The Leader News
BREAKING
Top Ad
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

ජර්මානු සාක්ෂිකාරියගේ දිව්රුම් ප්‍රකාශයට එරෙහි විරෝධතා ඉවතට

Nethmini

Nethmini

October 24, 2026 • 12:09 PM

ජර්මානු සාක්ෂිකාරියගේ දිව්රුම් ප්‍රකාශයට එරෙහි විරෝධතා ඉවතට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අනුව එකට දෙකක් වන බෙදුනු තීන්දුව මගින් අදාළ දිව්රුම් ප්‍රකාශය සහ ඊට අදාළ ඇමුණුම් කිහිපයක් පැමිණිල්ලේ ලේඛන ලෙස නම් කිරීමට පැමිණිලිකාර පාර්ශවයට අවසර දෙන ලදි.
  • එහිදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නියෝජිතවරයෙකුගෙන් සාක්ෂි විමසීමක් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විසින් සිදු කළ අතර ඔහු සඳහන් කළේ සිතාසි මගින් අධිකරණයට රැගෙන එන ලෙස දන්වා තිබූ ලේඛන අතුරින් එක් ලේඛනයක් පමණක් නොතිබූ බවය.
  • එම ලේඛනය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයාගේ කාර්යාලයෙන් ලබා ගැනීමට තිබූ අතර එම කාර්යාලය විසින් දන්වා සිටියේ අදාළ මුල් පිටපත් එම කාර්යාලයේ නොමැති බවත් එම කාර්යාලයේද ඇත්තේ ඡායාස්ථ පිටපත් බවත් සාක්ෂිකරු එහිදී සඳහන් කළේය.
  • එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සාක්ෂිකාරියට ප්‍රශ්නයක් යොමු කරමින් මෙම නඩුවට අදාළව ජර්මන් ජාතික විශේෂඥවරියක වන ආචාර්ය ඇනට් බර්ෂාඩ් ගෙන් දිව්රුම් ප්‍රකාශයක් ලැබී තිබෙනවාදැයි විමසීමක් කළාය.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකු ට එරෙහි නඩුවට අදාළව පැමිණිල්ලේ සාක්ෂිකාරියක ලෙස නම්කර සිටින ජර්මානු ජාතික විශේෂඥවරියක වන ආචාර්ය ඇනට් බර්ෂාඩ් විසින් ඉදිරිපත් කර ඇති දිවුරුම් ප්‍රකාශය ට එරෙහි විරෝධතා ඉවත දැමීමට බහුතර තීන්දුවක් මගින් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේය.

ඒ අනුව එකට දෙකක් වන බෙදුනු තීන්දුව මගින් අදාළ දිව්රුම් ප්‍රකාශය සහ ඊට අදාළ ඇමුණුම් කිහිපයක් පැමිණිල්ලේ ලේඛන ලෙස නම් කිරීමට පැමිණිලිකාර පාර්ශවයට අවසර දෙන ලදි.

මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති) විරාජ් වීරසූරිය , තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවන ලදි.

එහිදී පෙර දින  නිකුත් කරන ලද සිතාසි අනුව ලේඛන වල මුල් පිටපත් සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා සාක්ෂිකරුවන් හත් දෙනෙකු ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිටියහ. 

ඒ අනුව පැමිණිල්ලේ අංක 356 ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ සාක්ෂි අංක 357 ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා නියෝජනය කරමින් එක් නිලධාරිනියක, සාක්ෂි අංක 358 ලෙස වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ නියෝජිතයකු, සාක්ෂි අංක 359 ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ගේ නියෝජිතයකු , සාක්ෂි අංක 360 ලෙස රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරීවරයාගේ නියෝජිතයකු, සාක්ෂි අංක 361 ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ගේ නියෝජිතයකු , සාක්ෂි අංක 362 ලෙස ත්‍රිපුද්ගල මහාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය, නියෝජනය කරමින් අධිකරණ ලිපි කාරණයක ලබාදීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටි අතර අදාළ ලේඛන ඔවුන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදි.

ඉදිරි විමර්ශන කටයුතු සඳහා අල්ලස් කොමිසමට භාරදිය යුතු බැවින් මෙම නඩු ගොනුවට ඉදිරිපත් කර තිබූ  මුල් ලේඛන අදාළ සහතික පිටපත් සමග සංසන්දනය කර බලා සෑහීමකට පත්වීමෙන් පසු  අදාල ආයතන වෙත මුදා හැරීමට විනිසුරු මඩුල්ල නියම කළේය. 

එහිදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නියෝජිතවරයෙකුගෙන් සාක්ෂි විමසීමක් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විසින් සිදු කළ අතර ඔහු සඳහන් කළේ සිතාසි මගින් අධිකරණයට රැගෙන එන ලෙස දන්වා තිබූ ලේඛන අතුරින් එක් ලේඛනයක් පමණක් නොතිබූ බවය.

එම ලේඛනය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයාගේ කාර්යාලයෙන් ලබා ගැනීමට තිබූ අතර එම කාර්යාලය විසින් දන්වා සිටියේ අදාළ මුල් පිටපත් එම කාර්යාලයේ නොමැති බවත් එම කාර්යාලයේද ඇත්තේ ඡායාස්ථ පිටපත් බවත් සාක්ෂිකරු එහිදී සඳහන් කළේය. 

එම සාක්ෂිය ලබාදීමෙන් අනතුරුව සාක්ෂිකරු මුදා හරින ලද අතර මෙම නඩුවට අදාළව සාක්ෂි ලබා දීම සඳහා  ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ රෙජිස්ටාර්වරිය නියෝජනය කරමින් අධිකරණ ලිපිකාරිනියක වන රවීනා රසාදරී මහත්මිය සාක්ෂි ලබාදීම  සිදු කළාය. 

එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සාක්ෂිකාරියට ප්‍රශ්නයක් යොමු කරමින් මෙම නඩුවට අදාළව ජර්මන් ජාතික විශේෂඥවරියක වන ආචාර්ය ඇනට් බර්ෂාඩ් ගෙන් දිව්රුම් ප්‍රකාශයක් ලැබී තිබෙනවාදැයි විමසීමක් කළාය.

