The Leader News
BREAKING
Top Ad
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

බෙහෙත් නඩුවේදී ජනමාධ්‍ය අපිව Abuse කළා - වෛද්‍ය තුසිත සුදර්ශන

Nethmini

Nethmini

November 5, 2026 • 4:48 PM

බෙහෙත් නඩුවේදී ජනමාධ්‍ය අපිව Abuse කළා - වෛද්‍ය තුසිත සුදර්ශන

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "විෂය නොදන්න මනුස්සයෙක්, Content එක කියවන්න බැරි මනුස්සයෙක් විමර්ශනය කරනවා.
  • මේ සිද්ධියට මම සම්බන්ධ නැති බව සී.අයි.ඩී.
  • CID නිලධාරියාට කියන්න තියෙන්නේ මෙහෙම කළහම මිනිස්සු හිතන්නෙවත් නැතිවෙයි තීරණයක් ගන්න" යනුවෙන් වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු වන අරඹේගෙදර තුසිත සුදර්ශන මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
  • ප්‍රමිතියෙන් තොර ඖෂධ සෞඛ්‍ය අමාත්‍යාංශයට මිලදී ගැනීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ එකොළොස්වන විත්තිකරු වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන මේ බව ප්‍රකාශ කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

"විෂය නොදන්න මනුස්සයෙක්, Content එක කියවන්න බැරි මනුස්සයෙක් විමර්ශනය කරනවා. මා තනි පුද්ගලයෙක්. මේකේ අගතිය කෝටි දෙකක නිදහස් සෞඛ්‍යයට බලපානවා. මේ සිද්ධියට මම සම්බන්ධ නැති බව සී.අයි.ඩී. එකේදී පුන පුනා කිව්වා. ඒත් නොකළ වරදකට අත්අඩංගුවට ගත්තා. ජනමාධ්‍ය විශාල ප්‍රචාරයක් ලබා දෙමින් අපිව Abuse කළා. CID නිලධාරියාට කියන්න තියෙන්නේ මෙහෙම කළහම මිනිස්සු හිතන්නෙවත් නැතිවෙයි තීරණයක් ගන්න" යනුවෙන් වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු වන අරඹේගෙදර තුසිත සුදර්ශන මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

ප්‍රමිතියෙන් තොර ඖෂධ සෞඛ්‍ය අමාත්‍යාංශයට මිලදී ගැනීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ එකොළොස්වන විත්තිකරු වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන මේ බව ප්‍රකාශ කළේය.

මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි මෙහෙයවීම පසුගියදා අවසන් කරන ලදී.

විත්තියෙන් සාක්කි කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙස කරන ලද ඉල්ලීම අධිකරණය විසින් මීට පෙර ප්‍රතික්ෂේප කරන ලදී. ඒ අනුව විත්තිකරුවන්ගේ විත්තිවාචක කැඳවීමට තීරණය කළ අතර විත්තිකරුවන් අට දෙනකු විසින් සිය විත්තිවාචක ඉදිරිපත් කිරීම අවසන් කර තිබේ.

මෙම නඩුවේ දහවන විත්තිකරු වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය කුසුම්සිරි සමන් රත්නායක සිය විත්තිවාචකය ඉදිරිපත් කරමින් සිටියදී පෙර දින නඩු විභාගය අවසන් කරන ලදී. ඒ අනුව මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය, තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව 03 වැනිදා කැඳවූ අවස්ථාවේදී සිය විත්තිවාචකය වැඩිදුරටත් ඉදිරිපත් කරමින් ඔහු මෙසේද ප්‍රකාශ කළේය.

ඖෂධ 45න් 43ක්ම කිසිදු ගැටලුවක් නැතිව ආවා

"ස්වාමීනි, ඇනවුම් නිකුත් කර තිබූ ඖෂධ 45න් 43ක්ම කිසිදු ගැටලුවක් නැතුව ආවා. එකම සැපයුම්කරුවෙකු විසින් ලබාදුන් බෙහෙත් දෙකක් නිසා තමයි මෙම ගැටලුව ඇති වුණේ. Pending orders වසර ගණනාවක් තිස්සේ තියෙනවා. විශ්වාසදායක සැපයුම්කරුවන් නෑ. අපේ රටේ ඖෂධ වට්ටෝරුව සීමාසහිතයි. විශ්වාසදායක සැපයුම්කරුවන් නොමැතිවීම එදා සිටම තදින්ම පවතින ප්‍රශ්නයක්. සැපයුම්කරුවන් වැඩි ලාභ ගන්න බලන්නේ. ඖෂධ වලට ලියාපදිංචි වන්නේ නෑ. ඒ සඳහා හැකියාව තියෙන අය සීමිතයි. සමහර ඖෂධ වල ලියාපදිංචිය වසර දෙකෙන් දෙකට මුදල් ගෙවා කරන්න ඕනේ. සමහර ඒවා වසර පහකට වරක් ගෙවන්න ඕනේ. ඒක නිසා හැමදාම දිගටම Pending orders පවතිනවා."

"නොසැපයූ ඖෂධ සම්බන්ධයෙන් වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා ලිපියක් ලිව්වා ඖෂධ නමයක් සම්බන්ධයෙන්. ඉතිරි ඒවා සම්බන්ධයෙන් උපදෙස් ඉල්ලලා. ඒ ලිපිය මට ලැබුණේ හයවන මාසයේ 02 වැනිදා. මගේ කාර්යාලයේ තැපැල් අංශයට ආවේ හයවන මාසේ පළවෙනිදා. එන හැම ලිපියක්ම ලියාපදිංචි කරනවා. ඒක ලියාපදිංචි අංශයට ආව දවසේ, දිනය දාලා, සීල් එක ගහලා, අත්සන් කළ බවට තරින්දි සාක්ෂි දුන්නා. ඩොක්ටර් ජයනාත් මිනිට් එකක් ගැහුවා HSEPC උපදෙස් අරගෙන Proceed කරන්න කියලා. එතනින් මගේ රාජකාරිය අවසන්. ඉතිරි රාජකාරිය කරන්න තිබුණේ HSEPC කමිටුවට."

