හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් දොළොස් දෙනෙකුට එරෙහිව පවරා ඇති ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් (IVIG) ප්‍රතිදේහ එන්නත් නඩුව, හුදු මූල්‍ය වංචාවක් හෝ අපරාධ චෝදනාවක් පිළිබඳ සීමාවන් පසුකර ගොස් ඇත. කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මේ දිනවල විභාග වන මෙම නඩුකරය, සමස්ත රාජ්‍ය පරිපාලන යන්ත්‍රණයේ, ඖෂධ නියාමන නීති රාමුවේ සහ රාජ්‍ය මූල්‍ය පරිහරණයේ වගවීම පිළිබඳ සමාජයට විවරණය කෙරෙන ප්‍රබල කැඩපතක් බවට පත්ව තිබේ.
2026 මාර්තු 03 වැනිදා පැවති නඩු විභාගයේදී මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා විසින් නිකුත් කළ අවවාදාත්මක නියෝග සහ විත්තිය හා පැමිණිල්ල අතර ඇතිවූ නෛතික තර්ක විතර්ක, නීතියේ ආධිපත්‍යය සහ රාජ්‍ය කළමනාකරණය කෝණයකින් පහත පරිදි විශ්ලේෂණය කළ හැක.
1. නඩු කුටිය තුළ ඇවිළුණු "මාධ්‍ය" විවාදය සහ සාක්ෂි ආඥාපනතේ සීමාවන්
මෙම නඩු විභාගයේදී වඩාත් ආකර්ෂණීය සහ නෛතික වශයෙන් සංවේදී මුහුණුවරක් ගත්තේ, ජනමාධ්‍යයේ භූමිකාව සම්බන්ධයෙන් පැමිණිල්ල සහ විත්තිය අතර ඇතිවූ විවාදයයි. කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියදර්ශනී ගලප්පත්ති මහත්මියගෙන් පැමිණිල්ල විසින් නැවත ප්‍රශ්න (Re-examination) ඇසීමේදී විත්තියේ නීතිඥ අසේල සේරසිංහ මහතා දැක්වූ විරෝධයත් සමඟ මෙම උණුසුම් වචන හුවමාරුව සිදුවිය:
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය:-
"විත්තියේ නීතිඥ මහත්තයා එහෙම සාක්ෂියක් සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න අසමින් ඇසුවත්, මෙතන මාධ්‍යය ඉන්න නිසා ඒවා මාධ්‍යයේ පළ කරන්නයි මෙහෙම මගේ නැවත ප්‍රශ්න වලට විරුද්ධත්වය දක්වන්නේ."
නීතිඥ නයන්ත විජේසුන්දර (8 වන විත්තිකරු වෙනුවෙන්):-
"ජනමාධ්‍යවේදීන් කරන්නේ ඔවුන්ගේ කාර්යභාරය. ඔවුන් වාර්තා කරන්නේ අධිකරණය තුළ සිදුවන දේවල්. පැමිණිල්ලේ නීතිඥවරිය ජනමාධ්‍යවේදීන්ට සම්බන්ධ කරලා කරුණු දැක්වීම සුදුසු නෑ."
මෙම අවස්ථාවේදී සභාපති විනිසුරුවරයා ලබාදුන් නියෝගය අතිශය වැදගත්ය.

"අධිකරණය සලකා බලනුයේ අධිකරණය හමුවේ ඉදිරිපත් වන සාක්ෂි, ලේඛන හා නීතිඥවරුන් ඉදිරිපත් කරනු ලබන කරුණු මිස ජනමාධ්‍ය හෝ වෙනත් පාර්ශ්ව නඩුව සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලබන වෙනත් කරුණු නොවේ" යනුවෙන් ඔහු කළ අවධාරණය, 1895 අංක 14 දරන සාක්ෂි ආඥාපනතේ (Evidence Ordinance) මූලික හරයයි. මාධ්‍ය ප්‍රසිද්ධිය (Media Trial) මත නොව, නඩුකරයට අදාළ (Relevant facts) ඍජු සාක්ෂි මත පමණක් යුක්තිය පසිඳලීමේ පරම අයිතිය මෙමගින් තහවුරු කෙරිණි. එසේම, දිවා විවේකයේදී සාක්ෂිකාරියට පැමිණිල්ල සමඟ සබඳතා පැවැත්වීම වළක්වාලමින් ලබාදුන් නියෝගය, සාක්ෂිවල නොකිලිටිභාවය සහ ස්වාධීනත්වය (Integrity of Evidence) ආරක්ෂා කිරීමට ගත් කදිම පියවරකි.