එවැනි දිව්රුම් ප්‍රකාශයක් විදේශ කටයුතු , විශේෂ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මගින් මෙම අධිකරණයට ලැබී තිබුණු බව සාක්ෂිකාරිය එහිදී සඳහන් කළාය.

එය ආවරණ ලිපියක් සහිතව මුද්‍රා තබන ලද කවරයක හා රහසිගත ලියවිල්ලක් ලෙස අතින් ගෙනැවිත් භාර දී තිබූ  බව ද, එය මහාධිකරණ විනිසුරු තුමාගේ අවධානයට යොමු කිරීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා නඩු ගොනුවට ඇතුළත් කළ බවද සාක්ෂිකාරිය සඳහන් කර සිටියාය. 

මුද්‍රා තබන ලද ලියුම් කවරයක් තුළ අදාළ ආවරණ ලිපිය සහ තවත් මුද්‍රා තබන ලද ලිපි කවරයක් තිබූ බවද  එම කවරය තුළ දිවුරුම් ප්‍රකාශයක් සහ ඊට අදාළ ඇමුණුම් ඇති බව අදාළ ආවරණ ලිපියේ සඳහන්ව තිබූ බවද සාක්ෂිකාරිය ප්‍රකාශ කළාය. 

එම ආවරණ ලිපිය ලංකාවේ ජර්මානු තානාපති කාර්යාලයේ තිවංකා අතුරලිය යන නමද charge the affairs ලෙස සඳහන්ව තිබූ බවද සාක්ෂිකාරිය සටහන් කළාය.

අදාළ ලිපිය තානාපති කාර්යාලය මගින් විදේශ කටයුතු අමාත්‍යාංශයට යොමු කර , විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් එය මෙම අධිකරණය වෙත ඒවා තිබූ බව සාක්ෂිකාරිය සඳහන් කළාය. 

"එය යොමු කර තිබුණේ කවුරුත් විසින්ද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂි කාරිය සඳහන් කළේ විදේශ කටයුතු අමාත්‍යංශයේ නීති නිලධාරිනිය විසින් මෙම අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය වෙත එය යොමු කර තිබූ බවය. 

එම කවරය විවෘත කිරීමේදී එහි කවර දෙකක් තිබූ අතර පළමු ලිපි කවරය විවෘත කිරීමේදී විදේශ කටයුතු අමාත්‍යංශයේ ආවරණ ලිපිය සහ එහි ඇතුළත තවත් රහසිගත ලිපියක් තිබූ බව සාක්ෂි කාරිය සඳහන් කළාය.

 

"එහි තිබුණේ තිවංකා අතුරලිය විසින් ජර්මානු තානාපති කාර්යාලයේ සිට එවූ ලිපියක්ද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී පළමු වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා අදාළ ලිපිය ඔප්පු කිරීමේ භාරයට යටත් විය යුතු බව සඳහන් කළේය. 

අදාළ පැනයට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළේ "අදාළ ලිපි කවරය තුළ රහසිගත ලිපියක් තිබූ අතර  එහි ඩොක්ටර් ඇනට් ගේ දිවුරුම් ප්‍රකාශයක් ඇතුළත් බවට අදාළ ආවරණ ලිපියේ සඳහන් වූ අතර එම දිව්රුම් ප්‍රකාශය සහ ඇමුණුම් ඇතුළත් ලියුම් කවරය තමන් විවෘත නොකළ බවය. 

ඒ අනුව විවෘත අධිකරණයේදී අදාළ ලිපි කවරය මුද්‍රා කඩා විවෘත කිරීමක් සිදුකළ අතර එහි ඇතුළත් විවෘත ප්‍රකාශය සහ ඊට අදාළ ඇමුණුම් සම්බන්ධයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සාක්ෂිකාරියගෙන් කරුණු විමසීමක් කළාය. 

"වෛද්‍ය ඇනට් හට අයත් විදෙස් ගමන් බල පත්‍රයේ ඡායා පිටපතක් එහි ඇතුළත්ව තිබෙනවාද කියන්න?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂි කාරිය සඳහන් කළේ එවැනි ඡායා පිටපතක් එහි ඇති බවය. 

ඇයගේ දිවුරම් ප්‍රකාශයේ පහළින් තිවංකා අතුරලිය අත්සන් තබා ඇති බවද සාක්ෂිකාරිය එහිදී සඳහන් කර සිටියාය. 

විදෙස් ගමන් බලපත්‍රයේ පිටපත සහ අනෙකුත් ලේඛන මෙම නඩු ගොනුවට අදාළ ලේඛන ලෙස ලකුණු කිරීමට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයෙන් අවසර ඉල්ලා සිටි අවස්ථාවේදී පළමු වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා ඊට සිය විරෝධය පළ කළේය. 

අද දින මුල්වරට අධිකරණය හමුවේ විවෘත කරන ලද බව කියන දිවුරුම් ප්‍රකාශය සහ ලේඛන පැමිණිලි පාර්ශවය විසින් තමන්ට ලබා දී ඇති බවද අදාල ප්‍රකාශයේ තිවංකා අතුරලිය විසින් ම සහතික කර ඇති බවද පෙන්වා දුන් නිතිඥවරයා මෙය වලංගු දිවුරුම් ප්‍රකාශයක් නොවන බවට කරුණු ඉදිරිපත් කළේය. 

එසේම මෙම දිවුරුම් ප්‍රකාශය බව කියන ලියවිල්ලට අදාළව ඉදිරිපත් කර ඇමුණුම් දෙකක් ජර්මානු භාෂාවෙන් ඇති අතර තවත් ලේඛන දෙකක් පරිගණකයකින් උත්පාදිත ලේඛන බවට නීතිඥවරයා එහිදී අධිකරණයේ අවධානයට යොමු කළේය. 