සීල් එක තිබූ පලියට ලිපි ආවා කියන්න බෑ

"ස්වාමීනි, විමර්ශන නිලධාරියා සාක්ෂියේදී කිව්වා අප්‍රේල් 28 අපේ ඒකකයට ආ බව. අපේ කාර්යාලයේ ලිපි සම්බන්ධයෙන් පොත් දෙකක් නඩත්තු කරනවා. ලිපි වලට එකක් සහ ගොනු වලට එකක් ලෙස. කාර්යාල ක්‍රමවේදය අනුව ලැබෙන ලිපි හා ගොනු ෆයිල් කරලා තියෙනවා. ගොනුවක තිබෙන සටහන්, පැති සටහන් ඉතා වැදගත්. ඒ ගොනුව යොමු කරන්න බෑ. සම්පූර්ණයෙන්ම ගොනුවම රැගෙන එන්න ඕනේ. ඒක අපේ කාර්යාලයට ඇවිත් කාට හෝ බාර දෙන්න ඕන. ඒක භාරගත් කෙනාගේ අත්සනක් තියෙන්න ඕන. මට ලැබුණා නම් කරන්නේ මොකක්ද කියලා කියනවා. සීල් එක තිබුන පලියට අපේ අංශයට ආවා කියලා කියන්න බෑ. බාරගත්තේ කවුද කියලා තියෙන්න ඕන. ඔහු කිව්වේ මෙම විමර්ශනවලින් අනාවරණය වූ බව නම් ඒ බව පොතේ සඳහන්ව තියෙන්න ඕන. පොතෙන් පෙන්වන්න තිබුණා. රංජිත් මහතා කිව්වේ ගොනුව යොමු කළා කියලා. ගොනුවක් යොමු කරන්න බෑ. කවුරුන් හෝ ගෙනවිත් බාර දෙන්න ඕන. පැ.සා. 151 කිව්වෙත් බොරු. සම්පූර්ණයෙන්ම එම සාක්ෂිය ප්‍රතික්ෂේප කරනවා. විමර්ශනය හරියට කළා නම් ඒක ඉදිරිපත් කරන්න අවශ්‍යව තිබුණා. ඒ මුද්‍රාවේ මම කිසිම සටහනක් යොදා නෑ. මගේ ළඟට ආවේ නැති බව පැහැදිලිවම මම දන්වා සිටිනවා."

දුරකථන ඇමතුම් සංඛ්‍යාව වැඩිකර පෙන්වූ හැටි

"ස්වාමීනි, දුරකථන සාකච්ඡා සම්බන්ධයෙන් කතා කළා. ගරු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදී දුරකථන සංවාද සම්බන්ධයෙන් කතා කළා. පළවෙනි චූදිත සමඟ දහවෙනි චූදිතගේ සංවාද 10ක්, අටවන චූදිතගේ සංවාද 6ක් හා විජිත් ගුණසේකරගේ එක සංවාදයක් ඇති බව කිව්වා. විමර්ශන නිලධාරියා Focus කරලා කිහිප දෙනෙකු එල්ල කරලා තමයි ඒ ප්‍රකාශය කරන්නේ. එය පුවත්පත්වල ගියා. අපේ වාසනාවට අපිට සීඩී දෙකක් දුන්නා. අපි ඒවා බැලුවා. මං සම්බන්ධ දුරකථන සංවාද වලින් තිස් එකක් 2022 ජනවාරි මාසයේ සිට 2023 දහවෙනි මස තෙක් තමයි අරන් තිබුණේ. රාජ්‍ය අමාත්‍යාංශයේ සේවය කරන කාලයට අදාළව ඒවායින් දුරකථන සංවාද විසි දෙකක් තිබුණා. එයින් දාසයක් ඔහු විසින් මට අරගෙන තියෙනවා. හයක් මම අරගෙන තිබුණා. ඒ කාලේ කොවිඩ් වලට අවශ්‍ය මාස්ක් ඇතුළු ද්‍රව්‍ය ලබා දුන්නේ ඔහු. ඒ කාලේ මම ඒ ටෙන්ඩර් මණ්ඩල සභාපති. ඔහුට පමණක් නෙවේ හැම සැපයුම්කරුවකුටම කතා කරලා තිබෙනවා. එන්න කියලා තමයි කතා කරන්නේ. ආවම ප්‍රසිද්ධියේ තමයි කතා කරන්නේ."

"ඉතිරි දුරකථන සංවාද නමයයි. සිද්ධියෙන් පස්සේ ඔහු මට දුරකථන ඇමතුම් හතක් අරගෙන තිබෙනවා. දෙකක් මම ගත්තා. එකක් මට මතකයි ඒක ස්පීකර් දාලා වෛද්‍ය කපිල සහ වෛද්‍ය හේරත් ඉදිරියේ ගත්තේ. 'WOR එකක් ගත්තද?' කියලා ඇහුවා. ඔහු කිව්වා 'ගත්තා' කියලා. විජිත් ගුණසේකරගේ අත්සන කියලා ඔහු ගත්තා කිව්වා. මම 'විජිත් ගුණසේකරගේ අත්සන තියෙනවද?' කියලා ඇහුවම 'දම් පාට සීල් එක තියෙනවා' කියලා කිව්වා."

"වෛද්‍ය සැපයුම් ඒකකයේ රංජිත් මහතා දුරකථන සංවාද 350ක් අරගෙන තියෙනවා. සැප්තැම්බර් මාසේ පළවෙනි දවසට එකසිය අනූ නමයක් පළවෙනි චූදිත අරගෙන තිබෙනවා. සවින්ද කුරේ එකසිය පනස් හතක් අරගෙන තියෙනවා. ඇමතිවරයා හතරයි. පුෂ්ප කුමාර ප්‍රධාන සැපයුම් අධ්‍යක්ෂ 19ක් අරගෙන තියෙනවා. ප්‍රියන්ත කස්තුරි සිංහ එකසිය අසූ දෙකක් 2022 සැප්තැම්බර් 1 සිට 25 දක්වා අරගෙන තියෙනවා. දුරකථන ඇමතුම් විසි පහකින් 19ක්ම පළවෙනි චූදිත නාවිට අරගෙන තියෙනවා. දර්ශන බණ්ඩාර හා දුරකථන සංවාද එකසිය අසූ නවයක් තියෙනවා."

"ස්වාමීනි, මේ කාලය තුළ මගේ දුරකථන ඇමතුම් නවයයි තියෙන්නේ. එහෙත් එය වැඩිකර පෙන්නන්න ඕන හින්දා තිස් එකක් දාලා විමර්ශන නිලධාරියා පැමිණිල්ලට පෙන්නුවා. ඒක හරිම අසාධාරණයි."

