The Leader News
BREAKING
දේශපාලන මැදිහත්වීම් මැද ගුවන්විදුලියේ මූල්‍ය අර්බුදය තවත් උග්‍රවෙයි●ආර්. චෙරන්: දැවෙන මව්බිමක් හදවතේ රැගෙන ගිය කවියා●2027 අයවැය: ආර්ථික ස්ථාවරත්වය කා වෙනුවෙන්ද?●කලාවත් ක්‍රීඩාවත් එකම වේදිකාවකට ගෙන ආ 'ඉතින් ඉතින් කොහොමද' සොඳුරු රාත්‍රිය●වේදිකාවේ ස්වර්ණමය යුගය යළි අවදි කළ පතාක යෝධයෝ පස්දෙනෙක් එකම තැනක●ජපානයේ සුකුබා නුවරින් ඇරඹි දිලිත්ගේ 'GLEC' ගෝලීය ව්‍යවසායක මෙහෙයුම●2027 අයවැය සතියේ සජිත්ගේ දේශපාලන මැදිහත්වීම්●'මුවන්පැලැස්සේ හිඟන කොල්ලා' තුළින් සමාජය පිටුදකින මිනිසුන්ගේ මනුෂ්‍යත්වය සොයයි●වෙලිංටන් පිටියේදී ඉන්දියාවෙන් ලකුණු 720ක වාර්තාගත ප්‍රහාරයක්!●පිරිසිදු හුස්මත් අපට අහිමි වේද?: වායු ගුණාත්මකභාවය පහළ බැසීමේ කතාව●
Top Ad
Opinion

ආර්. චෙරන්: දැවෙන මව්බිමක් හදවතේ රැගෙන ගිය කවියා

Pasan

Pasan

November 22, 2026 • 10:30 PM

ආර්. චෙරන්: දැවෙන මව්බිමක් හදවතේ රැගෙන ගිය කවියා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කවිය, පිටුවහල්භාවය, සාමූහික මතකය සහ ශ්‍රී ලංකාවේ නිම නොවූ ඉතිහාසය ශ්‍රී ලාංකේය දෙමළ කවියෙකු, විචාරකයෙකු සහ ශාස්ත්‍රඥයෙකු වූ ආර්.
  • Cheran) අපෙන් සමුගෙන ඇති පුවත සාහිත්‍ය ලෝකයට පමණක් නොව, යුද්ධයෙන්, ප්‍රචණ්ඩත්වයෙන් සහ පිටුවහල්භාවයෙන් තුවාල ලැබූ සමස්ත සමාජයටම දැනෙන අහිමිවීමකි.
  • චෙරන්ගේ කවිය කියවීමේදී අපට හමුවන්නේ යුද්ධය පිළිබඳ සරල දේශපාලන ප්‍රකාශනයක් නොව, යුද්ධය විසින් මිනිස් ජීවිතයේ සෑම තලයක්ම ආක්‍රමණය කරන ආකාරයයි.
  • මගේ නගරය ගිනි තබා ඇත; මගේ ජනතාවට මුහුණු අහිමි වී ඇත.”) මෙහි “faceless” යන වචනය විශේෂයෙන් වැදගත්ය.
අකුරු ප්‍රමාණය (Font Size):

කවිය, පිටුවහල්භාවය, සාමූහික මතකය සහ ශ්‍රී ලංකාවේ නිම නොවූ ඉතිහාසය

ශ්‍රී ලාංකේය දෙමළ කවියෙකු, විචාරකයෙකු සහ ශාස්ත්‍රඥයෙකු වූ ආර්. චෙරන් (R. Cheran) අපෙන් සමුගෙන ඇති පුවත සාහිත්‍ය ලෝකයට පමණක් නොව, යුද්ධයෙන්, ප්‍රචණ්ඩත්වයෙන් සහ පිටුවහල්භාවයෙන් තුවාල ලැබූ සමස්ත සමාජයටම දැනෙන අහිමිවීමකි.