මෙම දිවුරුම් ප්‍රකාශය ලබා දී ඇති බව කියන වෛද්‍ය ඇනට් බර්සාර්ට් නමැත්තිය පූර්විකාවේ සඳහන් වන ආකාරයට Lab manager කෙනෙක් වන අතර ඒ සමග ඉදිරිපත් කර ඇති වාර්තාවක සඳහන් වෙන්නේ ඇය institute සහ ලැබ් මැනේජර් යනුවෙන් බව සාක්ෂිකරු සඳහන් කළේය.

මෙම දිවුම් ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිමය ගැටලුවක් ඇති බව නීතිඥවරයා එහිදී අධිකරණය හමුවේ කියා සිටියේය. 

මෙම දිවුරුම් ප්‍රකාශය බව කියන ලේඛනය සහ ඊට අදාළව ඇතුළත් කර ඇති ලේඛන ප්‍රවාදක සාක්ෂි ලෙස සැලකිය යුතු බව නීතිඥවරයා සඳහන් කළේය. 

එම විදෙස් ගමන් බලපත්‍රයේ පිටපතක් සත්‍ය පිටපතක් ලෙස ඉදිරිපත් කරන්නේ කෙසේද ? එය සත්‍ය පිටපතක් ද යන්න පිළිබඳව ගැටළුවක් පවතින බවද නීතිඥවරයා එහිදී සඳහන් කර සිටියේය. 

එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සඳහන් කර සිටියේ මෙම ලේඛනය ලකුණු කිරීමක් සිදු කිරීමට අදාළව, මීට පෙර මෙම නඩුවට අදාළව සාක්ෂි ලබා දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක ලක්සිරි සහ ඖෂධ නියාමන අධිකාරියේ නියෝජිතයා ජර්මනියේ රසායනාගාරයට හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් අඩංගු  සාම්පල  භාරදීම සහ ඊට අදාළ නඩු වාර්තා සහ නඩු භාණ්ඩ මෙම අධිකරණයට ඉදිරිපත් කර ඇති බවය.

අදාළ ඖෂධ ලබාදීම නිවැරදි ශීතදාමයේ සිදු කර ඇති බවට සාක්ෂි මෙහෙයවා ඇති බවද, අදාල රසායනාගාරය තෝරා ගැනීමට අදාළ සාක්ෂි සහ කරුණු ඉදිරිපත් කර ඇති බවද සාක්ෂිකාරිය සඳහන් කළාය.

ඒ අනුව මෙම ලේඛන අපරාධ නඩු විධාන සංග්‍රහයේ 414 (3) වගන්තිය යටතේ ඉදිරිපත් කරන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කර සිටියාය.

එහිදී පළමු වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටම නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා අධිකරණයට කරුණු දක්වමින් 
"ස්වාමීනී මෙම දිවුරුම් ප්‍රකාශය සමඟ ඉදිරිපත් කර ඇත්තේ පරිගණකයෙන් උත්පාදිත ලේඛන දෙකක් බවට අධිකරණයේ අවධානය යොමු කරනවා. දිවුරුම් ප්‍රකාශ නීතිය අනුව දිවුරුම් ප්‍රකාශයක් සමඟ ඉදිරිපත් කරන ලේඛන දිවුරුම් ප්‍රකාශය ලෙසම හැඟවෙනවා .මෙම දිවුරුම් ප්‍රකාශය බව කියන ලියවිල්ල සමඟ ඉදිරිපත් කර ඇති ලේඛන පරිගණකයකින් උත්පාදිත වූ ලේඛන බව එම ලේඛනවලම සඳහන් වෙනවා .ඒ අනුව එවැනි ලේඛන සහ දිවුරුම් ප්‍රකාශය මෙම නඩුවේ සාක්ෂි වලට අදාළ කර ගැනීම සම්බන්ධයෙන් සාක්ෂි ආඥා පනත අනුව ගැටලුකාරී තත්ත්වයක් තිබෙනවා." යනුවෙන් කළේය.

මෙම ලේඛන තානාපති කාර්යාලයේ කොන්සල් නිලධාරීවරිය හරහා ඉදිරිපත් කර ඇති බවද එම සාක්ෂිකරු මෙම නඩුවේ සාක්ෂි දීම සඳහා අධිකරණයට කැඳවීමේ හැකියාව ඇති බවද සඳහන් කළ නීතිඥවරයා එසේ කැඳවීමක් සිදු නොකරන්නේ කුමන හේතුවක් මතද යන්න එහිදී ප්‍රශ්න කර සිටියේය. 

ඒ අනුව මෙම දිව්රුම් ප්‍රකාශය බව කියන ලේඛනය සහතික කිරීමටවත් තිවංකා අතුරලියට නොහැකි බවද අදාළ දිවුරුම් ප්‍රකාශයේ ආගම සම්බන්ධයෙන් සඳහනක් නොවන අතර නිරාගමික ලෙස සැලකිය හැකි බවද, වලංගු දිවුරුම් ප්‍රකාශක ඇති දිව්රුම් දීමේ ප්‍රකාශය හෝ එහි නොමැති බවද සාක්ෂිකරු සඳහන් කර සිටියේය.

ඒ අනුව නීතිය ඉදිරියේ වලංගු නොවන ලේඛනයක් පැමිණිල්ල විසින් සාක්ෂියක් ලෙස ඉදිරිපත් කරන බවද නීතිඥවරයා සඳහන් කළේය. 

එසේම එම දිව්රුම් ප්‍රකාශය බව කියන ලේඛනය සහ එම ලේඛනයට අදාළ ඇමුණුම් මෙම අධිකරණය හමුවේ සාක්ෂි ලෙස ලකුණු කිරීමට විරෝධය පළ කරන බව ඔහු සඳහන් කළේය.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 414(3) වගන්තිය අනුව ආණ්ඩුවේ වෛද්‍යවරයෙකු නොවන වෛද්‍යවරයෙක් විසින් සාක්ෂි ලබාදීමට අදාළ ප්‍රතිපාදන ඇති බවද ,මෙම ප්‍රකාශය ඉදිරිපත් කර ඇත්තේ වෛද්‍යවරයෙකු නොවන බවද නීතිඥවරයා සඳහන් කළේය. 