ජනවාරි මාසේ කාර්යාලය සීල් තැබීම සහ මාධ්‍ය සංදර්ශනය


"මේ ප්‍රශ්න පටන් ගත්තම විමර්ශන නිලධාරීන් අපේ ආයතනයට ආවා. මම උපරිම සහයෝගය දුන්නා. කටඋත්තර හය හතකට වැඩි ප්‍රමාණයක් දීලා ඇති. ජනවාරි මාසයේ මගේ කාර්යාලය සීල් තිබ්බා. ඒක මේ රටට විශාල පුවතක් වුණා. මගේ කාර්යාලය වහද්දී මාධ්‍ය ඇවිත් හැම තැනම හිටියා. අපේ ප්‍රතිරූපය විනාශ කළේ. වසර තිස් එකක් රාජ්‍ය සේවයේ අවශ්‍යතාවය වෙනුවෙන් කටයුතු කළ අපේ ප්‍රතිරූපය විනාශ කළා. මම මේ ලිපි ගොනු දුන්නා, දෙන්න බෑ කිව්වා නම් කමක් නෑ. රැස්වීම් වාර්තා ගොඩයි. තෝරාගත් කොටස් පමණයි විමර්ශන නිලධාරියා ඉදිරිපත් කරලා තියෙන්නේ. හරියට විමර්ශනයක් කරානම් සියල්ල බලන්න ඕනේ. එතුමා හා මා අතර දුරකථන සංවාද පනහකට වඩා සිදුවුණා. SR නම්බර් එක මොකක්ද කියන එකත් ඔහුට පැහැදිලි කළේ මම. මාධ්‍ය හා පොලිසිය මේක මැවුවා. අපිව විනාශ කළා. මම කිව්වා 'මැඩම් ළඟට එක්ක යන්න මම ඇත්ත විස්තරය කියන්නම්' කියලා. නමුත් ඒ ගැන සැලකිල්ලක් දැක්වූයේ නෑ."


"2024/03 පළවෙනිදා කටඋත්තරයක් ගන්න මාව කැඳෙව්වා. උදේ 9යේ ඉඳලා රාත්‍රී 10.30 වෙනකන් කටඋත්තර ගත්තා. දීර්ඝ කටඋත්තරයක්. මේ ගැන පැහැදිලි කළා. රෑ දහයට විතර අත්අඩංගුවට ගන්න කියලා ඉහළින් නියෝගයක් ආවා කියලා කිව්වා. හතරවෙනි තට්ටුවද දන්නේ නෑ උඩ තට්ටුවකට අරන් ගිහින් කූඩුවකට දැම්මා. ඒක හරියටම බලු කූඩුවක් වගේ. පහුවදා අධිකරණයට ඉදිරිපත් කළා. ඉන් පස්සේ මහර බන්ධනාගාරයට යොමු කළා."

බන්ධනාගාරයේදී සිදුවූ අත්දැකීම් පෙළ

"ස්වාමීනි, Entrance එකේදිම සියලු ඇඳුම් ඉවත් කළා. විශ්වවිද්‍යාලයේ සිටිය නිසා මට නම් ඒක ප්‍රශ්නයක් වුණේ නෑ. එළියට ආවට පස්සේ කෙලින් කටින් ඉඳගෙන ඉන්න ඕනා. ඒක හරිම අමාරුයි. ස්කොට් කරලා ඉන්න ඕන. ඊට පස්සේ වෛද්‍යවරයෙකුට කියලා පරීක්ෂා කරලා තමයි වාට්ටුවක් දෙන්නේ. එහෙම කරලා මාව වාට්ටුවකට දැම්මා. උදේ ඉඳලා හිටි නිසා නාන්න ඕන කියලා කිව්වා. වැසිකිළිය යන තැන තියෙන වතුර දෙක තුනක් ඇඟට දාගන්න කිව්වා. මම එහෙම කළා. පසුව පැය භාගයකින් විතර පස්සේ සිවිල් ඇඳුමින් දෙන්නෙක් ආවා. බන්ධනාගාර නිලධාරීන් වෙන්න ඇති. ඔවුන් කිව්වා 'අපි එක්ක එන්න' කියලා. ඒ වෙනකොට මධ්‍යම රාත්‍රී එකට විතර ඇති. බන්ධනාගාරය තුළ තවත් බන්ධනාගාරයකට ඔවුන් මාව රැගෙන ගියා. වටේටම තාප්ප ගහලා තිබ්බා, ඒකේ කාමර දොළහක් විතර තිබ්බා. එක කාමරයකට මාව දැම්මා. සිමෙන්ති කොට්ටයක් තිබුණා. මට නින්ද ගියේ නෑ. ලොක් කරලා ගියා. පස්සේ මම ඇහුවා 'මම කරලා තියෙන වරද මොකක්ද?' කියලා."


"ස්වාමීනී, මගේ අවුරුදු 32ක සර්විස් එකක් තියෙනවා. මේ වගේ කූඩුවක ඉන්න මම කරපු වරද මොකක්ද? පහුවදා හයට විතර මාව ඇරියා. එතන හිටියේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්. ඒ අය මට හරියට උදව් කළා. සතියක් විතර ගියාට පස්සේ දෙන්නෙක් මගේ දෙපැත්තක යනවා හැම වෙලාවෙම. එක අවස්ථාවක රැඳවියන් ගොඩක් හිටියා. එක් වයස්ගත රැඳවියෙක් කිව්වා 'අර යන්නේ බාල බෙහෙත් ගෙනත් ළමයි 350ක් මරා දාපු ලේකම් කෙනෙක්, ගල් ගහලා මරන්න ඕනේ' කියලා. එදා ඉඳලා දවස් හතක් විතර යනකම් මට නින්ද ගියේ නෑ. ඔළුව රිදෙනවා කියලා මම කිව්වා. රැඳවියෙක් මෙහෙම කිව්වා කියලා බන්ධනාගාර නිලධාරීන් කිව්වා 'ඔබතුමාට ආරක්ෂාව දෙන්න කියලා තියෙන්නේ' කියලා. මම වැඳලා නමස්කාර කරනවා මාලිගාකන්ද මහේස්ත්‍රාත්තුමියට. පසුව මාව PH එකට මාරු කළා."

කොවිඩ් සමයේ එන්නත් බිලියන ගණනක් දුන්නා

"ස්වාමීනී, මම ටෙන්ඩර් මණ්ඩල සභාපතිවරයෙක් ලෙස කටයුතු කළා. ගොඩනැගිලි ගණනාවක් හදලා තියෙනවා. කිසිම දේශපාලනඥයෙකුගෙන් දේවල් මම ඇහුවේ නෑ. මම කොවිඩ් සමයේදී වැක්සින් බිලියන හැට අටක් අරන් දුන්නා. කොවිඩ් වසංගත සමයේ දිවා රෑ නොමැතිව වැඩ කළා. ඒ කිසිම දෙයක් ගැන අද වෙනකම් මට කිසිම චෝදනාවක් නෑ. මේ අවස්ථාව වන විට මම රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්. මට ලබාදෙන උපදෙස් අනුව කටයුතු කළා. එකක්වත් නීතිවිරෝධී උපදෙස් නෙමෙයි. සියලු දේ කළේ නීතියට අනුකූලව, නිලධාරීන්ගේ විශ්වාසය පදනම් කරගෙන, ඉහළින් ලැබුණු උපදෙස් ලබාගෙන."