2. ඖෂධ නියාමන නීතිය, ප්‍රසම්පාදනය සහ පරිපාලන වගවීම
නඩු විභාගයේදී මතු වූ ප්‍රබල පරිපාලනමය ගැටලුවක් වන්නේ ඖෂධ ප්‍රසම්පාදනය (Procurement) සහ ඖෂධ නියාමනය (Regulation) අතර ඇති වෙන්වීමයි. මහාචාර්ය ගලප්පත්ති මහත්මියගේ සාක්ෂියට අනුව, ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) කිසිදු අයුරකින් ප්‍රසම්පාදන ක්‍රියාවලියට සම්බන්ධ නොවේ.
* නෛතික රාමුව:-
2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත අනුව අධිකාරියේ කාර්යභාරය වන්නේ ඖෂධවල ප්‍රමිතිය, ආරක්ෂිතභාවය සහ සඵලතාවය තහවුරු කිරීමයි. මිලදී ගැනීම් සිදුවන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා ජාතික ප්‍රසම්පාදන මාර්ගෝපදේශ (National Procurement Guidelines) යටතේය. 2022 වසරේ ආර්ථික අර්බුදය හමුවේ කැබිනට් මණ්ඩලය විසින් හදිසි ප්‍රසම්පාදන (Emergency Procurement) ක්‍රියාවලියක් අනුමත කර තිබුණද, හදිසි අවස්ථාවකදී වුවද ඖෂධවල ගුණාත්මකභාවය තහවුරු කිරීමේ නියාමන වගකීමෙන් බැහැර වීමට නිලධාරීන්ට නෛතික ප්‍රතිපාදන නොමැති බව විත්තියේ ප්‍රශ්න කිරීම් හරහා මනාව ගම්‍ය වේ.
* ගබඩා කිරීම සහ සංකූලතා:-
විත්තියේ නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා විසින් මතු කළ තර්කයක් වූයේ, නිසි ප්‍රමිතියෙන් යුත් ඖෂධ පවා නිසි උෂ්ණත්වය යටතේ ගබඩා නොකිරීම හේතුවෙන් රෝගීන්ට සංකූලතා ඇතිවිය හැකි බවයි. මෙය සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් දාම කළමනාකරණයේ (Supply Chain Management) දුර්වලතා පිළිබඳව නෛතිකව ප්‍රශ්න කිරීමකි.
3. රාජ්‍ය දත්ත සුරක්ෂිතතාව සහ පද්ධතිමය බිඳවැටීම්
2023 වසරේදී ඖෂධ නියාමන අධිකාරියේ සැපයුම්කරුවන්ගේ සහ දත්ත පද්ධතිය විනාශ වීම සම්බන්ධයෙන් 6 වැනි විත්තිකරුගේ නීතිඥ නුවන් ජයවර්ධන මහතා ප්‍රශ්න කළේය. ඖෂධ පනතට අනුව සැපයුම්කරුවන්ගේ දත්ත පවත්වාගෙන යාම නෛතික අවශ්‍යතාවකි.

රාජ්‍ය ආයතනයක තීරණාත්මක දත්ත ගබඩාවක් අහිමි වීම, රාජ්‍ය වාර්තා තබාගැනීමේ පරිපාලන රෙගුලාසි සහ 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනත යටතේ බරපතළ වරදකි. එම දත්ත අහිමි වීම හුදු තාක්ෂණික දෝෂයක්ද, නැතහොත් ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වූ ජාවාරම වසන් කිරීමට සිතාමතා කළ සාක්ෂි විනාශ කිරීමක්ද යන්න මෙම නඩුකරයේ තීරණාත්මක සාධකයක් බවට පත්වෙමින් තිබේ.