එසේ තිබියදී අධිකරණය විසින් මෙම දිවුරුම් ප්‍රකාශය බාර ගැනීමට තීරණය කළහොත් විකල්ප ලෙස ඊට අදාළව සාක්ෂි කැඳවීම සිදු කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටින බව නීතිඥවරයා එහිදී කියා සිටියේ ය.

නීතිඥවරයාගේ එම කරුණු දැක්වීමට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළේ "මෙම දිවුරුම් ප්‍රකාශය ලබා දී ඇති සාක්ෂිකාරියට එවැනි දිව්රුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ නොහැක්කේ කවර හේතුන් මතද" යන්න පිළිබඳව නෛතික කරුණු ඉදිරිපත් කිරීමක් නීතිඥවරයා විසින් සිදු නොකළ බවය.

ජර්මනියේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ සිට මෙම නඩුවට අදාළව වීඩියෝස් සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් නීතිමය ගැටළුවක් ඇති බව දන්නවා තිබූ බව නමුත් දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ නොහැකි බවට සඳහන් කර නොමැති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එහිදී සඳහන් කළාය.

ශ්‍රී ලංකා දූත මණ්ඩල නිලධාරියකු විසින් එම ලේඛනයේ අත්සන් තබා ඇති බව සඳහන් වන බවද  නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළාය.

එම දිවුරුම් ප්‍රකාශයේ දෙවන ඡේදයේ දිව්රුම් දෙන්නාගේ සුදුසුකම් පිළිබඳව සඳහන් කර ඇති බවද , තනාපති කාර්යාලයේ සිටින ශ්‍රී ලංකා දූත මණ්ඩල සේවකයාට අදාළ දිව්රුම් ප්‍රකාශයක් ප්‍රකාශය අත්සන් කිරීමට නීතිමය බාධාවක් නොමැති බවද එවැනි නීතිමය බාධාවක් ඇති බවක් කොතැනක හෝ  සඳහන්ව නොමැති බවද නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය එහිදී ප්‍රකාශ කර සිටියාය.

එම දිවුරුම් ප්‍රකාශය සමඟ ඉදිරිපත් කර ඇති ජර්මානු භාෂාවෙන් ඇති ලේඛන වල ඇත්තේ සංඛ්‍යාත්මක අගයන් බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය පරිගණකයකින් උත්පාදිත ලේඛන ලෙස සඳහන් කර ඇත්තේ විශේෂඥ වෛද්‍ය වාර්තා වන අතර සාමාන්‍යයෙන් වෛද්‍ය වාර්තාවක් පරිගණකයක් මගින් යතුරු ලියනය කිරීමෙන් අනතුරුව මුද්‍රිත පිටපත් ලබා ගැනීමක් සිදු කරන බව ප්‍රකාශ කළාය.

මෙහි ඇත්තේ එලෙස ලබාගත් මුද්‍රිත පිටපත් බවද ඒ අනුව අදාළ සාම්පල පරීක්ෂාව සිදු කළ ක්‍රමවේදය, පරීක්ෂාව, සහ එහි ප්‍රතිඵල සම්බන්ධයෙන් දිව්රුම් ප්‍රකාශයේ කරුණු ඇතුළත් වන බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සඳහන් කළාය.

ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ414 (3) වගන්තිය යටතේ මෙම දිවුරුම් ප්‍රකාශය භාරගන්නා ලෙස ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

මෙම නඩුවේ දෙවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අසේල සේරසිංහ මහතා ද මේ සම්බන්ධයෙන් සිය විරෝධය පළ කළේය.

මෙම දිවුරුම් ප්‍රකාශය බව කියන ලියවිල්ල සහ ඊට අදාළ ඇමුණුම් ප්‍රවාදක සාක්ෂි ලෙස වන අතර තිවංකා අතුරලිය නමැත්තියකගේ නම පෙර සාක්ෂි ලැයිස්තුවේ ඇතුලත් නොවූ අතර විත්තිය ඇය කවුරුන්ද යන්න පිළිබඳව කිසිදු දැනුවත් වීමක් නොමැති බවද සඳහන් කළේය.

එසේම මෙම රසායනාගාර පරීක්ෂාව සිදු කළේ කවුද,? විශේෂඥයෙකු විසින් එය සිදු කළාද, තහවුරු කිරීමක් කළේ කවුරුන්ද යන්න පිළිබඳව සඳහන් නොවන අතර මෙම දිවුරුම් ප්‍රකාශය ලබා දී ඇත්තේ වෛද්‍යවරයෙකු විසින් බවට කොතැනක හෝ සඳහන්ව නොමැති බවද නීතිඥවරයා සඳහන් කළේය.

නඩු විභාගයකදී හරස් ප්‍රශ්න හැකියාව ඇති නමුත් මෙම දිවුරුම් ප්‍රකාශයට අදාළව හරස් ප්‍රශ්න විමසීමේ හැකියාව නොමැති බවද , මෙහිදී දිවුරුම් ප්‍රකාශය යනුවෙන් හඳුන්වන ලේඛනය අවිධිමත් ලියවිල්ලක් බවට නීතිඥවරයා සඳහන් කළේය.

වෛද්‍යවරයෙකු නොවන මෙම තැනැත්තාගේ විශේෂඥ භාවය පිළිබඳ පරීක්ෂා කිරීමේ හැකියාවක් අධිකරණයට නොමැති අතර විවෘත අධිකරණයේ ප්‍රථම වරට මුද්‍රා විවෘත කළ බව ‍ප්‍රකාශ කරන ලද මෙම දිවුරුම් ප්‍රකාශය සහ ඊට අදාළ ඇමුණුම්  විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන්ට පැමිණිල්ල විසින් ලබාදී ඇති බවද අධිකරණයේදී ප්‍රථම වරට විවෘත කරන ලද ලේඛන එලෙස පැමිණිල්ල අතට පත් වූයේ කවරාකාරයෙන්ද යන්න පිළිබඳව ගැටලුවක් පවතින බවද නීතිඥවරයා එහිදී සඳහන් කළේය. 