"මට චෝදනා දෙකක් ඉදිරිපත් කර තිබෙනවා. කුමන්ත්‍රණය කළා කියලා තියෙනවා. මගේ නිලධාරීන් සමග මා කිසිම කුමන්ත්‍රණයක් කර නෑ. එක විත්තිකරුවෙකුට ආධාර අනුබල දුන් බවටත් චෝදනාවක් තියෙනවා. මගේ වපසරිය තුළ එවැනි අනුබල දීමක් කරන්න බෑ. ඖෂධ ගැන මම දන්නවා. ඖෂධ වල වටිනාකම දන්නවා. ඒ වගේ පහත් තත්ත්වයට වැටිලා නෑ. මේ ඉදිරිපත් කරලා තියෙන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරනවා. මේ සියලු චෝදනා වලින් නිදහස් කරන ලෙස ඉල්ලනවා."

මෙම විත්තිවාචකය ප්‍රකාශ කර අවසන් කිරීමෙන් අනතුරුව දහවන විත්තිකරු වෙනුවෙන් ලේඛන කිහිපයක් පිළිබඳව සාක්ෂි ලබා ගැනීම සඳහා සාක්ෂිකරුවන් හතර දෙනකු කැඳවීමට අපේක්ෂා කරන බව ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා අධිකරණයට දන්වා සිටියේය. ඒ අනුව එම සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කිරීමට අධිකරණය තීරණය කළේය.

වෛද්‍ය තුසිත සුදර්ශනගේ විත්තිවාචකය ඇරඹේ

අනතුරුව නඩුවේ 11 වන විත්තිකරු වන වෛද්‍ය සැපයුම් ඒකකයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන සිය විත්තිවාචකය ඉදිරිපත් කිරීම ආරම්භ කරමින් සඳහන් කළේ තමන්ගේ දකුණු ඇසෙහි වේදනා සහිත තත්ත්වයක් ඇතිවී ඇති නමුත් තමන් මෙම විත්තිවාචකය ඉදිරිපත් කරන බවය.

එම විත්තිවාචකය ඉදිරිපත් කිරීමට යාමේදී යම් අපහසුතාවයකින් පෙළෙන බව නිරීක්ෂණය වන බව සඳහන් කළ සභාපති විනිසුරුවරයා, ඔහුට එම ප්‍රකාශය කරගෙන යාමට සුදුසු තත්ත්වයක සිටිනවාදැයි සොයා බැලීමට තීරණය කළ අතර ඒ පිළිබඳව නීතිඥවරයා මගින් සොයා බැලීමක් කළේය. නීතිඥවරයා චූදිත සමඟ සාකච්ඡා කර උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව අධිකරණයට දන්වා සිටියේ ඒ සම්බන්ධයෙන් හැකියාවක් ඇති බවය. ඒ අනුව අදාළ විත්තිවාචකය කරගෙන යාම සඳහා විනිසුරු මඩුල්ල විත්තිකරුට අවසර ලබා දුන්නේය.

ඉන් අනතුරුව එකොළොස්වන චූදිත සිය විත්තිවාචකය ඉදිරිපත් කරමින් මෙසේද සඳහන් කළේය:

"ස්වාමීනී, මේ අවස්ථාව සලසා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. මගේ වයස අවුරුදු හැටක්. රජයේ සේවයේ වසර විසි හයක සේවයෙන් පසු වෛද්‍ය පරිපාලනයට සම්බන්ධ වුණා. මේ නඩුකරයට සම්බන්ධ සිද්ධිය වන විට මා සේවය කළේ වෛද්‍ය සැපයුම් ඒකකයේ. ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය වල විශාල අවධානයට ලක් වූ නඩුකරයක්. ජනමාධ්‍ය විසින් ඉතාම අමානුෂික ලෙස පෙන්වූ සංසිද්ධියක්. ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කඩාවැටීමට කළ බලපෑම විශාලයි. මෙහිදී නඩුවේ බලපෑම තියෙන්නේ විත්තිකරුවන් කීප දෙනෙකුට පමණයි. නමුත් එහි අගතිය කෝටි දෙකක නිදහස් සෞඛ්‍ය සේවයට බලපානවා. මගේ ආයු කාලය තව වසර පහකින් ඉවර වෙන්න පුළුවන්. මං ඇයි එවැනි දේ කරන්නේ? මා සිදු කළේ රාජකාරියක්. එය නිවැරදිව කළ බවට සීයට දෙසීයක් කියන්න පුළුවන්."

"සියලු පහසුකම් සහිත අධ්‍යාපන ශිෂ්‍යත්වයක් ලැබී අධ්‍යාපනය ලැබීමට තිබියදී, රුපියල් කෝටියක් පමණ උපයා ගැනීමට හැකියාව තිබියදී, ලංකාවේ රැඳී සිටිය යුතු බව සිතාගෙන ලංකාවට මම ආවේ. ජනමාධ්‍ය ඒ ගැන කිව්වේ වෙනත් කතාවක්. මගේ පියා අන්ධ සිසුන්ට ඉගැන්වූ ගුරුවරයෙක්. මවට අසූ පහයි. විශ්වවිද්‍යාලයට යන තෙක් අපි හිටියේ කුලී පේළි ගෙවල්වල. වයස පහේදී පමණ මම රබර් පටියක් වෙන ගෙදරකින් අරගෙන ආවම අම්මා පොල් ගගා හිටිය පොල් බෑයෙන් මට ගැහුවා. අදටත් මට ඒක මතක් වෙනවා."

"ජනමාධ්‍ය මාව Abuse කළා; එය නරක අත්දැකීමක්"

"ස්වාමීනී, විශ්වවිද්‍යාලයෙන් අවසර අරගෙන නිදහසේ ලංකාවට පැමිණෙද්දී මාධ්‍ය ප්‍රකාශ කළා ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් බව. ජනමාධ්‍ය මාව Abuse කළා. එය ඉතාම නරක අත්දැකීමක්."

"මම රජයේ සේවය ඉතා දුෂ්කර ලෙස කටයුතු කළ කෙනෙක්. මේ සිද්ධිය වන විට මා වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළා. විදෙස් අධ්‍යාපනයට යාමට සූදානමින් හිටියේ. ස්වාමීනී මම ධුරාවලියේ තුන්වෙනියා. ඉහළ නිලධාරීන්ගේ ක්‍රමයට වෙනස් පරිපාලන ක්‍රමයක් තමයි මගේ තිබුණේ. ඒක මේ රටට නොගැළපෙන එකක්. වෙන රටවලට ගියාම ඒ රටට ඒක හරියන බව මට හිතෙනවා. මම හැම වෙලේම පසුබැසීම තෝරාගන්නවා."