4. හදිසි අවස්ථා, නීතියේ ව්‍යතිරේක (Exceptions in Law) සහ වෛද්‍ය ආචාරධර්ම
විත්තිය විසින් නැගූ තවත් වැදගත් හරස් ප්‍රශ්නයක් වූයේ, කල් ඉකුත් වූ ජල භීතිකා එන්නතක් භාවිත කිරීමට අනුමැතිය දීම පිළිබඳවයි. ඊට සාක්ෂිකාරිය ලබාදුන් පිළිතුර වෛද්‍ය ආචාරධර්ම සහ දැඩි නීතිමය රාමුව අතර ඇති ගැටුම නිරූපණය කරයි:-
සාක්ෂිකාරිය:-
"...කුමක් හෝ එන්නතක් භාවිතා නොකළොත් රෝගියාගේ ජීවිතයට සිදුවිය හැකි හානිය සලකා රෝගියාගේ කැමැත්ත මත එම ඖෂධ භාවිතා කිරීමට අවසර ලබා දී තිබුණා. පනතේ කුමක් සඳහන් වුවත් රෝගියාගේ හිතසුව පිණිස කටයුතු කරන්න වෛද්‍යවරුන්ට සිදුවෙනවා. ජල භීතිකා රෝගය කියන්නේ නිසි වෛද්‍ය ප්‍රතිකාර නොලැබුණොත් මරණයට පත්වන රෝගයක්නේ."
ඖෂධ නියාමන අධිකාරී පනතේ 109 වැනි වගන්තිය (Exemptions / Waivers of Registration) යටතේ ජීවිතාරක්ෂක අවස්ථාවන්හිදී ලියාපදිංචි නොකළ ඖෂධ සඳහා අවසර දීමේ බලය අධිකාරියට ඇත. එහෙත්, ජීවිත බේරාගැනීමේ "හදිසි අවශ්‍යතාව" නමැති සාධාරණීකරණය පලිහක් කරගනිමින්, නිසි ප්‍රමිතියෙන් තොර ඖෂධ මහා පරිමාණයෙන් රාජ්‍ය පද්ධතියට රිංගවීම නීත්‍යානුකූල කළ හැකිද යන තීරණාත්මක පැනය අධිකරණය ඉදිරියේ දැන් විවෘතව පවතී.
සාරාංශය :
මෙම සාක්ෂි විභාග වාර්තාවන් පැහැදිලිව පෙන්වා දෙන්නේ, මෙය තවදුරටත් පුද්ගලයින් කීපදෙනෙකුගේ වංචාවක් පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නොවන බවයි. එය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පරිපාලන ව්‍යුහය, හදිසි අවස්ථා මුවාවෙන් රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවභාවිත කිරීම සහ නියාමන ආයතනවල ස්වාධීනත්වය පිළිබඳව රාජ්‍ය තන්ත්‍රයම විත්ති කූඩුවට නංවන අවස්ථාවකි. මෙහිදී අධි චෝදනා ගොනු කර ඇති අදාළ ඖෂධ වර්ග දෙක පිළිබඳව විභාගයට වඩා වැඩියෙන් සිදුවන්නේ ඨඉ බාහිරව අදාළ ආයතනයන් මගින් සිදුව ඇති අර්බූධකාරී තත්වයන් පිළිබඳවය. එය කිසිසේත් නිශ්චිත නඩුවට සෘජුව අදාළ නොවන බව නීති විචාරකයින්ගේ මතය වී ඇත.
කෙසේ වුවද බාහිර මාධ්‍ය කැලඹීම්වලින් තොරව, හුදෙක් සාක්ෂි සහ නීතියේ ආධිපත්‍යය මත පමණක් පදනම්ව මහාධිකරණය ලබාදෙන තීන්දුව, මෙරට රාජ්‍ය සේවයේ අනාගත වගවීම තීරණය කරනු ඇත.
නඩු වාර්තාව
03/03/2026
තම අධිකරණය විසින් සලකා බලනුයේ අධිකරණය හමුවේ ඉදිරිපත් වන සාක්ෂි, ලේඛන හා දෙපාර්ශ්වයේ නීතිඥවරුන් ඉදිරිපත් කරනු ලබන කරුණු මිස ජනමාධ්‍ය හෝ වෙනත් පාර්ශ්ව නඩුව සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලබන වෙනත් කරුණු නොවන්නේ යැයි කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩුවේදී කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ඊයේ (30) පැවසීය.

