ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 7% ක හෝ ඊට වැඩි ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන බව පොරොන්දු වෙමින්, ආර්ථික ස්ථාවරත්වය පිළිබඳ පණිවිඩයක් පෙරදැරිව 2027 අයවැය නොවැම්බර් 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. ඊට පසු දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊට පිළිතුරු කතාවක් සිදු කළේය. මෙම ලිපියෙන් එම කතාව නිල සංඛ්‍යාලේඛන හා සසඳා විමර්ශනය කෙරෙන අතර, ඒ පිළිබඳ මාගේ නිරීක්ෂණ ද ඉදිරිපත් කෙරේ.
ස්ථාවරත්වය කා වෙනුවෙන්ද?
විපක්ෂ නායකවරයාගේ කතාවේ ප්‍රධාන තර්කය වන්නේ ආදායම් බෙදී යාම පිළිබඳවය. “2019 සහ 2025 අතර කාලය තුළ, ආදායම ඉහළ ස්ථරය දෙසට නැවත බෙදී ගොස් තිබේ... එනම් දුප්පතුන්ගේ සිට පොහොසතුන් වෙතටයි," යැයි විපක්ෂ නායකවරයා පැවසීය. මෙම කාලපරිච්ඡේදය තුළ දිළිඳුම 20% ක ජනතාවගේ මූර්ත ගෘහස්ථ ආදායම 19.6% කින් පහත වැටී ඇති අතර, ධනවත්ම 20% ක ජනතාවගේ ආදායම 6.8% කින් ඉහළ ගොස් තිබේ. දැනට ඉහළම ආදායම් ලබන ජනගහනයෙන් පහෙන් එකක ආදායම, අඩුම ආදායම් ලබන ජනගහනයෙන් පහෙන් එකක ආදායමට වඩා 14.8 ගුණයකින් වැඩි වී ඇත… “දුප්පතුන් තවදුරටත් දුප්පත් වී ඇති අතර, ධනවතුන් තවදුරටත් ධනවත් වී ඇත” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.
2022 වසරට සාපේක්ෂව විනිමය අනුපාතිකය සහ රාජ්‍ය මූල්‍ය තත්ත්වය වඩාත් ස්ථාවර මට්ටමක පැවතියද, මූර්ත නිමැවුම නැවත පැමිණ ඇත්තේ දළ වශයෙන් 2018 වසරේ පැවති මට්ටමට පමණි. දළ ජාතික ආදායම (GNI) 2018 වසරේ ඇමෙරිකානු ඩොලර් බිලියන 92.4 සිට 2025 දී ඇමෙරිකානු ඩොලර් බිලියන 106.8 දක්වා ඉහළ ගියද, එසේ වැඩි වී ඇත්තේ මූර්ත ආර්ථික වර්ධනයකට වඩා මිල මට්ටම්වල සහ විනිමය අනුපාතවල සිදුවූ වෙනස්කම් හේතුවෙනි. ඒ අනුව සැබෑ ලෙස සිදුව ඇත්තේ ආර්ථිකයේ ප්‍රමාණයේ ඉහළ යාමකින් තොරව ඇති නැති පරතරය ඉහළ යාමකි.
දරිද්‍රතා රේඛාවට පහළින් ජනගහනයෙන් දහයෙන් හයක්
“2026 ඔක්තෝබර් මාසයේ ලෝක බැංකු වාර්තාවට අනුව අපේ රටේ ජනතාවගෙන් 60% ක් දරිද්‍රතාවයෙන් පෙළෙයි” යනුවෙන් විපක්ෂ නායකවරයා සඳහන් කරයි. 2025 වසරේදී ශ්‍රී ලාංකිකයන්ගෙන් 61.1% ක් දිනකට ඇමෙරිකානු ඩොලර් 8.30ක් ලෙස නියම කර ඇති ඉහළ මධ්‍යම ආදායම් ලබන රටවල් සඳහා වන දරිද්‍රතා සීමාවට පහළින් ජීවත් වූ බවට ලෝක බැංකුව ඇස්තමේන්තු කරයි. “රුපියල් 17,000කින් 18,000කින් එක පුද්ගලයෙකුට දින 30ක් ජීවත් විය හැකිද?” එසේ තිබියදී, සහනාධාර සහ පැවරුම් 2026 වසරේ රුපියල් බිලියන 1,572 සිට 2027 දී රුපියල් බිලියන 1,472 දක්වා පහත වැටෙන අතර, එය රුපියල් බිලියන 100ක කප්පාදුවකි.