යාපනයේ උපත ලබා, ශ්‍රී ලංකාවේ වාර්ගික ගැටුමේ අඳුරුම කාල පරිච්ඡේද අත්විඳ, පසුව කැනඩාවේ ජීවත් වූ චෙරන්ගේ ජීවිතයම ඔහුගේ කවියට පසුබිම සපයයි.

ඔහුගේ කවිය යුද්ධය පිළිබඳ සාක්ෂියක් පමණක් නොවේ. එය මිනිසාගේ අහිමිවීම්, මතකය, අනන්‍යතාව, නිහඬතාව සහ යුක්තිය පිළිබඳ ගැඹුරු සාහිත්‍යමය වියමනකි.

චෙරන්ගේ කවිය කියවීමේදී අපට හමුවන්නේ යුද්ධය පිළිබඳ සරල දේශපාලන ප්‍රකාශනයක් නොව, යුද්ධය විසින් මිනිස් ජීවිතයේ සෑම තලයක්ම ආක්‍රමණය කරන ආකාරයයි. නිවස, නගරය, මව, දරුවා, ශරීරය, භාෂාව සහ මතකය යන සියල්ලම ඔහුගේ කවියේ දේශපාලන අර්ථයක් අත්පත් කර ගනී. ඔහුගේ කවියෙහි විශේෂත්වය වන්නේ විශාල ඓතිහාසික ඛේදවාචකයක් සාමාන්‍ය මිනිසෙකුගේ අත්දැකීමක් තුළින් අපට දැනෙන්නට සැලැස්වීමයි.

ගිනිගත් නගරය සහ අහිමි වූ මතකය

චෙරන්ගේ ප්‍රබලතම කාව්‍ය නිර්මාණ අතර The Second Sunrise විශේෂයෙන් වැදගත්ය. යාපනයේ මහජන පුස්තකාලය ගිනි තැබීම සහ එමඟින් දෙමළ සමාජයේ ඓතිහාසික හා සංස්කෘතික මතකයට එල්ල වූ ප්‍රහාරය මෙම කවියට පසුබිම් වේ.

පුස්තකාලයක් යනු පොත් තැන්පත් කරන ගොඩනැගිල්ලක් පමණක් නොවේ. එය ජනතාවකගේ සාමූහික මතකය, දැනුම සහ සංස්කෘතික අඛණ්ඩතාව නියෝජනය කරයි. එබැවින් එය ගිනි තැබීම යනු ගොඩනැගිල්ලක් විනාශ කිරීමෙන් ඔබ්බට ගිය, ජනතාවකගේ ඉතිහාසය මකා දැමීමට කළ ප්‍රචණ්ඩ උත්සාහයකි.

කවියා මෙසේ ලියයි:

“This sunrise in the South. What happened? My town was burned; my people became faceless.”

(“දකුණේ මේ හිරු උදාව. කුමක් සිදුවීද? මගේ නගරය ගිනි තබා ඇත; මගේ ජනතාවට මුහුණු අහිමි වී ඇත.”)

මෙහි “faceless” යන වචනය විශේෂයෙන් වැදගත්ය. එය පුද්ගල අනන්‍යතාව අහිමිවීම පමණක් නොව, ප්‍රචණ්ඩත්වය තුළ මිනිසා සංඛ්‍යාවක්, නාමයක් නැති සිරුරක් හෝ හඳුනාගත නොහැකි අයෙකු බවට පත්වීමද නිරූපණය කරයි. චෙරන් ඉතිහාසය විස්තර කරන්නේ නැත; ඉතිහාසය විසින් මිනිසාට කළ දේ අපට දැනෙන්නට සලස්වයි.