එබැවින් නඩුකරයට පාදක වූ කරුණු මිස වෙනත් අනවශ්‍ය කරුණු ගැන අධිකරණය හමුවේදී කරුණු දැක්වීමට පැමිණිල්ල මෙන්ම විත්ති පාර්ශ්වයද වග බලා ගතයුතු බවටද සභාපති විනිසුරුවරයා දෙපාර්ශවයේ නීතිඥවරුන්ට අවවාද කළේය.
එම නඩුවේ 37 වන පැමිණිල්ලේ සාක්ෂිකාරිය ලෙස කැඳවා තිබූ කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රියදර්ශනී ගලප්පත්ති මහත්මියගෙන් පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය නැවත ප්‍රශ්න අසමින් ඉදිරිපත් කළ ප්‍රශ්නයක් පිළිබඳව දෙවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අසේල සේරසිංහ මහතා විරුද්ධත්වය දැක්වීය.
නීතිඥ අසේල සේරසිංහ ;
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය මම මෙම සාක්ෂිකාරියගෙන් ප්‍රශ්න නඟනවා. මම මෙහෙම ඇසුවා ඒකට ඇය උත්තර දුන්නේ කියලා මම අහපු නැති හරස් ප්‍රශ්නත් මම ඇසුවා කියලා පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සාක්ෂිකාරියගෙන් ඇසුවා. පැමිණිල්ල කියන ආකාරයේ ප්‍රශ්න මම සාක්ෂිකාරියගෙන් ඇසුවේ නෑ. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය දිගින් දිගටම නැවත ප්‍රශ්නවලදී ප්‍රශ්න විමසන ආකාරය ගැන විරුද්ධයි. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියගේ එලෙස ප්‍රශ්න ඇසීම විත්තියට කරන දැඩි අසාධාරණයක්.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ;
විත්තියේ නීතිඥ මහත්තයා එහෙම සාක්ෂියක් සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න අසමින් ඇසුවත් මෙතන මාධ්‍ය ඉන්න නිසා ඒවා මාධ්‍යයේ පළ කරන්නයි මෙහෙම මගේ නැවත ප්‍රශ්න වලට විරුද්ධත්වය දක්වන්නේ.
අටවන විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටි, නීතිඥ නයන්ත විජේසුන්දර ;
ජනමාධ්‍යවේදීන් කරන්නේ ඔවුන්ගේ කාර්යභාරය ඔවුන් වාර්තා කරන්නේ අධිකරණය තුළ සිදුවන දේවල් පැමිණිල්ලේ නීතිඥවරිය ජනමාධ්‍යවේදීන්ට සම්බන්ධ කරලා කරුණු දැක්වීම සුදුසු නෑ.
නීතිඥ අසේල සේරසිංහ ;
හරි මීට පස්සේ කිසිම කරුණක් ගැන විරෝධතා නගන්නේ නෑ. පැමිණිල්ලේ නීතිඥවරියට ඕන විදිහටම කරුණු දක්වන්න ඉඩ දෙන්න.
එම අවස්ථාවේදී පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය හා විත්තියේ නීතිඥවරුන් ඇමතු සභාපති විනිසුරුවරයා පෙර කී කරුණු දැක්වීම සිදුකර එම අවවාදය කළේය.
දිවා විවේකය සඳහා අධිකරණ කටයුතු තාවකාලිකව නැවැත් වූ අවස්ථාවේ දී එම සාක්ෂිකාරියට පැමිණිල්ල සමග එනම් නීතිපති දෙපාර්තමේන්තුව සමග යළි අධිකරණ කටයුතු නැවත ආරම්භ කරනතුරු සම්බන්ධතාවයක් නොපවත්වන ලෙසටත් දිවා ආහාරය ගැනීම සඳහා පිටත්ව යන්නේ නම් අධිකරණ පොලිස් නිලධාරියා සමඟ පිටත් විය හැකි බවද විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා වැඩිදුරටත් සාක්ෂිකාරියට අවවාද කළේය.