2025 වසරේදී රජය දළ දේශීය නිෂ්පාදිතයෙන් 5.4% ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් වාර්තා කළ අතර, එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 2.3% ක ඉලක්කය මෙන් දෙගුණයකටත් වඩා වැඩි අගයකි. එසේ වූයේ රජයේ බදු ආදායම ඉහළ යාමත් ප්‍රාග්ධන වියදම් ඇස්තමේන්තු කළ අගයට වඩා අඩුවෙන් සිදුවීමත් නිසාය. 2027 වසරේදී ද සමස්ත බදු ආදායමෙන් 76.4% ක් පමණ භාණ්ඩ, සේවා සහ විදේශ වෙළෙඳාම මත පනවන බදුවලින් උපයා ගැනීමට නියමිත අතර, එහි වැඩි බදු බරක් වක්‍ර බදු ආදායම් ආශ්‍රිතව දිළින්දන් මත පතිත වේ.
ආයෝජන රට තුළට පැමිණීම වෙනුවට පිටතට ගලා යාම
“රට තුළට කිසිවක් පැමිණෙන්නේ නැහැ. සියල්ල පිටතට ගලා යනවා,” යනුවෙන් තවදුරටත් ප්‍රකාශ කරන විපක්ෂ නායකවරයා, රටින් ඉවත්ව ගිය ව්‍යාපෘති ලැයිස්තුවක් ඉදිරිපත් කරයි. විදේශයන්හි ව්‍යාපාර පුළුල් කරන ඇඟලුම් සමාගම් පිළිබඳව ඔහු මෙසේ විමසීය: “මෙහි එක් කර්මාන්තශාලාවක් වසා දමා, වෙනත් රටක කර්මාන්තශාලා 10ක්, 15ක් හෝ 20ක් විවෘත කරනවා. එසේ නම් අපට රැකියා අවශ්‍යතා නිර්මාණය කළ හැක්කේ කෙසේද?”
2025 වසරේදී විදේශ සෘජු ආයෝජන ඇමෙරිකානු ඩොලර් බිලියන 1.04ක් පමණ වුවද, නව ව්‍යාපෘතිවලින් ලැබී ඇත්තේ ඩොලර් මිලියන 134ක් පමණි. වියට්නාමය සති දෙකක් වැනි කෙටි කාලයක් තුළ ලබා ගන්නා විදේශ ආයෝජන ප්‍රමාණය, ශ්‍රී ලංකාවට වසරක් තුළ ලැබෙන ආයෝජන ප්‍රමාණයට සමාන වේ. ආන්තික ප්‍රාග්ධන-නිමැවුම් අනුපාතය (ICOR) 4.5ක් පමණ යැයි සලකන විට, 8% ක ආර්ථික වර්ධනයක් සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 36% කට ආසන්න ආයෝජන අවශ්‍ය වේ. එහෙත් අපගේ ජාතික ඉතිරිකිරීම් පවතින්නේ 31.2% ක මට්ටමේය. එබැවින් ශ්‍රී ලංකාවට වසරකට අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක සෘජු විදේශ ආයෝජන අවශ්‍ය වේ. එහෙත් අයවැය තුළ සෘජු විදේශ ආයෝජන සඳහා ඉලක්කයක් හෝ ඊට අදාළ ප්‍රතිසංස්කරණ කිසිවක් ඉදිරිපත් කර නැත.
ණය ගනුදෙනු සහ ආර්ථික වර්ධනය සඳහා ඇති පෙළඹවීම
ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ණය තිරසාරතා විශ්ලේෂණය නැවත සාකච්ඡා කිරීමට පොරොන්දු වී තිබිණි. “DSA වෙනස් කිරීමේ පොරොන්දුවට සිදු වූයේ කුමක්ද? මෙය සිදු වූ විශාලතම රැවටීමයි” යැයි විපක්ෂ නායකවරයා ප්‍රශ්න කරයි. ආර්ථික වර්ධනය අපේක්ෂාවන්ට වඩා ඉහළ යන විට ණය සහන ප්‍රමාණය අඩුවන, 'සාර්ව ආර්ථික දර්ශක හා බැඳුණු බැඳුම්කර' (macro-linked bonds) සම්බන්ධයෙන් ඔහු මෙසේ ප්‍රශ්න කළේය.