ශරීරය: යුද්ධයේ ජීවමාන සාක්ෂිය

The Story of a Severed Leg කවියෙන් චෙරන් තවත් වැදගත් කලාත්මක උපක්‍රමයක් භාවිත කරයි. යුද්ධය පිළිබඳ සාකච්ඡාව බොහෝ විට භූමිය, හමුදා, දේශසීමා සහ දේශපාලන බලය වටා ගොඩනැඟේ. එහෙත් චෙරන් අපගේ අවධානය යොමු කරන්නේ තුවාල ලැබූ මිනිස් ශරීරය වෙතය.

“I am writing the story of a severed leg.”

(“මම වෙන්කර දැමූ කකුලක කතාව ලියමින් සිටිමි.”)

මෙහි කකුල යනු ශරීරයේ කොටසක් පමණක් නොවේ. එය යුද්ධයේ භෞතික සාක්ෂියකි. එය කපා දැමූ ජීවිතයක්, බිඳ දැමූ අනාගතයක් සහ අහිමි වූ මනුෂ්‍යත්වයක් නියෝජනය කරයි. ඉතිහාසය බොහෝ විට ජයග්‍රහණ සහ පරාජයන් ලෙස ලියැවුණද, එම ඉතිහාසය තුළ ජීවත් වූ ශරීරවල වේදනාව ලිවීමට චෙරන් උත්සාහ කරයි.

අතුරුදන්වීම්, මවගේ බලා සිටීම සහ නිහඬතාව

Epitaph වැනි කාව්‍ය නිර්මාණවලදී චෙරන්ගේ කවිය අතුරුදන්වීම් සහ පවුල්වල නිම නොවන ශෝකය වෙත යොමු වේ. අතුරුදන් වූ පුතෙකු වෙනුවෙන් බලා සිටින මවකගේ වේදනාව මෙහිදී පුද්ගලික අත්දැකීමක් ලෙස පෙනුණද, එය යුද්ධයෙන් පීඩාවට පත් සමාජයක සාමූහික අත්දැකීමක් බවට පත්වේ.

“Not even his words remain. We have no words either.”

(“ඔහුගේ වචනවත් ඉතිරි වී නැත. අපටද කීමට වචන නැත.”)

මෙහි නිහඬතාව සාමාන්‍ය නිහඬතාවක් නොවේ. එය අහිමිවීමේ, බියෙහි සහ ප්‍රකාශ කළ නොහැකි ශෝකයේ භාෂාවයි. අතුරුදන් වූ පුද්ගලයා පිළිබඳ සත්‍යය නොදන්නා පවුලකට අවමංගල්‍යයක් හෝ අවසන් සමුගැනීමක්වත් හිමි නොවේ. එබැවින් චෙරන්ගේ කවිය මරණය ගැන පමණක් නොව, මරණය පිළිබඳ නිශ්චිතභාවය පවා අහිමි කළ දේශපාලන තත්ත්වයක් ගැන කතා කරයි.

ජාතික සීමාවන් ඉක්මවා යන මනුෂ්‍යත්වය

චෙරන්ගේ කවිය දෙමළ ජනතාවගේ දුක්ඛිත අත්දැකීම් නියෝජනය කළද, එය වාර්ගික සීමාවකට සිරවන්නේ නැත. To a Sinhalese Girl සහ Not Parallel Worlds වැනි නිර්මාණවලින් ඔහු උත්සාහ කරන්නේ ජාතිකවාදී බෙදීම්වලින් වෙන්කර ඇති මිනිසුන් අතර සම්බන්ධතාවක් නැවත සිතා බැලීමටය.

මෙම කවිවල වැදගත්කම වන්නේ ඒවා යුද්ධයේ දේශපාලන යථාර්ථය නොසලකා හරින්නේ නැති අතරම, වාර්ගික අනන්‍යතාව මත පදනම් වූ සදාකාලික වෛරයක්ද පිළිනොගැනීමයි. චෙරන්ට අනුව මිනිසුන් අතර සම්බන්ධතා ගොඩනැඟිය හැක්කේ වේදනාව අමතක කිරීමෙන් නොව, එකිනෙකාගේ වේදනාව හඳුනාගැනීමෙනි.