දස වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ විනිසුරුවරයා එම අවවාදය කළේය.
සාමාන්‍ය ක්‍රමවේදය යටතේ ශ්‍රී ලංකාවට ඖෂධ ප්‍රසම්පාදනය කිරීම සඳහා ගතවිය හැකි කාලය මාස කීපයක් හෝ සමහර විට වසර ගණනාවක් ගතවිය හැකි බව තුන්වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ මහතා නැගූ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් පැවසූ, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චාන්දනී ගලප්පත්ති මහත්මිය කෙසේ නමුත් ඒ සඳහා ගතවිය හැකි කාලය සම්බන්ධයෙන් තමාට නිශ්චිතවම කිව නොහැකි බවද පැවසුවාය.
2022 ජූලි මස කැබිනට් මණ්ඩලය විසින් ගෙන තිබූ හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ ඖෂධ ආනයනය කිරීමට අදාළව තමාට දැනුවත්භාවයක් නැතැයි ද පැවසූ මහාචාර්යවරිය ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කිසිවකුත් ඖෂධ ප්‍රසම්පාදන කටයුතු වලට සම්බන්ධ නොවන බවද පැවසුවාය.
නිසි ප්‍රමිතියෙන් යුත් ඖෂධ පවා ආනයනය කිරීමෙන් පසුව ඒවා නිසි උෂ්ණත්වය හා අනෙකුත් ආරක්ෂිත ක්‍රම අනුගමනය නොකර ගබඩාකොට තැබීමෙන් ද ඒවා භාවිත කරන රෝගීන්ට යම් යම් සංකූලතා ඇතිවිය හැකි බවද එහිදී පළමු වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා නැගූ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් පැවසූ, එම සාක්ෂිකාරිය ඖෂධ භාවිතා කරන රෝගියාගේ පවතින අනෙකුත් කරුණුද එවැනි අසාත්මිකතාවලට හේතුවක් විය හැකි බවද පැවසුවාය.
විත්තියේ නීතිඥ හරේන්ද්‍ර බානගල ;
මහාචාර්යතුමිය මා ඔබට යෝජනා කළොත් අත කැසීම්, දහදිය දැමීම් වැනි සංකූලතා යම් ඖෂධයක් භාවිතා කරන රෝගියෙකුට ඇති වුනොත් එය සලකන්නේ අවම සංකූලතා ලෙසට යැයි කියලා.
සාක්ෂිකාරිය ;
එහෙමයි ස්වාමීනී.
විත්තියේ නීතිඥ හරේන්ද්‍ර භාණගල ;
හියුමන් හිමියුනෝග්ලොභියුලීම් වැනි මානව සංඝටක උපයෝගී කරගෙන නිෂ්පාදනය කරන ජීව විද්‍යාත්මක ඖෂධ නිෂ්පාදනය කිරීම ගැන ලෝකයේ නීතිමය තත්ත්වය වෙනස් වී ඇති බව ඔබ දන්නවාද? යුරෝපය තුළ එවැනි නිෂ්පාදන තහනම් කර ඇති බව ඔබ දන්නවා යැයි මා යෝජනාා කළොත්?
සාක්ෂිකාරිය ;
ඒක හරි
හයවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන ;
2023 නම වන මස සිට ඔබතුමිය ඖෂධ නියාමන අධිකාරියේ සාමාජිකාවක ලෙස කටයුතු කරනවා කීවා. ගුණාත්මක භාවයෙන් තොර ඖෂධ නිෂ්පාදනය කළොත් ඒවාට එරෙහිව නීතිමය පියවර ගත හැකි බව දන්නවාද?
සාක්ෂිකාරිය ;
ඔව්
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ;
ආර්ථික අර්බුදයක් පැවතුණා කියලා හරස් ප්‍රශ්න අහන්න බෑ.
සභාපති විනිසුරුවරයා ;
ඒක සරල විදිහට අහන්න.
විත්තියේ නීතිඥවරයා ;
හරි මම මෙහෙම අහන්නම්. මම සදහන් කළ කාලේ ලංකාවේ දැඩි ඖෂධ හිඟයක් තිබූ බව මා යෝජනා කළොත් ඒ ගැන ඔබතුමිය දන්නවද?