"ස්වාමීනී, මේ කාලය වන විට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ මා අතර මතභේදාත්මක තත්ත්වයක් තිබුණා. ඔහු ඉතා හොඳ අයෙක්. රාජකාරීමය මතභේදයක් තිබුණා. එය ඇම්බියුලන්ස් අපේ පර්යන්තයට ඇතුල් කරන්න දෙනවද කියන එක ගැනයි. මගේ අදහස තිබුණේ ඇම්බියුලන්ස් එකට පර්යන්තය ඇතුළට එන්න අවසර දිය යුතු බවයි."

"ස්වාමීනී, මට රාජකාරී සොයා ගැනීමට සිදුවුණා. රජයෙන් මට පඩි ගෙවනවානේ, ඒ නිසා මම තීරණය කළා රෝහල්වල කාර්ය මණ්ඩලය සමග කතා කරලා ඒ කාර්ය මණ්ඩලයට පහසුකම් සපයන Hub එක මම වෙනවා කියලා. මට තිබුණේ අඩි හයක හතරක පොඩි කාර්යාලයක්. පසුව අත්හැර දැමූ කාර්යාලයක් මම හදා ගත්තා. ඒකේ කළු වීදුරු නෑ. හැමදේම විනිවිදව තියෙන්න ඕන කියලයි මම හැමවෙලේම වැඩ කළේ. මගේ කාර්යාලය ලොක් කර තිබුණේ නෑ."

හුදෙකලා වීම සහ තීරණ ගැනීමේ පදනම

"ස්වාමීනී, මම ඇනයක් වෙනවා වගේ තත්ත්වයක් තමයි තිබුණේ. මේ තිබුණු මතභේද නිසා ඔවුන් මට රැස්වීම් වලට ආරාධනා කරන්නේ නෑ. ගොඩක් අය රැස්වීම් වලට යනවා මම දැක තිබෙනවා. කිසිම ලිපියක්වත් මට ලැබිලා නෑ. චන්දන විජේසිංහ මහතා වැඩ ආවරණයට ආවා නුවර ඉඳලා. නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස වසර හතක් මම සේවය කළා. පෘථග්ජන පුද්ගලයෙක් ලෙස මම බලාපොරොත්තුවක් තිබුණා කපිල වික්‍රමනායක මහතා විදේශගත වන විට වැඩ බලන්න කියලා ලිපියක් මට ලැබෙයි කියලා. එවැන්නක් ලැබුණේ නෑ. කිසිම රැස්වීමකට ඇරයුමක් ලැබුණෙත් නෑ."

"අපේ රටේ තියෙනවා Drug therapy meeting එක. ඒක මාස තුනකට වරක් තියෙනවා. මම බොහෝ විට ඒ විකල්පය තෝරා ගන්නවා. කෙහෙළිය ඇමතිතුමා මම දැකලා නෑ. එක් අවස්ථාවක වැඩකට ගිය වෙලාවක ඔහු මට කතා කරලා 'ඇයි අපිට උදව් කරන්නේ නැත්තේ?' කියලා ඇහුවා. මට මතකයි මම විදේශගත වීමට දින කිහිපයකට පෙර අහම්බෙන් අවස්ථාවක ඔහු හමු වුණා. 'ඔයා යනවා නේද?' කියලා මට සුබ පැතුවා. කිසිදු රැස්වීමකට මට ආරාධනා නැති නිසා ඒ රැස්වීම් ගැන මම දන්නේ නෑ. මම මානසිකව හුදෙකලා වෙලා හිටියේ."

"අත්අඩංගුවට ගත්තාට පස්සෙත් මම හොයනවා මොකක්ද කියලා. මම වරද පිළිගත්තාම නිදහස් වෙනවානේ. හැමදාම මම B Report එක බලනවා වරද මොකක්ද කියලා හොයාගන්න."

"ස්වාමීනී මම හෘද සැත්කමක් කරලා තියෙන රෝගියෙක්. අත්අඩංගුවට ගැනීම සමගින් ඇතිවන භීතිය, භයංකර භාවය මුළු පද්ධතියටමයි. මට හුස්ම ගන්න තව අවුරුදු පහක් විතර ජීවත් වෙයි කියලා මම හිතනවා. ඒ වගේ පුද්ගලයෙකුව තලා පෙළා දාන්න ගත් පියවර කෝටි දෙකකට බලපෑමක් වෙනවා."

ICL ප්‍රසම්පාදනය සහ Watch Gates 18

"EOI ගැන මම අහල තිබුණෙත් නෑ. ICL කියන්නේ බිත්තියකට තියලා ඇණ ගහනවා වගේ එකක්. ඒ තරම් තදබල Procurement එකක්. මම ටෙක් කමිටුවල ඉඳලා තියෙනවා. ඒ හැම අවස්ථාවලම ඖෂධ එකයි දෙකයි කරන්නේ. ඖෂධ එකසිය අසූ දෙකක් එකවර Evaluate කරන්නේ කොහොමද?"

"මෙහිදී සිද්ධ වෙලා තිබුණේ සරල අංක ගණිතමය Short listing කිරීමක්. ඒ පදනමෙන් තමයි සහභාගි වුණේ. Schedule එකක් තිබුණා. මේකේ Watch gates දහ අටක් තිබුණා. අංකයක් වැරදුණත් ආපහු රිවර්ස් වෙනවා. මට තදබල විශ්වාසයක් තිබුණා ෂෝට් ලිස්ට් කරන එකේ කිසිම ගැටලුවක් ඇතිවෙන්නේ නැතිවෙයි කියලා. මුලින්ම Evaluate කරන එක දවස් තුනකට සැලසුම් කරලා තිබුණා. ඒත් කල් ගන්න වුණා."

"ස්වාමීනී, ඖෂධ පිළිබඳ මාෆියාව කියන එක හරිම ප්‍රබලයි. ඒ වගේ තියෙද්දිත් මම සේලයින් බෝතල් වල මිල තීරණය කළා. අද විශාල සේලයින් හැදීම සිදුකරනවා කුණ්ඩසාලේ."

"ස්වාමීනී, ඖෂධ ලැයිස්තුව කවුද හැදුවේ කියලා මම දන්නේ නෑ. මම විදේශගතවී සිටියේ. මට ඒවා ගැන දැනීමක් නෑ. සාම්ප්‍රදායික ලෙස ආයතන ප්‍රධානියාට තමයි ඊමේල් එවන්නේ. ඔහු කැමති නම් ඒක මට එවනවා, නැත්නම් ඒ ගැන නොදැන තමයි ඉන්න වෙන්නේ."