විශේෂඥ සාක්ෂි ඉදිරිපත් කරන අවස්ථාවක වුවත් ඒවා භාර නොගෙන සාක්ෂිකරුවකු මගින් තහවුරු කරගත යුතු බව උඩතලවින්න නඩු තීන්දුවේ දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සඳහන් කර ඇති බව නීතිඥවරයා එහිදී පෙන්වා දුන්නේය. 

මෙම ප්‍රවාදක සාක්ෂි භාර ගැනීමට විරුද්ධ වන බව නීතිඥවරයා කියා සිටියේය. 

ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය "ස්වාමීනි, මෙම ස්ථාවරය අද තමයි විත්තිය විසින් ඉදිරිපත් කරන්නේ පළමුවන විත්තිකරු හැර සෙසු විත්තිකරුවන් මෙතෙක් මේ වන තෙක් අදාළ රසායනාගාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද සාක්ෂි වලදී විරෝධයක් පළ කළේ නෑ.  අදාළ රසායනාගාරය තෝරා ගැනීම, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එය නිර්දේශ කිරීම, මාලිගාකන්ද අධිකරණයෙන් නියෝගයක් ලබා ගැනීම, ඊට අදාළව සාම්පල එම අධිකරණයට ලබාදීම යනාදිය සම්බන්ධයෙන් මෙම අධිකරණයේදී සාක්ෂි ඉදිරිපත් වුනා. නමුත් පළමුවන විත්තිකරු හැර සෙසු විත්තිකරුවන් ඊට විරෝධය පල කළේ නෑ". යනුවෙන් සඳහන් කළාය

දෙවැනි විත්තිකරු වෙනුවෙන් ඉදිරිපත් කළ දේශනය පුරාම තිබුණේ සාක්ෂි ආවේෂණය කිරීම සම්බන්ධයෙන්. එම සාක්ෂි පිළිගැනීමේ අභිමතය ඇත්තේ අධිකරණයට. පැමිණිල්ලට හැකියාව තිබෙන්නේ ඉදිරිපත් වන සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කිරීම පමණයි. ඒ අනුව මෙම දිවුරුම් ප්‍රකාශය ඉදිරිපත් කිරීමට පැමිණිල්ලට කිසිදු බාධාවක් නෑ. ආචාර්ය ඇනට් බර්ෂාඩ් නමැති අයගේ රාජකාරිය Medical officer යටතට ගැනෙන්නේ කෙසේද යන්න පිළිබඳව අවසාන දේශනයේදී කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා" යනුවෙන් සඳහන් කළාය.

එසේම අදාළ රහසිගත ලියවිල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර ඊමේල් මගින් නීතිපති දෙපාර්තමේන්තුවට ලැබුණු බවත් ,එය දූත මණ්ඩල ලේඛනයක් ලෙස ලැබිය යුතු බැවින් අධිකරණයේ රෙජිස්ටර්වරියට රහසිගතව යොමු කළ ඇති බවත් නියෝජ්‍ය සොලිසියට ජනරාල්වරිය සඳහන් කළාය

එම ස්ථාවරය දැනුම් දීමෙන් අනතුරුව පළමුවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා සඳහන් කර සිටියේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියගේ කරුණු දැක්වීම නිවැරදි නම් මෙම දිවුරුම් ප්‍රකාශය සහ ඊට අදාළ ලේඛන වල පිටපත් විත්තියට ලබාදීමම වැරදි සහගත බවය.

එම කරුණු දැක්වීමෙන් අනතුරුව අදාළ විරෝධතාවය සම්බන්ධයෙන් වන නියෝගය ප්‍රකාශ කිරීම කෙටි වේලාවකට කල් තැබීමට දහවල් 12.20 ට පමණ විනිසුරු මඩුල්ල තීරණය කළේය.

අනතුරුව සවස දෙකයි හතළිහට පමණ අධිකරණයේ කටයුතු නැවත ආරම්භ කළ අවස්ථාවේදී අදාළ නියෝගය ප්‍රකාශ කරමින් සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා සඳහන් කර සිටියේ තමන් සහ විනිසුරු තිලකරත්න බණ්ඩාර මහතාගේ එකත්වයෙන් එක් තීන්දුවක් සහ ඊට වෙනස් තීන්දුවක් විනිසුරු විරාජ් වීරියසූරිය මහතා විසින් මීට අදාළ ව ප්‍රකාශ කිරීමට නියමිත බවය.

ඒ අනුව බෙදුනු තීන්දුවේ බහුතර තීන්දුව ප්‍රකාශ කරමින් සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා සඳහන් කළේ 
මෙම නඩුවේ පැමිණිල්ල විසින් ආචාර්ය ඇනට් බර්ෂාඩ් නමැති විශේෂඥ සාක්ෂිකාරියගේ විශේෂඥ වාර්තාවක් සහ ඊට අදාළ දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ අතර ඒවා ලකුණු කිරීමට මෙම අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය වෙනුවට සාක්ෂි දීම සඳහා කැඳවා සිටින ලිපිකාරිනිය මගින් කටයුතු කළ බවය.

එම අවස්ථාවේදී පළමුවන විත්තිකරු වෙනුවෙන් ඊට විරෝධය පළ කළ  අතර අනතුරුව දෙවෙනි විත්තිකරු විසින් ද විරෝධය පළ කළ අතර සෙසු විත්තිකරුවන් එම විරෝධතාවය සමඟ එකඟ වන බව සඳහන් කළ බවද සභාපති සභාපති විනිසුරුවරයා ප්‍රකාශ කළේය. 

පළමු වන විත්තිකරු වෙනුවෙන් ඉදිරිපත් කළ විරෝධතා වලදී මෙම දිවුරුම් ප්‍රකාශය කුමන පදනමක් මත ඉදිරිපත් කරන ලද ලේඛනයක්ද යන්න ගැටලු සහගත බව ප්‍රකාශ කළ නමුත් එම විරෝධතාවය නිශ්චිත නොවන අතර එහිදී සඳහන් කළේ ගැටලු සහගත බව පමණක් බව සභාපති විනිසුරුවරයා සඳහන් කළේය. 