සාක්ෂිකාරිය ;
එහෙමයි ස්වාමීනී.

විත්තියේ නීතිඥ නුවන් ජයවර්ධන ;
ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන්ට යම්කිසි ඖෂධයක් නිෂ්පාදනය කරන ඖෂධ නිෂ්පාදනාගාරයකට ගොස් පරීක්ෂා කිරීමේ අවසරය තිබෙනවා කියලා ඔබතුමිය කීවනේ. 2017 වසරේ සිට මේ දක්වා වූ කාලය තුළදී ලංකාවේ තිබෙන ඖෂධ නිෂ්පාදනාගාරයක් පරීක්ෂා කරන්න ජනාධිපති ලේකම් කාර්යාලයේ නියෝජිතයෙක් නැත්නම් ජනාධිපති ලේකම්වරයෙක් සහභාගි වූ බව ඔබ දන්නවාද? එහෙම අත්දැකීමක් ඔබට තිබෙනවාද?
(නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියාය එම හරස් ප්‍රශ්නය නැගීම සම්බන්ධයෙන් විරුද්ධත්වය දක්වයි)
සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ ;
නිසි කාලය ගැන සඳහන් කරලා ඒ ප්‍රශ්නය සරලව අහන්න.
විත්තියේ නීතිඥවරයා ;
එහෙම ජනාධිපති ලේකම්වරයෙක් ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් සමග එවැනි ඖෂධ නිෂ්පාදනාගාරයක් පරීක්ෂා කරන්න ගිය බවට ඔබට අත්දැකීමක් හෝ දැනීමක් තිබෙනවාද?
සාක්ෂිකාරිය ;
මම දන්නේ නැහැ.
විත්තියේ නීතිඥවරයා ;
ඖෂධ සැපයුම් කරුවන් හා නිෂ්පාදනාගාර පිළිබඳව දත්ත ඖෂධ නියාමන අධිකාරිය සතුව තිබිය යුතු බව ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතේ සඳහන්නේ?
සාක්ෂිකරු ;
එහෙමයි ස්වාමීනී
විත්තියේ නීතිඥවරයා ;
2023 වසරේදී එම දත්ත පද්ධතිය විනාශ වූ බව ඔබ දැනුවත්ද?
සාක්ෂිකාරිය ;
මීඩියා වල එහෙම තොරතුරක් පළ වුණා. 2023 සැප්තැම්බර් මාසයට පෙර එහෙම සිදුවීමක් සිදුවූ බව දැනගත්තා.
විත්තියේ නීතිඥ ;
එම දත්ත පද්ධතිය විනාශවීම ගැන ඖෂධ නියාමන අධිකාරිය ගත්ත පියවර මොකක්ද?
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ;
මම ඒ ප්‍රශ්නය ගැන විරුද්ධයි.
විත්තියේ නීතිඥවරයා ;
එහෙම කියන්නේ ඔබ තුමියනේ ඒක වැරදියි කියලා කියන්නේ ඔබ තුමියගේ එම දත්ත පද්ධතිය විනාශවීම ගැන විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කරුණු පැහැදිලි කිරීමක් කළා කියලා මහාචාර්ය තුමිය දන්නවාද ?
සාක්ෂිකාරිය ;
මම ඒ ගැන දන්නේ නෑ.
විත්තියේ නීතිඥවරයා ;
2022.05.24 වැනිදා පැවැති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට ඔබතුමිය සහභාගි වුණාද?
සාක්ෂිකාරිය ;
ලේඛන දැක්කොත් කියන්න පුළුවන්.

(මෙම අවස්ථාවේදී විත්තියේ නීතිඥවරයා එම අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට අදාළ ලේඛන පෙන්වයි. එම සටහනේ 5 වන පිටුව එම නීතිඥවරයා විසින් 6වි 21 ලෙස ලකුණු කරයි )
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය ;
ඒක පැමිණිල්ලේ සාක්ෂියක් නෙවෙයි. විත්තියේ සාක්ෂියක් ලෙස එය ලකුණු කිරීම වැරදියි.
විත්තියේ නීතිඥ නුවන් ජයවර්ධන ;
එහෙම නම් විත්තියට එම ලේඛන පැමිණිල්ල විසින් දුන්නේ ඇයි? මේක හරිම අසාධාරණ කතාවක්.