Letters from an Army Camp වැනි කාව්‍යවලදී ඔහු යුද්ධය දෙස වෙනත් කෝණයකින්ද බලයි. හමුදා කඳවුර තුළ සිටින සොල්දාදුවාගේ අත්දැකීම හරහා යුද්ධය පුද්ගලයන්ගේ ජීවිත පමණක් නොව, ඔවුන්ගේ සිතීමේ හා හැසිරීමේ ආකාරයද වෙනස් කරන ආයතනික පද්ධතියක් බව පෙන්වා දෙයි. මෙය ප්‍රචණ්ඩත්වය පිළිබඳ සරල විනිශ්චයකට වඩා පුළුල් සමාජ-දේශපාලන විමසුමකි.

පිටුවහල්භාවය සහ නිම නොවූ යුද්ධය

කැනඩාවේ ජීවත් වූ චෙරන්ගේ කවිය තුළ පිටුවහල්භාවය තවත් ප්‍රධාන තේමාවකි. භූගෝලීය වශයෙන් මව්බිමෙන් ඈත්ව සිටියද, මතකයෙන් සහ අත්දැකීමෙන් එයින් වෙන්විය නොහැකි මිනිසාගේ තත්ත්වය ඔහුගේ නිර්මාණ තුළ නිරන්තරයෙන් මතුවේ. A Procession of Skeletons සහ Grave Song වැනි කාව්‍ය නිර්මාණ මඟින් මරණය, අහිමිවීම සහ ඉතිහාසයේ නොවිසඳුණු තුවාල පිළිබඳ සංවේදී විමසුමක් ඉදිරිපත් කරයි.

Forest-Healing යනුවෙන් නම්කර ඇති කවියෙහි “When will there be a forest-healing?” (“සම්ප්‍රදායික ආදාහන වතාවත් කිරීමට ඉඩ ලැබෙන්නේ කවදාද?") යන ප්‍රශ්නය, යුද්ධයෙන් පසු සමාජයක සුවපත් වීම පිළිබඳ ගැඹුරු ප්‍රශ්නයක් බවට පත්වේ. යුද්ධය අවසන් වීම සහ සමාජයක් සුවපත් වීම එකම දෙයක් නොවන බව චෙරන්ගේ කවිය අපට සිහිපත් කරයි. මළවුන් සමරමින් සම්ප්‍රදායික වතාවත් කිරීමට, මළසිරුර ආදාහනය කළ කැලෑවට ගොස් අවසාන වතාවත් කිරීමට ඉඩ ලැබෙන්නේ කවදාද? කවියාගේ ගැටලුව මුළු ද්‍රවිඩ සමාජයම පෙළූ ගැටලුවක් නොවන්නේද?

කාව්‍යමය සංයමය සහ චෙරන්ගේ සාහිත්‍යමය දායකත්වය

චෙරන්ගේ කාව්‍ය ශෛලියෙහි කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ සංයමයයි. ඔහු බොහෝ විට අතිශයෝක්තියෙන් හෝ සෘජු දේශපාලන ප්‍රකාශවලින් වැළකී, සංකේත, රූපක, නිහඬතාව සහ කෙටි ප්‍රකාශන මඟින් විශාල අර්ථයක් ගොඩනඟයි. ඔහුගේ කවිය තුළ නගරයක්, පුස්තකාලයක්, අවයවයක් අහිමි වූ ශරීරයක් හෝ බලා සිටින මවක් සමස්ත ඉතිහාසයක නියෝජනයක් බවට පත්වේ.