"Evaluation එකක පදනම තමයි Time schedule එක, මිල හා Indian origin කියන එකට අප අනුගත වුණා."

"වරදක් කරලා තියෙනවා නම් මේ රටට එනවද?"

"මේ රහස් පරීක්ෂකවරයා මගේ නිවසට ආවා. ඒ ගෙදර මං විකුණුවා නඩුව නිසා. අපි හිපොක්‍රටීස්ගේ දිවුරුම කියවලා ඉන්න අය. මම මේ රටට එන්නේ අධිකරණය ගැන දැඩි විශ්වාසයකින්. මට පැනලා යන්න ඕන නෑ. Airport එකේදී බෙල්ලෙන් අල්ලන් යන්න ඕන නෑ. වරදක් කරලා තියෙනවා නම් මේ රටට එනවද? කාලය හා මිල බලලා Evaluation කළා කියලා හිරේ දානවා."

"ස්වාමීනී, ඒ Purchasing order එකට මම අත්සන් කළා. Watch gates දහඅටක් තියෙන මහ කොමසාරිස් කාර්යාලයට තමයි ඒක යන්නේ. නිලධාරීන් කිහිපදෙනෙකුම හරහා යනවා."

"ICL එක බිත්තියට තියලා ඇණ ගහනවා වගේ වැඩක්. තමන්ගේ මුදල් රුපියල් වලින් තැන්පත් කරන්න ඕනේ. ICL එකට මේ වගේ වැඩක් කළේ කොහොමද කියලා මම එංගලන්තයේදී කල්පනා කළා. අධිකරණයට සහාය දෙන්න ඕනේ කියලා හිතලා ලංකාවට ආවේ."

"ස්වාමීනී, අපි අඬනවා නෙමෙයි ඇඬෙනවා. ඒකත් ජනමාධ්‍ය තේරුම් ගන්න ඕනේ අපි අඬනවා කියලා. මගේ බිරිඳ හා දියණිය හැර හැමෝම කිව්වේ මම මෝඩයෙක් කියලා, මේ රටට ඇවිල්ලා කරගත් විනාශයක් කියලා. ඒත් ඒ ගැන කණගාටු වෙන්න අවශ්‍ය නෑ."

"දැරණියගලදී උගුරේ මලක් හිරවුණ දරුවෙක් අරගෙන මම වංගු සහිත මාවතකින් අවිස්සාවේල්ල රෝහලට ආවා. ඒක ගැන මගේ Facebook පිටුවේ ලියලා තියෙනවා. ඒ දරුවා එදා අරගෙන ආවේ නැත්නම් මිය යන්න තිබුණා. අපි රාජකාරිය කළේ එහෙමයි."

"සර් මේකට සම්බන්ධ නෑ, මට සමාවෙන්න"


"ස්වාමීනී, මේ සැපයුම්කරු මා දන්නේ නෑ. ඔහු මගේ කාමරයට එන්නෙත් නෑ. Unwanted මිනිස්සු Unwanted කියන එක මගේ නීතියක්. ඔහු මගේ කාර්යාලයට ඇවිත් නෑ. දෛවෝපගතව මම ඔහුව දැක්කේ බන්ධනාගාරයේ. 'සර් මේකට සම්බන්ධ නෑ, මට සමාවෙන්න' කියලා ඔහු කිව්වා."

"ස්වාමීනී, කුමන්ත්‍රණය කියන වචනය ඉතාම බරපතළයි. ICL Watch gates 18ක් තියෙනවා නම් සිහි බුද්ධිය ඇති මිනිහෙක් කා එක්කවත් කුමන්ත්‍රණය කරනවාද ස්වාමීනී? මා අත්සනක් කරනකොට ලොකු සටහනක් දානවා. ඒ වගකීම බාරගන්න නිසයි. Soft කොපිය වෙනස් කළ නොහැකියි යන දැඩි විශ්වාසය නිසයි Hard කොපිය අත්සන් කරන්නේ."

"PO එකට අදාළ තොග බැලීම මට අදාළ කාර්යයක් නෙමෙයි. ඒක Already done. ඕක බලලා ගත්තේ නෑ කියලා ඇයි මාව අත්අඩංගුවට ගත්තේ? මේක මට අදාළ නෑ කියන එක CID එකේදී පුන පුනා කිව්වා. බුත්පිටිය මහතා රට පැනලා. මම නීත්‍යානුකූලව රටින් ගියේ. ජනමාධ්‍ය මාව Abuse කළා. සභාපතිට වඩා සාමාජිකයෙක් කොහොමද ප්‍රබල වෙන්නේ? ඕනෑම කමිටුවක් සභාපතිගේ පාලනයේ තියෙන්නේ. කමිටුව ඇගේ කාමරයේ තමයි තිබුණේ. මම Outsider කෙනෙක්. Document වලට අවසරයකින් තොරව අත තියන්න බෑ."

"විෂය නොදන්න මනුස්සයෙක්, Content එක කියවන්න බැරි මනුස්සයෙක් විමර්ශනය කරනවා. මා තනි පුද්ගලයෙක් වුණාට කමක් නෑ, මේක නිසා සිස්ටම් එකම ඉවරයි. සෞඛ්‍යය කියන්නේ මගේ අම්මා කියලයි මට කියන්න තියෙන්නේ."

"Evaluation කමිටුවේ දෙනාවත්ත මහත්මියට නඩු නෑ. HSEPC තීරණ ගැන මම දන්නේ නෑ. මූලික විමර්ශනයට අදාළව ප්‍රකාශ තුනක් ගත්තා. අද වෙනකන් විනය පරීක්ෂණයක් නෑ. එතකොට මට B report ගැහුවේ කොහොමද ස්වාමීනී? මම දුප්පත් නෑ, ආර්ථිකව නොවේ සිතිවිලි වලින් සහ අදහස් වලින් පෝසත්. මගේ අධ්‍යාපනය උදුරා ගත්තා. පද්ධතියේ බෙදා හැරීම් ක්‍රියාවලිය තුළ තමයි මම තීරණ අරගෙන තියෙන්නේ."

"ස්වාමීනී, මේ සිද්ධියේදී කොතැනකදීවත් මම වරදක් කරලා නෑ. මේකට ගෑවිලාවත් නැති අපිව මේකට දැම්මා. අපිට CID නිලධාරියාට කියන්න තියෙන්නේ මෙහෙම කළහම මිනිස්සු හිතන්නෙවත් නැතිවෙයි තීරණයක් ගන්න. මා ඉතාම කරුණාවෙන් ඔබතුමන්ලාගෙන් ඉල්ලා සිටිනවා මාව නිදොස් කොට නිදහස් කරන්න කියලා. නිදහසේ හුස්ම ගන්න ඉඩ දෙන්න කියලා ඉල්ලනවා."