ආර්ථික වර්ධනය වේගවත් වීමෙන් ලැබෙන ප්‍රතිලාභවලින් කොටසක් ස්වයංක්‍රීයව විදේශීය ණය හිමියන් වෙත ගලා යන අතර, එමඟින් රටට හිමිවන ප්‍රතිලාභ අඩු වන බවට ඉදිරිපත් කරන අදහස නිවැරදිය. මේ වන විට වඩාත් වැදගත් ගැටලුව වන්නේ රජයේ මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා අරමුදල් සපයා ගැනීමයි. අයවැය හිඟය රුපියල් බිලියන 1,753 දක්වා හෙවත් දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5% දක්වා ඉහළ යන අතර, ඉන් 94% ක්ම දේශීය වශයෙන් ණය ලබා ගැනීම මඟින් පියවා ගැනීමට අපේක්ෂා කෙරේ. රජයේ සමස්ත ණය ගැනීමේ අවශ්‍යතාව රුපියල් බිලියන 3,800ක් වන අතර, එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 10% කට ආසන්න වේ. දින 91 භාණ්ඩාගාර බිල්පත් සඳහා වන පොලී අනුපාතය මැයි මාසයේ 8.2% සිට නොවැම්බර් මාසයේ 9.35% දක්වා දැනටමත් ඉහළ ගොස් ඇති අතර, එමගින් පෞද්ගලික ආයෝජන සඳහා ඇති ඉඩකඩ සීමා කෙරේ (crowding out). තවද, IMF වැඩසටහන 2027 මාර්තු මාසයේදී අවසන් වීමට නියමිතය. ෆිච් (Fitch) ආයතනය ශ්‍රී ලංකාවට ලබා දී ඇති ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම 'B−' මට්ටමේ පවතිද්දී, විදේශයන්ගෙන් ණය ලබා ගැනීමේ පිරිවැය 11% ක් පමණ වනු ඇත.
ගොවීන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ තරුණ පරපුර
“150ක් දෙනවා කියපු වී කිලෝවේ වී මිල අදට 98යි, 95යි,” යනුවෙන් පාර්ලිමේන්තුවට සිහිපත් කළ විපක්ෂ නායකවරයා, “මේ කෘෂිකර්මාන්තය වෙනුවෙන් ඔබතුමන්ලා අබමල් රේණුවක දෙයක් මේ අයවැය හරහා ලබා දීලා නැහැ,” යනුවෙන් ද පැවසීය. 2022 වසරේදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SMEs) 263,000ක් පමණ දුෂ්කරතාවට පත් වුවද, තවමත් ජාතික සංවර්ධන බැංකුවක් පිහිටුවා නොමැති බවත්, එම ව්‍යාපාරවල ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු කර නොමැති බවත් ඔහු පෙන්වා දුන්නේය.
රජයේම වාරිමාර්ග අමාත්‍යවරයා පවසන පරිදි වී කිලෝග්‍රෑමයක් නිෂ්පාදනය කිරීමේ පිරිවැය රුපියල් 137ක් පමණ වන අතර, නාඩු වී සඳහා සහතික මිල රුපියල් 120කි. තරුණ විරැකියා අනුපාතය 17.8% ක් වන අතර, රැකියා විරහිතයන්ගෙන් අඩකට අ.පො.ස. උසස් පෙළ හෝ ඊට ඉහළ සුදුසුකම් තිබේ. ආර්ථික වර්ධනයේ සහ රැකියා උත්පාදනයේ වේගවත්ම ප්‍රතිලාභ පවතින්නේ සංචාරක කර්මාන්තය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය තුළ ය. විශේෂයෙන්ම, ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉලක්ක කරගත් කෘත්‍රිම බුද්ධිය පදනම් කරගත් නිෂ්පාදන හා සේවා මෙහිදී වැදගත් වේ. එහෙත් මෙම අයවැය තුළ රැකියා උත්පාදනය සඳහා නිශ්චිත ඉලක්කයක් ඉදිරිපත් කර නොමැත.
පොරොන්දු සහ බුද්ධි ගලනය
විදුලි බිල 33% කින් අඩු කිරීමේ පොරොන්දුවේ සිට විශ්‍රාමිකයන්ට සහන සැලසීම දක්වා වූ ඉටු නොකළ පොරොන්දු ලැයිස්තුවක් ඉදිරිපත් කළ විපක්ෂ නායකවරයා, දේශපාලනඥයන් වෙනුවට වෘත්තිකයන්ට වාහන බලපත්‍ර ලබා දෙන ලෙස යෝජනා කළේය: “අපට ඒවා අවශ්‍ය නැහැ. ඒවා වෘත්තිකයන්ට ලබා දෙන්න.”