2025 අංක 4 දරණ පනත අනුව මෙම සාක්ෂිකාරියට සාක්ෂි ලබාදීම සඳහා සිතාසි නිකුත් කර තිබූ අතර ජර්මන් ජාතිකයෙකුට ජර්මනීයේ පවතින නෛතික ක්‍රියාදාමයන් අනුව වෙනත් රටක තානාපති කාර්යාලයකට පැමිණ වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබාදීම කළ නොහැකි බවට ජර්මානු රජය විසින් දැනුම් දීමක් කිරීමෙන් අනතුරුව එය ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් නැවත දැනුම් දීමක් කර ඇත. 

එම නොහැකියාව ලෙස දැනුම් දී ඇත්තේ තානාපති කාර්යාලයට පැමිණ වීඩියෝ සාක්ෂියක් ලබාදීමට නොහැකි බව පමණි.

ඒ සම්බන්ධයෙන් කරුණු ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් අධිකරණ අමාත්‍යංශය හරහා මේ වන විටත් මෙම අධිකරණයට දන්වා ඇති අතර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට කැඳවා වීඩියෝ කොන්ෆරන්ස් හරහා සාක්ෂි ලබාදිය හැකි බවට යම් ප්‍රතිපාදනයක් ජර්මන් රජයේ නොමැති බවට වාර්තා කර ඇත.

එහෙත් ශ්‍රී ලංකා දිවුරුම් නීතිය අනුව දිවුරම් ප්‍රකාශයක් ලබාදිය හැකි අතර ඒ අනුව පළමු වන විත්තිකරු වෙනුවෙන් මෙම දිවුරුම් ප්‍රකාශය ඉදිරිපත් කළ නොහැකි බවට ඉදිරිපත් කළ විරෝධතාවය පිළිගත නොහැකි බව සභාපති විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශ කරමින් සඳහන් කළේය. 

එසේම මෙම දිවුරුම් ප්‍රකාශයේ ආගමක් පිළිබඳව සඳහනක් නොමැති අතර ඒ අනුව දිවුරුම් ප්‍රකාශය වලංගු නොවන බවට පළමු වන විත්තිකරුගේ නීතිඥවරයා විසින් අධිකරණයට දන්වා සිටි අතර දිවුරුම් ප්‍රකාශයක ආගම සම්බන්ධයෙන් කරන සටහනක් අදාළ ප්‍රකාශය වලංගු නොවන බවට තීරණය කිරීමට බලපෑමක් ලෙස දැක්විය නොහැකි බවද සභාපති විනිසුරුවරයා සඳහන් කළේය. 

ඒ අනුව දිවුරුම් ප්‍රකාශ නීතියේ පස්වන වගන්තිය අනුව අන්‍යාගමිකයෙකුට වුවද දිවුරුමක් ලබාදීමට බාධාවක් නොමැති බව නඩු තීන්දුවක් මගින් ද ප්‍රකාශ කර ඇති බව සභාපති විනිසුරුවරයා සඳහන් කර සිටියේය .ඇත්ත වශයෙන්ම ආගම සම්බන්ධයෙන් ප්‍රකාශයක සඳහන් කෙරෙන වරදක් හේතුවෙන් එම සාක්ෂිය පිළිගත නොහැකි නම් කිසිදු අවස්ථාවක නිරාගමිකයකුට දිවුරුම් සාක්ෂියක් ලබාදීමට අවස්ථාවක් නොවන බවද සභාපති විනිසුරුවරයා ක්‍රියා සිටියේය. එසේම දිව්රුම් ප්‍රකාශයක දිව්රුම් වාක්‍යයක් මගින් ප්‍රතිඥා ලබා දෙන බවට සඳහනක් නොවන බවද සභාපති විනිසුරුවරයා කියා සිටියේය. 

එසේම ඉලෙක්ට්‍රොනික වාර්තා වලට අනුව සාක්ෂියක් ලෙස ඉදිරිපත් කිරීමට පෙර විත්තියට නොතීසි ලබාදිය යුතු බවට කරුණු ඉදිරිපත් කළද අදාල ලේඛන වල සඳහන්ව ඇත්තේ created electronically යනුවෙන් බව පෙන්වා දුන් සභාපති විනිසුරුවරයා පරිගණකයකින් උත්පාදිත ලේඛනයක් නම් එහි computer generatored සඳහන් වන බව කියා සිටියේය.

යම් වාර්තාවක ඉලෙක්ට්‍රොනික පිටපතක් මුද්‍රණය වූ අවස්ථාවක එය සාක්ෂි වශයෙන් ගෙන ඒ අනුව කටයුතු කිරීමට බාධාවක් නොමැති බව ද සභාපති විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශ කරමින් සඳහන් කළේය. 

අදාල ලේඛන ඉලෙක්ට්‍රොනික ලේඛනයක් ලෙසට සඳහන් කරන්නේ එහි සඳහන් විය යුතු අත්සනක් හේතු කොටගෙන බවද සභාපති විනිසුරුවරයා පෙන්වා දුන්නේය.

දෙවන විත්තිකරු වෙනුවෙන් ඉදිරිපත් කළ විරෝධතාවයන් සම්බන්ධයෙන් සිය නියෝගය ප්‍රකාශ කරමින් සභාපති විනිසුරුවරයා සඳහන් කළේ එහිදී අදාළ දිව්රුම් ප්‍රකාශය ප්‍රවාදක සාක්ෂි ලෙස පෙන්වා දුන් බවය. 

ඒත් මෙය කිසිසේත්ම ප්‍රවාදක සාක්ෂියක් ලෙස සැලකිය නොහැකි අතර ප්‍රවාදක සාක්ෂියක් යනු යම් අයෙකු වෙනුවෙන් පැවසූ දෙයක් තවත් අයෙකු විසින් පැවසීම වන අතර මෙම දිවුරුම් ප්‍රකාශය විත්තියේ හරස් ප්‍රශ්න වලට භාජනය විය නොහැකි නමුත් එය ප්‍රවාදක සාක්ෂියක් ලෙස පිළිගත නොහැකි බව සභාපති විනිසුරුවරයා කියා සිටියේය. 