සභාපති විනිසුරුවරයා ;
2022.05.27 සටහන් තිබෙනවාද?
විත්තියේ නීතිඥවරයා ;
එහෙමයි ස්වාමීනී. මුල් ලේඛන ඔප්පු කිරීමේ භාරයට යටත්ව ලකුණු කිරීමට අවසර දෙන්න ( අධිකරණ පැමිණිල්ලේ විරුද්ධත්වය ප්‍රතික්ෂේප කොට විත්තියට එම අවසරය දෙයි.)
විත්තියේ නීතිඥවරයා ;
ඔබ තුමියට මතකද කල් ඉකුත් වූ ජල භීතිකා රෝගයට භාවිතා කරන ඖෂධයක් භාවිතා කිරීමට ඔබගේ කමිටුව අවසර ලබා දී තිබූ බව?
සාක්ෂිකාරිය ;
එකී රෝගය සඳහා භාවිතා කරන ඖෂධ තොග අවසන් වී තිබීම නිසාත් කුමක් හෝ එන්නතක් භාවිතා නොකලොත් රෝගියාගේ ජීවිතයට සිදුවිය හැකි හානිය සලකා රෝගියාගේ කැමැත්ත මත එම ඖෂධ භාවිතා කිරීමට අවසර ලබා දී තිබුණා. පනතේ කුමක් සඳහන් වුවත් රෝගියාගේ හිතසුව පිණිස කටයුතු කරන්න වෛද්‍යවරුන්ට සිදුවෙනවා. ජල භීතිකා රෝගය කියන්නේ නිසි වෛද්‍ය ප්‍රතිකාර නොලැබුණොත් මරණයට පත්වන රෝගයක්නේ. නමුත් පසුව අපි එම අනුමැතිය ඉවත් කළා.

එකොළොස්වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමිත ආරියරත්න ;
යම් ඖෂධයක් ලංකාවට ගෙන්වීම සඳහා ලබා දී ඇති ලියාපදිංචිය අහෝසි වීමට මාස හයකට පෙර එය අලුත් කිරීම සඳහා අයදුම් කළ යුතුයි. එහෙම නොවුනොත් ඒ කියන්නේ නිසි කාලයට අලුත් කිරීමක් නොකළොත් ලියාපදිංචිය අවලංගු ලෙසනේ සලකන්නේ?
සාක්ෂිකාරිය ;
විත්තියේ නීතිඥ අමිත ආරියරත්න ;
ඖෂධ සැපයුම් කරුවන් හා ඊට අදාළ දත්ත ඖෂධ නියාමන අධිකාරියෙත් තිබිය යුතුයි කියලා. මා යෝජනා කරනවා.
සාක්ෂිකාරිය ;
එහෙම වෙන්න පුළුවන්.
විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල මහතා හා රහුල් ජයතිලක යන මහත්වරුන්ද එහිදී එම සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න ඇසීම සිදු කළ අතර පැමිණිල්ල මෙහෙයවූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විත්තියේ නීතිඥවරුන් නැගූ හරස් ප්‍රශ්න පිළිබඳ සාක්ෂිකාරියගෙන් නැවත ප්‍රශ්න ඇසීමේදී ඒවා සිය මතකය අනුව ලබා දුන් පුද්ගලික පිළිතුරු බවත් සමහර ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙනු ලැබුවේ ඒවා නිසි ලෙස තේරුම් නොගෙන බවත් විටෙන් විට පැවසූ එම සාක්ෂිකාරිය සමහර හරස් ප්‍රශ්නය පිළිබඳව තමන්ට නිසි අවබෝධයක් නොතිබූ බවද පැවසුවාය.
පැමිණිල්ලේ පළමු වන සාක්ෂිකරු ලෙස නම් කොට තිබූ විශේෂඥ වෛද්‍ය ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ආනන්ද විජයවික්‍රම මහතාද සිය සාක්ෂිය ලබා දීම ඊයේ (03) පස්වරුවේ ආරම්භ කළේය.
වැඩිදුර සාක්ෂි විභාගය අද (04) දක්වා කල් තැබිණි.
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න




