්, මධ්‍යම පරිසර අධිකාරිය සහ නාගරික සංවර්ධන අධිකාරිය වෙත මේ වන විටත් නීතිඥවරුන් මාර්ගයෙන් එන්තරවාසි (Letters of Demand) යොමු කර තිබේ.

දින 30ක් ඇතුළත අදාළ අනුමැතීන් අත්හිටුවීමට පියවර නොගතහොත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමටත්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි කිරීමටත් ප්‍රදේශවාසීන් සහ සිවිල් සංවිධාන තීරණය කර ඇත. ගුවන්තොටුපළ ව්‍යාප්තිය මෙන්ම ජාතික ආර්ථිකයට වැදගත් යටිතල පහසුකම් ආරක්ෂා කරගැනීම උදෙසා මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කඩිනම් හා විනිවිදභාවයෙන් යුතු ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාව මේ වන විට දැඩිව මතුව තිබේ.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...