"මෙම දිවුරුම් ප්‍රකාශය මගින් ඉදිරිපත් කරන කරුණු හරස් ප්‍රශ්නවලට භාජනය වන නොවන නමුත් සාක්ෂිකරුවකු හරස් ප්‍රශ්නවලට භාජන විය යුතු  බවට "පනවා ඇති නීතියට ව්‍යතිරේක අවස්ථාවක් අපරාධ නඩු විධාන සංග්‍රහයේ ඇති අතර  414 වගන්තිය අනුව සඳහන් වන බව සභාපති විනිසුරුවරයා සඳහන් කළේය. 414(3)  වගන්තියට අනුව medical witness  සහ medical officer යන වචන දෙකම සඳහන්ව ඇති අතර මෙම දිවුරුම් ප්‍රකාශයේ  සඳහන්ව ඇත්තේ medical witness යනුවෙන් බවද එය සඳහන් කිරීමේ ව්‍යතිරේකය medical officer විය නොහැකි බවද ,ඒ අනුව medical witness යනු ඕනෑම අයෙකුට සෞඛ්‍ය විද්‍යාත්මක කරුණු සම්බන්ධයෙන් ඉදිරිපත් කරන අදහසක් වන බවද සභාපති විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශ කරමින් සඳහන් කළේය. 

මෙම දිවුරුම් ප්‍රකාශය ඉදිරිපත් කර ඇති සාක්ෂිකරු ශ්‍රී ලාංකික පුරවැසියකු නොවන අතර ජර්මානු ජාතික විශේෂඥවරියකි. ඇයගේ සාක්ෂි ලබාගැනීමක් සිදුකළහොත් ඒ සඳහා විශාල කාලයක් සහ විශාල මුදලක් ද වැය වේ. එසේම එය ලංකාව තුළ සිටින සාක්ෂිකරුවකු කැඳවීම තරම් පහසු නොවන අතර බෙහෙවින් දුෂ්කර කාර්යයක් වන බවද සභාපති විනිසරුවරයා කියා සිටියේය.

කෙසේ වුවද එම සාක්ෂිකරු වීඩියෝ සාක්ෂි මඟින් කැඳවීමට පැමිණිල්ල විසින් මීට පෙර සිතාසි ඉල්ලා සිටි අතර ඒ අනුව සිතාසි අනුව අධිකරණ අමාත්‍යංශය හරහා ජර්මනියේ තිබෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙම අධිකරණයට දන්වා ඇත්තේ එම සාක්ෂි කැඳවීමට නීතිමය ප්‍රතිපාදනයක් එහි නොමැති බවය. 

ඒ අනුව අදාළ සාක්ෂිකරු කැඳවිය යුතු යැයි අධිකරණයට මතයක් ඉදිරිපත් කළ නොහැකි බවද සභාපති විනිසුරුවරයා සඳහන් කළේය. 

කෙසේ වුවද මෙම ලේඛන වල ජර්මන් භාෂාවෙන් ඇති ලේඛන දෙකට අදාළ ඉංග්‍රීසි පරිවර්තන ඉදිරිපත් කළ නොහැකි අතර ඒවා සාක්ෂිමය වටිනාකමක් ඇති ලේඛන ලෙස තීරණය කර නොහැකි බවද ,එබැවින් ඒවා ප්‍රතික්ෂේප කරන බවද සභාපති විනිසුරුවරයා සඳහන් කළේය. 

ඒ අනුව අදාළ ලේඛන ලකුණු කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද විරෝධතා පිළිගත නොහැකි බවට තීරණය කරන බව සභාපති විනිසුරුවරයා සඳහන් කළේය. 

ඉන් අනතුරුව මේ සම්බන්ධයෙන් වන සිය නඩු තීන්දුව ප්‍රකාශ කළ විනිසුරු විරාජ් වීරසූරිය මහතා සඳහන් කර සිටියේ මෙම දිවුරුම් ප්‍රකාශය අඩුපාඩු රැසකින් සමන්විත වන බවය. 

පැමිණිල්ල විසින් මෙම අධි චෝදනා පත්‍රයට අදාළව ජර්මාණු ජාතික සාක්ෂිකරුවන් දෙදෙනකු විසින් දෙදෙනෙකු එක් කර තිබූ අතර එම ජර්මානු ජාතික සාක්ෂිකරුවන්ගේ සාක්ෂි මෙහෙයවීමට අදාල භාෂා පරිවර්තකයෙකු අවශ්‍ය වන නමුත් එවැනි අවශ්‍යතාවයක් ගැන ඉල්ලීමක් හෝ පැමිණිල්ල විසින් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බව විනිසුරු විරාජ් වීරසූරිය මහතා සිය තීන්දුව ප්‍රකාශ කරමින් සඳහන් කළේය. 

ඒ අනුව අදාළ සාක්ෂි ලබාදීම කුමන භාෂාවකින් සිදු කරන්නේ ද යන්න පිළිබඳව සඳහනක් නොමැති අතර එම සාක්ෂිකරුවන් කැඳවීමට අදාළව රහස්‍ය ලේඛන මෙම අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවට කිසිදු නියෝගයක් නොමැති බවද විනිසුරු විරාජ් වීරසූරිය මහතා සඳහන් කළේය. 

අදාළ සාක්ෂිකාරියගේ රාජකාරිමය විෂය පථය තුන්වන ඡේදයේ දක්වා ඇති අතර එම ලේඛනය අත්සන් කර ඇත්තේ තවත් තැනැත්තියක් විසින් බවද, ඉදිරිපත් කර ඇති ලේඛනවල අත් අකුරෙන් සඳහන් කර ඇති සටහන් ඇති බවද, ඒවා කුමන අවස්ථාවක කවර හේතුවක් මත ඇතුළත් කළේද යන්න නිශ්චිතව පැහැදිලි කර නොමැති බවද නිරීක්ෂණය කළ බව විනිසුරුවරයා සඳහන් කළේය. 