එකොළොස්වන චූදිතගේ එම විත්තිවාචකය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු වෙනුවෙන් ලේඛන කිහිපයක් තහවුරු කිරීම සඳහා එක් සාක්ෂියක් කැඳවීමට අවශ්‍ය බව ඔහුගේ නීතිඥ අමිත ආරියරත්න මහතා අධිකරණයට දන්වා සිටියේය. ඒ අනුව එම නිලධාරියාට සිතාසි නිකුත් කිරීමට තීරණය කරන ලදී.

වෛද්‍ය විජිත් ගුණසේකර අධිකරණය හමුවේ දැක්වූ අදහස්

අනතුරුව මෙම නඩුවේ දොළොස්වන විත්තිකරු වන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී විජිත් ගුණසේකර සිය විත්තිවාචකය ඉදිරිපත් කරමින් මෙසේද සඳහන් කළේය:

"ස්වාමීනී, මෙම අධිචෝදනා පත්‍රයේ එක සහ දහතුන් වන චෝදනාවලට මා නිවැරදිකරු බවට ප්‍රකාශ කරනවා."

"ස්වාමීනී, මම විශේෂඥ වෛද්‍යවරයෙක්. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ තමයි අධ්‍යාපනය ලැබුවේ. ඉන්පසුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට තේරී පත්වුණා. ඉන් පස්සේ යුද හමුදා රෝහලේ සේවය කළා. සීමාවාසික පුහුණුව සඳහා අනුරාධපුර රෝහලට ගියා. ඉන් පස්සේ පළමුවන පත්වීම හුරුළුවැව රෝහලට ලැබුණා. අනතුරුව රාගම රෝහලේ ශල්‍ය වෛද්‍ය අංශයේ කටයුතු කළා. පසුව වෛද්‍ය පරිපාලන විභාගයට මුහුණ දීලා මාතර රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස පත්වුණා."

"2021 වසරේදී NMRA ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරට අයදුම්පත් කැඳවා තිබුණා. මා ඊට අයදුම්පතක් දැම්මා. අනතුරුව මම ඒ තනතුරට පත්වුණා." "NMRA ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය රැස්වෙන්නේ මසකට වරක්. එහි CEO ලෙස මම එදිනෙදා කාර්යයන්වල නිරත වෙනවා. සභාපති ඊට දිනපතා සම්බන්ධ වෙන්නේ නෑ. මම සියලු පරිපාලන කටයුතු සහ අධීක්ෂණ කටයුතු සිදුකළා."

උග්‍ර ඖෂධ හිඟය සහ WOR නිකුත් කිරීම

"ස්වාමීනී, 2022 ජූලි 18 තමයි මම මේ තනතුරට පත් වුණේ. අමාත්‍යාංශය සමඟ කටයුතු කිරීම මට පැවරුණ රාජකාරියක්. ඒ රැස්වීම්වල ගන්න තීරණ සභාපතිට, අධ්‍යක්ෂ මණ්ඩලයට වාර්තා කිරීම මට පැවරුණා. බොහෝ අවස්ථාවල අමාත්‍යාංශ රැස්වීම් වලට NMRA එකෙන් සහභාගි වුණේ මම. 2022 දී තිබුණ ප්‍රධානතම ගැටලුව තමයි ඖෂධ හිඟය. ඖෂධ සමාලෝචනයක් සම්බන්ධයෙන් රැස්වීම් තිබුණා. අනෙක් රැස්වීම් වල පවා අවසානයේදී ඉවර වුණේ ඖෂධ සම්බන්ධයෙන් කතා කරලා. පැරසිටමෝල් පෙත්තක් පවා ෆාමසියෙන් ගැනීමේ හැකියාවක් තිබ්බේ නෑ. ගෝස් පවා නැති වුණා. ඒවා ගැන NMRA එකෙන් අහනවා."

"ඒවා සම්පාදනය කරන්න අපි සම්බන්ධ වන්නේ නෑ. නමුත් මහජනතාව අපෙන් අහනවා. ඒ නිසා රැස්වීම්වල කතා වන කරුණු සභාපතිවරයාට දැනුම් දෙනවා."

"ස්වාමීනී, චෝදනා එල්ල වුණා අපේ කටයුතු ප්‍රමාද බවට. ඒ කාලයේ විදේශ ආධාර ලෙස විශාල ප්‍රමාණයක් ලැබුණා. සිවිල් පුද්ගලයන්, සංවිධාන හා රටවලින් අපේ රටට ආධාර ලෙස ඖෂධ ලැබුණා. අද ඒවා නැති වුණත් ඒ කාලේ එහෙම තිබුණා. මේ කාලයේදී පැවති ඖෂධ හිඟය මඟහරවා ගන්න අමාත්‍යාංශය ගන්න පියවරයන්ට අනුගත වීමට සිදු වුණා."

"WOR සහතිකයක් අවශ්‍ය වන්නේ ලියාපදිංචි නැති ඖෂධ ගෙන්වා ගැනීමටයි. ලිපිය නිකුත් කරන්නේ හදිසි අවශ්‍යතා සලකා බලා නිශ්චිත තොගයකට පමණයි. එය නැවත නැවත භාවිතා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි."

"රාජකාරිය කිරීමේ දී වට්ස්ඇප් හරහා අදහස් හුවමාරු වුණා. මේ අධිකරණයේදී ඒවා දැක්කා, දුරකථන සාකච්ඡා පැවැත්වෙනවා."

ඉමියුනෝග්ලොබියුලීන් අත්හිටුවීම සහ සංකූලතා කළමනාකරණය

"ස්වාමීනී, සාමාන්‍ය රාජකාරී දිනයක CEO විදියට මගේ ළඟට විශාල ලේඛන ප්‍රමාණයක් එනවා. නමුත් ඒවා ගැන විශේෂයෙන් බලන්නේ නෑ. මම ඒ ඒ අංශවලට ඒවා යොමු කරනවා. මේ ඖෂධය සම්බන්ධයෙන් 2023 සැප්තැම්බර් 20 වැනිදා ඇතිවූ සංකූලතා තත්ත්වයක් පිළිබඳව රජීව් මහතා තොරතුරු ලබා දුන්නා. එය තීරණ ගැනීමට වැදගත් වුණා. රජීව් මහතා MRI එකේ සිටි ප්‍රධාන විශේෂඥ වෛද්‍යවරයෙක්. ඔහු විසින් MRI එකේ සායනයක් පවත්වාගෙන යනවා. රෝහල්වලින් විශාල රෝගීන් ප්‍රමාණයක් එම සායනයට යොමු කරනවා. එතුමාට ඒ සම්බන්ධයෙන් දැන ගැනීමේ හැකියාවක් තිබෙනවා."