එසේම ඔහුගේ නිර්මාණ යුද්ධය පිළිබඳ කවිවලට පමණක් සීමා නොවේ. ආදරය, අනන්‍යතාව, සංස්කෘතිය, සමාජ සම්බන්ධතා සහ මිනිස් පැවැත්මේ විවිධ අර්ථ පිළිබඳවද ඔහු ලියා ඇත. දෙමළ කාව්‍ය සම්ප්‍රදාය සමඟ සංවාදයක යෙදෙමින් නූතන දේශපාලන අත්දැකීම් කවියට ගෙන ඒම ඔහුගේ වැදගත් දායකත්වයකි. කවියෙකුට අමතරව ශාස්ත්‍රඥයෙකු හා විචාරකයෙකු ලෙසද ඔහුගේ කාර්යභාරය දෙමළ සාහිත්‍යය පිළිබඳ පුළුල් අවබෝධයක් ගොඩනැඟීමට දායක වී ඇත.

මතකය අ/මතක නොකිරීමේ වගකීම

චෙරන්ගේ අභාවය සිහිපත් කිරීම යනු කවියෙකුගේ ජීවිතය හා නිර්මාණ අගය කිරීමෙන් පමණක් අවසන් කළ හැකි කාර්යයක් නොවේ. ඔහුගේ කවිය අප ඉදිරියේ තබන්නේ ශ්‍රී ලංකාවේ තවමත් සම්පූර්ණයෙන් විසඳී නැති ප්‍රශ්න සමූහයකි: යුද්ධයේ මතකය, අතුරුදන්වීම්, සංස්කෘතික විනාශය, පිටුවහල්භාවය, වාර්ගික අවිශ්වාසය සහ යුක්තිය පිළිබඳ ඉල්ලීම. චෙරන්ගේ කවිය අපට බල කරන්නේ ඉතිහාසය ජයග්‍රාහකයන්ගේ කතාවෙන් පමණක් කියවීම නවත්වන ලෙසය. එය පරාජිතයන්ගේ, අතුරුදන් වූවන්ගේ, නිහඬ කළ මිනිසුන්ගේ සහ තම නිවෙස් අහිමි කරගත් ජනතාවගේ කතාවද අසන්නැයි ඉල්ලා සිටී.

චෙරන් ජීවත් වූයේ මව්බිමෙන් ඈත්ව විය හැකිය. එහෙත් ඔහුගේ කවිය තුළ යාපනය, එහි මිනිසුන්, එහි ගිනිගත් මතකය සහ එහි නොනිමුණු බලාපොරොත්තු දිගටම ජීවත් වේ. එබැවින් චෙරන්ගේ කවිය එක් ජනතාවකගේ වේදනාව පමණක් නොව, අසාධාරණය ඉදිරියේ මනුෂ්‍යත්වය රැකගැනීමට උත්සාහ කරන සියලු මිනිසුන්ගේ සාහිත්‍යමය සාක්ෂියකි.

කවියා භෞතිකව මියගිය ද ඔහු විසින් නිර්මාණය කළ සාහිත්‍ය භාෂාව සදාකාලිකව අපගේ චින්තනය අවධි කරමින්, ඒ සමඟ සංවාදශීලී වනු ඇත. අපගේ චින්තනයට අභියෝග කරමින් අපගේ සමාජයට අපගේ මනුෂ්‍යත්වයේ සීමාවන් ගැන නැවත සිතීමට පොළඹවනු ඇත.


(සටහන | ආචාර්ය අතුලසිරි සමරකෝන්)
කථිකාචාර්ය, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
smasa@ou.ac.lk


මූලාශ්‍රය: Athulasiri Samarakoon - Facebook

සබැඳි ලිපි :

යාපනයේ මගේ Encyclopedia ව නික්ම ගොසිනි

දමිළ කිවිවර චේරන් දිවි සැරිය නිම කරයි

සම්මුති - විසම්මුති : 'මගේ කවියේ තේමාව ප්‍රති-විරුද්ධකම්පෑමයි!' - චේරන් රුද්‍රමූර්ති | සුනන්ද දේශප්‍රිය

ආචාර්ය අතුලසිරි සමරකෝන්

Digital creator, Lecturer at Open University of Sri Lanka, Former Teaching assistant at University of Colombo smasa@ou.ac.lk

View all stories by ආචාර්ය අතුලසිරි සමරකෝන්
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...