ජර්මාණු රටේදී අදාළ සාක්ෂිය මෙහෙයවීමට ගත් උත්සාහය ජර්මාණු රජය විසින් ප්‍රතික්ෂේප කළ බවක් අධිකරණයට වාර්තා කර නොමැති අතර අදාළ දිවුරුම් ප්‍රකාශ වල ඇති දෝෂ අවස්ථානුගතව සලකා බැලීම කළ යුතු බව නිරීක්‍ෂණය කරන බවද විනිසුරුවරයා එහිදී සඳහන් කළේය. 

ප්‍රශ්නගත ඖෂධ සම්බන්ධයෙන් වන මෙම වාර්තාව මෙම නඩුවේ ප්‍රධාන සාක්ෂියක් ලෙස පෙනෙන්නට ඇති බවත් එසේ තිබියදී සාක්ෂිකරු හරස් ප්‍රශ්න වලට ලක් නොකර සිටීම මගින් විත්තිකරුවන්ට යම් අසාධාරණයක් විය හැකි බව නිරීක්ෂණය කරන බවද විනිසුරු විරාජ් වීරසූරිය මහතා සිය තීන්දුව ප්‍රකාශ කරමින් සඳහන් කළේය 

ඒ අනුව අදාළ දිව්රුම් ප්‍රකාශය සහ ඇමුණුම් ලකුණු කිරීමට කළ ඉල්ලීමට අවසර නොදිය යුතු බවට තීරණය කරන බවද විනිසුරු විරාජ් වීරසූරිය මහතා සිය නියෝගය ප්‍රකාශ කරමින් සඳහන් කළේය. 

එම නියෝගය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සාක්ෂිකාරියට ප්‍රශ්න යොමු කරමින් "අධිකරණය විසින් ශ්‍රී ලංකා ජර්මාණු තානාපති කාර්යාලයේ දූත මණ්ඩල නිලධාරිනියක් වන තිවංකා අතුරලිය නමැත්තියක් සාක්ෂි ලබාගැනීම සඳහා කොමසාරිස්වරයකු ලෙස පත්කළ බවට වන ලේඛනයක් අදාළ නඩු ගොනුවට ඇතුලත්ව තිබෙනවාද"යන්න පිළිබඳව විමසීමක් කළාය. 

එවැනි ලේඛනයක් නඩු ගොනුවේ ඇතුළත්ව ඇති බව සාක්ෂිකාරිය සඳහන් කළාය 

"අදාළ වාර්තාවේ ජර්මානු සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි ලබා ගැනීමට ඇති බව සඳහන් වනවාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ එවැනි සටහනක්ද ඇති බවය. 

"අදාළ කොමිසම පත් කිරීමෙන් අනතුරුව විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් එවන ලද ලිපියක් අනුව ශ්‍රී ලංකා ජර්මාණු තානාපති කාර්යාලයේ දෘශ්‍ය පටිගත කිරීමක් සඳහා සාක්ෂි ලබාගත නොහැකි බවට දන්වා ඇති ලිපියක් නඩු ගොනුවේ තිබෙනවාද?' යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය එවැනි ලිපියක් ඇති බවද කියා සිටියාය. 

ඒ සමගම සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න කිරීම් අවසන් කළ අතර පළමුවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා සාක්ෂිකාරියට හරස් ප්‍රශ්න කීපයක් ඉදිරිපත් කළේය.

"මෙම සාක්ෂිකාරියගෙන් සාක්ෂි විමසීමක් වීඩියෝ සංවාද මගින් ලබාදීම ප්‍රතික්ෂේප කළ බවට සඳහන් ඇමුණුමක් තිබෙනවාද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ එවැන්නක් මෙම ගොනුවට ඇතුළත්ව ඇති බවය. 

එම කරුණු ඇතුළත් ඉංග්‍රීසි භාෂාවෙන් යුත් ලේඛනයක් පවතින බවද ඇය සඳහන් කළාය. 

"අදාළ ජර්මාණු භාෂාවෙන් ඇති ලේඛනය පරිවර්තනය කළේ කෙසේද යන්න පිළිබඳව එහි සඳහන් වෙනවාද?" යනුවෙන් සාක්ෂිකාරියගෙන් විමසූ අවස්ථාවේදී ඇය සඳහන් කළේ ජර්මානු භාෂාවෙන් ඇති ලේඛණයේ සඳහන් දිනය සහ reference number එක සමාන වන බවය. 

"යම් රහසිගත ලේඛනයක් විවෘත කිරීමක් කළාද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ එය විවෘත කළ විට තවත් මුද්‍රාව සහිත ලිපි කවරයක් තිබූ බවය. 

එහි තිබූ බවට තිවංකා අතුරලිය නමැත්තිය විසින් සහතික කළ ලේඛනයක් සාක්ෂිකාරිය විසින් හඳුනා ගත් අතර එහිදී සමාදාන විනිශ්චිකාරවරයෙකුගේ මුද්‍රාවක් ඇති බවද එහි අත්සනක් සඳහන් නොවන බවද ඇය ප්‍රකාශ කළාය. 

"එම තිවංකා අතුරලිය Mr හෝ Mrs ලෙස සඳහන්ව තිබෙනවාද?" යන්න විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ එවැනි සඳහනක් නොමැති බවය. 

"අධිකරණයේදී හමු වූ මෙම ලේඛනය ඊට පෙර ඔබට හමු වූවාද?"යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ එම ලේඛන මුල්වරට හමුවූයේ මෙම අධිකරණයේදී බවය. 

ඒ සමගම දිනයට නියමිත සාක්ෂිය විභාගය අවසන් කරන ලදි.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ ලබාගත් බවට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ,ඊට ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ.

අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ හිමිකරු ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී නිරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් (විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවෝ වෙති.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 ක්ද සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.

නෙල්කා මැදගෙදර
(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)

ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...