"මේ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය සම්බන්ධයෙන් ගැටලු ආවහම අපේ නිලධාරීන්ට ඒ පිළිබඳව උපදෙස් දුන්නා. කමිටු සාමාජිකයන් දැනුවත් කළා. උදේශිකා මේ අධිකරණයේ සාක්ෂි දෙද්දී කියා සිටියා ඇය දුම්රියෙන් ගමන් ගනිමින් සිටියදී තමයි ඊමේල් එක දැක්කේ කියලා. ඉක්මනින්ම අපි ඒ ඖෂධය නතර කරන්න කටයුතු කළා. ඒක වෛද්‍ය සැපයුම් ඒකකයට දැනුම්දීමටත් කටයුතු කළා. ඉලෙක්ට්‍රොනික පද්ධතිය හරහා ඒ බෙහෙත නැවැත්වීමට කටයුතු කළා. එහෙම කළාට පස්සේ රෝහල්වල ඒ ඖෂධය කොහොමටවත් පාවිච්චි කරන්න බෑ. පසුව අවස්ථාවක දැනගත්තා එම තොග නිසි ලෙස සපයා නොතිබූ බවට. එවැනි අවස්ථාවක එය හඳුන්වන්නේ Policy fide කියලා. ඖෂධය Withhold කරලා පසුව Withdraw කළා."

"ADR එකක් ආ පමණින් බෙහෙතක් නතර කළ නොහැකියි"

"ස්වාමීනී ADR එකක් වාර්තා වූ පමණින් ඖෂධයක් නතර කළ නොහැකියි. ADR එකක් රෝගියා හා සම්බන්ධව සංකූලතා වෙනස් විය හැකියි. ඒ නිසා ADR ගැන පුරෝකථනය කරන්න බෑ. ඒකට ආවේණික ලක්ෂණ මත පදනම් වෙනවා. ඖෂධයක් භාවිතා කරන රෝගීන් විශාල ප්‍රමාණයක් ඉන්න පුළුවන්. ADR එකක් ආව පමණින් නිසි විමර්ශනයක් නොකර, නිසි පදනමක් නොමැතිව ඒ බෙහෙත අත්හිටෙව්වොත් ඒ බෙහෙත ලබාගෙන සුවපත් වන රෝගීන් විශාල ප්‍රමාණයකට හානියක් වෙන්න පුළුවන්. බෙහෙත් නැවැත්වීම ඉතා පරිස්සමෙන් කළ යුතුයි. ඒකෙන් වන අගතිය විශාල වෙන්න පුළුවන්. බෙහෙතක් නතර කළාම Supply chain එක නවතිනවා. එහෙම වුණාම විශාල ගැප් එකක් ඇතිවෙන්න පුළුවන්. විශාල රෝගීන් ප්‍රමාණයකට ඖෂධ නැතිවෙලා මරණ පවා ඇතිවෙන්න පුළුවන්. ඒ ගැන ඉතා පරිස්සමෙන් කටයුතු කළ යුතුයි. ඉතාම පරිස්සමෙන් ගත යුතු තීරණයක්."

"NMRA එක ඉතා භාරදූර කාර්යයක් කරන්නේ. තාක්ෂණික, විද්‍යාත්මක කරුණු මත පදනම්ව තමයි එහි කටයුතු කිරීම සිදුවන්නේ. ඒක Balanced mind එකකින් කළ යුතුයි. එවැනි දේ අනිත් අයට නොතේරෙන්න පුළුවන්."

"ස්වාමීනී, මේ සිද්ධිය නිසා මගේ රැකියාව අහිමි වුණා. විශාල සමාජ අපවාදයක් ලැබුණා. ඒකනම් මහා අපරාධයක්. කිසිම හේතුවක් නැතුව කෙනෙකුට එවැනි දේකට මුහුණ දීමට සිදුවීම ශෝචනීය තත්ත්වයක්. මේ කිසිම Procurement එකකට මම සම්බන්ධ නෑ. මිලදී ගැනීමේ ක්‍රියාවකට සම්බන්ධ නෑ. ඇගයීමකට සම්බන්ධ වෙලා නෑ. කිසිම හේතුවකුත් නෑ. මුදල් ගෙවීමක් හෝ නිර්දේශ කිරීමක් කර නෑ. මේ සියලු දේ අපේ ක්‍රියාවලියෙන් ස්වායත්තයි. අපිට මේකට කිසිම ආකාරයේ සම්බන්ධයක් නෑ. ලිපි කට්ටලයක් අමාත්‍යාංශයෙන් නිර්දේශ කිරීමට අපිට ලැබී නෑ. අපිට ඒ නිසා ඒ ගැන කිසිම දැනුමක් නෑ. අපි මෙවැන්නක් පරිහරණය කරලත් නෑ. අදාළත්වයක් නැති කාරණයකට මා පෞද්ගලිකව මැදිවෙලා ඉන්නවා. ඔබතුමන්ලා මේ ගැන විවෘත මනසකින් බලයි කියලා හිතනවා. මේ සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන්න කියලා ඉල්ලනවා."

චෝදනා පත්‍රය සහ නඩු විභාගයේ ඉදිරි පියවර

මෙම ප්‍රකාශය සිදු කර අවසන් කිරීමත් සමඟ 12 වැනි විත්තිකරු වෙනුවෙන් සිදුකරන නඩු කටයුත්ත අවසන් කරන බව ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය. ඒ අනුව සියලු විත්තිකරුවන්ගේ විත්තිවාචක ඉදිරිපත් කිරීම අවසන් කිරීමෙන් අනතුරුව විත්තිකරුවන් වෙනුවෙන් සාක්ෂි ඉදිරිපත් කිරීම සඳහා සාක්ෂිකරුවන් පස් දෙනෙකුට සිතාසි නිකුත් කිරීම අධිකරණය විසින් සිදුකරන ලදී.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොක්සිමැබ් ඖෂධ ලබාගත් බවට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොක්සිමැබ් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම, ඊට ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ.

අයිසොලෙස් බයෝටෙක් ෆාමා සමාගමේ හිමිකරු ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශාන්තිනී සොලමන්, ගණකාධිකාරී නිරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් (විදේශගතවී සිටී), සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවෝ වෙති.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරුන් ඇතුළු සාක්ෂිකරුවන් 350 ක සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක්ද ඉදිරිපත් කර ඇත.

(සටහන | නෙල්කා මැදගෙදර)
ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි

ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...