උපයන විට ගෙවන ආදායම් බද්දෙන් (PAYE) නිදහස් මාසික ආදායම් සීමාව රුපියල් 200,000 දක්වා ඉහළ නංවන බවට ජාතික ජන බලවේගය පොරොන්දු වී තිබුණද, අයවැයෙන් එය ඉහළ නංවා ඇත්තේ රුපියල් 162,500 දක්වා පමණි. වෛද්‍යවරයෙකුට, ඉංජිනේරුවෙකුට හෝ ජ්‍යෙෂ්ඨ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකුට මසකට උපරිම වශයෙන් ලැබෙන රුපියල් 15,750ක බදු සහනයක් ලැබීම, විදේශගත වීමට ගන්නා තීරණය වෙනස් කිරීමට ප්‍රමාණවත් නොවේ. නිසි පිළිගැනීම සහ ප්‍රතිලාභ පිළිබඳව සොයා බලමින්, දක්ෂ හා පුහුණු පිරිස් රට තුළ රඳවා ගැනීමටත්, විදේශගතව සිටින අය යළි මෙරටට ගෙන්වා ගැනීමටත් ඉහළ මට්ටමේ කාර්යසාධක බලකායක් මෙම අයවැය මගින් පිහිටුවිය යුතුව තිබිණි.
වමට සංඥා දමා දකුණට හැරවීම
මෙම රජය “වමට සංඥා කර දකුණට හැරී ඇත” බව පවසමින් සිය තර්කය සාරාංශ කළ විපක්ෂ නායකවරයා, ‘අයවැය’ යන වදන ඇසුරින් උපහාසාත්මකව මෙසේ ද පැවසීය: “මේක අයවැයක් නෙමෙයි, මේක පචවැයක්.” විකල්පයක් ලෙස ඔහු “මැද මාවත, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජ වෙළෙඳපොළ ආර්ථිකය” වෙනුවෙන් පෙනී සිටියේය. සමාජ වෙළෙඳපොළ ආර්ථිකයකදී ආර්ථික වර්ධනය සහ ආයෝජන මෙහෙයවීමට වෙළෙඳපොළට ඉඩ ලැබෙන අතර, අවදානමට ලක්වූ ජනකොටස් ආරක්ෂා කිරීමේ වගකීම රජය භාර ගනී. 2027 අයවැයෙහි නොමැත්තේ එම සමතුලිතතාවයි.
මෙම රජය ද පසුගිය රජය ලබාගත් නාමික ස්ථාවරත්වය දිගටම පවත්වා ගැනීම පැසසිය යුතු කරුණකි. කෙසේ වෙතත්, IMF හි රාජ්‍ය මූල්‍ය ඉලක්ක ඉක්මවා ගොස් ඇති බැවින්, රජය දැන් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවයේ (fiscal consolidation) වේගය මන්දගාමී කර, පෞද්ගලික ආයෝජන, අපනයන සහ ඵලදායිතාව මත පදනම් කරගනිමින්, එක් පරම්පරාවකටවත් අඛණ්ඩව 8% ක ආර්ථික වර්ධන වේගයක් පවත්වාගෙන යාම ඉලක්ක කර ගත යුතුය. ඒ අතරතුර, දිළිඳුම පහෙන් එකට අයත් ජනතාවගේ මූර්ත ආදායමෙන් පහෙන් එකකට ආසන්න ප්‍රමාණයක් අහිමි වී ඇති අතර, ඔවුන්ට ලබාදෙන සහන ද රුපියල් බිලියන 100කින් කප්පාදු කෙරේ. පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායකතුමා ඇසූ මෙම ප්‍රශ්නය නිවැරදි එකක් බව අප නැවතත් ප්‍රකාශ කරනුයේ එබැවිණි.
අවසාන වශයෙන්, රජය රටට වගකිව යුත්තේ හුදු පොරොන්දුවලට වඩා සාක්ෂි මත පදනම් වූ අයවැයකරණයක් (evidence-based budgeting) තුළිනි. ඒ අනුව, 2027 අයවැය තුළ පවතින ප්‍රධාන දුර්වලතා කිහිපයක් සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා විසින් මෙලෙස සමාජ සාධාරණත්වය යන මූලධර්මය මත පිහිටා ආණ්ඩුව ප්‍රශ්න කිරීම මා අගයන්නේ එබැවිණි.
(සටහන | ජ්‍යේෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා)
අංශාධිපති ආර්ථික සහ සංඛ්‍යාන විද්‍යා අධ්‍යයනාංශය,
පේරාදෙණිය විශ්වවිද්‍යාලය.




